Wednesday, July 1, 2015

අපසරණය (Diverged)

ඈ විවෘත කළ ලාච්චුව පතුල දිහා බලාන උන්නා.එතැන තිබුණු බව කොහොමටවත් මතක නොතිබුණු ඒ සිතුවම,දැන් දූවිලි වැකුණු,පාට බොඳ වෙන්න ආසන්න වුණු චිත්‍රයේ හිටියේ ගෑණු ළමයෙක්.කරලකට එකතු කර පිළිවෙලක් කරන්න හැදූ කොන්ඩෙ දෙසවනට මෙපිටින් අවුල් වෙච්ච,ලෝකෙ මොනව උනත් තමන්ට වගක් නොමැති බව හැඟවෙන බැල්මක්,බොහොමත්ම කලාතුරකින් කෙනෙකුගේ මුහුණෙ ඇඳෙන බැල්මක් දරාගෙන ඈ හිටියා,පාලමකට ඉහළින් දියපාර දිහා බලාගෙන.
                                               * * * * * * * *
පාලම උඩ වාඩිවෙලා දෙපා වතුර දිහාට දිගුකරන් රටකජු කෑවා,ඔවුන් දෙන්නා.
ඇයි නැවැත්තුවේ?කියන්න..
ඊට පස්සේ මොකද උනේ?
කතාව ටිකක් සංකීර්ණයි.මං පස්සේ කියන්නම්,හෙට කියන්නම්.. ඈ කිවුවේ රටකජු පොතු අහුරක් ගුලි කරගත්ත අත හුළඟ දිහාට දිගු කරලා දිග අරින ගමන්.එකතැන වට භාගයක් කැරකුණු ලා රතු දුඹුරු පොතු කැබලි පා වෙලා  ගියේ මෙවන්‍යාගේ සුසුම් පොදත් එක්ක මුහු වෙලා.
ඒ බව නොදැක්ක සරිත් යාන්තමට රවලා ගඟ දිහා බැලුවේ "නෑ නෑ ඕන නෑ.හෙට කියන්න ඕනෙත් නෑ,පස්සේ කියන්න ඕනෙත් නෑ.''යි කියමින්.
"අපෝ හරි හරි කියන්නම්." ආයෙමත් ඇයගේ මුහුණට අඳුරක් කාන්දු වුණේ ගං දියට ඉහලින් ඉර මුවා කරගෙන උණුහුමින් තොර කළු වළාකුලක් පාවුණ විලාසෙන්.
"ඒක හරිගියේ නැහැ.
මං ඒ කාලේ හිතුවේ විභාගෙ ගැන.
මං එයාට කිව්වා ඒක.එයා කිව්වා කමක් නෑ විභාගේ ඉවරවෙනකන් ඉමු,මේක කල් දාමු කියලා."
"හ්ම්ම්.."
"ඒත් මම,දැනගෙන හිටියේ නැහැ එහෙම දිගට යන්න බැරි බව...
ටික කාලෙකින් එයා කතා කරන එක අඩු වුණා.පස්සේ මං කිව්වා මේක නවත්තලා දාමු කියලා"
"අමුතු කතාවක්" සරිත් තමන්ට හිතුණු දේ නොවලහා කිව්වා.මේ කාරණේ සම්බන්ධව සමාන්තර සිදුවීම් දාමයකට මුහුණ පා හිටි ඔහු වැඩි ආයාසයකින් තොර ව ඇගේ කථාන්තරය තේරුම් ගත්තා.
"ඉතින් ආයේ කතා කළේ නැද්ද?" ඔහු එහෙම ඇහුවේ හූමිටි තියන්නත් එක්කයි.
"කතා කළා.විභාගෙන් පස්සේ." මෙවන්‍යා කිව්වේ ආයෙමත් ඈත බලාගෙන.
"එයා ද ඔයා ද?"
"එයා"
"ඉතින් එයා කතා කළා නම් ආයේ පටන් ගන්න තිබුණනේ."
 "පටන් ගත්තා..."
ඇයගේ ස්වරය මඳක් උදාසීනයි,නොරුස්නාසුලුයි.
"ඒක හරිගියේ නැහැ."තෙවැනි වතාවටත් කිවු ඒ වාක්‍ය ඛන්ඩයේ තේරුම කුමක්දැයි වටහාගන්න තැත් කළ සරිත්ට ඒ සමග ම අවබෝධ වුණේ තමන් ඇගේ හදවතේ ස්පර්ශ නොකළ යුතු සීමාව අතික්‍රමණය කිරීමට ළඟා වෙන බවයි.
"ඔයාට තේරෙන්නෙ නැතුව ඇති.ඒක විකාරයක් උනා.ඇයි ඔයා ඇහුවේ මේවා.ඕකනේ මම කියන්න කැමති නැත්තේ."
"හරි හරි.ඒ කතා ඇති." ඔහු කටහඬ මඳක් මුදු කොට කිව්වා.
"අද අපේ බලු පැටියට වැක්සින් එක දෙන්න එක්ක ගියා" ඒ සැහැල්ලු ස්වරය ඇහුණ මෙවන්‍යාට දැනුනේ  හිරු තාපයෙන් තැවුණු ගං ඉවුර එක්වරම මඳක් සිහිල් වුණා වගෙයි,ඇත්තටම හුළඟක් නොහැමුවත්.
මොහොතකින් සිනා කවට බසින් අවට වාතලය සංතෘප්ත වුණා.
                                                        * * * * *
මෙවන්‍යා හොඳින් ම අවබෝධ කරගෙනයි හිටියේ,සරිත් තමන්ට නොගැලපෙන බව.හරියටම කිව්වොත් තමන් දෙන්නා ගැලපෙන යුවළක් නොවන බව.දෙන්නටම පොදු විනෝදාංශ,අනාගත සැලසුම්,සිහින රැකියා හෝ සංගීත රටා තිබුණේ නොගිනිය හැකි සංඛ්‍යාවක්.ඒකටම එකතු වෙන්න ඔහුට වඩා ඈ මාස කීපයකින් වයසින් වැඩියි.
දකින කෙනෙක් කියයි හරියටම කැපෙන ජෝඩුවක් කියලා.මෙවන්‍යාගේ හුරුබුහුටි හිනාවට එක් වුණ සරිත්ගේ තැන්පත් මන්දහාසය ඕන පරිසරයක් ආලෝකමත් කළා.

ඒත් සරිත් තමන්ගේ මූල පද්ධතිය පොළොවේ එක් තැනක රඳවන්න නෙවෙයි කැමති වුණේ."අඩවි වන නිලධාරියෙක්" ඒ තමයි ඔහුගේ හීනය,බලාපොරොත්තුව.
නිවාඩුවක් ලැබුණු හැටියේ යාළුවො කීපදෙනෙක් එක්ක සිංහරාජෙ,යාල,හෝර්ටන් තැන්න,කන්නෙලිය කැළේ බලන්න යෑම තරම් සතුටක් ඔහුට තවත් තිබුණෙ නෑ.අගනුවර ආසන්නයේ සැප පහසුවෙන් ජීවත් වෙන්න ගෙයක් තිබිය දී,හොඳ වේතනයක් ලැබෙන සමාජය අගය කරන රැකියාවකට යන්න සියළු සුදුසුකම් තිබිය දී ඔහුට කර්කශ රැකියාවක් තෝරාගන්න හිතක් ඇතිවීම ගැන මෙවන්‍යාට තිබුණෙ කෝපයක්,එක්තරා දුරකට සාධාරණ කෝපයක්.ඇයට නාගරික පරිසරයේ ගැඹුරට විහිදුණු තමන්ගේ මුදුන් මූලය ගළවා ගන්න හැකියාවක් තිබුණේ නැහැ.ස්වභාවික පරිසරයට ඇයත් ආස කළා.ඒත් සාම්ප්‍රදායික පවුල් පසුබිමක හැදී වැඩුණු ඇයට තමන් වික්‍රමාන්විත අනාගත දිවියක් පිළිබඳ සිහින මැවීම ප්‍රායෝගික නොවන බැව් වැටහුණා.

 ඒ හින්දම මෙවන්‍යා බය වුණා;දවසක සරිත් මිතුරු බැම්මෙන් ඔබ්බට යන්න සූදානම් වුණොත් දෙන්න ඕනැ පිළිතුර ඈ කලින්ම සකසගෙන හිටියත්,එය අසුන්දර බව ඇයට වැටහුණා.
වෙලාවකට ඇයට හිතුණා සරිත් ද තමන් ඉන්න මානසික වාතාවරණයෙ ම දෝලනය වෙනව ද කියලත්.පහු කාලෙක,හුඟක් පහුකලෙක ඒ සිතිවිල්ල නිවැරදි බව ඇය දුටුවා.
                                                            * * * * *
තවත් දවසක් පාලම දෙපැත්තෙන් ඔවුන් දෙන්නා මතු වුණා.අනෙක් යහළුවන් එන තෙක් හැමදාම වගේ කතාබහ කරන්න කාල වෙලාව තිබුණා,ඕනැ තරම්.
සරිත්ගේ අතේ එදා වෙනදා නොදුටු දෙයක් ඇය දුටුවා.
"කැමරාවක්"
"මේක ප්‍රොෆෙෂනල් එකක් නේද?
කොහෙන්ද? ඔයා කෝස් එකක්වත් කරනව ද?" ප්‍රශ්න වැළ මෙවන්‍යාගෙන්.
"හම්බුණ එකක්.තාම පුරුදු වෙනවා."
සරිත් කිව්වේ පුරුදු සැහැල්ලු හිනාවෙන්.
"අනේ මටත් කියල දෙන්නකෝ" කාලෙකට ඉහත දී ඡායාරූප ශිල්පිනී සිහිනයක ගැලී උන්න මෙවන්‍යා උඩ පැන්නේ නැතුව විතරයි.
පෑ බාගයකට වඩා දිය දහරා,ගහ කොළ කුඩා අංකිත තැටියක ගබඩා වුණා.ඒ අතරේ මදක් වෙහෙස නිවමින් හුන් මෙවන්‍යාගේ නිශ්චල සේයාරුවක් කැමරාව තුළට ඇතුළු කරගන්න සරිත්ට හැකියාව ලැබුණු බවක් ඇය දැනගෙන හිටියේ නෑ.
                                                             * * * * *
කාලය,පුරුදු පරිදි තම අනවරත චාරිකාවේ යාත්‍රා කළා.
වෙන්ව යන්නට නියම දිනය එළැඹෙනා බව පසක් වූ සරිත්හට තම මතක මාත්‍රය මෙවන්‍යාගේ සංතානය තුළ තිර ලෙස සනිටුහන් කිරීමේ බලවත් වූවමනාවක් හටගත්තා.
ඔහු කලෙකින් නෑල්ලූ සිතුවම් පුවරුවේ දුහුවිලි පිස දැමුවා.
                                                              * * * * *
"කවදාවත් හිතිලා නැද්ද ජීවිතේ වෙනස් පැත්තකට හරවන්න?" සරිත් ඒ ප්‍රශ්නය අහන වෙලාවෙ වෙනද තියෙන සැහැල්ලුව ඔහුගේ මුහුණෙ දකින්න තිබුණෙ නැහැ.
"ඇඩ්වෙන්චරස් වෙන්න??"
"හිතුණා,ඉස්සර.ඒක හරියන දෙයක් නෙවෙයි."මෙවන්‍යා කියාගෙන ගියේ දුක්මුසු මඳ සිනාවක් එක්ක.
"මට මේ හුරු වෙච්ච ජීවිතේ වෙනස් කරන්න බෑ.
ආසයි,ඒත් බෑ.ගෑණු ළමයෙක්ට එහෙම කරන එක ලේසි දෙයක් නෙවෙයි.
අනික මට ඕන ළමයි හදන්න,එයාලව ස්කෝලේ එක්ක යන්න,හස්බන්ඩ් ගෙදර එනකොට රසට කෑම උයල දෙන්න.
මදුරුවො තල තල ෆෝන් කෝල් එකක් ගන්න සිග්නල් නැති පළාතක මට වැඩි කලක් ඉන්න පුළුවන් වෙන්නේ නැහැ.ඒක මම දන්නවා."
"අවුරුදු විසිපහෙන් මැරි කරලා ඔය ඔක්කොම කරලා ඉවර වෙලා හැට වෙද්දී මුනුබුරෝ බලාගන්න?"
සරිත් ඇහුවා.හිනහවක් තිබුණත් බලාපොරොත්තුක් කඩවීමෙන් වත හරහා ඇඳුණු ශෝකී රේඛාව මෙවන්‍යාගේ තීක්ෂණ ඇහින් හංගන්න ඔහුට පුළුවන් කමක් තිබුණෙ  නෑ.
මේ පිළිතුර මෙලෙස ඇහෙන බව කල්තියා දැන උන්නත් යම් ප්‍රාතිහාර්යයකින් ඈ වෙනස් උත්තරයක් දේ යැයි ඔහුගේ හදවතේ එක් පාර්ශවයක් ඇහෙන නෑහෙන ස්වරයෙන් මුමුණමින් හිටියා.නමුත් අවසානයේ දී ඒ නිශ්චිත අර්ථකථනයක් නොමැති මිතුදමේ අවසන් අදියරට ඔවුන් එළඹ උන්නා.
ගං ඉවුරේ ගහක් පාමුළ තිබුණු බෑගයෙන් සරිත් යමක් පිටතට ගත්තා.දුඹුරු පැහැ කඩදාසි කවරයක්;ඔහු එය මෙවන්‍යා වෙත දිගු කළා.
ඈ එය විවෘත කළේ කුතුහලයෙන්.
පැන්සල් තුඩින් නිමැවුණු තමන්ගේ ආලෙඛ්‍ය සිතුවම දුටු ඇයට සංවේදනා දහස් ගණනක් තමා වට කර සිර කරගන්නා බවක් එක් තත්ත්පරය දී  හැඟී ගියා.
                                                  * * * * * * * *
"අම්මා... මගේ පාට පැන්සල් පෙට්ටිය හොයා ගත්ත ද?"
ළදැරිගේ හඬින් තිගැස්සුනු මෙවන්‍යා පියවි ලොවට එළඹුණා.
"ඔව් පුතා.මේක අරන් ගිහින් චිත්‍රයක් අඳින්නකෝ.අම්මා ඉක්මනට  එන්නම්..."යි කී ඇය යළිත් වරක් එදෙස නොබලාම ලාච්චුව වසා අගුළු දැමුවා.
කාලය ඉගිළ තිබුණා,එදා අවසන් වරට සරිත් මුණ ගැසීමෙන් පසු,ඔහු තම පළමු පත්වීමට විල්පත්තු වනයට පියනැගීමෙන් පසු.
ස්වභාව ධර්මයට අනුගතව මෙවන්‍යාට යහපත් ස්වාමි පුරුෂයෙක් ලැබී තිබුණා,අමුතු විශේෂත්වයක් නැති බැංකු නිලධාරියෙක්.
නැගී සිටි මෙවන්‍යා තම පරිගණකය පණ ගැන්වූවා.
ඈ යොමු වුණේ මාස කීපයකට වරක් නොවරදවා ලැබෙන විද්‍යුත් ලිපියක් වෙත.
ඒ අන්තිමට සරිත්ගෙන් ලැබුණු ලිපිය.
කෙටියෙන් කිව්වොත් සේයාරුව.
ඉන්දියාවේ එක් කෙලවරක,මෙවන්‍යා නම නොදන්න පෙදෙසක වන උයනේ දොරටුව අභියස ඔහු උන්නා,බෙංගාලි ව්‍යාඝ්‍රයකු සමග;පුරුදු සැහැල්ලු සිනහව මුවග රඳවාගෙන.
මඳ වෙලාවක් එදෙස බලා හිඳි ඇය පරිගණකය වසා දමා නැගී මුළුතැන්ගෙයට පියමැන්නා.
සවස කාර්යාලයේ වැඩ නිමවී නිවෙසට එන තම සැමියාට තේ හදන්න ඇය වතුර කේතලය ලිප මත තබා බලා සිටියා.
මුදු ගිනි දැල් වෙත යොමු වූ ඇගේ වතේ සැහැල්ලු මඳහසක් රැඳී තිබුණා.