Saturday, February 6, 2016

ස්කූල් බස් නොහොත් ජරමර


සාකියා මුලදි ඉස්කෝලෙ ගියේ වෑන් එහෙක.
සාකියාගෙ වෙලාවට වැඩ කරන පුරුද්ද නිසා වෑන් මාමාගෙන් ලැබෙන ප්‍රශංසාවන්ගේ උච්චතම අවස්ථාවට ලඟා වුණු දවසෙ සාකියා එඩිතර තීරණයක් ගත්තා.

"හෙට ඉඳලා මම වෑන් එකේ යන්නෙ නැහැ. ස්කූල් බස් එකේ!"

ඉතින් ඔහොම ආරම්භ වුණු බස් ගමනේ සිදුවුණු රසබර සිදූවීම් ටිකක් තමයි කියන්න යන්නෙ.

ඒ ලෙවල් ආරම්භ වුණු කාලෙදි එක කාලයක් ආවා වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම බස් එකේ ඇඟිල්ලක් ගහන්න බෑ සෙනඟ.
සාකියා බැල් එක ගහපු ගමන් ඊතලේ වගේ ඇවිත් සීට් එකක් අල්ලන්න ආවත් කොහ්හෙද්ද?
සීට් සේරම බුක් කොරලා. ලේබල් අලවලා නැති ටික විතරයි.

ඉතින් හිත යටින් බැන බැන හිටන් ඉන්නවා. විනාඩි පහක් යන්න ඉස්සෙල්ලා බස් එකේ සෙනඟ පැටවෙනවා. ඊටපස්සෙ සැමන් පැක් කරලා වගේ. මගේ අත තියෙන්නෙ කොහෙද, කකුල කොහෙද, බෙල්ල කොහෙද කියලා මමවත් දන්නෙ නැහැ.
ඒ අතරෙ කොට්ටාව බස් එක භාරව හිටපු තලත්තෑනි මිස්ගේ වැඩේ ඇඟිල්ලක් දික්කරල ලඟම ඉන්න ලමයගෙ බඩට ඇනලා පිටිපස්සට තල්ලු කොරලා දානවා. ඔහොම වෙලාවට මාරම කේන්තී. අනේ සමහරවෙලාවට දන්නෙම නැතුව වැලමිට ගිහිල්ලා වාඩිවෙලා ඉන්න අසරණ මිස් කෙනෙකුගෙ ඔළුවෙ ඩෝං ගාලා වැදෙනවා. ඊට පස්සෙ ලඟම ඉන්න එකාට වහංගු වෙලා ඇහෙන නෑහෙන ගානට සොරි කියනවා.

ඔන්න ඔහොම ටිකින් ටික දෙපැත්තෙන්ම තැලෙන්න ගන්නවා. බූවල්ලන්ට ඕනෙම පොඩි ඉඩකින් රිංගන්න පුළුවන් වගේ තමයි, අපිට ඕනෙම පොඩි ඉඩක වුණත් පැයක් හමාරක් එක විදියකට ගමන් කරන්න පුළුවන්. ඉතින් සාකියා ඉඩ අඩුවේගෙන අඩුවේගෙන යනකොට කකුල් දෙක ටික ටික ලංකරගන්නවා. තවත් ටික වෙලාවකට පස්සෙ ඉන්නෙ තනි කකුලෙන්! මේ ඇත්තමයි!

එහෙම දවසට කොන්දොස්තර බාප්පාට වෙන්නෙත් ඔය වගේම සිද්ධියක්.
මිනිහ ටික ටික ඉස්සරහට තල්ලු වෙලා යනවා. මුලින්ම ෆුට් බෝර්ඩ් එකේ උඩම අඩියෙ, ඊලඟට දෙවෙනි අඩියේ, ඊලඟට තුන්වෙනි අඩියේ. ඊට ටික වෙලාවකට පස්සෙ ට්‍රැෆික් එකේ බස් එක හෙමීට ඇදෙද්දි මිනිහා පේමන්ට් එක දිගේ දුවගෙන එනවා.

දවසක් සාකියගේ යාලුවෙක් ආච්චිලගෙ ගෙදර යන්ඩෙයි කියලා මුල්ම වතාවට ස්කූල් බස් එකේ යන්න ආවා. මෙයාට පුදුම සතුටක් තිබ්බෙ පළවෙනි දවසෙ ස්කූල් බස් එකේ යාම පිළිබඳව, මුල් ම දොළදුක වගේ.
වෙලාවට සාකියට සීට් එකක් ලැබුණා. මිනිහට දෙන්න හැදුවම එපාමය කිවුවා. හිටගෙනම යන්නයි ආසාව තිබ්බෙ.
ටික ටික සෙනඟ පිරෙන්න ගත්තා. බස් එක ඉස්සරහට යන්ට පටන්ගත්තා. ගමනෙ මැද හරියක් යනකොට මගෙ කෝටුකිතයි යලුවා බොහොම අමාරුවෙන් එක අන්ඩකින් සීට් ඇන්ද අල්ලන් යනවා මම දැක්කා. ගමනෙ මැද හරියෙදි බස් එක ගියේ නයා වගේ, පවනට බඳු වේගයෙන්. ඔහොම ගිහින් ගිහින් එකපාරටම බ්‍රේක් එකක් ගැහැවුවා.
වාඩිවෙලා හිටපු සාකියා මුලින්ම බැලුවේ යාලුවා ඉන්න දිහාව. මිනිහා කොහේද නෑ. අන්තරස්දාන්.
සාකියගෙ හිත වෙඬරු පිඩ වගේ උණු වුණා. දර කෝට්ට වගේ ඉන්න එකා ජනේලෙකින්වත් එළියට වීසි වුණාද?
ටිකක් විපරම් කරළා බලනකොට මෙන්න සීට් ඇන්ද ගාවින් අතක් පේනවා. අතේ අයිතිකාරයා මතුවෙන්නෙ ඊටත් විනාඩි පහකට පස්සෙ එතන ඉඳන් මීටර් සීයක් විතර ඈතක ඉඳන්.
ඊටපස්සෙ කවමදාකවත් ඒ යාලු මිත්තරය බස් එකේ නම් ආවේ නැහැ.

අන්න ඒ වගේ දුෂ්කර ජීවිතයක් අපි ගත කොළේ.

තවත් දවසක සාකියට අහම්බෙන් වගේ සීට් එකක් හම්බුණා. ඊට විනාඩි පහකට පස්සෙ එතනට සාකියට වඩා අවුරුද්දකින් බාල නංගිසන් කෙනෙක් ආවා. කෙල්ල මාර අණ්ඩපාලයි. සාකියට පෙන්නන්න බෑ.

"මට ඔතන අයින දෙනව ද?" ඇහැව්වා.

බැහැයි කියන්න බැරි කමට සාකියා මෙහාට වෙලා ඉඩ දුන්නා.
ඊළඟට එනවා පුංචි සිඟිති නංගියෙක්. බැලින්නම් මේක එයාට බුක් කරපු සීට් එකලු, පොඩි එකා නිසා එතනම ඉන්න කියලා එයාට අණ ලැබිලා තියෙන්නෙ.
දැන් වැඩේ කියන්නෙ සාධාරණව බැලුවොතින් මෙතනට මුලින්ම ආපු සාකියා නෙවෙයි අනිත් එක්කෙනායි සීට් එක දෙන්ඩ ඕනේ. ඒත් වැඩේ කියන්නෙ ඒ කෙල්ල සීට් එකේ මුල්ල ඉල්ලාගෙන මේ වෙලේ බීරෙක් වගේ චූන් එකේ ජනේලෙන් එළිය බලාගෙන ඉන්නවා.
සාකියාට තරහේ බෑ. තට්ටු කොළා. "මොකද කොරන්නෙ?" ඇහුවා.
"ඇයි?" ඇහුවා.
පොඩි යුද්දයක් ප්‍රකාශ කළා.
අණ්ඩපාලිට තේරුණා හැමදාම දාන නූල් සුඑත්තරේ වැරදෙන බව.
කතා කළා සිඟිති නංගියාට. සීට් එක මැද්දෑවෙන් තියාගත්තා.
දැන් සීට් එකේ තුන් දෙනයි. සාකියා හිටියෙ සීට් එකෙ අටෙන් පංගුවක, ඒත් බොහොම ආඩම්බරයෙන්.
කරන්ට දෙයක් නැති තැන කකුල් දෙක දැම්ම බස් එක මැද්දට. දාලා සීට් එකේ හරහට වාඩි වුණා. මුළු ගමනම ගියේ එහෙමයි.

තවත් ඔහොම්මම සීට් එකක් ලැබිච්ච දවසක බස් එක පිටත් වෙන්නකොටම කවුරුහරි සාකියගේ කොණ්ඩ කරලක එල්ලුනා. බැලින්නං එතන හිටිය සිඟිති නංගියෙක් සාකියගෙ කොණ්ඩ කරල බස් එකේ සීට් ඇන්ද කියලා වැරදිලා කලබලේට ඒකෙ එල්ලිලා!

සාකියා අනපේක්ෂිත අන්දමින් ඕලෙවල් හොඳින් ගොඩදාගත්තු දවසෙ සතුට සමරන්න කියලා කළේ ගමනාන්තයට වෙනකම්ම බස් එකේ හිටගෙන ගියපු එකයි.

බස් එකේ යනකොට තිබ්බ ප්‍රියතම සින්දුව තමයි "කොටුව කොටුව කොටුව පිටෝටුව 138 මම හිටිය. . ."
ඕක කියනකොට අපේ කොන්දොස්තර මාමට මාරම හැපී.

බස් එක ඇතුලෙදි ඉස්සරහා ඉන්න කෙනෙකුට පිටිපස්සෙ ඉන්න එකෙකුට පණිවිඩයක් යවන්න ඕනි නම් කරන්නෙ පණිවිඩේ "පාස්" කරන් එකයි. ඒ කියන්නෙ එක එක්කෙනා අතේ පිටිපස්සට යනකං කටින් කටට පණිවිඩේ යවන එකට.
බස් එකේ ගිය අන්තිම දවස්වල, ඒ කියන්නෙ ඉස්කෝලේ ගිය අන්තිම දවස් කීපයේ එක දවසක් සාකියා බස් එකේ හිටගෙන යනකොට ඔන්න ඔය වගේ පණිවිඩයක් ආවා.

"බත් පාර්සලේ ඉස්සරහට එවන්න."
කියලා තමයි පණිවිඩේ කියැවුණේ.

විනාඩියකට පස්සෙ පිළිතුර පාස් වෙලා ආවා.
එහාපැත්තෙ හිටිය ළමයා සාකියට ඒක කිවුවේ, "බත් එක කෑව." කියලා. ඒ කියන්නෙ පණිවිඩේ දුන්නු ළමයා එක දැනටමත් අනුභව කර ඇති බැවින් කරදර නොවන්න වගේ තෙරුමක් ඒකෙ තිබ්බෙ.

සාකියට මේක හරි මදි. තප්පරයක් කල්පනා කොළා. ඊළඟට ඉන්න ළමයට තට්ටු කළා.

"ඒක කවුද කාලා."

 


Thursday, February 4, 2016

එක මවකගෙ දරු කැල බැවිනා



2016 ක් වූ පෙබරවාරි මස 4 වන දින,
සුවහසක් ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් වෙත ලියන වග නම්,

1948 පෙබරවාරි 4 වැනි දා අපි කවුරුත් දන්නා පරිදි පරදේසක්කාර සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් වසර 400කට වඩා කාලයක් හිංසා පීඩාවට පත් වුණු මේ රට දහසක් දෙනාගේ ලේ කඳුළු දහඩිය මැදින් අභිමානවත් ආකාරයෙන් නිදහස ලැබීය. එයින් තිස් වසරක් ඉක්ම යෑමට ප්‍රථම ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදී කල්ලියේ මූල බීජ මෙහි වැපිරෙන්නට පටන්ගත්තේය.

ඒ ඇයි ද කිවහොත් සුදු අධිරාජ්‍යවාදීන් විසින් යන්නට කලින් මතක ඇතුව අවුළුවා ගිය ජාතිවාදයේ කුඩා ගිනි පුපුර හෝස් ගා පත්තු වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

ඉස්සෙල්ලාම නොදන්නා අයගේ දැනගැනීම පිණිස ජාතිවාදය කියන්නේ මොකක්දැයි කෙටියෙන් හෝ කිව යුතුය.
ජාතිවාදය යනු තමුන් අයත් ජනවර්ගය අන් කිසිදු ජනවර්ගයකට වඩා උතුම් යැයි ද, පිරිසුදු යැයි ද, එබැවින් අන් සියල්ලෝ මෙයින් නැතිබංගස්තාන විය යුතු යැයිද හිතාගන්නා පටු එකෙත් පටුම පටු අමුතුම ආකල්පයක්ය. එහෙම හිතන උදවියගේ සිතුවිලි වලත් දෙවන ලෝක යුද්ධ කාලයේ යුදෙව්වන් සිය දහස් ගණනින් මැස්සන් මදුරුවන් මෙන් මරා දමන්නට යෙදුණු නාසිවාදියාගෙ සිතේ දළුලමින් පැවැති වෛරයේත් කිසිදු වෙනසක් අපට නම් නොපෙනේ.

1948 දී නිදහස ලබාගෙන අවුරුදු 68ක් ගත වූ පසුත් අපට රටක් වශයෙන් පොළොවෙ පය ගසා ස්වාධීනව නැගී සිටීමට නොහැකි වූ හේතුව ඔබ මඳක් හෝ සිතා බලා ඇත් ද?

ඒ අපිට ස්වභාවික සම්පත් වලින් ඇති අඩුවක්වත්, බුද්ධිමතුන්ගේ ඇති අඩුවක්වත් නොවේය.

ඒ ජාතිවාදීන්ට අනුව අපේ රට තුළ අරක්ගෙන සිටින සුළු ජාතීන් නම් යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩයින් නිසා ද නොවේය.

ඒ අපේ ඇති කුහක කම නිසාය.

ඒ අපි අතර ජාතිකත්වයක් නොමැති නිසාය.

දෙමළෙන් ජාතික ගීය ගයන විට ඇඟේ මාළු නටන්නේ වෙන කාගේවත් නොව ජාතිවාදීන්ගේය.
ඔබ දෙමළෙක් වූවානම් අද ඔබට කොහොම සිතේවි ද?
අපටත් මේ රටේ තැනක් ලැබුණා යැයි සිතේවි.


එදා වෛරයේ බීජයට අප දෙපිරිසම පොහොර ජලය එක් නොකරන්නට අද ප්‍රභාකරන් යනු රජයේ සේවකයෙක් වන්නට ඉඩ තිබුණි.
අද අප කළ යුත්තේ තවත් පිරිබාහරන් කෙනෙක් නොඉපදෙන්නට ඒ වෛරයේ විස බිඳුවෙන් බිඳ හෝ හැකි අයුරින් අප අතරින් තුරන් කිරීමය.
1948 නිදහස් සටනේ ඩී. ඇස්. සේනානායකලා මෙන්ම පොන්නම්බලම් රාමනාදන්ලා ද සිටි බව අප සිහියට නඟා ගත යුතුය.

හිට්ලර්ගේ නාසිවාදය මෙන්ම ජාතිවාදය යන්න අරුත්සුන් මිත්‍යාවක් බව අප වටහා ගත යුතුය. කිමද අප කිසිවෙකු පිරිසුදු සිංහලයෙකු යැයි ඔප්පු කිරීමට කිසිදු සාධකයක් නොමැති බැවිනි.
වරක් බුදුරජාණන් වහන්සේ කුල භේදයේ ඇති නිස්සාරත්වය පිළිබඳ එක් බමුණෙකු හට වටහා දීමට පැනයක් විමසූහ.

"අස්සලායන, ඔබගෙ මව බ්‍රාහ්මණයන් සමඟ පමණක් ලිංගික හැසිරීම් වල යෙදුනු බව ඔබ නිසැකවම දනිත් ද?"
එවිට නැත යැයි පිළිතුරු දුන් අස්සලායන බමුණාට බුදුරඳුන් විසින් පෙන්වා දෙන ලද්දේ තමා ඉතා පිරිසිදුව එක් කුලයකටම අයත් යැයි කිසිවෙකුට පැවසිය නොහැකි බවය.

මෙය අපට අදාළ කර බැලුවහොත් අස්සලායනට තිබූ තරම්වත් සාක්ෂි අපට නොමැති බව ඔබට වැටහෙණු ඇත. අප පරම්පරානුගතව ජාතීන් කෙතරම් ප්‍රමාණයක් සමඟ මිශ්‍ර ව ඇත්දැයි අපවත් නොදනිමු.

ඇත්ත වශයෙන්ම බැලුවහොත් මේ රටේ නියම අයිතිකරුවන් වන්නේ මහියංගනයේ සිටින වැද්දන් වේ. වැරදිලාවත් ඔවුන් විත් "මේ රට අපේ! උඹලට ඕනෑ දිහාකට තොලොංචි වෙලා මංගච්චං පලයන්!" යැයි කිවහොත් අපි යන්නේ කොහිට ද? ඉන්දියාවට ද? යුරෝපයට ද? එසේත් නැත්නම් අරාබියට ද?

පණ්ඩුකාභය රජතුමා ඉන්දියානු සම්භවයක් ඇති මවකට හා පියෙකුට දාව උපන්නෙක් බව බොහෝ දෙනෙකුට අමතකව ඇති සත්‍යයකි. එසේ නම් මෙහි සිටින දෙමල සහෝදරයින් මොන ක්‍රමේකට හෝ අපේ නෑයින් වෙන්නට පුළුවන් බව ඔබට නිකමට හෝ නොසිතුනා වන්නට නුපුළුවන.

"ජනවර්ග විශාල සංඛ්‍යාවක් ජීවත් වන ඉන්දියාවේ ජාතික ගීය ලියැවී ඇත්තේ බෙංගාල බසිනි!" අද බුකි වීරයින් බොහෝමයකගේ දිව අග රැඳුණු වැකිය ඕක ය. ඔය කියනා එව්වන්ට අමතක ව ගොස් ඇති ලොකුම කරුණ නම් ඉන්දියාවේ තිස් වසරක කුරිරු යුද්ධයක් නොපැවැති බවත්, ඉන්දියාව යනු මහා විශාල රජ්‍යයක් මිස සියල්ලන් එක ගොඩේ වැටී සිටින කුඩා දූවක් නොවන බවත්, බෙංගාලි යනු සුළු ජාතීන්ගේ භාෂාවක් බවත්, කාලෙකට ඉස්සර ඉන්දියාවේ කෑල්ලක් "පාකිස්ථානය" කියන නමින් මුස්ලිම් මිනිසුන්ට ලියාදුන් බවත් ය.

අපි සිටින්නේ මහා සාගරයකින් වටවෙච්චි අබ ඇටයක් තරම් වූ පුංචි දූපතක බවද ඔබට අමතක වී ඇත. තමුන් සිංහලද, දම්ළද, මුස්ලිම්ද කුමක්ද යන්න වලංගු වන්නේ මේ දූව තුළ පමණය. ලෝකයාට ඔබව පෙනෙන්නේ ඔය කවරෙකු හැටියටවත් නොව "ලාංකිකයින්" හැටියටය. ඒ නිසා ලංකාව ඇත්තේ කාණු පල්ලේ නම් ඔබේ ඒ ආඩම්බරකාර ශ්‍රී ලාංකිකත්වයෙන් උන්ට ඇති වැඩක් නැත.

අපිට "ශ්‍රී ලංකා මාතා" තරමටම අපේ සහෝදරයනට "ශ්‍රී ලංකා තායේ" වටිනවාය. උන් දෙමළ ජනවාර්ගිකයින් වුවද ශ්‍රී ලාංකික යැයි හැඟීම උන්ටද තිබෙනවා ය.

ජාතිවාදය යනු දෙශපාලකයින් විසින් තමන්ගේ වුවමනා එපාකම් අනුව මිනිසුන් කුලප්පු කිරීමට යොදාගන්නා උගුලක් බව ඔබලාට නොවැටහෙන්නේ මන්දැයි මට නම් නොතේරේ.
ඔබලා අතරට ගිනි පුපුරු දෙක තුනක් විසිකොට හුළං පිඹීමෙන් ඔවුන්ට සුරුට්ටු පත්තු කරගන්නට හැකිය.

පළමුවෙන්ම කළ යුත්තේ ඔය ගැතිභාවයෙන් මිදීමය. අපි කිසිම රජෙකුට කොන්ද නවන්නට වුවමනා නැත. අප දණ නමන්නට ඕනෑ රට වෙනුවෙන් මිස නායකයෙකු වෙනුවෙන් නොවේ. එක් රජෙක් රාජ්‍යත්වයෙන් පහ වී තවත් රජෙකු පත්වීම අද ඊයේ සිදු වූවක් නොවේ. අපි වෙනසට මුහුණ දිය යුතුය. වෙනසේ වැරදි සොයනවා වෙනුවට වෙනසේ හරි පැත්ත වැඩි කරගැනීමට දායකත්ව්ය දීම පුරවැසියන් වශයෙන් රටට ඉටු කළ යුතු වැදගත්ම යුතුකමයි.

අපි සියලු දෙනාම ශ්‍රී ලාංකික නම් එක ජාතියකට අයත් යැයි සිතා තම තමන්ගේ පටු අරමුණු සාක්ෂාත් කරගන්නවා වෙනුවට රට වෙනුවෙන් කැපවීම කෙරුවා නම් අර තරම් දරුණු සුනාමියට මුහුණ දී මාස කීපයක් ඇතුලත නැගීසිටි අපට යුද්ධය අවසන වසර 8ක් ගෙවුණු තැන කොයි නම් තැනක සිටින්නට හැකියාව් තිබුණාදැයි ඔය කොළ කන්නාඩිය ගලවා දමා සිතුවහොත් දැනගන්නට හැකිවේයැයි සිතමි.

අද රූපවාහිනියේ දමිළ බසින් ජාතික ගීය ගායනා වන විට ගෙවල් වල සිටි දෙමළ සහෝදර සහෝදරියන්, අම්මලා තාත්තලාට එය සිංහලයෙන් ගායනා කරන විට අපිට දැනුණු ආඩම්බරයම දැනුණ බවට කිසිදු සැකයක් නැත. උතුරුකරයේ සිංහල වචනයක් කතා කරගන්නට නොදන්නා දමිළ සහෝදරයින්ට අද මාතෘභූමිය පිළිබඳ යම් හැඟීමක් ඇතිවූවාට නිසැකය.

එදා කියූ ඊලාම් ගීතය වෙනුවට ඔවුන් අද අප හා එක් ව ශ්‍රී ලංකා ගීය ගයන්නට ඇති එකම යහපත් බලාපොරොත්තු ඇති නොකරන්නේදැයි ඇසිය යුතුය.

අවසානයට කියන්නට ඇත්තේ මෙය හොඳ පියවරක් බවත්, ජාතික ගීය භාෂා දෙකකින්ම ගායනා කිරීමෙන් පමණක් අපි දෙගොල්ලන්ගෙන්ම වෙච්චි වැරදි හදාගන්නට බැරි බව්ත්, අපි එක එක්කෙනා තම තමන් උස් හෝ පහත් යැයි නොසිතා සියලු දෙනා එකම මවකගේ දරු කැලක් යැයි සිතා වැඩකළහොත් පමණක් ජාතියක් වශයෙන් අපට ලෝකයේ පිළිගත් තැනක් ලැබෙන බවට නිසැක බවත් ය.

තරහ ගන්නේ නැතිව ඉවර වෙනකම් කියෙව්වාට ද, ඔබගේ වටිනා කාලයෙන් බිඳක් මෙය කියවීමට වැය කලාට ද පිං ය.

සමහරවිට ඔබට මට පළු යන්න බනින්නට පුළුවන. ඒත් මේ මගේ සත්‍යම අදහස පමණි.

එමෙන්ම මෙය අදහසක් පමණි.

ඔබේ අදහස ද මට ඉතා වටියි.

මීට සාකියා.