Saturday, February 6, 2016

ස්කූල් බස් නොහොත් ජරමර


සාකියා මුලදි ඉස්කෝලෙ ගියේ වෑන් එහෙක.
සාකියාගෙ වෙලාවට වැඩ කරන පුරුද්ද නිසා වෑන් මාමාගෙන් ලැබෙන ප්‍රශංසාවන්ගේ උච්චතම අවස්ථාවට ලඟා වුණු දවසෙ සාකියා එඩිතර තීරණයක් ගත්තා.

"හෙට ඉඳලා මම වෑන් එකේ යන්නෙ නැහැ. ස්කූල් බස් එකේ!"

ඉතින් ඔහොම ආරම්භ වුණු බස් ගමනේ සිදුවුණු රසබර සිදූවීම් ටිකක් තමයි කියන්න යන්නෙ.

ඒ ලෙවල් ආරම්භ වුණු කාලෙදි එක කාලයක් ආවා වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම බස් එකේ ඇඟිල්ලක් ගහන්න බෑ සෙනඟ.
සාකියා බැල් එක ගහපු ගමන් ඊතලේ වගේ ඇවිත් සීට් එකක් අල්ලන්න ආවත් කොහ්හෙද්ද?
සීට් සේරම බුක් කොරලා. ලේබල් අලවලා නැති ටික විතරයි.

ඉතින් හිත යටින් බැන බැන හිටන් ඉන්නවා. විනාඩි පහක් යන්න ඉස්සෙල්ලා බස් එකේ සෙනඟ පැටවෙනවා. ඊටපස්සෙ සැමන් පැක් කරලා වගේ. මගේ අත තියෙන්නෙ කොහෙද, කකුල කොහෙද, බෙල්ල කොහෙද කියලා මමවත් දන්නෙ නැහැ.
ඒ අතරෙ කොට්ටාව බස් එක භාරව හිටපු තලත්තෑනි මිස්ගේ වැඩේ ඇඟිල්ලක් දික්කරල ලඟම ඉන්න ලමයගෙ බඩට ඇනලා පිටිපස්සට තල්ලු කොරලා දානවා. ඔහොම වෙලාවට මාරම කේන්තී. අනේ සමහරවෙලාවට දන්නෙම නැතුව වැලමිට ගිහිල්ලා වාඩිවෙලා ඉන්න අසරණ මිස් කෙනෙකුගෙ ඔළුවෙ ඩෝං ගාලා වැදෙනවා. ඊට පස්සෙ ලඟම ඉන්න එකාට වහංගු වෙලා ඇහෙන නෑහෙන ගානට සොරි කියනවා.

ඔන්න ඔහොම ටිකින් ටික දෙපැත්තෙන්ම තැලෙන්න ගන්නවා. බූවල්ලන්ට ඕනෙම පොඩි ඉඩකින් රිංගන්න පුළුවන් වගේ තමයි, අපිට ඕනෙම පොඩි ඉඩක වුණත් පැයක් හමාරක් එක විදියකට ගමන් කරන්න පුළුවන්. ඉතින් සාකියා ඉඩ අඩුවේගෙන අඩුවේගෙන යනකොට කකුල් දෙක ටික ටික ලංකරගන්නවා. තවත් ටික වෙලාවකට පස්සෙ ඉන්නෙ තනි කකුලෙන්! මේ ඇත්තමයි!

එහෙම දවසට කොන්දොස්තර බාප්පාට වෙන්නෙත් ඔය වගේම සිද්ධියක්.
මිනිහ ටික ටික ඉස්සරහට තල්ලු වෙලා යනවා. මුලින්ම ෆුට් බෝර්ඩ් එකේ උඩම අඩියෙ, ඊලඟට දෙවෙනි අඩියේ, ඊලඟට තුන්වෙනි අඩියේ. ඊට ටික වෙලාවකට පස්සෙ ට්‍රැෆික් එකේ බස් එක හෙමීට ඇදෙද්දි මිනිහා පේමන්ට් එක දිගේ දුවගෙන එනවා.

දවසක් සාකියගේ යාලුවෙක් ආච්චිලගෙ ගෙදර යන්ඩෙයි කියලා මුල්ම වතාවට ස්කූල් බස් එකේ යන්න ආවා. මෙයාට පුදුම සතුටක් තිබ්බෙ පළවෙනි දවසෙ ස්කූල් බස් එකේ යාම පිළිබඳව, මුල් ම දොළදුක වගේ.
වෙලාවට සාකියට සීට් එකක් ලැබුණා. මිනිහට දෙන්න හැදුවම එපාමය කිවුවා. හිටගෙනම යන්නයි ආසාව තිබ්බෙ.
ටික ටික සෙනඟ පිරෙන්න ගත්තා. බස් එක ඉස්සරහට යන්ට පටන්ගත්තා. ගමනෙ මැද හරියක් යනකොට මගෙ කෝටුකිතයි යලුවා බොහොම අමාරුවෙන් එක අන්ඩකින් සීට් ඇන්ද අල්ලන් යනවා මම දැක්කා. ගමනෙ මැද හරියෙදි බස් එක ගියේ නයා වගේ, පවනට බඳු වේගයෙන්. ඔහොම ගිහින් ගිහින් එකපාරටම බ්‍රේක් එකක් ගැහැවුවා.
වාඩිවෙලා හිටපු සාකියා මුලින්ම බැලුවේ යාලුවා ඉන්න දිහාව. මිනිහා කොහේද නෑ. අන්තරස්දාන්.
සාකියගෙ හිත වෙඬරු පිඩ වගේ උණු වුණා. දර කෝට්ට වගේ ඉන්න එකා ජනේලෙකින්වත් එළියට වීසි වුණාද?
ටිකක් විපරම් කරළා බලනකොට මෙන්න සීට් ඇන්ද ගාවින් අතක් පේනවා. අතේ අයිතිකාරයා මතුවෙන්නෙ ඊටත් විනාඩි පහකට පස්සෙ එතන ඉඳන් මීටර් සීයක් විතර ඈතක ඉඳන්.
ඊටපස්සෙ කවමදාකවත් ඒ යාලු මිත්තරය බස් එකේ නම් ආවේ නැහැ.

අන්න ඒ වගේ දුෂ්කර ජීවිතයක් අපි ගත කොළේ.

තවත් දවසක සාකියට අහම්බෙන් වගේ සීට් එකක් හම්බුණා. ඊට විනාඩි පහකට පස්සෙ එතනට සාකියට වඩා අවුරුද්දකින් බාල නංගිසන් කෙනෙක් ආවා. කෙල්ල මාර අණ්ඩපාලයි. සාකියට පෙන්නන්න බෑ.

"මට ඔතන අයින දෙනව ද?" ඇහැව්වා.

බැහැයි කියන්න බැරි කමට සාකියා මෙහාට වෙලා ඉඩ දුන්නා.
ඊළඟට එනවා පුංචි සිඟිති නංගියෙක්. බැලින්නම් මේක එයාට බුක් කරපු සීට් එකලු, පොඩි එකා නිසා එතනම ඉන්න කියලා එයාට අණ ලැබිලා තියෙන්නෙ.
දැන් වැඩේ කියන්නෙ සාධාරණව බැලුවොතින් මෙතනට මුලින්ම ආපු සාකියා නෙවෙයි අනිත් එක්කෙනායි සීට් එක දෙන්ඩ ඕනේ. ඒත් වැඩේ කියන්නෙ ඒ කෙල්ල සීට් එකේ මුල්ල ඉල්ලාගෙන මේ වෙලේ බීරෙක් වගේ චූන් එකේ ජනේලෙන් එළිය බලාගෙන ඉන්නවා.
සාකියාට තරහේ බෑ. තට්ටු කොළා. "මොකද කොරන්නෙ?" ඇහුවා.
"ඇයි?" ඇහුවා.
පොඩි යුද්දයක් ප්‍රකාශ කළා.
අණ්ඩපාලිට තේරුණා හැමදාම දාන නූල් සුඑත්තරේ වැරදෙන බව.
කතා කළා සිඟිති නංගියාට. සීට් එක මැද්දෑවෙන් තියාගත්තා.
දැන් සීට් එකේ තුන් දෙනයි. සාකියා හිටියෙ සීට් එකෙ අටෙන් පංගුවක, ඒත් බොහොම ආඩම්බරයෙන්.
කරන්ට දෙයක් නැති තැන කකුල් දෙක දැම්ම බස් එක මැද්දට. දාලා සීට් එකේ හරහට වාඩි වුණා. මුළු ගමනම ගියේ එහෙමයි.

තවත් ඔහොම්මම සීට් එකක් ලැබිච්ච දවසක බස් එක පිටත් වෙන්නකොටම කවුරුහරි සාකියගේ කොණ්ඩ කරලක එල්ලුනා. බැලින්නං එතන හිටිය සිඟිති නංගියෙක් සාකියගෙ කොණ්ඩ කරල බස් එකේ සීට් ඇන්ද කියලා වැරදිලා කලබලේට ඒකෙ එල්ලිලා!

සාකියා අනපේක්ෂිත අන්දමින් ඕලෙවල් හොඳින් ගොඩදාගත්තු දවසෙ සතුට සමරන්න කියලා කළේ ගමනාන්තයට වෙනකම්ම බස් එකේ හිටගෙන ගියපු එකයි.

බස් එකේ යනකොට තිබ්බ ප්‍රියතම සින්දුව තමයි "කොටුව කොටුව කොටුව පිටෝටුව 138 මම හිටිය. . ."
ඕක කියනකොට අපේ කොන්දොස්තර මාමට මාරම හැපී.

බස් එක ඇතුලෙදි ඉස්සරහා ඉන්න කෙනෙකුට පිටිපස්සෙ ඉන්න එකෙකුට පණිවිඩයක් යවන්න ඕනි නම් කරන්නෙ පණිවිඩේ "පාස්" කරන් එකයි. ඒ කියන්නෙ එක එක්කෙනා අතේ පිටිපස්සට යනකං කටින් කටට පණිවිඩේ යවන එකට.
බස් එකේ ගිය අන්තිම දවස්වල, ඒ කියන්නෙ ඉස්කෝලේ ගිය අන්තිම දවස් කීපයේ එක දවසක් සාකියා බස් එකේ හිටගෙන යනකොට ඔන්න ඔය වගේ පණිවිඩයක් ආවා.

"බත් පාර්සලේ ඉස්සරහට එවන්න."
කියලා තමයි පණිවිඩේ කියැවුණේ.

විනාඩියකට පස්සෙ පිළිතුර පාස් වෙලා ආවා.
එහාපැත්තෙ හිටිය ළමයා සාකියට ඒක කිවුවේ, "බත් එක කෑව." කියලා. ඒ කියන්නෙ පණිවිඩේ දුන්නු ළමයා එක දැනටමත් අනුභව කර ඇති බැවින් කරදර නොවන්න වගේ තෙරුමක් ඒකෙ තිබ්බෙ.

සාකියට මේක හරි මදි. තප්පරයක් කල්පනා කොළා. ඊළඟට ඉන්න ළමයට තට්ටු කළා.

"ඒක කවුද කාලා."

 


Thursday, February 4, 2016

එක මවකගෙ දරු කැල බැවිනා



2016 ක් වූ පෙබරවාරි මස 4 වන දින,
සුවහසක් ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් වෙත ලියන වග නම්,

1948 පෙබරවාරි 4 වැනි දා අපි කවුරුත් දන්නා පරිදි පරදේසක්කාර සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් වසර 400කට වඩා කාලයක් හිංසා පීඩාවට පත් වුණු මේ රට දහසක් දෙනාගේ ලේ කඳුළු දහඩිය මැදින් අභිමානවත් ආකාරයෙන් නිදහස ලැබීය. එයින් තිස් වසරක් ඉක්ම යෑමට ප්‍රථම ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදී කල්ලියේ මූල බීජ මෙහි වැපිරෙන්නට පටන්ගත්තේය.

ඒ ඇයි ද කිවහොත් සුදු අධිරාජ්‍යවාදීන් විසින් යන්නට කලින් මතක ඇතුව අවුළුවා ගිය ජාතිවාදයේ කුඩා ගිනි පුපුර හෝස් ගා පත්තු වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

ඉස්සෙල්ලාම නොදන්නා අයගේ දැනගැනීම පිණිස ජාතිවාදය කියන්නේ මොකක්දැයි කෙටියෙන් හෝ කිව යුතුය.
ජාතිවාදය යනු තමුන් අයත් ජනවර්ගය අන් කිසිදු ජනවර්ගයකට වඩා උතුම් යැයි ද, පිරිසුදු යැයි ද, එබැවින් අන් සියල්ලෝ මෙයින් නැතිබංගස්තාන විය යුතු යැයිද හිතාගන්නා පටු එකෙත් පටුම පටු අමුතුම ආකල්පයක්ය. එහෙම හිතන උදවියගේ සිතුවිලි වලත් දෙවන ලෝක යුද්ධ කාලයේ යුදෙව්වන් සිය දහස් ගණනින් මැස්සන් මදුරුවන් මෙන් මරා දමන්නට යෙදුණු නාසිවාදියාගෙ සිතේ දළුලමින් පැවැති වෛරයේත් කිසිදු වෙනසක් අපට නම් නොපෙනේ.

1948 දී නිදහස ලබාගෙන අවුරුදු 68ක් ගත වූ පසුත් අපට රටක් වශයෙන් පොළොවෙ පය ගසා ස්වාධීනව නැගී සිටීමට නොහැකි වූ හේතුව ඔබ මඳක් හෝ සිතා බලා ඇත් ද?

ඒ අපිට ස්වභාවික සම්පත් වලින් ඇති අඩුවක්වත්, බුද්ධිමතුන්ගේ ඇති අඩුවක්වත් නොවේය.

ඒ ජාතිවාදීන්ට අනුව අපේ රට තුළ අරක්ගෙන සිටින සුළු ජාතීන් නම් යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩයින් නිසා ද නොවේය.

ඒ අපේ ඇති කුහක කම නිසාය.

ඒ අපි අතර ජාතිකත්වයක් නොමැති නිසාය.

දෙමළෙන් ජාතික ගීය ගයන විට ඇඟේ මාළු නටන්නේ වෙන කාගේවත් නොව ජාතිවාදීන්ගේය.
ඔබ දෙමළෙක් වූවානම් අද ඔබට කොහොම සිතේවි ද?
අපටත් මේ රටේ තැනක් ලැබුණා යැයි සිතේවි.


එදා වෛරයේ බීජයට අප දෙපිරිසම පොහොර ජලය එක් නොකරන්නට අද ප්‍රභාකරන් යනු රජයේ සේවකයෙක් වන්නට ඉඩ තිබුණි.
අද අප කළ යුත්තේ තවත් පිරිබාහරන් කෙනෙක් නොඉපදෙන්නට ඒ වෛරයේ විස බිඳුවෙන් බිඳ හෝ හැකි අයුරින් අප අතරින් තුරන් කිරීමය.
1948 නිදහස් සටනේ ඩී. ඇස්. සේනානායකලා මෙන්ම පොන්නම්බලම් රාමනාදන්ලා ද සිටි බව අප සිහියට නඟා ගත යුතුය.

හිට්ලර්ගේ නාසිවාදය මෙන්ම ජාතිවාදය යන්න අරුත්සුන් මිත්‍යාවක් බව අප වටහා ගත යුතුය. කිමද අප කිසිවෙකු පිරිසුදු සිංහලයෙකු යැයි ඔප්පු කිරීමට කිසිදු සාධකයක් නොමැති බැවිනි.
වරක් බුදුරජාණන් වහන්සේ කුල භේදයේ ඇති නිස්සාරත්වය පිළිබඳ එක් බමුණෙකු හට වටහා දීමට පැනයක් විමසූහ.

"අස්සලායන, ඔබගෙ මව බ්‍රාහ්මණයන් සමඟ පමණක් ලිංගික හැසිරීම් වල යෙදුනු බව ඔබ නිසැකවම දනිත් ද?"
එවිට නැත යැයි පිළිතුරු දුන් අස්සලායන බමුණාට බුදුරඳුන් විසින් පෙන්වා දෙන ලද්දේ තමා ඉතා පිරිසිදුව එක් කුලයකටම අයත් යැයි කිසිවෙකුට පැවසිය නොහැකි බවය.

මෙය අපට අදාළ කර බැලුවහොත් අස්සලායනට තිබූ තරම්වත් සාක්ෂි අපට නොමැති බව ඔබට වැටහෙණු ඇත. අප පරම්පරානුගතව ජාතීන් කෙතරම් ප්‍රමාණයක් සමඟ මිශ්‍ර ව ඇත්දැයි අපවත් නොදනිමු.

ඇත්ත වශයෙන්ම බැලුවහොත් මේ රටේ නියම අයිතිකරුවන් වන්නේ මහියංගනයේ සිටින වැද්දන් වේ. වැරදිලාවත් ඔවුන් විත් "මේ රට අපේ! උඹලට ඕනෑ දිහාකට තොලොංචි වෙලා මංගච්චං පලයන්!" යැයි කිවහොත් අපි යන්නේ කොහිට ද? ඉන්දියාවට ද? යුරෝපයට ද? එසේත් නැත්නම් අරාබියට ද?

පණ්ඩුකාභය රජතුමා ඉන්දියානු සම්භවයක් ඇති මවකට හා පියෙකුට දාව උපන්නෙක් බව බොහෝ දෙනෙකුට අමතකව ඇති සත්‍යයකි. එසේ නම් මෙහි සිටින දෙමල සහෝදරයින් මොන ක්‍රමේකට හෝ අපේ නෑයින් වෙන්නට පුළුවන් බව ඔබට නිකමට හෝ නොසිතුනා වන්නට නුපුළුවන.

"ජනවර්ග විශාල සංඛ්‍යාවක් ජීවත් වන ඉන්දියාවේ ජාතික ගීය ලියැවී ඇත්තේ බෙංගාල බසිනි!" අද බුකි වීරයින් බොහෝමයකගේ දිව අග රැඳුණු වැකිය ඕක ය. ඔය කියනා එව්වන්ට අමතක ව ගොස් ඇති ලොකුම කරුණ නම් ඉන්දියාවේ තිස් වසරක කුරිරු යුද්ධයක් නොපැවැති බවත්, ඉන්දියාව යනු මහා විශාල රජ්‍යයක් මිස සියල්ලන් එක ගොඩේ වැටී සිටින කුඩා දූවක් නොවන බවත්, බෙංගාලි යනු සුළු ජාතීන්ගේ භාෂාවක් බවත්, කාලෙකට ඉස්සර ඉන්දියාවේ කෑල්ලක් "පාකිස්ථානය" කියන නමින් මුස්ලිම් මිනිසුන්ට ලියාදුන් බවත් ය.

අපි සිටින්නේ මහා සාගරයකින් වටවෙච්චි අබ ඇටයක් තරම් වූ පුංචි දූපතක බවද ඔබට අමතක වී ඇත. තමුන් සිංහලද, දම්ළද, මුස්ලිම්ද කුමක්ද යන්න වලංගු වන්නේ මේ දූව තුළ පමණය. ලෝකයාට ඔබව පෙනෙන්නේ ඔය කවරෙකු හැටියටවත් නොව "ලාංකිකයින්" හැටියටය. ඒ නිසා ලංකාව ඇත්තේ කාණු පල්ලේ නම් ඔබේ ඒ ආඩම්බරකාර ශ්‍රී ලාංකිකත්වයෙන් උන්ට ඇති වැඩක් නැත.

අපිට "ශ්‍රී ලංකා මාතා" තරමටම අපේ සහෝදරයනට "ශ්‍රී ලංකා තායේ" වටිනවාය. උන් දෙමළ ජනවාර්ගිකයින් වුවද ශ්‍රී ලාංකික යැයි හැඟීම උන්ටද තිබෙනවා ය.

ජාතිවාදය යනු දෙශපාලකයින් විසින් තමන්ගේ වුවමනා එපාකම් අනුව මිනිසුන් කුලප්පු කිරීමට යොදාගන්නා උගුලක් බව ඔබලාට නොවැටහෙන්නේ මන්දැයි මට නම් නොතේරේ.
ඔබලා අතරට ගිනි පුපුරු දෙක තුනක් විසිකොට හුළං පිඹීමෙන් ඔවුන්ට සුරුට්ටු පත්තු කරගන්නට හැකිය.

පළමුවෙන්ම කළ යුත්තේ ඔය ගැතිභාවයෙන් මිදීමය. අපි කිසිම රජෙකුට කොන්ද නවන්නට වුවමනා නැත. අප දණ නමන්නට ඕනෑ රට වෙනුවෙන් මිස නායකයෙකු වෙනුවෙන් නොවේ. එක් රජෙක් රාජ්‍යත්වයෙන් පහ වී තවත් රජෙකු පත්වීම අද ඊයේ සිදු වූවක් නොවේ. අපි වෙනසට මුහුණ දිය යුතුය. වෙනසේ වැරදි සොයනවා වෙනුවට වෙනසේ හරි පැත්ත වැඩි කරගැනීමට දායකත්ව්ය දීම පුරවැසියන් වශයෙන් රටට ඉටු කළ යුතු වැදගත්ම යුතුකමයි.

අපි සියලු දෙනාම ශ්‍රී ලාංකික නම් එක ජාතියකට අයත් යැයි සිතා තම තමන්ගේ පටු අරමුණු සාක්ෂාත් කරගන්නවා වෙනුවට රට වෙනුවෙන් කැපවීම කෙරුවා නම් අර තරම් දරුණු සුනාමියට මුහුණ දී මාස කීපයක් ඇතුලත නැගීසිටි අපට යුද්ධය අවසන වසර 8ක් ගෙවුණු තැන කොයි නම් තැනක සිටින්නට හැකියාව් තිබුණාදැයි ඔය කොළ කන්නාඩිය ගලවා දමා සිතුවහොත් දැනගන්නට හැකිවේයැයි සිතමි.

අද රූපවාහිනියේ දමිළ බසින් ජාතික ගීය ගායනා වන විට ගෙවල් වල සිටි දෙමළ සහෝදර සහෝදරියන්, අම්මලා තාත්තලාට එය සිංහලයෙන් ගායනා කරන විට අපිට දැනුණු ආඩම්බරයම දැනුණ බවට කිසිදු සැකයක් නැත. උතුරුකරයේ සිංහල වචනයක් කතා කරගන්නට නොදන්නා දමිළ සහෝදරයින්ට අද මාතෘභූමිය පිළිබඳ යම් හැඟීමක් ඇතිවූවාට නිසැකය.

එදා කියූ ඊලාම් ගීතය වෙනුවට ඔවුන් අද අප හා එක් ව ශ්‍රී ලංකා ගීය ගයන්නට ඇති එකම යහපත් බලාපොරොත්තු ඇති නොකරන්නේදැයි ඇසිය යුතුය.

අවසානයට කියන්නට ඇත්තේ මෙය හොඳ පියවරක් බවත්, ජාතික ගීය භාෂා දෙකකින්ම ගායනා කිරීමෙන් පමණක් අපි දෙගොල්ලන්ගෙන්ම වෙච්චි වැරදි හදාගන්නට බැරි බව්ත්, අපි එක එක්කෙනා තම තමන් උස් හෝ පහත් යැයි නොසිතා සියලු දෙනා එකම මවකගේ දරු කැලක් යැයි සිතා වැඩකළහොත් පමණක් ජාතියක් වශයෙන් අපට ලෝකයේ පිළිගත් තැනක් ලැබෙන බවට නිසැක බවත් ය.

තරහ ගන්නේ නැතිව ඉවර වෙනකම් කියෙව්වාට ද, ඔබගේ වටිනා කාලයෙන් බිඳක් මෙය කියවීමට වැය කලාට ද පිං ය.

සමහරවිට ඔබට මට පළු යන්න බනින්නට පුළුවන. ඒත් මේ මගේ සත්‍යම අදහස පමණි.

එමෙන්ම මෙය අදහසක් පමණි.

ඔබේ අදහස ද මට ඉතා වටියි.

මීට සාකියා.

Saturday, January 30, 2016

කැ‍රැළි වෙනුවට ‍රැලි නංවමු



ඔබ දැකපු හීන මොනව ද,
ඇස් පියාගෙන හෝ විවර කරගෙන...

තුන්වෙනි ලෝකෙ රටක දුෂ්කර පළාතක ළමයි දහ අට දෙනෙක් විතරක් ඉන්න පුංචි ඉස්කෝලෙකට තමන්ගේ පළමුවෙනි ගුරු පත්වීම ලැබීම කෙනෙකුට හීන හැබෑවීමක් වෙන්න පුලුවන් සම්භාවිතාවය මිලියනයකින් එකක් වෙන තරමේ අහම්බයක්.ඒත්,තමන්ට ලැබුණු අවස්ථාවෙන් වෙනත් කෙනෙකුගේ,කිහිපදෙනෙකුගේ හීන හැබෑ කරවන්න පුලුවන් නම්..
ඒක විප්ලවයක් නෙවෙයි ද?

දශක ගනණාවක් මුළුල්ලේ "සංවර්ධනය වෙමින් පවතින" ලේබලය ගලවා දමන්න කිසි උත්සාහයක් නොදරන දේශපාලකයන් සිටින රටක අරගල කරන්න වුවමනා අවස්ථාවන් නිරන්තරයෙන් එළඹෙන බව ඇත්තක්.
නමුත් සැබෑ ප්‍රයෝජනයක් ලැබෙන බවක් දෘෂ්ඨි පථයට අහු නොවන අරගලයක් වෙනුවෙන් උගුර ලේ රහ වෙනතුරු කෑ කෝ ගැසීමට වඩා අර්ථවත් දෙයක් වෙනුවෙන් සුළු හෝ වෑයමක් දැරීම හැමදෙනෙකුගේ ම අගය කිරීමට බඳුන් විය යුතු උතුම් ක්‍රියාවක් බව අනේමන්දාට හැඟුණේ හෝ ගානා පොකුණේ ‍රැළි නැංවෙන හඬ කාලක්‍රියා කළ මූදු බෙල්ලෙකුගේ හක් ගෙඩි කවචයකට කන තියලා අහන වෙලාවෙදියි.

ඔව්,සිනමා පටය ධාවනය වෙන මිනිත්තු එකසිය විස්සක කාලය ඇතුළත වරුවක් ඉස්කෝලෙ වැඩ කරන,ඉතිරි වරුවෙ හේන් කොටන දරුවෙක් ශිෂ්‍යත්ව විභාගෙ සමත් කරවන ගුරුතුමියක් ගැන කතාන්ථරයක් ගොඩනැගෙන්න තිබුණා.ඒත් ඒක කොතෙක් දුරට යථාර්තයට සමීප ද?
ඒ වෙනුවට ඔබට,අපිට දකින්න ලැබෙන්නේ දරුවන්ට හීන දකින්න උගන්වන,දැකපු හීන හැබෑ කර දෙන්න වෙහෙසෙන ගුරුතුමියකගේ කථාවක්.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන වෙහෙසකාරී අතාත්වික ගණයේ චිත්‍රපටිවලට වඩා වෙනස් ආරක් ගන්නා "හෝ ගානා පොකුණ"(The Singing Pond) නරඹන අතරෙත් නරඹා අවසනත් හිතන්න යමක් ඉතිරි කළ අපූරු සිනමා සිත්තමක්.

Friday, January 29, 2016

මචං. . .


ඇයි මචං උඹ මට මචං කියන්නෙ?

කරට අතක් දාගෙන
සැහැල්ලුවෙන් හිනාවෙන
උඹේ මූණ
කවද්ද මචං මගෙ දිහා
ආදරෙන් බලන්නෙ?

මචං,
මේ අන්තිම වෙනකං
මං හිතුවා උඹ මට
කවදහරි කියයි කියලා
"රත්තරං"!

ඒත් මචං ඒක බොළඳ වැඩියි. . .

කියපං අඩු තරමෙ
"කෙල්ලෙ" කියලාවත්.

දිග කොණ්ඩයක්,
සුකුරුත්තං නැතිවුණාට
මමත් කෙල්ලෙක් මචං

අනේ මචං යන්න කලින් එකපාරක්
කියපන්. . . .

කියපං මචං
"මචං" නැතුව
වෙන ඕනෙ එකක්.

Thursday, January 28, 2016

පියාපත් විදහා පියඹන්න -- The Making of a Butterfly




"How does one become a Butterfly?"
she asked.

"You must want to fly so much that you are 
willing to give up being a caterpillar."
-Trina Paulus-

සාකියට මතකයි අවුරුදු හතරෙදි පහේදි විතර හැමදාම ඩිස්කවරි බලනවා. ඒ කාලෙ ටීවී වල කොච්චර නම් වැදගත් වැඩසටහන් විකාශනය වුණාද. . .

ඩිස්කවරියෙ පෙන්නපු වැඩසටහන් වලින් සාකියගෙ හිත වඩාත්ම ඇදිලා ගිය එක වැඩසටහනක් තිබුණා. මේ ලඟදි තමයි එකපාරටම සාකියට ඒක මතක් වුණේ.

කැතම කැත අප්‍රසන්න දළඹුවෙක් ගහක අත්තක් දිගේ අමාරුවෙන් බඩගාගෙන යනවා. ඒ යන අතරමඟ නැවතිලා කොළ පාට දළු උඩ දිගාවෙලා හෙමින් හෙමින් බඩපුරවගන්නවා, හරියට හරක් තණකොළ කනවා වගේ.

චූටි දළඹුවා ටිකාක් විතර ලොකු වෙනවා. ඔහොම දවස් කීපයක් ගතවුණායින් පස්සෙ දළඹුවට මහ නිදිමතක් දැනෙනවා. ඉතින් ඌ නිදාගන්න යනවා. නිදාගන්න කලියෙන් සුදු පාට සිනිඳු නූල් වලින් ඝනකම ආවරණයක් හදාගන්නවා. ඒකත් බොහොම අමාරුවෙන් හෙමින් හෙමින් තමයි වෙන්නෙ.

කිසි හැලහොල්මනක් නැතුව ටික දවසක් ගතවෙනවා.

දළඹුවා වටේට එතුණු කෝෂය ටිකක් හෙලවෙනවා. අහ්! පොඩ්ඩක් ඉන්න. කෝෂෙ වටේට ලස්සන ලස්සන පාටවලුත් පේනවා.
පුදුම දැඟලිල්ලක් දඟලලා දළඹු- නෑ. . . සමනළයෙක් එළියට එනවා. එළියට ආපු ගමන් ඌ කරන්නෙ මහන්සියටම ඔහේ වැටිලා ඉන්න එක. අන්න ඊට පස්සෙ තමන්ගෙ ලස්සන තටු මුදාහැරලා තවත් සමනල්ලු ගොඩාක් එක්ක ආකාසෙ පුරා පියාඹනවා.

"මේක මොන්ටිසෝරියක් කියලා හිතුවද? අපි බබ්බු වගේද පේන්නෙ?"
එහෙම හිතුණ ද? මේ තමයි සාකියට පොඩි ළමයෙක් හැටියට දැණුනු දේ.

ඒත් අද සාකියට හිතෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්.

අපිට බලාපොරොත්තු තියෙනවා. හැම අවුරුද්දක් මුල ම, හැම උපන්දිනයකම අපි අලුත් බලාපොරොත්තු ඇති කරගන්නවා. අලුත් ඉලක්ක හදාගන්නවා. ඒත් ආපස්සට හැරිලා බලද්දි ගිය අවුරුද්දෙ මුල ඇති කරගත් බලාපොරොත්තු කීයෙන් කීයක් හැබෑ කරගන්න අපිට හැකි වෙලා ද? අඩු තරමෙ එයින් බාගයක්වත්?

පිළිතුර "නැහැ." නම්, මේ ලිපිය ඔබටම තම්යි ලිවුවේ.
පිළිතුර "ඔව්" නම්, ඒත් කමක් නැහැ. දිගටම කියවන්න.

හිතන්න ඔයත් පොඩි දළඹුවෙක් කියලා. එහෙමත් නැත්තං පණු බිත්තරයක්. අන්තිමට වෙන්නෙ මොකද්ද කියලා හාංකවිසියක් නෑ. අපි හැමෝමත් ඒ වගේ.

ඒත් දළඹුවා බඩගාමින් යනවා. සාකියට උන්ව පෙන්නන්න බෑ. ඒත් උන් නෙවෙයි තඹ සතෙකට මායිම් කරන්නෙ! කවුරු මොනවා කිවුවත් තමන්ට අල්ලන්න තියා හිතන්නවත් බෑ වගේ පේන ආකාසෙ පිනුං ගහන්න උන් දිවා රෑ හීන දකිනවා.

දළඹුවට පේනවා වෛවර්ණ සමනල්ලු තමන්ට ඔච්චමට වගේ රූං ගාල පියාඹාගෙන යනවා. ඒත් ඌ උන්ට ඊරිසියා කරන්නෙ නෑ. උඩ ඉන්න අයගෙ ලස්සනත් බලමින් සතුටු වෙවී,කවදහරි තමන්ට ම ආවේනික විදියකට අහස් කරනම් ගහන්න සිහින මවමින් ඒකට අවශ්‍ය ශක්තිය කොළෙන් කොළේ කාලා ටිකින් ටික එකතු කරගන්නවා.

ටික කාලයක් ගතවෙනවා. දළඹුවා තවදුරටත් පැටියෙක් නෙවෙයි. තවමත් ලෝකයට උගේ ලස්සනක් පේන්නෙ නැහැ. ඌ ගණන් ගන්නෙත් නෑ.
සමහරවිට. . . සමහරවිට අපිට නොපෙනුණාට වයිරම් වැටුණු කැත දළඹුවෙකුගෙ හිතත් කඩාවැටෙන වෙලාවන් ඇති.
ඒත් කවුරු මොනවා කිවුවත් තමන්ගෙ අරමුණ අත් නොහරින්න හයියත් ඒ එක්කම සැඟවිලා තියෙන්න ඕනෙ, නිසැකවම.

අන්තිමට දළඹුවා දවසක්දා සිනිඳු නූල් දැලක් තුළට වෙනවා. ලෝකයා හිතනවා සියල්ල හමාරයි කියලා. එක් එක්කෙනා හිනා වෙනවා, ඔච්චමට බලනවා කෝෂයක් ඇතුලෙ අමාරුවෙන් වකුටු වෙලා ඉන්න දළඹුවා දිහාව.

දවසක් දා සර සර හඬක් සමඟ කෝෂය සෙලවෙනවා. අන්න එතකොට එකා දෙන්නා හැරිලා බලනවා.එවිට ඔවුන් දකිනවා විනිවිද පෙනෙන කෝෂය තුලින් වෛවර්ණ ගැන්වුණු ලස්සන රටාවන්.

ටික ටික ඒ අරුම පුදුම දෙය බලන්න සෙනඟ වටවෙනවා. ඔන්න දළඹුවා සිදුරක් හදාගෙන එළියට එන්න උත්සාහ කරනවා. දඟලනවා.
මේ විගඩම බලන් ඉන්න අනෙක් උදවිය හිනාවෙනවා. ඒ අතරින් අතලොස්සක් සමනළයා ධෛර්‍යමත් කරනවා. ඒත් සමහර සමනළයින්ට එහෙම කෙනෙක් හොයාගන්නවත් නැති තරම්.

කොහොමහරි සමනළයා එළියට එනවා. දැන් ඌට හොඳටම මහන්සියි. පොඩි විවේකයක් ගන්නවා, සුදුසු කාලය එනකම් ඉවසනවා.
කල්යල් බලලා සමනළයා තමන්ගෙ තටු දිගහරිනවා. වටේපිටේ උදවිය හුස්ම අල්ලන් බලන් ඉන්නවා.
සමනළයා තමන් දුර අතීතයේ දැකපු හීනය හැබැහින් දකිනවා. අවසානෙදි ඌ අහසෙ සැරිසරන සමනල්ලු රෑනට එකතු වෙනවා. බිම ඉන්න මිනිස්සු උඩ බලන් සමනළයා අවකාශගතවීමේදී සිද්ධ වුණු අඩුපාඩු විවේචනය කරමින් ඉන්නවා.

ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඒවායින් තුන්කාලක් ව්‍යංගාර්ථයෙන් කියලා අවසන් කළා.

සාකියට වැඩියෙන්ම කියන්න ඕනෙ වුණේ මේ ටික.

බලාපොරොත්තුවක් තියෙනවා නම් යම් දෙයක් කරන්න, එහෙනම් අද ම මුල් පියවර ගන්න. ඔබට ඉදිරිය නොපෙනෙන්න පුළුවන්. අපි වාහනයක යනකොට වංගුවක් එහාපැත්තෙ ඇති දේ පේන්නෙ නැහැ කියලා නැවතිලා බලා ඉන්නවා නම් කොටින්ම කිසිම දවසක අපිට කිසිම ගමනාන්තයකට ලඟාවෙන්න බැහැ.

ගිය අවුරුද්දෙ නෙවෙයි, අවුරුදු දහයකට පෙර ඔබට වුවමනා වුණා නම් යම් දෙයක් කරන්න, පළමු අඩිය තබන්න. ඉතිරි අඩි තියන්න නෙලුම් මල් පිපෙන එකක් නැහැ.

ඒත් ඉස්සරහටම යන්න.

ජයවේවා!

Tuesday, January 26, 2016

මහපාරක් මැද වුණත්

 
මට ඕනෙ
ගිටාරයක තතක් වෙන්න,

රළුවන් ඔබේ අතැඟිලි
තත් සුසර කරනට තරම්
සුසිනිඳු වෙනකොට.

මට ඕනෙ
ඈතින් ඉඳන්
ඔහේ බලාගෙන ඉන්න,
අඳුරු දෑසින් ඔබ දොස් පවරන විටත්
 
කෙහෙරැලි දෙක තුනක්
නළල දෙපසින් එබිකම් කරන දෙස.

මට ඕනෙ
වේදිකාවක මයික්‍රෆෝනයක් වෙන්න.

සතියකට වරක්
කෑම පැයට කලින්,
ගර්ජනය කරන ගොරහැඩි හඬින්,
සභාවක් නිසල කරවන තරම් මිහිරියට
ගීයක් ගයනකොට.

ඒ ඔක්කොටම වඩා
මට ඕනෙ,
ලවුඩ් ස්පීකරයක් වෙන්න
 
මහපාරක් මැද,
විප්ලවයක වුණත්
ඔබව අත්නොහරින්න.


Tuesday, January 5, 2016

අලුත් නැවෙන් ගොඩබෑම

ඔන්න ඉතින් හර්‍රියටම අවුරුද්දක් බලන් ඉඳල ඉඳලා සාකියත් ගියාලු විස්ස විද්දියාලෙට. ඔව් අර ජපන් ජබර පිරිච්ච ලේක් එකක් ගාව තියන යන්තර මන්තර වැඩ කොරන එකට තමයි.

සාකියා ගියේ නං යන්තල මන්තල කලන්න නෙවෙයි. තොලතුලු තාක්සලය කළමලාකලණය කලන්න. තැහ් තැහ් තැහ්.

මගෙ දිව ඇඹරිලා ගියා බලන්ඩ පොඩ්ඩක්.

අහම් අහම්!

ඉතින් ගියා.
එතන කෙල්ලො කොල්ලො සෙට් එකයි. ඔගොල්ලන්ත කියන්න මීට මාසෙකට කලිනුත් මම ගියා ලියාපදිංචි වෙන්න. ඒත් වැඩේ කියන්නෙ එදා හම්බුණු එකෙක්වත් මම අද දෑහට දැක්කෙ නෑ නෙව.

රෝල් එහෙකුයි, සීනි සම්බෝල බනිසක් සහ කිරි පැකට් එකකින් සප්පායම් වෙලා පැය තුනක් පුරාවට දේසන හයකට සවන් දීගන හිටියා. සාකියගෙ වෙලාවට ඒවා එකක්වත් ඈනුම් යන දේසන වුණේ නැහැ.

අලුත් නැවේ ළමයින්ගෙ අම්මලා සහ තාත්තලා එහෙම හිටපු නිසා සීනියර් අයියලා සහ අක්කලා නිකන් ඇස් ඇරුන්නැති පූස් පැටවු හැටියටයි මේ සාකියට නම් පෙනුණෙ. ඒත් ඉතින් විස්ස විද්දියාලෙ මැද්දෑවෙන් දෙන්නා දෙන්නා පෝළිම් ගස්සල බාලාංශ පන්තියෙ පිළවු පැටවු වගේ දක්කගෙන යනකොට ලස්සන ලස්සන වදන් වැල් කන ගාවින් පාවෙලා යනවා සාකියට දැනුණා.

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි අනුගත කිරීමේ වැඩසටහනකට අපි සහභාගී වෙන්න ඕනෙ.

මේහ්, ලස්සනම වැඩේ කියන්නෙ ඒක නෙවෙයි. සාකියා නිකන් බැච් ෆිට් එකට කොල්ලෙක් එක්ක හිනාපාරක් දැම්ම නෙව. ඒ මනුස්පැටියා නිකන් සයිබීරියාවට පැරෂුට් වලින් බෝම්බ දානවා වගේ බිරාන්ත වෙලා සැලී ගියා නෙ.

අනේ ඉතින් කියන්න කටට වචන ගලාගෙන එනවා . . .

අම්මේහ් යන්තම් පෝස්ට් එකක් දාගන්න මාතෘකාවක් ලැබුණා සාකියට.

ආහ් මේ පහළ තියෙන්නෙ සීනියර් සහෝදර සහෝදරියො අහිංසක අපි වෙනුවෙන් හදලා තෑගි කරපු ලස්සන නිර්මාණයක්.


එහෙනං නැවත හමුවෙමු!

Friday, December 25, 2015

පැන්සල් හිඟාකෑම

සමහරවෙලාවලට සාකියාගෙ සිහිබුද්ධියත් එච්චර හොඳ මදි. ඒ වගේ වෙලාවට මේ දැන් හිතපු දේ දැන් අමතක වෙනවා. කරන්න ගිය වැඩේ අමතක වෙලා, ආයෙ පස්සෙන් පස්සට ආපු ගමන්මඟේ ම ගියාම අමතක වුණු දේ නැවත මතක් වෙන අමුතු ලෙඩකුත් තියෙනවා.

ඒවැයින් වැඩක් නෑ. මේ කතන්දරේ පැන්සලක් සම්බන්ධ සිදුවීමක් ගැන.

තුන වසරෙදි අපිව සලකන්නෙ ළදරුවන් හැටියට. ඒකනෙ යසට පෑනෙන් ලියන්න පුළුවන්කම තියෙද්දී පැන්සලෙන් ලියන්න බල කරන්නෙ.

සාකියා බොහොම කැමතියි ලිය ලියා ඉන්න ගමන් පැන්සල් කොටෙන් හීනියට ඔළුව කහගන්න. ඇයි? පිට කහගන්නත් පැන්සල් නම් ජාති!

හදිසියෙ ඔළුව බූගාන්න සිද්ධ වුණා නං නිධන් සිතියමක වගේ කඩඉරි, කතිර පාරවල් හොයාගන්නත් ඉඩ තිබුණා.

තුන වසර තමයි සාකියාගෙ ජීවිතේ අඬු කැඩෙන, කාඩ් කුඩු වෙලා, කුඩුත් හොයාගන්න බැරි තරමට විසිරිලා ගිය වසර. මේ වසරේ සාකියට කරන්න තිබුණු අමාරුම වැඩේ තමයි තුන්වරක් සහ හතරවරක් පාඩම් කිරීම.

මොකක්? නෑ නෑ නෑ!!!! තුන් හතර පාරක් පාඩම් කරන්න තරම් යහපත්, ඉගෙනීමට කැපවුණු ළමයෙක් නම් නෙවෙයි මේ සාකියා ඒ කාලේ.
මං මේ කිවුවෙ චක්කරේ ගැන.

තුන්වරක් සහ හතරවරක් තමයි අමාරු ම. ටීචර්ගෙ පස්සෙන් පැන්නිල්ල ඉවසගන්නම බැරිවුණ දවසක ඕක බොහොම අමාරුවෙන් රෑ පාඩම් කරගෙන ගිහින් ඊලඟ දවසෙ පාඩම් දීලා බේරුණා. කරුමෙට එදා මට බොහොම බරපතල විදිහට හෙම්බා උත්සන්න වෙලා තිබුණේ. ටීචර් කතාකරනකොට හචිස් එහෙකුත් ගිහින් දහජරා හොටුවලින් මූණ කවර් වෙලා තිබුණේ.
ගුරු ගෞරවේ වැඩිකමට සාකියා ලේන්සුවෙන් එහෙම්මම නහය කට වහගෙන ගිහින්, ලේන්සුවෙන් කට වහගෙනම චක්කරේ පාඩම් දීලා ආවා.

අයියයියෝ!

මොනවද මං මෙච්චර වෙලා දොඩවලා තියෙන්නෙ?
පැන්සල් කොටයක් ගැන කතාවක් අහන්න ආපු උදවිය දැන් ඔල්මොරොන්දන් වෙලා ඇති.

හරි ඉතින් චක්කරේ පාඩම් කොළා. ඊළඟට පැමිණියේ දෙවන වාර විභාගය. ඒ දවස් වල ඉතින් ඔය විභාග චුවින්ගම් වගේ දිගට දිගට සතියක් හමාරක් ඇදිලා යනවනෙ.

ඉතින් ඔය විභාග සතිය මැද එක්තරා අන්ධකාර දවසක සාකියා බොහොම උනන්දුවෙන් විභාගය ලියමින් සිටියා.
උනන්දුව වැඩිකමට පැන්සල් කොටෙන් ඔළුවත් කැහුවේ මොලේ ඇතුලෙ හිරවෙලා තියෙන ඒවා නහයින් කටින්වත් ඇවිත් මේ හොල්මන් ප්‍රස්න වලට උත්තර සපයන්න උදවුවක් වෙයි කියලා හිතාගනයි.

ඉතින් ප්‍රස්න පත්තරේ දිගෑරගෙන සාකියා උත්තර ලිවුවා.
ටික වෙලාවක් ගතවුණා.

ඔන්න දෙයියනේ මේ දැන් අගේට ලිය ලියා හිටිය පැන්සල් කොටේ අන්තරස්දාන් වෙලා!

දැන් කොහොමෙයි උත්තර ලියන්නෙ? තිබ්බෙත් ඒ පැන්සල් බට්ටා විතරමනෙ.

තමුන් වාඩිවෙලා ඉන්න මේසෙ වටේට ඉන්වෙස්ටිගේසොං එක අසාර්ථකව අහවර වුණායින් පස්සෙ සාකියා තීරණය කළා මේක හරියන්නෙ නැති බව

නැගිට්ටා පුටුවෙන් විභාගෙ මැද්දෙම.
එකින් එක මේසෙට ගිහින් පැන්සලක් හිඟාකමින් පන්තිය වටේටම ඇවිද්දා, විභාගෙ මැද්දෙම.

එකෙක්වත් මට පැනසලක් දන් දෙන්න කැමති වුණේ නැහැ. ඔහොම ගිහින් ගිහින් එක ළමයෙක් ගාවට ආවා.
බොහොම අසරණ ව බලලා "මගෙ පැන්සල නැතිවුණා, ඔයා ගාව වැඩිපුර පැන්සලක් තියෙනවද?" ඇහුවා.

ළමයා ටිකක් වෙලා මගෙ මූණ දිහා බලන් හිටියා.

"ඔය ඔයාගෙ ඔළුවෙ තියෙන්නෙ."

මොකක්!!!
සාකියා වහාම අත්දෙකෙන්ම ඔළුව අල්ලාගත්තා.

ඇත්ත නේන්නම්! මේ තියෙන්නෙ පැන්සල ඔලුවෙ.

සාකියා අතේ තිබ්බ පැන්සලෙන් ඔළුව කහ කහ ඉඳලා අර ලී වඩුවෙක් වගේ ඒක එහෙම්ම ම කන පිටිපස්සෙ ගහගෙන, පැන්සල නැහැයි කියමින් පන්තිය වටේට ගිහින් තියෙන්නෙ.


ආ! අමතක වුණා නෙ.

දෙපන්හිඳ කියවන හැමෝටම සුබ නත්තලක් වේවා!


Friday, December 4, 2015

පිටගම්

නිල ඇඳුමේ ඝනකම කොලර් එක අතරින් වාෂ්ප පිටවෙන තරම් ගිනි රස්නයක් දැනුණත්
මං හැන්දෑවෙ වැඩ මුරේට පය ඉක්මන් කළා. ලා අලු පාට තිත් වැටිච්ච දුඹුරු පාට
පඩි පෙළේ උඩට පහළට,දෙපැත්තෙ ම නොයෙක් පාට මල් වවපු ප‍ටු කොරිඩෝ පහු කරගෙන
මම ඇවිදගෙන ගියේ පොළොව පිරිසුදු කරන්න ඕනැ කළමනා ටිකත් ඇදගෙනයි. හැඩයක්
නැති තද නිල් පාට සායෙ ‍රැළි අතරින් එළියට පනින මගේ කකුල්වල නියපොතු
ඔක්කෝ ම කළු ගැහිලා කුණු පාටට ඇඹරිලා තිබුණෙ කලින් කරපු එළවළු කො‍ටු
රස්සාවට මඩ පිරිච්ච වෙල්වල බැහැලා උදේ හවා වැඩ කරපු හින්දා. මෙහේ ඉන්න
ලස්සන තරුණ නෝනලාගෙන් නම් නියපොතු පාට නොකරපු කෙනෙක් දකින්නේ කලාතුරකින්
එහෙමත් දවසක. ලස්සන තද රතු පාට,රෝස පාට,සමහරු තද කළු පාටත් ගානවා.

වංගු වංගු හැරිලා අන්තිමේ මං තරමක් ලොකු කන්තෝරු කාමරේට ආවා. අද දවසෙ
අන්තිම වැඩ මුරේ. කුණු පාට වෙච්ච වතුර එක්ක සබන් පෙණ පිරුණ බාස්කට් එකට
ඝනකම නූල් කැරලිවලින් හදපු කොස්ස ඔබලා මම පිඟන් ගඩොල් පොළොව ඔප දමන්න
පටන් ගත්තා. පොළොවට අලුතෙන් ටයිල් අල්ලල හැඩ කළාට කන්තෝරුවෙ පරණ බිත්ති
සායම් දිය වෙළා පුස් බැඳිලයි තිබුණේ. වැහි කෝඩෙට ඔරොත්තු නොදෙන කාසෙ
හැදුණු මිනිහෙක් කහින්න වාගෙ මහ බිත්ති හැම තිස්සෙම තෙතබත් වෙලා පුස්
බැඳිච්ච තීන්ත පොතු ගැලවි ගැලවි වැටිලා බිම හැඩි කළා. හරියට තමන්ට ලම්බක ව
පහළින් වැතිරිලා ඉන්න දිස්න දෙන අමුත්තගෙ ලස්සනට ඉරිසියාවෙන් වගේ.

ශාලාවෙන් බාගයක් පිහදාගෙන යද්දියි පොත්පත් කීපෙකින් බරවෙච්ච බෑග් එකක්
උරේ එල්ලගෙන ආපු යෝගනාදන් මහත්තයා අපිළිවෙළ පු‍ටු මේස පේළි අතරින් ගිහින්
කන්තෝරු කාමරේ බිත්තිය අයිනෙ මේසෙකට වාඩි වුණේ.

"ආ සිරියා අතුගානව නේද?
මං එලියට යන්නම්"

ඒ මහත්තය නුහුරට වගේ සිංහල කතා කළේ. මට මුල් කාලෙ අහගෙන ඉන්නකොට හිනහ යන්නත් ආවා.
"නෑ මහත්තය යන්න ඕන නෑ..." මං කියද්දිත් යෝගනාදන් මහත්තයා එලියට ගිහින් ඉවරයි.
මට මතක් උනේ උදේ කැන්ටිමේ තේ බිබී ඉඳපු මිස්ලා සර්ලා කියපු දේවල්.

"රෝ එකේ ද දන්නෑ ඔහොම හිටියට,කවුද දන්නේ"

මහත මූණට නොගැළපෙන තරම් හීනි කණ්ණාඩි දෙකක් දාපු බඩ මහත පරාක්‍රම මහත්තයා කිව්වා.

"මොනව උනත් මිනිහ මඩකලපුවට ම ට්‍රාන්සර් වෙන එක හොඳයි. අපිත් උදේ බස් එකට ට්‍රේන් එකට නැග්ග ම හිතේ ගින්දරෙන් නෙ එන්නේ..."

එහෙම කිව්වේ  ඉස්සර අපේ ගමේ හැම ගෙදර ම වගේ ගෑනු කට්ටිය තර‍ඟෙට වවන්න
ගත්තු ඕකිඩ් මල්වල දම් පාටින් තොල් පාට කරගෙන එන කාන්ති මිස්.
මොනව උනත් ඒ ඒ අය උදවිය හිතන හැටි ගැන දොස් කියන්න බැරි බව මං දැනගෙන හිටියා.
මේ දවස්වල කොලඹ කන්තෝරු යන එක පවුලෙ මහත්තයයි නෝනයි යන්නෙ වෙන වෙනම
ලු. එක්කෙනෙක් බෝම්බෙකට අහු වෙලා මැරුණොත් දරුවො ගැන බලන්න අනිත් කෙනා
ඉතුරුවෙන හින්දා.

ඒ කතන්දර එහෙම වුණත් සිංහල අලුත් අවුරුද්දට කලින් අනිත් සර්ලා මිස්ලා එක්කෙනෙක්ගෙන් රුපියල් පන්සීය ගානෙ විතර වෙන්න එක්කාසු කරලා සුළු සේවක අපට
තෑග්ගක් අරන් දෙනකොට ඒකටත් සම්මාදම් වෙන අතරෙ ම රුපියල්  දාහෙ කොළ දෙකක්
තේ හදන කුසුමක්කගෙයි මගෙයි අතේ මිට මොලවපු යෝග මහත්තයා මිනී මරන්න ඔත්තු
දෙනව කියල හිතන්න පුලුවන් ද. 

මොනව වුණත් අනිත් මහත්තයල නෝනලත් ඒ ගණන වියදම් කරන්නෙත් අතේ තියෙන සල්ලි ටික කෑම බීම,ගෙවල් කුලී,දරුවන්ගෙ ටියුෂන් පන්ති ගාස්තු,ඇයි අනිත් ආත්මෙට ගෙනියන්න පින් රැස් වෙන ආගමේ දහමෙ වැඩ,මේ වගේ එකී නොකී දේවල් දාහකට වෙන් කරන ගමන් බවත් අපි දන්නවා.

ඒ වෙලාවෙ යෝග මහත්තයා කැන්ටිම එහා කෙළවරේ මේසෙකට වෙලා කහට තේකක් තොල ගගා
තනියමයි හිටියේ. කො‍ටුව කෝච්චි ස්ටේෂමේ බෝම්බ පිරිපෙන්න ගත්තයින් පස්සෙ
කවුරු කවුරුත් හෙමිහිට යෝග මහත්තයා මගාරින්න පටන් ගත්තා. ඒ හන්ද ම තමයි ඒ
මහත්තයා මඩකලපුවට මාරුවක් ගන්න එහෙට මෙහෙට දිව්වේ. කොහොමින්හරි මාරුව
හදාගත්ත බව මට ඇහුණේ හත‍රැස් මේසෙ දෙපැත්තෙ වාඩි වෙලා ඉඳපු ක්ලාක් මිස්ලා
ගෝනි රෙදිවල පාට පාට කැරළි නූල්වලින් මෝස්තර මහන වෙලාවක.

ඊළඟ බදාද දවල් වරුවෙ කෑම පැයේ ඉඳල හවස තේ වෙලාව වෙනකන් කන්තෝරු කාමරේ
පැත්තෙන් යෝගනාදන් මහත්තය එලියට යන වෙලාවට කසු කුසු සද්දෙන ඇහුණ වාද
විවාද,හිනා කතා කෙළවර වුණේ  බ්‍රහස්පතින්දා වෙද්දි ප්‍රෙශර් කුකර් එකක්,තව
උයන පිහන භාණ්ඩ කීපයක් එක්ක විදුලි ස්ත්‍රික්කයක් ඔප වැටුණ කඩදහිවල ඔතලා
පීත්ත පටියකින් සැරසුවට පස්සේ.

"කල් පවතින වටින දෙයක් වෙන්න ඕන;මඩකළපු ගෙනියන්න පුළුවන් දෙයක් වෙන්නත් ඕන."

මිස්ල සර්ලා හැමෝගෙ ම අදහස වුණේ ඒක.

"යෝගගෙ වයිෆ්ට බබා ලැබුණෙත් ලඟදි නේ.දරුවට උවමනා කරන දේවල් ටිකක් දෙමු ද?"

"දරුව බලන්න ගිය වෙලාවෙ තෑගි දුන්න නේ. දැන් එහෙ ගිහින් පදිංචි උනා ම
වුවමනා කරන කළමනා ටිකක් දුන්න නම් තමයි වටින්නෙ."

කාන්ති මිස්ගේ ඒ යෝජනාව වීරතුංග මහත්තයා පැත්තකට කළේ එහෙම කියලා.
සිකුරාද උදේ ආකාසෙන් ඇද හැළුණ පොද වැස්සත් හවස් වරුව වෙනකොට හෙමිහිට
තුරල් වුණේ උස් බිත්තිවලින් වටවෙච්ච පොඩි ඉඩ කොටසෙ තැවරුණ අඳුර මකාගෙන
සිරියාවන්ත රන්වන් කහ පාට එළියක් ඇඳගෙනයි.

වෙන්වෙලා යන කාර්යාල සගයා වෙනුවෙන් පොඩි සමුගැනීමේ සාදයක් දමන්න කවුරු
කවුරුත් ලෝබ නැතුව කීය කීය හරි දුන්නා.මමත් එදා දවසෙ වැඩ කන්දරාව
කඩිමුඩියේ ඉවර කරන්න ගත්තේ හවස තේ පාටියට එන්න කියලා කාන්ති මිස්ලා කතා
කරපු හින්දමයි. අනික ඉතින් හිත හොඳ මහත්තයෙක්,මනුස්සයෙක් ආයෙ කවද දකින්න
ලැබෙයි ද නොලැබෙයි ද කියලා හිතාගන්න බැරි දුරකට වෙන්වෙලා යන්න වෙලාව ඇවිත්
තිබුණා,හිතට කොච්චර සාංකාවක් දැනුනත්.

තේ පැන් සාදෙ අතරතුරේ හැමෝම යෝගනාදන් මහත්තයට සුබ පැතුවා,අනාගතේ සාර්ථක
වෙන්න කියල ප්‍රාර්ථනා කළා,අතට අත දුන්නා.

වැඩ ඇරෙන වෙලාව ළං වෙද්දි අත්බෑග් සූදානම් කරගන්න තමයි ගොඩක් අය  උනන්දු
උනේ. ඒ වෙලාවෙ තමයි මම පන් මල්ලත් අරගෙන යෝග මහත්තයා ගාවට ගියේ.
කඩදාසියක ඔතලා දාගත්තු පාටියෙන් ලැබුණ බටර් කේක් කෑල්ල පොඩි නොවෙන්න
සීරුවට මල්ල ඇතුළෙ තිබුණු පොඩි රවුම් හැඩේ පන්කොළ පෙට්ටිය එලියට අරගෙන මම
ටිකක් බලාගෙන හිටියා. තින්තෙ ඔබලා වියලපු පන්ගස්වලින් රටා හිටින්න පොඩි
පෙට්ටි,පැදුරු විතරක් නෙවෙයි දිග මාගල් වියන්නත් අපෙ අත්තා අපි පොඩි කාලෙ
ම  උගන්නල තිබුණා.

"මහත්තයට දෙන්ඩ කියල ගෙනාවෙ.බඩු මොනවහරි දාගන්න පුලුවන් නේ."

"ආහ්
සිරිය ද මේක හැදුවේ? හරි ලස්සනයි නේ"

ඇස් කණ්ණාඩි දෙක ගලවල අතට අරගෙන පන් පෙට්ටියෙ පියනත් ඇරල බලලයි යෝගනාදන්
මහත්තය එහෙම කිව්වේ.

"එහෙනම් යෝග,අපි යනව.තව පරක්කු උනොත් ට්‍රේන් එකත් මිස් වෙනව නේ."

එතකොට ම එතනට ආපු පරාක්‍රම  මහත්තය කිව්වා.

"හරි. තෑන්ක් යූ සෝ මච් පාටි එකට"

"අපිත් දැන් යන්නම් යෝගා. ගෙදර යන්න රෑ වෙයි."

කාන්ති මිසුත් අනිත් මිස්ලා සර්ලත් යන්න සූදානමින් කන්තෝරු කාමරෙන් එලියට බැස්සා.

"ආයෙ මේ පැත්තෙ ඇවිත් යන්නකො එහෙනම්,අපිව බලන්න"

"එනකොට තල් හකුරු ටිකක් එහෙම ගේන්න හොඳේ"

ඒ කිව්වෙ කවුද කියලා කටහඬින් හරියට අඳුර ගන්න බැරි තරම් එහාට මං ඇවිදගෙන
ගිහින් තිබුණ බව මම තේරුම් ගත්තෙ ඒ වෙලාවෙ.

ආයෙමත් ලා අළු පාටට තිත් වැ‍ටුණ  දුඹුරු පාට පඩිපෙළ දිගේ පහළට බැහැගෙන
මම ගේට්ටුව පැත්තට ඇවිදගෙන ගියා.
ඉර ගාලු කොටු පවුරට මුවා වෙන වේගෙට ම කොටුවෙන් එහා ගෙවල් දොරවල්වල වගේ ම වීදි ලාම්පුවලත් පහන් දැල්වෙන්න පටන් ගෙන තිබුණා. තමන්ට නින්දට යන්න වෙලාව ආපු බව දැනගත්තු ඩුබායි රෝස මල් පොකුරු,  දාස්පෙති මල් බැහැගෙන යන ඉරේ අන්තිම එළිය බින්දු කීපය එක්ක මුසු වෙච්ච කෘත්‍රිම විදුලි ආලෝකය මැද මලානික ව දිළිසුණේ හෙට උදෙන් ම ඇස්වල පිණි බින්දු කඳුලැලි පුරවගෙන ඇහැරෙන්න වෙන බව මතක තියාගෙනයි.
කාටවත් දල්වන්න අතපසු ලයිට් කණුවක පහළ විදුලි ස්විචය ඔබාගෙන ම මම වීදිය දිගේ ටවුම පැත්තට ගියා.
මටත් නොදැනෙන්න මගේ මූණ පුරාවට මඳ හිනාවක්
ඇඳිල තිබුණා.

Wednesday, November 11, 2015

IFFColombo 2015 සහ "මංමුලා වූ තාරුණ්‍යය"


 


සවස හතරට තිරගතවීමට නියමිත චිත්‍රපටය නරඹන්නට 2.45ට රීගල් සිනමා ශාලව අසළින් බසයෙන් බැසගත්ත සාකියාට දැකගන්නට හැකිවුණේ ඉලාස්ටික් වගේ දිග. . .ට ඇදිලා ගිය පෝළිමක්. කොච්චරක්ද කියනවනම් සාකියාට ලැබුණු ටෝකන් අංකය 336.
මඟ දිගට යන බස් මගියන්ට ඇස් වපර කරලා මේ මහ දිග පෝළිම දිහාව බලනව හැරෙන්ට වෙන වැඩක් තිබුණෙම නෑ. මඟ යන ත්‍රීවීල්කාරයෙක් ස්ලෝ ඩවුන් කරලා කියාපි "ඔය බ්ලාහ් බ්ලාහ් කොකා බලන්ඩ තමයි පෝළිම" කියලා!

අනේ ඒත් අපි නම් හිටියේ "ඔබ ඇවිත් පිරෙන්න" කියලා ලැබුණු විශේෂ ආරාධනය පිට නොමිලේ ම චිත්‍රපට නරඹන්න, කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ දෙවන අදියරට සහභාගි වෙන්නයි ඕං.

ඊයේ තිරගත වන්නට නියමිත ව තිබුණේ සාකියා "බලන්ඩ ඕනෙමයි" කියලා කලක් තිස්සෙ බලාගෙන හිටිය "මෝටර් බයිසිකල්".


"අම්මගෙ මාලේ - ටවුමෙ උගස් කඩේ
සමනල කාලේ මොකට ද - කඳුළු මේ ?
"


රංගන කියන්නෙ අපිට කොළඹ පාරවල් ගානෙ, මුඩුක්කු අතරෙ හැමදාම මුණගැහෙන, ඒත් කිසි වැදගැම්මකට නැති චරිතයක්. ඔහුගෙ ලොකුම හීනය වුණේ සුපර් ස්ටාර් ගිහින් ප්‍රසිද්ධ සංගීතකාරයෙක් වෙන්න. ආ. . . තව මෝටර් සයිකලයක් ගන්න, ඊට පස්සෙ පොඩි කාර් එහෙකුත් ගන්න.

රංගනට ස්ථීර රස්සාවක් නැහැ. බාර් ගානෙ ගිටාර් ගගහා සිංදුවක් කියලා කීයක් හරි හොයාගන්නවා. ගේ සන්තකේට තියෙන්නෙ අම්මගෙ කරේ හැමදාම එල්ලි එල්ලි  තිබුණු බාල රත්තරන් මාලෙ විතරයි.
ඒත් රංගන ඒක උගස් තියනවා, තමුන්ගෙ ලොකුම හීනයක් හැබෑ කරගන්න. ඊට පස්සෙ තමන්ගෙ පෙම්වතියත් එක්ක කාලයක් පෙරුම් පුරමින් හිටිය විදියට රවුමක් ගහන්න යනවා.

ඒත් දවස අවසන් වෙන්නෙ නොසිතූ ආකාරයට.

පැය දෙකයි මිනිත්තු හතරක් තිස්සෙ සාකියා කට ඇරගෙන බලාගෙන හිටියෙ ඔන්න ඔය ලක්ෂ්‍ය දෙක සම්බන්ධ කරන සිදුවීම් දාමය දිහාව.

කතාව පුරාවට මෝටර් බයිසිකලේ වෙලාවකට තල්ලු කර කර, වෙලාවකට රූං ගාලා අධිවේගයෙන් පැදගෙන යන්නෙ අපේ කාලයේ රංගන ශිල්පීන් දෙදෙනෙකු වන දසුන් පතිරණ සහ සමනලී ෆොන්සේකායි.

මේ දෙන්නගෙ රංගනය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. විශේෂයෙන්ම දසුන් කියන්නෙ සාකියා "ඒ ලෙවල් ඉවරයි" ටෙලිනාට්‍ය බලපු දා ඉඳලා බොහොම පැහැදීමක් තියෙන, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම "රංගන ශිල්පියෙක්". චිත්‍රපටය පුරාවට ඔහුගේ භාව ප්‍රකාශනය ප්‍රේක්ෂක සිත් "මෝටර් බයිසිකල්" වෙත තදින් ඇද බැඳ ගන්න සමත් ප්‍රධානත ම හේතුව කියලයි සාකියට නම් හිතුණේ.


"පෙට්‍රල් ගිනි ගන්න - ෆ්ලයිට් එක උඩ යන්න
මොහොත ආවා. . .
"


"මෝටර් බයිසිකල්" ශමීර රංගන නාඔටුන්නගේ කුළුදුල් වෘත්තාන්ත චිත්‍රපටය වනවා වගේම සාර්ක් අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයත් දිනාගැනීමට සමත් වුණා. කාලයක් වැඩිහිටියන්ට පමණක් සුදුසු යැයි වර්ගීකරණය කර තිබුණත් දැන් එම වාරණය ඉවත් කරගෙන තිබෙනවා. 
තරමක "වැඩිහිටි" තේමාවෙන් යුත් දර්ශන දෙකක් පමණ මෙහි අන්තර්ගත වුණත් එය ද අවිනීත ලිංගික දර්ශන ආකරයෙන් දැක්වෙන්නෙ නැහැ. ඊයේ දර්ශනයට වයස බින්දුවේ සිට දහ අට දක්වා ළමුන් ද සහභාගි වුණු බව කිව යුතුයි.

සුරංග ජයසූරිය විසින් නිෂ්පාදනය කරන ලද මෙහි නිර්මාණාත්මක කැමරාකරණය විශ්වජිත් කරුණාරත්නගෙනුයි. චිත්‍රපටයේ ගලායාමට කැමරාකරණය ද විශාල වශයෙන් දායක වුණු බව කිව යුතුයි.


"ඔය දෙතොල් සිපගන්න - ජීවිතයට පන දෙන්න
මොහොත ආවා. . .
තව චුට්ටක් ඉවසන්න - යාලුවෙක් වගේ ඉන්න
මොහොත ආවා. . .
"


සාකියාට තේරුම් ගිය අන්දමට මේ චිත්‍රපටයේ තේමා කිහිපයක් දක්වන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම සාමාන්‍ය මධ්‍යම පාන්තික ජනයාගේ දර්ශන පථයෙන් බැහැර වුණු සමාජ ස්තරයක යතාර්තය "මෝටර් බයිසිකල්' මුල සිට අගට දක්වන්නට සමත් වෙනවා.
තුරුණු ප්‍රේමයේ දුටු සහ නුදුටු පැතිකඩ, එයට ඇති බාධා, එහි සීමාවන් ආදිය, කිසිවක් සාධාරණීකරණය කිරීමට උත්සාහ නොගෙන ඉදිරිපත් කර තිබීම මෙහි විශේෂත්වයක්.
ඒ හැමටම වඩා සාකියා "මෝටර් බයිසිකල්"හි දැක්කේ මංමුලා වූ තාරුණ්‍යයයි. චිත්‍රපටය පුරාවට ප්‍රේක්ෂකයාගෙන් යම් පැනයක් විමසන ආකාරයක් සාකියාට දැනුණා. ඒත් එයට පිළිතුර නම් තවමත් ගැටලුවක්.

ඉතින් මේ විදිහට තමයි සාකියාගේ පසුගිය සතිය ගතවුණේ. ඔබ මෙවර "IFFColombo" හා සම්බන්ධ නොවුණා නම්, ලබන වසරේ ඉඩ ඇත්නම් සම්බන්ධ වෙන්න.

කසිකබල් පික්චර් මුදල් විසිකර බලන යුගයක, උසස් ගණයේ සිනමා නිර්මාණ ගාස්තුවක් නොමැතිව ම නරඹන්නට ලැබීම වාසනාවක් නොවේ ද?