Saturday, September 19, 2015

යථාභූත




"ගිනි කාෂ්ටක අව්ව,"

"ගිහින් නාගන්න."

"අදත් බස් එක මඟෑරුණා. යනකොට අරූ රතු ඉර ගහල."

"ඇත්තෙයි?"

"හුම්"

"කෝ දෙන්න ඔය ෂර්ට් එක. . . හම්මේ දාඩිය ගඳ!"

"පෙරෙයිදා ඇඳපු එක. මැදලා දාපු එක උදේ බැලින්නං මීයො කාලා."

"මං එලලලා දෙන්නං."

පුණ්‍යවික්‍රම කලිසම් පටිය ගලවමින් කාමරයට ඇවිද ගියේය. තැන තැන සිදුරු සැදුණු කොටු බැනියම උනා දහඩියෙන් තෙත් වූ තට්ටය ඉන් පිසදැමූ ඔහු එය කාමරයේ අනෙක් කෙළවරේ තිබූ ඇඳුම් රාක්කයට වීසි කළේය.

"ඒයි, මං එහෙනං නාන්න යනවා."

"හා හොඳයි."

වික්‍රම නාන කාමරය පිටතින් තිබූ කළු ගැහුණු තැඹිලි රබර් සෙරෙප්පු කුට්ටම පයෙහි රුවාගෙන දොර හැර නාන කාමරයට පිවිසියේය. දොර වසා අගුළු දැමු ඔහු ඉන්පසු අඳුරේම අතපත ගා ස්විචය සොයාගෙන විදුලි බුබුල දැල්වූයේය.

මුදුණ ගැලැවී ගිය නාන කරාමයෙන් පීල්ලකින් මෙන් දිය වෑස්සෙන අතරේ ඔහු දෑස් පියාගෙන එම සිහිල් සුවය විඳිමින් සිහින මවන්නට විය.

* * * * * * * * * 

"නෝනාවරුනි මහත්වරුනි! අද අපි මේ එක් වී සිටින්නෙ දිරියෙන් දිවිය දිනා, අපේ මේ පුංචි ලංකාද්වීපයේ නාමය විශ්වයටම ගෙනගිය, දේශමාමක දේශහිතෛෂී ඇම්. ඇම්. පුණ්‍යවික්‍රම මහතාගේ දියුණු වීමේ රහස් කෘතිය දොරට වැඩීමේ ඒ උත්කෘෂ්ට මොහොතටයි!"

නිවේදකයා වේදිකාවෙන් බිමට නොපැන්නා පමණි. උද්‍යෝගය නිසාම ඔහුගේ මුහුණ රත්පැහැ ගැන්වී, කම්මුල් දිගේ ඩහදිය බේරෙමින් තිබිණි. දේශමාමක දේශහිතෛෂී ඇම්.ඇම්. පුණ්‍යවික්‍රම මහතා වේදිකාව කරා පියමනින විට රැස් වී සිටි ජනයා ඔහුගේ උදාර ලීලාවෙන් කැළඹී ගොස් හුන් තැන් වලින් නැඟී සිට අත්පොලොසන් දෙන්නට වන්හ.

"කෘතඥ වෙනවා ඔබේ ඒ උපහාරයට. . . නමුත් සහෝදර සහෝදරියනි, ඔබ මේ නැඟී සිට ආචාර දක්වන මමත් එක කාලෙකදි පුංචි මිනිහෙක්. මම කියන්න ලැජ්ජා වෙන්නෙ නැහැ, බොහෝමයක් දවසට අපිට රෑට කන්න සිද්ධ වුණේ වැටකොළු මාලුවකුයි, හාල්මැස්සන් හොද්දක් හා උම්බලකඩයක්වත් නැති පොල් සම්බලකුත් විතරයි."

වික්‍රම තම කතාව නිමකරනවාත් සම්ඟ ම ශාලාව අත්පොලොසන් නදින් ගිගුම් දුන්නේය. ඇතැමුන්ගේ නෙත් අඟ කඳුලක් මෝදු වී තිබෙණු වික්‍රමට වේදිකාවේ සිට දැන් දැන් පෙනෙයි.

* * * * * * * * * *

'සිරිය මෙ ස්-සාර්-රා
නැ-ගෙ-වි හද්-ද මෝ-උ-රා. . .
ඕ ප්‍රෙමේ-"

"ගොඩ වෙලා නාන්න එපා ඒයි, ගිය මාසෙත් බිල ගෙවන්න මාලෙ උගස් තියන්න වුණා."

"ඔය මටද කියන්නෙ නැත්තන් අහල පහල ඉන්න උන්ටද?"

වික්‍රම කෝපයෙන් තතනමින් වතුර බේරෙන සුවඳ සබන් කැටය ගෙන ඇඟ පුරා තවරා නැවතත් කරාමය විවර කළේය.

* * * * * * * * * *

"ඔව්, විරාමයට පෙර අපි කතාකරමින් හිටියේ කෝටිපති ව්‍යාපාරිකා ලතා පුණ්‍යවික්‍රම මහත්මිය මෙතරම් සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් වීමේ ඒ ගමන් මඟ පිළිබඳවයි."

"ඇත්තටම බොහෝ පුද්ගලයන්ගේ දියුණු වීමේ මඟ රෝස මල් යහනාවක් නෙවෙයි. නමුත් මගේ මේ ගමන කටු ඇතිරිල්ලක් වෙන්නට ඉඩ නොදී රතු පලසක් දිගේ අතින් අල්ලන් මාව මෙතනට එක්කරගෙන පැමිණීමේ සම්පූර්ණ ගෞරවය හිමිවන්නෙ මගේ සැමියාට. . ."

"මෙතුමියගේ ආදරණීය ස්වාමිපුරුෂයා ඔබ අපි කවුරුත් හොඳින් හඳුනන මහාචාර්ය මානවරත්න පුණ්‍යවික්‍රමයන් ම තමයි. එහෙම නේද?"

"ඔව්. එතුමා තමයි මගේ ස්වයං රැකියා ව්‍යාපාරය ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ නමක් දිනාගත් වෙළඳ නාමයක් බවට පෙරලන ඒ ගමනේදී මගේ සෙවනැල්ල මෙන් රැඳුණු ඒ උතුම් පුරුෂයා."

"ඔබතුමන්ලා අපේ වත්මන් සමාජයට විශාල ආදර්ශයක්. තමන්ගේ ව්‍යාපාරික ජීවිතය වගේම ගෘහ ජීවිතයත් අතිසාර්ථක ලෙස ගත කරන පුද්ගලයින් වර්තමානයේ ඉතාමත් ම විරලයි."

"බොහොම ස්තූතියි!"
* * * * * * * * * *

පුණ්‍යවික්‍රම කරාමය වසාදමා නූල් ගිය තුවා කබලෙන් මුහුණේ තෙත මාත්තු කරන්නට විය.

"ටොක්. . . ටු ටුක්. . ."
නාන කාමරයේ දොරට ඇසෙන නෑහෙන තරමින් යමෙකු තට්ටු කරනු වික්‍රමට ඇසෙයි.

"ඒයි. . . මේ ඒයි. . .!"

"මොකද යෝදියෙ රහසින් කතාකරන්නෙ?"

"අනේ ඒයි පොළී මුදලාලි ඇවිත්. . .!"

පුණ්‍යවික්‍රම වහා නානකාමරයේ විදුලි බුබුල නිවා දැමී ය.

"මං ගෙදර නෑ කියන්න."

Thursday, September 10, 2015

වැසිකිලියේ දෝංකාරය - 02



කතා වස්තුව අංක 02:

කලින් පෝස්ටුවෙ කියපු විදියට වැසිකිලිය කියන්නෙ හරිම ත්‍රාසජනක තැනක්. ඕන ම වෙලාවක ඕන ම දෙයක් වෙන්න පුළුවන්.

මතක හැටියට ඒ 2009 අවුරුද්ද. ඒ දවස් වල සාකියට පොඩි පුරුද්දක් තිබුණා අවුරුද්දෙන් අවුරුද්ද පන්ති මාරු වෙනකොට ඒ ඒ ශ්‍රේණියට නියමිත වැසිකිලියේ අනිත් ඒවට සාපේක්ෂව අබලන් බවින් අඩු, දොරේ හිල් නැති, ලොක් ගලවලා වීසි කරලා නැති ප්‍රසන්න කියුබිකල් එකක් තෝරා වෙන් කරගන්න. ඉතින් හදිසි අවස්ථාවක දී හැරුණු විට මුළු අවුරුද්ද පුරාම පාවිච්චියට ගන්නෙ ඒ කියුබිකල් එක විතරමයි.

ඕකට හේතුවක් තිබුණා. දවසක් දා සාකියා වැසිකිලියේ තදබද වෙලාවක කියුබිකල් එකක් හිස් වෙනකම් වැසිකිලිය තුළ ඔහේ අරමුණක් නැතිව උඩ යට බලමින් ඉන්නකොට, නොදැනුවත්වම ඉස්සරහින් තිබුණු කියුබිකල් එකේ දොරේ තිබුණු පැල්මක් තුළින් ඇතුලේ හිටිය දරුවගෙ ඇහැ ගැටුණා. හිතාගන්න පුළුවනි නේ? සාකියා ආපු කාරණේ පැත්තක තියලා නොහිටින්නම එතනින් වාෂ්ප වෙලා ගියා.

ඔය වගේ අකරතැබ්බ වලට අනාගතයේ මට මුහුණ දෙන්න සිද්ධ නොවෙන්න තමයි ඊට පස්සෙ අර වගේ පියවරක් අනුගමනය කළේ.

කොහොමහරි ඉතින් ඒ 2009 අවුරුද්ද. සාකියා විශාල හදිසියකින් වැසිකිලිය කරා ඇදී ගියා. ඇතුලේ මට වඩා වැඩිමහල් අක්කලා කිහිපයක් හැරුණු විට වෙන කෙනෙක් පේන්න හිටියෙ නැහැ. ඒත් මගේ සුපුරුදු කියුබිකල් එකේ කිසියම් භූතයෙක් අරක් අරගෙන තිබුණා.

අවශ්‍යතාවය කෙතරම් බරපතල එකක් ද කියනවා නම් යම් තරමක් පාවිච්චියට සුදුසු තත්වයේ තිබුණ තවත් කියුබිකල් එකකට රිංගාගත්තා.
ඊට පස්සෙ වැඩේ අවසන් කරලා කියුබිකල් එකෙන් එළියට ඇවිත් යන්න හදනකොටම මෙන්න සාකියාට ඇහෙනවා කොහෙන් හරි දේව ලෝකයකින් වගේ තමන්ගෙ නම කියලා අඬගහනවා. වටපිටාවෙ කවුරුවත් නෑ, වැසිකිලිය හිස්.

සාකියා තුෂ්නිම්භූත වෙලා හතර අත කැරකි කැරකි බැලුවා. ඔන්න ආයෙමත්,

"...... (මගේ නම )!"   කෙඳිරිලි හඬක් ඇහෙනවා.
"කවුද?"   ඒ හොල්මන් ද දෙල්කොළ වුණු මම.
"මේ මම!"   ආයෙමත් හීන් කෙඳිරිල්ලක්.
"කවුද මම?"   ඒ පාර ෆුල් හොල්මන් වෙච්චි මම.
"මම ....(අදාළ පුද්ගලයා), අනේ මාව එළියට ගන්නකො!"

හත්දෙයියනේ මේ අපේ පන්තියෙ ඉන්න මහත දෙහෙත ළමය නේද? දැන් මොකැයි කොරන්නෙ. . .

"මොන එකේද ඉන්නෙ?"   මං ආයෙමත් ඇහුවා.
"ඔයාගෙ වම් අත පැත්තෙ එකේ."

මොනවා? එහෙනම් මගේ කියුබිකල් එක බද්දට අරන් හිටියෙ මෙයාද?
කොරන්ට දෙයක් නෑ. ක්ෂණික ව ක්‍රියාත්මක වුණු සාකියා හැරුණු ගමන් වම් පැත්තෙ තිබුණු දොර අල්ලලා තල්ලු කරා. දොර අංශක දෙකක් විතර ඇතුළට තල්ලු වුණා.

ඔය විදියට දොර කඩන එක හැර දන්නා සියලු සටන් කලාවන් යොදාගෙන ඒ අසරණයාව එතනින් ගලවා ගැනීමේ මෙහෙයුම සාර්ථකව නිමා කිරීමට සාකියාට හැකිවුණා.

බැලින්නම් මේකයි වෙලා තියෙන්නෙ. මේ ළමයා තමන්ගෙ කටයුත්ත ඉවර වෙලා එළියට එන්න හදනකොට මොන විදියකින් හරි මේ දොර ඇරෙන්නෙ නැතුව තද වෙලා තියෙනවා. කටහඬවල් කීපයක් ඇහුණු නිසා මේ ළමයා උදවු ඉල්ලලා කතා කරලා. ඒත් කයිවාරුවේ සද්දෙට මේ දරුවගෙ කෙඳිරිල්ල කාටවත්ම ඇහිලා නෑ. සාකියා එළියට එනකොට මෙයා දොර හිලෙන් බලා ඉඳලා අඳුරගෙන තමයි කතා කොරලා තියෙන්නෙ.

හප්පේ. . . ඇති ඔයින් ගියා. නැත්තන් ටොයිලට් වතුර බිබී පස්සෙන් දා එළි වෙනකම් රැය පහන් කරන්න වෙන්නෙ දෙකයි දෙකේ ගන්ධස්කාර් වැසිකිලි කුටීරයක් ඇතුලෙ තමයි.

සාකියාගෙ අතිශය විමසිලිවන්තභාවය නිසා තවත් මනුෂ්‍ය ප්‍රාණියෙකුගෙ දිවි ගැලවුණේ ඔන්න ඔහොමයි.


- මතු සම්බන්ධයි -

Thursday, September 3, 2015

වැසිකිලියේ දෝංකාරය - 01



වැසිකිලිය කියන්නෙ මහ පුදුමාකාර තැනක්. නැද්ද මං අහන්නෙ? හැමෝටම වැසිකිලිය ඇතුලෙදි වෙච්ච රසබර කතාන්තර තියෙනවා නේ. ඕවැයින් වැඩිහරියක් සමාජයට මූණ දෙන්න තියෙන ලැජ්ජාව නිසා සදාකාලිකව ම පෙට්ටගම් ඇතුලෙ ඇටසැකිලි ආකාරයට තිබිලා දිරාපත් වෙලා යනවා. ඒත් සමහරක් එව්වා නං තළු මර මර කියන්න තරම් රසබර, පරම්පරා ගණනාවක් තිස්සේ ආටෝප සාටෝප එකතු වෙලා තොරොම්බල් කරත්තයක් වගේ ලස්සන වෙච්ච පුංචි රසකතා.
සාකියට නං ඉස්කෝලෙ යන කාලේ වැසිකිලිය කියන්නේ විවිධ ත්‍රාසජනක අත්දැකීම් වලට තෝතැන්නක් වගෙයි. ඇතුලට යන්නෙ කොහොමද, එලියට එන්න වෙන්න මොනාකාරයටද කියලා මොන දෙයියන්ටවත් කියන්න බැහැ. ඒ තරම් අද්භූතජනකයි.

ඉතින් මෙච්චර වෙලා පඳුරු තල තලා වටේට කැරකුණේ වැසිකිලියක් වුණත් දෝංකාර දෙන තරමට හද කම්පාකරවන සුලු ක්‍රියාදාමයන් පෙළක් ඔබ හමුවේ දිගහැරීමටයි.


කතා වස්තුව අංක 01:


ඒ කාලෙ සාකියා හරි ලැජ්ජකාරි. හොඳම යාළුවො එක්ක හැර වැඩි බජනයක් නෑ කාත් එක්කවත්. ඔය නිසාම පන්තියේ සිටින ගොබ්බ රැලේ අංක එක ලෙසට ගැරහුමට ලක්වෙමින් කුඩා අසරණ ප්‍රාණියෙක් හැටියට ජීවිතේ ගැටගහන් හිටපු එක් දුෂ්කර සමයක් තමයි ගතවෙමින් තිබුණේ.

එතකොට මම තුනවසරේ. පන්තියට අල්ලපු වැටේ තමයි වැසිකිලිය පිහිටා තිබුණේ. ඉතින් ටීචර් තුමී පන්තියෙ නැති ඕනෑම මොහොතක ටොයිලට් එක අස්සට රිංගන්න අපේ ළමයි පසුබට වුණේ නැහැ.

අනේ ඉතින් සාකියා නම් ඕවට නෑ. ඇත්තටම සාකියා ඒ කාලේ පිට ටොයිලට් අස්සට යන්න වැඩි කැමැත්තක් තිබුණෙත් නෑ. මොකවුණත් ඔය කියන දවසෙ ටීචරුත් පන්තියෙ නැති වෙලේක කරුමෙට බරපතල හදිස්සියක් සහිතව අල්ලපු වැට කරා දුවන්න සාකියාටත් සිද්ධ වුණා.

පුදුමෙක මහත කියන්නෙ එදා වැසිකිලිය ඇතුලෙ මොකෙක්වත් හිටියෙ නැති එක. ඉතින් සාකියා එක කුටීරයක් (කියුබිකල් එකක්) ඇතුළට රිංගන් තප්පර දෙකක් විතර ඔළුව කරකව කරකවා සිවිලිමේ සිරි නරඹමින් සතුටින් කල් ගත කළා. ඔන්න යන්තම් කටඅඬ එක දෙක මතුවෙන්න ගත්තා පිටතින්. අපේම පන්තියෙ ළමයි වගේ. සාකියත් ඉතින් වැඩිය ගානකට මිම්මකට ගත්තෙ නැහැ; පාඩුවෙ තමුන්ගෙ වැඩේ කරගෙන ගියා.

ඉතින් මං කිවුව නේ මුලින් මම වැසිකිලියට රිංගනකොට බලු බල්ලෙක් ඇතුලෙ හිටියෙ නැහැ කියල? ඒ කියන්නෙ මම හිටපු කුටීරය හැර හිස් කුටීර මතකෙ හැටියට තව දෙකක්වත් තියෙන්න ඇති. එහෙවු එකේ අර දැන් ඇතුළට ආපු කෙල්ලො දෙතුන් දෙනා සාකියා රාජකාරිය කරමින් හිටිය කුටීරෙ දොරට ම තඩිබාන්න ගත්තෙ නැතෑ.

මං කලින් කිවුවනෙ සාකියා ඒ කාලේ හරි ලැජ්ජකාරියක් කියලා. ඉතින් ලැජ්ජාවක මහත කියන්නේ මං ඇතුලේ ඉන්නවාය කියලා ටොයිලට් කුටීරයක් තුළ සිටන් කෑගහන එකත් සාකියාට පොළව පලන් යන්න තරම් ලැජ්ජාවට කාරණයක්. මං අහන්නෙ, කොහොමද ඊට පස්සෙ ප්‍රසිද්ධ සමාජෙ ඇතුලෙදි මං ඒ ළමයින්ට මූණ දෙන්නෙ?

ඉතින් සාකියා සද්ද බද්ද නැතුව හිටියා ඒ පිරිස යාවි ය කියන අහිංසක බලාපොරොත්තුව ඇතුව. කොහෙද? මුං එතනම ඉඳන් නොනවත්වා දොර ලෑල්ලෙ බෙර ගහන්න ගත්ත නෙව.

දැන් මොකෑ කරන්නෙ? වැඩේ හමාර කළත් සාකියට දොර ඇරන් එළියට යන්න බැහැ. ඇයි කියලා අහන්නෙ? ලෝක ලැජ්ජාවට! කොහොමද දොරට ගහද්දි සද්ද නැතිව ඉඳලා කොන්ද කෙලින් තියන් එකපාරටම දොර මැද්දෑවෙන් එළියට ප්‍රාදුර්භූත වෙන්නෙ?

ඉතින් සාකියා මුං දැන් යයි දැන් යයි කියලා දොර ගාව පඹයෙක් වගේ හිටගන හිටියා. විනාඩි දෙක තුනක් දොර එක්ක කොංගො අඩවු අල්ලපු කෙල්ලො ටික මෙන්න බොලේ එකපාරටම දොර තල්ලු කරන්න ගත්තෙ නැතෑ. වෙන කරන්න දෙයක් නෑ. පැනපු ගමන් සාකියත් මෙහාපැත්තෙ ඉඳන් දොර එහාපැත්තට තල්ලු කරන්න ගත්තා. දැන් යමර යුද්ධයයි! උන් එහාපැත්තෙ ඉඳන් දොර තල්ලු කොරනවා, අසරණ මං මෙහාපැත්තෙ ඉඳන් දොර තල්ලු කරනවා. තුනට එකේ හරිම අසාධාරණ අනුපාතයක් වුණත් සාකියා වැඩේ අතෑරියේ නෑ. මෙච්චරවෙලා ආරක්ෂා කොරගත්තු නම්බුව දිගටම පවත්වාගන්නවාය කියන දැඩි අධිෂ්ඨානයෙන් යුතුව දත කාගෙන මුලු වෙර යොදලා දොර තද කරගෙන හිටියා.

මෙයාකාරයෙන් විනාඩි පහක පමණ අති දීර්ඝ වූත්, දුෂ්කර වූත් කාල සීමාවකට පසු "අන්න ටීචර් එනවා!" යන වදන් වැලත් සමඟ ම බජාර් එක දොරත් මාවත් වැසිකිලියේ තනිකරලා දාලා අන්තරස්ධාන් වුණා. ආත්මාරක්ෂාවට තවත් විනාඩියක් පමණ කුටීරයේ සිරි නරඹමින් කල් ගත කළ සාකියා යන්තම් දොර ඇරලා වටපිට බලලා හීන් සැරේ ආඳා වගේ වැසිකිලියෙන් ලිස්සලා ගියා.


ප.ලි. : හිතුවට වඩා පෝස්ටුව දිග වැඩි වුණ නිසා ඉතිරි කතා වස්තූන් ඉදිරි දින වල දී බලාපොරොත්තු වන්න.

Wednesday, September 2, 2015

ඉතුරු සල්ලි!



ඔන්න දවසක් දා අනේමන්දයි උන්දැගේ අතිජාත මිත්‍ර රත්නයක් වෙච්චි සපුවයි ක්ලාස් ඉවර වෙලා බස් එකක් එනකන් ඉන්නවලු හෝල්ට් එකේ.ඒ කාලේ ඉගනීමට තිබූ උනන්දුවේ මහිමය කොච්චරක් ද කියනවානම් මුන් දෙන්නා පන්තිය ඉවර වුණු හැටියේ ආලෝකයේ වේගයෙන් බස් හෝල්ට් එකට දුවන් එන්නේ එන පළවෙනි බස් එකේ ම නැගල ගෙදර යන්න.


හෝල්ට් එකට ආපු වෙලේ ඉඳන් ම මේ සපුමලී කෙලි පොඩිත්ත මගෙනුයි වටේ ඉන්න හැමෝගෙන්මයි අහන්නේ රුපියල් පනහක් මාරු කරගන්න තියෙනව ද කියලා.ඒත් වෙලාවට කවුරුවත් ගාව මාරු සල්ලි තිබුණෙ නෑ.


ඉතින් වෙනද වගේ ම එදත් බස් කටුවක් ගාට ගාට ආවා.අපි දෙන්නත් නැග්ගා.සපුවා බස් එකේ ඉස්සරහින් නැගලා සීට් එකක් බදාගෙන හිටියා.අසරණ මට ඒ මොළේ පහළ නොවුණු නිසා මම නිකන් දියවැලකට අහු වුණ ජෙලිෆිශ් කෙනෙක් වගේ තැලිලා පොඩිවෙලා ඇඹරිලා බස් රථයේ පශ්චාත් භාගය කරා චූෂණය වෙලා ගියා.කොහොම කොහොම හරි ටික දුරක් යද්දී සපුවා උඩ පැන පැන හස්ත මුද්‍රාව සහ වෙනත් හඳුනා නොගත් සංඥා භාෂා මාධ්‍ය භාවිත කරලා මට කිව්වේ උන්දෑට කොන්දොස්තර බාප්පා ඉතුරු සල්ලි නොදුන් බවත් තමුන් බහින හෝල්ට් එක කරා බසය ශීඝ්‍රගාමී ව ලඟා වන නිසා මට ඉතුරු සල්ලි ඉල්ලා ගන්නා ලෙසත් ය.


සපුවා බස් එකේ ඉස්සරහින් හිටි අතර කොන්දොස්තර හිටියේ මං හිටි දිසාවෙයි.ඉතින් මමත් දැන් ඉතිරි සල්ලි ඉල්ලන්න ඕන විදිය හිතින් කියවමින් හිටියේ නැතිනම් නැගපු හෝල්ට් එකටම ආපහු ටිකට් ඉල්ලන ජාතියේ පැරනෝමල් සිදුවීම් අනේමන්දාට අලුත් දෙයක් නොවෙච්චි හන්දයි.


ඉතින් ඔන්න කොන්දොස්තර ඇවිත් අනේමන්දගෙනුත් ටිකට් ඉල්ලුවාලු.

"බ්ලාහ් බ්ලා වත්තට එකක් ගත්තා ඉතුරු සල්ලි දුන්නේ නෑ..බ්ලා පිටියට.."

"කීය ද දුන්නේ??"

මේ යකා මට කතාව කියාගෙන යන්න නොදී කඩන් පැනපි.

"පනහ"

"ආ මෙන්න ඉතුරු සල්ලි"

අගින් වක්‍ර වුණ රුපියල් දහයෙ විස්සෙ කොල සහ කාසි කිහිපයක් මට දික් කරපු කොන්දොස්තර වහාම ඊළඟ මගියා වෙත යොමු වුණා.

මං තත්පරයක් දෙකක් ඇස්පිය ගහමින් බලන් හිටියා මේ මොකක් ද උනේ කියලා.

දැන් සපුවාගේ ඉතුරු සල්ලි ඉල්ලගත්තට මට ප්‍රවේශ පත්‍රයක් ගන්න බැරි වුණ බව කාට කාටත් තේරෙනවා ඇති නොවෑ.

ඉන්පස්සේ මං කල්පනා කළේ කොහොමද දැන් මම ටිකට් ඉල්ලගන්නේ කියලා.

ආයෙමත් සල්ලි දීලා ඉල්ලන්න ගියොත් කලින් ඉතුරු සල්ලි ඉල්ලපු එකී ආයෙ ටිකට් ගන්නේ මොන ඇන්නෑවකටද කියල අහල පහල සීට් කෑලිවල,බස් එකේ බාර්වල වවුල් පෝතකයො වගේ එල්ලිලා ඉන්න කොල්ලො බල්ලො කෙල්ලො සහ කොන්දොස්තර උන්නැහේ හිතන බව අනේමන්දාට සක්සුදක් වගේ පැහැදිලියි.

ඇත්තම කතන්දරේ ප්‍රවේශපත්තර කියා ජාතියක් දෙන්නෙත් ඉඳහිට එන සිලෝන් ටකරන් බස් එකක විතරක් වුණත් දැන් "බ්ලා බ්ලාහ් වත්තට" යනව කියල ඉතිරි සල්ලි ගනිපු මම ඒ පළාත පහු කරගෙන ගිහින් "බ්ලා පිටියෙන්" බහිනවා කොන්දොස්තර උන්නැහේට අවබෝධ වුණොත් මොන ජංජාලයක් වෙයි ද කියලා හිතෙනකොට මගේ හෘදය වස්තුව නිකන් දෙමෝලෙන් පිටි කොටනකොට වගේ උඩ පනින්න ගත්තා.වැඩියෙන්ම භයංකාර වුණේ දවසක් දා අනේමන්දාගේ යාලුවෙකුට වෙච්ච සිද්දියක් මතක් වෙලා.ඒ අසරණ දැරිවිට බස් එකේ ටිකට් ගන්න අමතක වෙලා බැහැලා යන්න හදනකොටම කොන්දොස්තර මොර දුන්නෙ නැතෑ ටිකට් ගත්තෙ නෑ නේද කියලා.කොහොම කොහොම හරි ටිකට් එකට සල්ලි දුන්නට බස් එකේ ෆුට්බෝඩ් එකේ ඉඳපු ඇට්ටර කොලු රැළක් හූ කියපු එක නවත්වන්න කාටවත් බැරි වුණා.

ඔය විදියට එන්න එන්නම බියජනක බස්‍ රථ අත්දැකීම් අනේමන්දාගේ ඔලුවට පොම්ප වෙන්න ගත්තේ හරියට කලුවර රෑක තනියම ඉන්නකොට මෙතෙක් ඇසූ පිරූ සියලු හොල්මන් කතා සහ හොර(ර්) මූවීස් හිතට එනවා වගේ.

කොහොම නමුත් එදා අතුරු ආන්තරාවක් නොවී බස් එකෙන් බැහැලා ගෙදර යන්න අනේමන්දාට වාසනාව තිබුණා.

පහුවදා උදේ මං ඉස්කෝලෙ ගියේ සපුවාගේ ඉතුරු සල්ලි නිසා මට වුණ ඇබැද්දිය කට්ටියටම කියන්න හිතාගෙන. මම පන්තියට එද්දි ම සපුවා නිකන් අමුතු ම බැල්මක් දාගෙන,

 "ඔයා ඊයෙ කොන්දගෙන් මගේ ඉතුරු සල්ලි ඉල්ලගත්ත ද?"
කියල ඇහුවේ ලාවට නෝන්ඩි හිනාවක් කට කොනකින් මතුවෙද්දී.

"ඔව් බං.මාර වැඩේනෙ උනේ.මට ටිකට් ගන්න උනෙත් නෑ උඹේ ඉතුරු සල්ලි ඉල්ලගන්න ගිහින්."
එහෙම කිය කිය මම බෑග් එක ඇද්දේ සල්ලි ටික දෙන්න හිතාගෙන.

 එතකොට ම එච්චර වෙලා තදකරගෙන හිටපු හිනාව එළියට පැන්න සපුවා කියපි,

"අනේ බං,ඌ මං බැස්සට පස්සේ බස් එකෙන් එලියට බැහැලා දුවගෙන ඇවිත් මට ඉතුරු සල්ලි දුන්න නේ!!!"


Tuesday, September 1, 2015

වසවර්තියෝ



අපේ අල්ලපු ගෙදර ඉන්නෙ නාහෙට නාහන නිවුන් ළමයි තුන්දෙනෙක්. කෙල්ලො දෙන්නයි, කොල්ලයි. උදේ නැඟිට්ට වෙලේ ඉඳන් රෑට නින්දට යනකම් ම උන්ගෙ වැඩේ අඬන එක.

ඔන්න එකෙක් පටන් ගන්නවා. . . එක්කො අම්මා නාන බාල්දියෙන් සීතල වතුර එකක් ඔළුවට හැලුවා වෙන්න ඇති, නැත්තන් කකා හිටපු සීනි බෝලෙ බිම වැටුණා වෙන්න පුළුවන්. ඔය මොනයම්ම හෝ ආකාරයකින් කෝපගැන්විච්ච එකෙක් නාහෙන් අඬන්න ගන්නවා. ඕන්න එතකොට ම ඊලඟ එකා හරි එකී හරි පටන් ගන්නවා පිළිකන්න පැත්තෙ ඉඳන්. ඊට තප්පර බින්දුවයි දසම බින්දුවයි බින්දුවයි බින්දුවයි බින්දුවයි, බින්දුවයි එකකට පස්සෙ අවසානයා "කක්කා ගියෝ!" ගාලා හූ තියන්න ගන්නවා. ඉතින් හතර වටේට මාලු ලෑල්ල හරි ඉරිදා පොළ හරි වගේ, එකම ගාලගෝට්ටියයි.

ඔය ගෝරනාඩුව අහන් ඉන්න බැරි ම වුණා ම වෙලාවකට මම කනේ ඇඟිලි ගහගන්නවා. එතකොට මට දැනෙනවා ඇඟිලි දෙක කන් දෙකේ ඇතුළට ඇතුළට හිමීට හිමීට තල්ලු වෙලා යන හැටි. ඊට පස්සෙ ඇඟිල්ලක් ගිහිල්ල කන් බෙරේ වදිනවා. ඔන්න එතකොට වේදනාව දරාගන්න බැරුව මම කන් වලින් ඇඟිලි එළියට ගන්නවා. ඒත් ඉතින් එතකොට අර මාර පැටවුන්ගේ කෑගැහිල්ල ඇහෙන්න ගන්නවා. එක අතකට කන් දෙකේ වේදනාව ඒ කෑගැහිල්ලට වඩා සැපතක් කියලා හිතෙනවා.

ඔය විදියට දවස් ගානක් ගත වෙනකොට මගේ හිතේ පැළපදියම් වෙච්ච තරහ බුබුළු දම දම නටන කැඳ හැලියක් වගේ, නැත්තන් පපඩමක් බස්සපු ගමන් "පුෂ්!" ගාලා පිපිළා යන විදියට රත් වෙච්ච තෙල් තාච්චියක් වගේ වුණා. ඉතින් මම දවසක් දා පාර පල්ලෙහැ කඩේට ගිහින් සිදුරු නැති සිලි සිලි මලු තුනක්, රෝස පාට දෙකයි - නිල් පාට එකයි, සල්ලි වලට ගත්තා. සල්ලි වලට ගත්තාය කිවුවේ මෝඩකමකට එහෙම නෙවෙයි. සිලි සිලි මලු තුනකට සල්ලි ගන්න එක සාධාරණ නැහැයි කියලා මම පැය භාගයක් කඩ පිලේ හිටගෙන මුදලාලියා එක්ක වාද කළා. ඒත් අන්තිමට උවමනාව කොච්චරක් ද කියනවා නං මාරු සල්ලි නැති නිසා ඉතුරු සල්ලි වලින් කහට එකක් බොන්න කියල අතේ තිබ්බ රුපියල් දහයම මුදලාලිට දීලා මම දිව්වා ලියුම් කවරෙකුයි මුද්දරේකුයි ගන්න.

පැය භාගයක් ම වැඩකට නැතුව කඩ පිලක් උඩ නාස්ති වෙලා ගියා කිය කියා මම ඉක්මනට තැපැල් කාර්යාලෙට ගියා. තැපැල් කාර්යාලේ පැත්තක එල්ලලා තිබුණු ලාටු කෝප්පෙන් තලියක් ම අරන්, පහට හයට නවලා සිලි සිලි මලු තුන ඔබ්බවලා තිබුණු ලියුම් කවරේ ගාලා ඇලෙව්වා. ඒත් අන්තිමට හදිස්සිය වැඩිකමට මුද්දරේ අලවලා තිබ්බේ පිටපැත්ත උඩට හිටින්න. ඒ කිවුවේ මුද්දරේ පස්ස පැත්ත ලෝකෙට ප්‍රදර්ශනය වෙන්න. ඉතින් මොකද කරන්නෙ? . . . හරි! මම මුද්දරයක් අලවපු බව ඔප්පු කරන්න කලින් එක වගේ දෙගුණයක් වටින තව මුද්දරයක් මිලට අරන් ඒක ඇලෙව්වා ලියුම් කවරේ වම් කෙලවරේ.

ඊළඟ පියවර : සුදු පාට හාෆ් ෂීට් කොලේක මම රතු පෑනෙන් ලිවුවා,
"අවවාදයයි! මෙම ලියුම් කවරය තුල ඇති මලු තුන සියලු දෙනාගේ යහපත පිණිස ඔබේ නිවසේ වසන වසවර්තීන් තිදෙනා මරහඬතලන විට හිස ආවරණය වන පරිදි ගැටගසා තබන්න." කියලා. ඇත්ත, මටත් හිතුණා ඒක ටිකක් දිග වැඩී කියලා. ඇරත් කවුද දන්නෙ ඒ ගෑනි අකුරු කියවන්න දන්නවද කියලා. ඒත් කොයි එකටත් හොඳ කියන්න තියෙන දේ කෙලින් ම කියන එකයි කියලා මම හිත හදාගත්තා. කොලේ තුනට නවලා පැත්තකින් සිදුරක් හැදුවා, ලියුම් කවරෙ පැත්තකිනුත් තව සිදුරක් හැදුවේ පාරෙ පැත්තක වැටිලා තිබුණු ඉඳිකට්ටකින්. ඇඳන් හිටිය ඇඳුමෙන් නූල් කෑල්ලක් කඩාගෙන ලියුම් කවරෙයි කොල කෑල්ලයි එකට ගැටගැහුවා.

අවසානයේ මම ලියුම් කවරේ තැපැල් පෙට්ටිය ඇතුළට දැම්මා. හෙට වෙනකොට හැමදේම විසඳෙයි කියන සතුටට මම මුළු දවසම ගත කළේ පුදුම උද්‍යෝගයකින්. ගෙදර යන ගමන් මම තද කහපාට කෝලිකුට්ටු ඇවරියක් සල්ලි වලට ගත්තා. මෙච්චර කල් තරහා වෙලා හිටපු පල්ලෙහා ගෙදර සෝමා නැන්දලාගෙ ගෙදරට අළුවා පාර්සලයක් හදාගෙන අර එනගමන් ගත්ත කෙහෙල් ඇවරියත් අරන් ගියා.

ගෙදර ඇවිත් මුලු මිදුල ම අතුගෑවා. අන්තර්ජාලයෙන් බලලා පොල්ගස් වලට නැඟලා පොල් සේරම කැඩුවා. රෑට කන්න පොල් සම්බෝල එක්ක කිරිබත් හැදුවා, වත්තෙ හිටිය නකුටු පූසෙක් අල්ලන් නෑව්වා.

එදා රෑ නින්දට ගියෙත් පුදුම සතුටකින්.

ඔව් ඔව් මේ කතාව කිවුවහම ඔය වගේ ප්‍රතිචාරයක් මං මුල ඉඳලම බලාපොරොත්තු වුණා. මීට කලින් මේ කතාව අහපු අයත් මගෙ දිහාව බැලුවෙ මන්ද බුද්ධිකයෙක් දිහා මිනිස්සු අනුකම්පාවෙන් බලනවා වගේ තමයි. මන්දබුද්ධිකයෙක් දිහා බලනකොට තියෙනවා වගේ සමච්චල් හිනාවකුත් ඒ උන්දලගේ කට කොන්වල ඇඳිලා තියෙනවත් මං හොඳාකර ව ම දැක්කා. ඇයි දෙයියනේ කාට ද සතුටු නැත්තෙ? අල්ලපු ගෙදර වසවර්ති මාර පුත්‍රයෝ තුන්දෙනෙක් හිටපු අසරණයෙක්ට ම මිසක් ඔහෙලට මේවා තේරෙන්නෙ නැහැ.

එදා රෑ මම ම්හ භයානක හීනයක් දැක්කා. පල්ලෙහා ගෙදර සෝමා ඇන්ටි කහ පිරුවටයක් වගේ තිබ්බ කෝලිකුට්ටු ඇවරිය මගේ ඉස්සරහපිට දි ම පොළවේ ගහලා චප්ප කරලා දැම්මා. ඒ ගහපු වේගෙට පොළව හෙල්ලිලා වත්තෙ පොල්ගස් වල ගෙඩි සේරම මගෙ ඔළුගෙඩියට කඩාවැටෙන්න ගත්තා. හතරවටෙන් කඩාහැලෙන පොල්ගෙඩි වරුසාව මැද්දෙන් දුවන් ආපු නකුටු පූසෙක් දත් විලිස්සන් මගේ පස්සෙන් බුරාගෙන පැන්නුවා. මම පන එපෝ කියලා දුවනකොට ඊයෙ රෑ කාපු පොල් සම්බලුයි කිරිබතුයි පෑගිලා ලෙස්සලා උඩින් විසිවෙලා ගිහින් තාප්පෙන් එහා අල්ලපු ගෙදරට වැටුණා. වසවර්තියො තුන්දෙනෙක් මාව වටකරන් මරහඬ දෙන්න ගත්තා.

ඔන්න එතකොට තමයි මම උඩ විසිවෙලා ඇහැරුණේ. බය වෙච්චි පාරට මම දොර ඇරන් ගිහින් තැඹිලි ගෙඩියක් කපන් බීගෙන බීගෙන ගියා. ඊටපස්සෙ ඇවිත් වෙලාව බලනකොට හරියට ම ලියුම්කාරයා එන වෙලාව. මම පුටුවක් තියලා තාප්පෙ උඩින් අල්ලපු ගෙදරට එබුණා.

දැන් මට පේනවා ලියුම්කාරයා කන්ද උඩින් විසිල් එකක් ගහගෙන හැටට හැටේ පිඹගෙන එනවා. ඒ එන වේගෙට ඒ මනුස්සයගෙ කොන්ඩෙ තිබ්බ කෙස් ගස් දහය හුළඟේ දස අත පියාඹනවා. ඔන්න එකපාරට ම පාරෙ තිබ්බ ගැට්ටකට උඩින් රෝදෙ ගිහින් බයිසිකලේ අහසින් ඇවිත් අල්ලපු ගෙදර ඉස්සරහින් වැටිලා "කරාස්!" ගාලා බ්‍රේක් එකක් ගැහුවා.

වසවර්තීන්ගෙ අම්මා ලියුම අතට ගත්තෙ දත් එකසිය දෙකක් තිබ්බත් එක දත ගානෙ වෙන වෙනම පේන විදියට හිනාවෙවි යි. ලියුම්කාරයා කටේ තිබ්බ එකම දත විලිස්සලා ආපස්සට හිනා වුණා. "ට්‍රිං ට්‍රිං!" ගාලා බැල් එක ගහලා උන්දැ ආයෙමත් අධිවේගයෙන් බයිසිකලය ධාවනය කරගෙන පාර දිගේ නොපෙනී ගියා.

අම්මන්ඩි ලියුමට ඈඳලා තිබ්බ කොල කෑල්ල කියවන අතරේ දත් එකසිය දෙක දත් දෙක දක්වා නොපෙනී යන හැටිත්, ඊලඟට කට කජු ලෙල්ලක් වගේ අනිත් පැත්ත ගැහෙන හැටිත් මම බලාගෙන හිටියා. ඩෙන්න ඩෙනා නැටුමක් නටාගෙන ම ලියුම් කවරේ කෑලි කෑලි වලට ඉරලා ඇතුලේ තිබ්බ සිලි සිලි මලු තුන එළියට අරගත්ත උන්දාගෙ කටින් "මේක එවපු එකාට. . . !" කියලා පටන් අරන් කුණුහරුප වැස්සක් ඇදහැලෙන්න ගත්තා. ගනන් හදල බලනකොට රුපියල් විසිපහකට වඩා වටිනා සිලි සිලි මලු තුන බිම වැටිලා උන්දැගේ පයට පෑගිලා යන හැටි මං දැක්කා.

බැරිම තැන මම කෑගැහුවා.
"ඕන එකක් කරන්න මගෙ සිලි සිලි මලු තුන බේරලා!"

අම්මන්ඩි බලපු බැලිල්ලට නැඟලා හිටිය පුටුව පෙරලිලා මම බිම ඇදගෙන වැටුණා. ඒ එක්කම වගේ වසවර්තියො තුන්දෙනා සුපුරුදු විදියට ම මොරදෙන්න ගත්තා. මම එතැනම බිම දිගාවෙලා ඒ සද්දෙට මගේ කන අගුළු වැටිලා යන හැටි බලාගෙන හිටියා.