Friday, December 25, 2015

පැන්සල් හිඟාකෑම

සමහරවෙලාවලට සාකියාගෙ සිහිබුද්ධියත් එච්චර හොඳ මදි. ඒ වගේ වෙලාවට මේ දැන් හිතපු දේ දැන් අමතක වෙනවා. කරන්න ගිය වැඩේ අමතක වෙලා, ආයෙ පස්සෙන් පස්සට ආපු ගමන්මඟේ ම ගියාම අමතක වුණු දේ නැවත මතක් වෙන අමුතු ලෙඩකුත් තියෙනවා.

ඒවැයින් වැඩක් නෑ. මේ කතන්දරේ පැන්සලක් සම්බන්ධ සිදුවීමක් ගැන.

තුන වසරෙදි අපිව සලකන්නෙ ළදරුවන් හැටියට. ඒකනෙ යසට පෑනෙන් ලියන්න පුළුවන්කම තියෙද්දී පැන්සලෙන් ලියන්න බල කරන්නෙ.

සාකියා බොහොම කැමතියි ලිය ලියා ඉන්න ගමන් පැන්සල් කොටෙන් හීනියට ඔළුව කහගන්න. ඇයි? පිට කහගන්නත් පැන්සල් නම් ජාති!

හදිසියෙ ඔළුව බූගාන්න සිද්ධ වුණා නං නිධන් සිතියමක වගේ කඩඉරි, කතිර පාරවල් හොයාගන්නත් ඉඩ තිබුණා.

තුන වසර තමයි සාකියාගෙ ජීවිතේ අඬු කැඩෙන, කාඩ් කුඩු වෙලා, කුඩුත් හොයාගන්න බැරි තරමට විසිරිලා ගිය වසර. මේ වසරේ සාකියට කරන්න තිබුණු අමාරුම වැඩේ තමයි තුන්වරක් සහ හතරවරක් පාඩම් කිරීම.

මොකක්? නෑ නෑ නෑ!!!! තුන් හතර පාරක් පාඩම් කරන්න තරම් යහපත්, ඉගෙනීමට කැපවුණු ළමයෙක් නම් නෙවෙයි මේ සාකියා ඒ කාලේ.
මං මේ කිවුවෙ චක්කරේ ගැන.

තුන්වරක් සහ හතරවරක් තමයි අමාරු ම. ටීචර්ගෙ පස්සෙන් පැන්නිල්ල ඉවසගන්නම බැරිවුණ දවසක ඕක බොහොම අමාරුවෙන් රෑ පාඩම් කරගෙන ගිහින් ඊලඟ දවසෙ පාඩම් දීලා බේරුණා. කරුමෙට එදා මට බොහොම බරපතල විදිහට හෙම්බා උත්සන්න වෙලා තිබුණේ. ටීචර් කතාකරනකොට හචිස් එහෙකුත් ගිහින් දහජරා හොටුවලින් මූණ කවර් වෙලා තිබුණේ.
ගුරු ගෞරවේ වැඩිකමට සාකියා ලේන්සුවෙන් එහෙම්මම නහය කට වහගෙන ගිහින්, ලේන්සුවෙන් කට වහගෙනම චක්කරේ පාඩම් දීලා ආවා.

අයියයියෝ!

මොනවද මං මෙච්චර වෙලා දොඩවලා තියෙන්නෙ?
පැන්සල් කොටයක් ගැන කතාවක් අහන්න ආපු උදවිය දැන් ඔල්මොරොන්දන් වෙලා ඇති.

හරි ඉතින් චක්කරේ පාඩම් කොළා. ඊළඟට පැමිණියේ දෙවන වාර විභාගය. ඒ දවස් වල ඉතින් ඔය විභාග චුවින්ගම් වගේ දිගට දිගට සතියක් හමාරක් ඇදිලා යනවනෙ.

ඉතින් ඔය විභාග සතිය මැද එක්තරා අන්ධකාර දවසක සාකියා බොහොම උනන්දුවෙන් විභාගය ලියමින් සිටියා.
උනන්දුව වැඩිකමට පැන්සල් කොටෙන් ඔළුවත් කැහුවේ මොලේ ඇතුලෙ හිරවෙලා තියෙන ඒවා නහයින් කටින්වත් ඇවිත් මේ හොල්මන් ප්‍රස්න වලට උත්තර සපයන්න උදවුවක් වෙයි කියලා හිතාගනයි.

ඉතින් ප්‍රස්න පත්තරේ දිගෑරගෙන සාකියා උත්තර ලිවුවා.
ටික වෙලාවක් ගතවුණා.

ඔන්න දෙයියනේ මේ දැන් අගේට ලිය ලියා හිටිය පැන්සල් කොටේ අන්තරස්දාන් වෙලා!

දැන් කොහොමෙයි උත්තර ලියන්නෙ? තිබ්බෙත් ඒ පැන්සල් බට්ටා විතරමනෙ.

තමුන් වාඩිවෙලා ඉන්න මේසෙ වටේට ඉන්වෙස්ටිගේසොං එක අසාර්ථකව අහවර වුණායින් පස්සෙ සාකියා තීරණය කළා මේක හරියන්නෙ නැති බව

නැගිට්ටා පුටුවෙන් විභාගෙ මැද්දෙම.
එකින් එක මේසෙට ගිහින් පැන්සලක් හිඟාකමින් පන්තිය වටේටම ඇවිද්දා, විභාගෙ මැද්දෙම.

එකෙක්වත් මට පැනසලක් දන් දෙන්න කැමති වුණේ නැහැ. ඔහොම ගිහින් ගිහින් එක ළමයෙක් ගාවට ආවා.
බොහොම අසරණ ව බලලා "මගෙ පැන්සල නැතිවුණා, ඔයා ගාව වැඩිපුර පැන්සලක් තියෙනවද?" ඇහුවා.

ළමයා ටිකක් වෙලා මගෙ මූණ දිහා බලන් හිටියා.

"ඔය ඔයාගෙ ඔළුවෙ තියෙන්නෙ."

මොකක්!!!
සාකියා වහාම අත්දෙකෙන්ම ඔළුව අල්ලාගත්තා.

ඇත්ත නේන්නම්! මේ තියෙන්නෙ පැන්සල ඔලුවෙ.

සාකියා අතේ තිබ්බ පැන්සලෙන් ඔළුව කහ කහ ඉඳලා අර ලී වඩුවෙක් වගේ ඒක එහෙම්ම ම කන පිටිපස්සෙ ගහගෙන, පැන්සල නැහැයි කියමින් පන්තිය වටේට ගිහින් තියෙන්නෙ.


ආ! අමතක වුණා නෙ.

දෙපන්හිඳ කියවන හැමෝටම සුබ නත්තලක් වේවා!


Friday, December 4, 2015

පිටගම්

නිල ඇඳුමේ ඝනකම කොලර් එක අතරින් වාෂ්ප පිටවෙන තරම් ගිනි රස්නයක් දැනුණත්
මං හැන්දෑවෙ වැඩ මුරේට පය ඉක්මන් කළා. ලා අලු පාට තිත් වැටිච්ච දුඹුරු පාට
පඩි පෙළේ උඩට පහළට,දෙපැත්තෙ ම නොයෙක් පාට මල් වවපු ප‍ටු කොරිඩෝ පහු කරගෙන
මම ඇවිදගෙන ගියේ පොළොව පිරිසුදු කරන්න ඕනැ කළමනා ටිකත් ඇදගෙනයි. හැඩයක්
නැති තද නිල් පාට සායෙ ‍රැළි අතරින් එළියට පනින මගේ කකුල්වල නියපොතු
ඔක්කෝ ම කළු ගැහිලා කුණු පාටට ඇඹරිලා තිබුණෙ කලින් කරපු එළවළු කො‍ටු
රස්සාවට මඩ පිරිච්ච වෙල්වල බැහැලා උදේ හවා වැඩ කරපු හින්දා. මෙහේ ඉන්න
ලස්සන තරුණ නෝනලාගෙන් නම් නියපොතු පාට නොකරපු කෙනෙක් දකින්නේ කලාතුරකින්
එහෙමත් දවසක. ලස්සන තද රතු පාට,රෝස පාට,සමහරු තද කළු පාටත් ගානවා.

වංගු වංගු හැරිලා අන්තිමේ මං තරමක් ලොකු කන්තෝරු කාමරේට ආවා. අද දවසෙ
අන්තිම වැඩ මුරේ. කුණු පාට වෙච්ච වතුර එක්ක සබන් පෙණ පිරුණ බාස්කට් එකට
ඝනකම නූල් කැරලිවලින් හදපු කොස්ස ඔබලා මම පිඟන් ගඩොල් පොළොව ඔප දමන්න
පටන් ගත්තා. පොළොවට අලුතෙන් ටයිල් අල්ලල හැඩ කළාට කන්තෝරුවෙ පරණ බිත්ති
සායම් දිය වෙළා පුස් බැඳිලයි තිබුණේ. වැහි කෝඩෙට ඔරොත්තු නොදෙන කාසෙ
හැදුණු මිනිහෙක් කහින්න වාගෙ මහ බිත්ති හැම තිස්සෙම තෙතබත් වෙලා පුස්
බැඳිච්ච තීන්ත පොතු ගැලවි ගැලවි වැටිලා බිම හැඩි කළා. හරියට තමන්ට ලම්බක ව
පහළින් වැතිරිලා ඉන්න දිස්න දෙන අමුත්තගෙ ලස්සනට ඉරිසියාවෙන් වගේ.

ශාලාවෙන් බාගයක් පිහදාගෙන යද්දියි පොත්පත් කීපෙකින් බරවෙච්ච බෑග් එකක්
උරේ එල්ලගෙන ආපු යෝගනාදන් මහත්තයා අපිළිවෙළ පු‍ටු මේස පේළි අතරින් ගිහින්
කන්තෝරු කාමරේ බිත්තිය අයිනෙ මේසෙකට වාඩි වුණේ.

"ආ සිරියා අතුගානව නේද?
මං එලියට යන්නම්"

ඒ මහත්තය නුහුරට වගේ සිංහල කතා කළේ. මට මුල් කාලෙ අහගෙන ඉන්නකොට හිනහ යන්නත් ආවා.
"නෑ මහත්තය යන්න ඕන නෑ..." මං කියද්දිත් යෝගනාදන් මහත්තයා එලියට ගිහින් ඉවරයි.
මට මතක් උනේ උදේ කැන්ටිමේ තේ බිබී ඉඳපු මිස්ලා සර්ලා කියපු දේවල්.

"රෝ එකේ ද දන්නෑ ඔහොම හිටියට,කවුද දන්නේ"

මහත මූණට නොගැළපෙන තරම් හීනි කණ්ණාඩි දෙකක් දාපු බඩ මහත පරාක්‍රම මහත්තයා කිව්වා.

"මොනව උනත් මිනිහ මඩකලපුවට ම ට්‍රාන්සර් වෙන එක හොඳයි. අපිත් උදේ බස් එකට ට්‍රේන් එකට නැග්ග ම හිතේ ගින්දරෙන් නෙ එන්නේ..."

එහෙම කිව්වේ  ඉස්සර අපේ ගමේ හැම ගෙදර ම වගේ ගෑනු කට්ටිය තර‍ඟෙට වවන්න
ගත්තු ඕකිඩ් මල්වල දම් පාටින් තොල් පාට කරගෙන එන කාන්ති මිස්.
මොනව උනත් ඒ ඒ අය උදවිය හිතන හැටි ගැන දොස් කියන්න බැරි බව මං දැනගෙන හිටියා.
මේ දවස්වල කොලඹ කන්තෝරු යන එක පවුලෙ මහත්තයයි නෝනයි යන්නෙ වෙන වෙනම
ලු. එක්කෙනෙක් බෝම්බෙකට අහු වෙලා මැරුණොත් දරුවො ගැන බලන්න අනිත් කෙනා
ඉතුරුවෙන හින්දා.

ඒ කතන්දර එහෙම වුණත් සිංහල අලුත් අවුරුද්දට කලින් අනිත් සර්ලා මිස්ලා එක්කෙනෙක්ගෙන් රුපියල් පන්සීය ගානෙ විතර වෙන්න එක්කාසු කරලා සුළු සේවක අපට
තෑග්ගක් අරන් දෙනකොට ඒකටත් සම්මාදම් වෙන අතරෙ ම රුපියල්  දාහෙ කොළ දෙකක්
තේ හදන කුසුමක්කගෙයි මගෙයි අතේ මිට මොලවපු යෝග මහත්තයා මිනී මරන්න ඔත්තු
දෙනව කියල හිතන්න පුලුවන් ද. 

මොනව වුණත් අනිත් මහත්තයල නෝනලත් ඒ ගණන වියදම් කරන්නෙත් අතේ තියෙන සල්ලි ටික කෑම බීම,ගෙවල් කුලී,දරුවන්ගෙ ටියුෂන් පන්ති ගාස්තු,ඇයි අනිත් ආත්මෙට ගෙනියන්න පින් රැස් වෙන ආගමේ දහමෙ වැඩ,මේ වගේ එකී නොකී දේවල් දාහකට වෙන් කරන ගමන් බවත් අපි දන්නවා.

ඒ වෙලාවෙ යෝග මහත්තයා කැන්ටිම එහා කෙළවරේ මේසෙකට වෙලා කහට තේකක් තොල ගගා
තනියමයි හිටියේ. කො‍ටුව කෝච්චි ස්ටේෂමේ බෝම්බ පිරිපෙන්න ගත්තයින් පස්සෙ
කවුරු කවුරුත් හෙමිහිට යෝග මහත්තයා මගාරින්න පටන් ගත්තා. ඒ හන්ද ම තමයි ඒ
මහත්තයා මඩකලපුවට මාරුවක් ගන්න එහෙට මෙහෙට දිව්වේ. කොහොමින්හරි මාරුව
හදාගත්ත බව මට ඇහුණේ හත‍රැස් මේසෙ දෙපැත්තෙ වාඩි වෙලා ඉඳපු ක්ලාක් මිස්ලා
ගෝනි රෙදිවල පාට පාට කැරළි නූල්වලින් මෝස්තර මහන වෙලාවක.

ඊළඟ බදාද දවල් වරුවෙ කෑම පැයේ ඉඳල හවස තේ වෙලාව වෙනකන් කන්තෝරු කාමරේ
පැත්තෙන් යෝගනාදන් මහත්තය එලියට යන වෙලාවට කසු කුසු සද්දෙන ඇහුණ වාද
විවාද,හිනා කතා කෙළවර වුණේ  බ්‍රහස්පතින්දා වෙද්දි ප්‍රෙශර් කුකර් එකක්,තව
උයන පිහන භාණ්ඩ කීපයක් එක්ක විදුලි ස්ත්‍රික්කයක් ඔප වැටුණ කඩදහිවල ඔතලා
පීත්ත පටියකින් සැරසුවට පස්සේ.

"කල් පවතින වටින දෙයක් වෙන්න ඕන;මඩකළපු ගෙනියන්න පුළුවන් දෙයක් වෙන්නත් ඕන."

මිස්ල සර්ලා හැමෝගෙ ම අදහස වුණේ ඒක.

"යෝගගෙ වයිෆ්ට බබා ලැබුණෙත් ලඟදි නේ.දරුවට උවමනා කරන දේවල් ටිකක් දෙමු ද?"

"දරුව බලන්න ගිය වෙලාවෙ තෑගි දුන්න නේ. දැන් එහෙ ගිහින් පදිංචි උනා ම
වුවමනා කරන කළමනා ටිකක් දුන්න නම් තමයි වටින්නෙ."

කාන්ති මිස්ගේ ඒ යෝජනාව වීරතුංග මහත්තයා පැත්තකට කළේ එහෙම කියලා.
සිකුරාද උදේ ආකාසෙන් ඇද හැළුණ පොද වැස්සත් හවස් වරුව වෙනකොට හෙමිහිට
තුරල් වුණේ උස් බිත්තිවලින් වටවෙච්ච පොඩි ඉඩ කොටසෙ තැවරුණ අඳුර මකාගෙන
සිරියාවන්ත රන්වන් කහ පාට එළියක් ඇඳගෙනයි.

වෙන්වෙලා යන කාර්යාල සගයා වෙනුවෙන් පොඩි සමුගැනීමේ සාදයක් දමන්න කවුරු
කවුරුත් ලෝබ නැතුව කීය කීය හරි දුන්නා.මමත් එදා දවසෙ වැඩ කන්දරාව
කඩිමුඩියේ ඉවර කරන්න ගත්තේ හවස තේ පාටියට එන්න කියලා කාන්ති මිස්ලා කතා
කරපු හින්දමයි. අනික ඉතින් හිත හොඳ මහත්තයෙක්,මනුස්සයෙක් ආයෙ කවද දකින්න
ලැබෙයි ද නොලැබෙයි ද කියලා හිතාගන්න බැරි දුරකට වෙන්වෙලා යන්න වෙලාව ඇවිත්
තිබුණා,හිතට කොච්චර සාංකාවක් දැනුනත්.

තේ පැන් සාදෙ අතරතුරේ හැමෝම යෝගනාදන් මහත්තයට සුබ පැතුවා,අනාගතේ සාර්ථක
වෙන්න කියල ප්‍රාර්ථනා කළා,අතට අත දුන්නා.

වැඩ ඇරෙන වෙලාව ළං වෙද්දි අත්බෑග් සූදානම් කරගන්න තමයි ගොඩක් අය  උනන්දු
උනේ. ඒ වෙලාවෙ තමයි මම පන් මල්ලත් අරගෙන යෝග මහත්තයා ගාවට ගියේ.
කඩදාසියක ඔතලා දාගත්තු පාටියෙන් ලැබුණ බටර් කේක් කෑල්ල පොඩි නොවෙන්න
සීරුවට මල්ල ඇතුළෙ තිබුණු පොඩි රවුම් හැඩේ පන්කොළ පෙට්ටිය එලියට අරගෙන මම
ටිකක් බලාගෙන හිටියා. තින්තෙ ඔබලා වියලපු පන්ගස්වලින් රටා හිටින්න පොඩි
පෙට්ටි,පැදුරු විතරක් නෙවෙයි දිග මාගල් වියන්නත් අපෙ අත්තා අපි පොඩි කාලෙ
ම  උගන්නල තිබුණා.

"මහත්තයට දෙන්ඩ කියල ගෙනාවෙ.බඩු මොනවහරි දාගන්න පුලුවන් නේ."

"ආහ්
සිරිය ද මේක හැදුවේ? හරි ලස්සනයි නේ"

ඇස් කණ්ණාඩි දෙක ගලවල අතට අරගෙන පන් පෙට්ටියෙ පියනත් ඇරල බලලයි යෝගනාදන්
මහත්තය එහෙම කිව්වේ.

"එහෙනම් යෝග,අපි යනව.තව පරක්කු උනොත් ට්‍රේන් එකත් මිස් වෙනව නේ."

එතකොට ම එතනට ආපු පරාක්‍රම  මහත්තය කිව්වා.

"හරි. තෑන්ක් යූ සෝ මච් පාටි එකට"

"අපිත් දැන් යන්නම් යෝගා. ගෙදර යන්න රෑ වෙයි."

කාන්ති මිසුත් අනිත් මිස්ලා සර්ලත් යන්න සූදානමින් කන්තෝරු කාමරෙන් එලියට බැස්සා.

"ආයෙ මේ පැත්තෙ ඇවිත් යන්නකො එහෙනම්,අපිව බලන්න"

"එනකොට තල් හකුරු ටිකක් එහෙම ගේන්න හොඳේ"

ඒ කිව්වෙ කවුද කියලා කටහඬින් හරියට අඳුර ගන්න බැරි තරම් එහාට මං ඇවිදගෙන
ගිහින් තිබුණ බව මම තේරුම් ගත්තෙ ඒ වෙලාවෙ.

ආයෙමත් ලා අළු පාටට තිත් වැ‍ටුණ  දුඹුරු පාට පඩිපෙළ දිගේ පහළට බැහැගෙන
මම ගේට්ටුව පැත්තට ඇවිදගෙන ගියා.
ඉර ගාලු කොටු පවුරට මුවා වෙන වේගෙට ම කොටුවෙන් එහා ගෙවල් දොරවල්වල වගේ ම වීදි ලාම්පුවලත් පහන් දැල්වෙන්න පටන් ගෙන තිබුණා. තමන්ට නින්දට යන්න වෙලාව ආපු බව දැනගත්තු ඩුබායි රෝස මල් පොකුරු,  දාස්පෙති මල් බැහැගෙන යන ඉරේ අන්තිම එළිය බින්දු කීපය එක්ක මුසු වෙච්ච කෘත්‍රිම විදුලි ආලෝකය මැද මලානික ව දිළිසුණේ හෙට උදෙන් ම ඇස්වල පිණි බින්දු කඳුලැලි පුරවගෙන ඇහැරෙන්න වෙන බව මතක තියාගෙනයි.
කාටවත් දල්වන්න අතපසු ලයිට් කණුවක පහළ විදුලි ස්විචය ඔබාගෙන ම මම වීදිය දිගේ ටවුම පැත්තට ගියා.
මටත් නොදැනෙන්න මගේ මූණ පුරාවට මඳ හිනාවක්
ඇඳිල තිබුණා.