Thursday, January 3, 2019

ඔබ දෙසැම්බරයේ දවසක්




ඔබ දෙසැම්බරයේ දවසක්
අලාර්ම් නැතිව ඇහැරෙන
හිරිවැ‍ටුණු ඇඟිලි තුඩුවලින් යුහුසුළුව
සිනිඳු සලුවක් ගෙල වටේ එතෙන

උණු කෝපි දුමාරෙන්
කන්ණාඩි කාච බොඳ කරන
අවදි වුණු පසුවත්
හීන පෙන්වන
හීතලෙන් නැහැ අග කිතිකවන
ඉඳහිට මුහුණ රතු කර කිවිසුම් පිටවෙන

ඔබ දෙසැම්බරයේ දවසක්
ඉර අව්වට නොබිය
දහවලත් දාහය නොම දැනෙන
සීත සුළං ‍රැළි විටින් විට හමන
නත්තල් සීනු නද
පැතලි තිරයෙන් ඇහෙන

සීතල ගෙබිම පා ගැටෙන විට
හරිම අගනේ යැයි හිතෙන
සාලයෙන් මුළුතැන්ගෙට යනෙනාතරේ
නටන්න හිතෙන

ඔබ දෙසැම්බරයේ ‍රැයක්
හරිත පැහැ තුරු පත්
දුඹුරු පැහැ ගස් කඳන්
ෆැන්ටසිමය විදුලි එලියෙන් හැඩ උන

රෑ පුරා ඇහැරගෙන
පොරෝණය ඇතුළෙ ගුලි වී
රෝමාන්තික සිනමා පට බලන්නට හිතෙන
මායාව අපූරුයි දැනෙන

දවසක උදේ නැගිට
තිර රෙදි මෑත් කළ විට
ඉන්ද්‍රජාලයකින්වත් කේතුධර ශාඛ පැන නැග
මිදුලේ තණපත් මත
පිණි බිංදු වෙනුවට
හිම පියළි වැටී ඇති යැයි සිතෙන

ඔබ දෙසැම්බරයේ දවසක්
හිස් තෑගි පෙට්ටි ඇතුළට
බලාපොරොත්තු පි‍රැවෙන
ප්‍රාතිහාර්ය නොගෙනෙන බව
දැන දැනම මොහොතකට අමතක වන
අලුත් අවුරුද්දක් ගැන
හිත ප්‍රීතියෙන් පිරෙන.

No comments:

Post a Comment