Thursday, July 2, 2015

දේදුන්නට ගල් ගැසීම හෙවත් අනවබෝධය

පෝස්‍ටු දමන්නට කොහොමටත් කම්මැලි අනේමන්දා හිටියේ මේ ගැන ලියන්නට නොවේ ය.ඒත් ඊයේ දු‍ටු blog අඩවියක් නිසා මේ සම්බන්ධව යමක් ලිවිය යුතු බව හැඟුණි.

මීට අවුරුදු කීපයකට උඩ දී සමලිංගිකයන් ගැන අනේමන්දා දැරූ ආකල්පය "අනේ අපොයි" යන්නයි.ඔවුන් සොබාදහමට පටහැනි ජීවී කොට්ඨාසයක් ලෙස සිතූ ඇය ඔවුන්ව පිළිකෙව් කළා ය.ඔය අතරේ දිනක් ඇයට අපූරු පොතක් කියවන්නට ලැබිණි.
පොතේ නම "ගැහැණු පිරිමින්ට වඩා මේ තරම් වෙනස් ඇයි".පරිවර්තනයක් වූ මේ පොතේ මුල් කෘතිය Allan and Barbara Pease යුවළ ලියූ  Why Men Don't Listen & Women Can't Read Maps: How We're Different and what to Do about it(1998) ලෝ පතළ මනෝවිද්‍යාත්මක ග්‍රන්ථයයි.
ගැහැණු සහ පිරිමි මොළවල වෙනස්කම් බොහොම තාර්කිකව සහ විද්‍යාත්මකව විග්‍රහ කොට තිබූ එහි එක් පරිච්ඡේදයක් වෙන් වුණේ සමලිංගිකත්වය ගැන විස්තර කරන්නයි.
සමලිංගිකයන්ගේ ලිංගික අනන්‍යතාවය බොහෝ විට ඔවුන්ට කලල අවධියේ දී ලැබෙන දෙයක් බවත්  ඇත්ත වශයෙන්ම එය ඔවුන්ගේ ‍තෝරාගැනීමක් නොව ඉබේ ලැබෙන්නක් බවත් එහි සඳහන් වුණා.

"මෙය කියවන පාඨක ඔබ විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වන්නෙකු වීමේ සම්භාවිතාව 90%කි. මඳක් හිතන්න ඔබට ඔබේ ම වර්ගයේ අයෙකු ගැන ලිංගික හැඟීම් ඇති කර ගැනීම කොතරම් අපහසු ද කියා?
එලෙසම සමලිංගිකයන්ට ද සැබෑවට නොපවතින හැඟීම් ඇති කර ගත නොහැක.
හිතන්න,බොහෝ අය ප්‍රකාශ කරන පරිදි එය ‍තෝරාගැනීමක් වූවා නම් කිසිම බුද්ධිමත් පුද්ගලයෙකු විසින් තමාව විවේචනයට,ගර්හාවට ලක්වන,සමාජය විසින් අසාධාරණ පූර්ව නිගමනවලට එළඹ ඇති ජීවන පෙවෙතක් ‍තෝරාගනියි ද?
වගකිය යුත්තේ හෝර්මෝනයි,මානව තේරීම් නොවේ." 
 ඉහත දැක්වූවේ එම පොතෙන් උපුටාගත් කොටසක පරිවර්තනයයි.

එය කියැවූ අනේමන්දාට තමන් මේතාක් කල් වැරදි අවබෝධයකින් හුන් බව පසක් වුණා.

පොතෙහි pdf පිටපත පහත link මගින් කියවිය හැකියි.
Why Men Don't Listen & Women Can't Read Maps  (පි‍ටු 204-215)   

 පහුගිය දිනවල මුහුණු පොතේ සාමාජිකයන් දේදුණු පාටින් profile pictures වර්ණ ගන්වාගෙන ඉන්නවා කවුරුත් දකින්න ඇති.ඒ ඇයි කියලා සමහරු හරිහැටි දන්නේ නැතුවත් ඇති.
Jordan L. Schoen විසින් පළ කළ පහත ප්‍රකාශය ඔබට හේතුව පැහැදිලි කොට දෙයි.

"මෙය ලියන මම Straight ය. මෙහි ඇති Straight යන්නෙහි අර්ථය නම් මම මට ප්‍රතිවිරුද්ධ ලිංගික පාර්ශවය වන කාන්තාවන් සමග පමණක් කායික සම්බන්ධතා පවත්වන බවයි. නමුත් මා විශ්වාස කරන ආකාරයට ආදාරයට ස්ත්‍රී/පුරුෂ භාවයක් නොමැත. මන්ද ආදරය යනු ආදරය නිසාවෙනි.
ඔබ Straight වුවත් Homo Sexual (සම ලිංගික) වුවත් Bi Sexual (ද්වී ලිංගික) වුවත් ආදරය ආදරයම වන අතර කිසිදු වෙනසක් සිදු නොවේ.ඔබ ආදරය කල යුත්තේ කාටද යන තීරණය ගැනීම ඹබගේ අයිතියකි. තමන්ගේ ලිංගික පාර්ශවයට අයත් අයෙක් සමග සම්බන්ධතා පැවැත්වීම නරක වැඩක් වත් අසික්කිත වැඩක් වත් ලැජ්ජා විය යුතු දෙයක් වත් නොවේ. එසේ පවසන්නේ මෝඩ මිනිසුන්ය. කවුරුන් සමග ජීවත් වනවාද යන්න තීරණය කල යුත්තේ තමන්ය."




Celebrate Pride App එකේ තිබෙන දේදුනු පැහැති කොඩිය හදුන්වනු ලබන්නේ LGBT(Lesbian,Gay,Bi Sexual, Transgender) Pride Flag ලෙසයි.මෙහි තිබෙන වර්ණ LGBT සමාජයේ විවිධත්වය පෙන්වීමට යොදා තිබේ.එසේම මෙය ලොව පුරාම භාවිතා වන්නකි.

Celebrate Pride App එක බිහිවන්නේ LGBT Pride මාසය සැමරීමට වුවද ඇමරිකාවේ අධිකරණය මෙම සමාජ කණ්ඩායම් අතර විවාහ වීම නීති ගත කිරීමත් සමග ඉන් පැය කිහිපයකට පසු මෙය මුදා හැරුනි. ඒ අනුව facebook වෙබ් අඩවියේ සිටින ඕනෑම අයෙකුට දේදුනු පැහැය තම
Profile picture එකට එක් කර ගනිමින් තමන් ද එම විවාහ වලට සහයෝගය දක්වන අයෙක් බව පෙන්වීමට ඉඩ ලැබුණි.තේරුම් ගත යුතු වැදගත් කරුණ නම් කිසියම් සමාජයකට සහයෝගය දැක්වීමෙන් එම සමාජයේ කොටසක් නොවන බවයි.


Transgender නමින් හඳුන්වන තමන්ගේ පාලනයෙන් තොරව ලිංගිකත්වය වෙනස්වීමේ නොවැළැක්විය හැකි තත්ත්වය නිසා ලාංකීය සමාජයේ මිනිසෙකුට මුහුණ දීමට වන ඛේදනීය සිදුවීම් පිළිබඳව පහත ලින්කුව මගින් වැඩිදුරටත් කියැවිය හැකියි.

On Being Transgender in Sri Lanka
 
යමෙක් වෙනස් පුද්ගලයකු වූ පමණින් සමාජ විරෝධියකු ලෙස හංවඩු ගැසීම මනුෂ්‍යත්වය නොවෙයි.

කළ යුත්තේ සමලිංගිකයන් හෝ ද්විලිංගිකයන් සමාජයෙන් කොන් කිරීම නොව ඔවුන්ටත් සමාජයට වැඩදායී යහපත් පුරවැසියන් ලෙස කටයුතු කිරීමට සහයෝගය ලබාදීමයි.

        

13 comments:

  1. මටනං ඈක්ක.... කියල හිතෙන්නෙ අනේමන්දා

    ReplyDelete
    Replies
    1. මටත් ඉස්සර හිතුනේ එහෙම තමයි චාමර.පස්සේ අනුකම්පාවක් ඇති වුණේ.එයාලටත් අපිට වගේම සමාන සැලකීමක් ලබාගන්න අයිතිය තියෙනවා නේ ද?

      Delete
  2. තම තමන්ට හිතෙන හැටි නෙව.
    හැම දෙයක් දිහාම මධ්‍යස්තව බලන්න් පුලුවන් නං ඔය කාරණාවත් සාමාන්‍ය දෙයක් විදියට දකින්න පුලුවන් වෙයි.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මහේෂ්.මැදහත් සිතින් බලලා ඒ අයට කාරුණිකව සළකන්න පුලුවන් නම් කොච්චර හොඳ ද.

      Delete
  3. ගල් සහ ආප්ප ලෙස පමණක් ලිංගිකත්වය බෙදා වෙන් කරන අපේ අයට මේ දර්ශනය පැහැදිලි කරදෙන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත.මොනවා කරන්න ද?
      ඒත් දැන් ලෝකෙ දියුණුයි.දෙයක් තේරුම් ගන්න උත්සහයක්වත් දරනවා නම්...

      Delete
  4. අපේ රටේ මිනිස්සු තාම ඉන්නේ ගල් යුගයේ.....
    ලෝකේ වෙනස් වන විදියට වෙනස් වෙන්ඩ කැමති නෑ....ඒ ඒ මිනිස්සුන්ගේ ආශාවල් ප්‍රාර්ථනා වෙනස්!!

    ReplyDelete
    Replies
    1. ඔයා කියන කතාව ඇත්ත රූපේ.සමස්තයක් වශයෙන් ලිංගිකත්වය කියන සංකල්පය ම විවෘත ව කතා බහ නොකර හංගගෙන බොරු සුචරිතවාදයක් කරපින්නා ගෙනයි අපේ රටේ ගොඩක් අය ඉන්නේ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මෙ සංවාදයේදි කියවෙන උපරිම ගොන් කතාව තමයි ලංකාවෙ බහුතරය මිනිස්සු ගල් යුගයේ ප්‍රඥාවන්තයො කීපදෙනෙක් ඇර කියන එක.
      ඇමරිකාවෙ සමාජය සමාජ වටිනාකම් කියල සලකන ඒව ලංකාවටත් හොදයි හිතන අයත් ඉන්නවා. ඒව ලොකුයි කියන අයත් ඉන්නව.

      සමලිංගිකත්වය ඉතා තදින්ම පැවතිච්ච සමාජ ලොකේ පුරාම තිබුනා. ප්‍රධාන වශයෙන්ම යුරෝපීය සමාජයේ. ග්‍රිසියේ හා රෝමයේ නීරෝ, ක්ලොඩියස්, කලිගුලා, ජුලියස් සීසර් , මාක් ඇන්තනී විතරක් නෙමෙයි මහා ඇලෙක්සැන්ද්‍ර රජතුමාත් සමලිංගික සේවනයේ යෙදුන බව කියවෙනවා. හැබැයි සමාජය තුල මේ හැසිරීම ප්‍රවර්තනය උනේ නැ.

      උදාහරණයක් විදියට ග්‍රිසියේ ඉතාම සාමාන්‍යය දෙයක් විදියට කලක් පිළිගැනුනු සමලිංගිකත්වය අවුරුදු දෙතුන් සීයක ඇතුලත සමාජ අපචාරයක් බවට පත්වෙනවා. ඒ සමලිංගික සේවනය සමාජයට ඇතිකරපු නරක බලපැම හින්දා.

      අද ලංකාවේ සමාජයෙ උනත් සමලිංගික හැසිරීමට ඇබ්බැහි උන අය සමාජයට කරන බලපැමක් තියනවා. මේ අය බාලවයස් කාර දරුවන්ව ගොදුරු කරගන්න දරන උත්සාහය. මීට කලකට පෙර ස්ත්‍රි දුෂණ තරම් මේ සිද්දි වාර්තා නොවුනත් අද පිරිමි දරුවන්ට වෙන අතවර ස්ත්‍රි දුෂණ තරමටම වාර්තා වෙනවා.

      මේකට හේතුව මේ සමලිංගික අයට සහකරුවන් සොයාගන්න ප්‍රධාන සමාජයේ දී නොහැකිවීම. ඒ හින්දා ඔවුන් දරුවන්ව අපචාර වලට පොළඹවාගන්න බලනව.

      සමලිංගිකත්වගේ මානව විද්‍යාත්මක බලපැමක තියනවා කියන කාරනයත් ඔය වගේම දෙයක්. serial Killers කියන අයගෙත් මොළයේ කොටසක වෙනස්කම් තියනබව හොයාගෙන තියනව. ඒක ඔවුන් කරපු අපරාධ සාධාරණය කරන්න හේතුවක් විදියට කවුරුවත් සලකන්නෙ නෑ. (මේකෙන් මම සමලිංගිකයන් අපරාධකාරයන් කියල කියනව නෙමෙයි)

      පැපුවා නිවුගිනියා වල අදටත් නිර්වස්ත්‍රව isolate විදියට ඉන්න එක්තරා ආදිවාසී කණ්ඩායමක (sambia or similar name ) සියළුම පිරිමි දරුවන් අවුරුදු 6 පස්සෙ ගෝත්‍රයේ පිරිමි අයෙකුට විවාහ කරදීමක් වගේ දෙයක් කරනවා. ඒ ලමයා වැඩිහිටි බව ලබන්න අදාල පිරිමි පුද්ගලය සමග සමලිංගිකව කලක් ජීවත් වෙන්න ඕනැ කියල ඔවුන් විශ්වාස කරනවා. මේක ශාරීරික වෙනස් කමක ප්‍රතිඵලයක් නෙමෙයි සමාජ වටිනාකම් වල පෙළඹවීමක්. ඒක හින්දා උපතේ ඇතිවන වෙනස් කමක් නිසාම සමලිංගික වෙනවා කියන එක මිත්‍යාවක්.

      මේ කටයුතු වලට නීතිමය නිදහස දිමත් එක්ක සමාජය තව තවත් අවදානමට ලක්වෙන එක වලක්වන්න බෑ. කරන්න තියන හොදම දේ තමයි මේ කාරණා සමජයේ උළුප්පා නොදක්වා ඒ අයට මේ ඉන්න ආකාරයට ඉන්න දෙන එක.

      Delete
  5. ඔබ කියන කතාවේ ඇත්තක් තියෙනවා චාමර.මම කොහොමටවත් කියන්නෙ නෑ අමෙරිකානු සමාජයීය හරයන් වටිනාකමෙන් වැඩි බව.ඒ සමාජය සංකීර්ණයි.ඒත් සාපේක්ෂව බටහිර රටවල මිනිසුන් මේ වගේ ප්‍රශ්න දිහා විවෘත මනසින් බලනවා.මට ඇත්තටම මේ පෝස්ට් එකේ සඳහන් කරන්න බැරි වුණා විවිධ හේතූන් මත ඇතිවෙන තාවකාලික සමලිංගික බව ගැන.ඒත් ළමා අපයෝජන සාධාරණීකරණය කරන්න බැහැ කිසිම ආකාරයකින්.මමත් සියයට සියයක් සමලිංගිකත්වය,සමලිංගික විවාහ අනුමත කරන්නේ නැහැ.එම විවාහ තුළ දරුවෙකු ඉන්නවා නම් ගැටලු මතුවීමේ විශාල ප්‍රවනතාවක් තිබෙනවා.එමනිසා ඒ අයට අපහාස නොකර,ඔබ කියන විදියටම උලුප්පා දක්වන්නෙත් නැතුව ඉන්න එකයි හොඳම දේ.ස්තුතියි අදහස් දැක්වුවාට.

    ReplyDelete
  6. අනේ මන්දා........... ඔන්න අපිත් ආවා

    ReplyDelete
    Replies
    1. හෙහේ.සාදරයෙන් පිළිගන්නවා දෙපන්හිඳට,අඳුරු තරු කැටය...

      Delete