Monday, November 2, 2015

හරිත රෝස (1 කොටස)

කවුලුවෙන් පිටත තදින් වැසි ඇදහැලෙයි. උදාසීන ව ජනේලයෙන් පිටත බලා සිටි හේසල් හදිසියේ මෙන් නැගී උන්නා ය.ඇම්බර් පැහැ කෙස් වැටිය වම් උර මතින් දකුණු උරය වෙත මාරු කළ ඈ මුළුතැන්ගෙය වෙත පිවිසුණා ය. මල් ලියකම් විසිරුණු විනිවිද දැකිය හැකි වීදුරු බඳුන් කීපයෙහි ලේබල් වෙත නෙත් යොමු කළ හේසල් "තේ" යන නාමය දුටුමතින් දෑස් හකුළා වහා අනෙක් බඳුන වෙත යොමු වූවා ය.හරිත තේ,කෝපි,ආමන්ඩ් කුඩු,කොකෝවා...
"කොකෝවා"
 "හීත හැන්දෑවකට ගැළපෙන ම දේ... "
මඳ හිනාවකින් වත එකලු වූ හේසල් සිතුවා ය;වහ වහා  බඳුනකට දිය පිරෙව්වා ය. නැවුම් කිරි ටිකක්,සීනි කැට කීපයක්,පුරවපු කොකෝවා කුඩු හැඳි දෙකක් බඳුනට එක් කළා ය.උදුන මත තැබූ බඳුනෙන් ඉහලට නඟින ප්‍රණීත සුවඳින් යුත් සිහින් දුමාරය ආඝ්‍රාණය කරමින් කුඩා දැවමය හැන්දකින් එය මඳක් කැලතුවා ය.උණුසුම් කොකෝවා  බඳුන රැගත් හේසල් අඳුරු බරාඳ පසු කරමින් එලිමහනට පිවිසුණා ය.
මවගේ රැකියාව ස්ථාන මාරු බහුල වශයෙන් ලැබෙන එකක් වූ නිසා ම,එකිනෙකට වෙනස් කාලගුණ,දේශගුණ,පාසල් සහ මිතුරන්(විචල්‍යතාව නිසා ඈට වැඩි මිතුරන් සංඛ්‍යාවක් නොසිටියත්) රැසක් පිරි ළමා වියකට ඇය හිමිකම් කීවා ය. අවාසනාවන්ත ලෙස මෙවර ඒ සීත කඳුකරය වෙතයි.
"මට තේරෙන්නෙ නෑ මිනිස්සු මේ වගේ විකාර හීත දේශගුණයක් තියෙන කලාපෙක විනෝද සවාරි එන්න හිතන්නෙ ඇයි කියලා.
ඇත්තටම,දවස පුරා ම මෆ්ලරයක් බෙල්ල වටේ ඔතාගෙන නොහිටියොත් උගුරෙ අමාරු හැදෙන කන් අගුලු වට්ටන මේ හීත... ඔහ්"
හිමිදිරි උදෑසන වුව ද කොරිඩෝව මඳ අඳුරින් මලානික වී තිබිණි. විසල් කණු දෙපසින් පොළොව දෙසට ඇදුණු මල් ගැවසුණු ලතාවන් අතරින් ඉදිරියට ඇදී යන විට මායා කථාන්තරවල එන අද්භූත භාවයක් තමා වටා දැවටෙන බවක් ඇයට හැඟිණ. අඳුරු දම් පැහැ රෝස කුසුම්,සිසිල් ලා කහ පැහැය තවරාගත් කුඩා හුරුබුහුටි ශ්වේත වර්ණ ලිලී මල්,තවත් නම් නොදන්නා නානාවිධ අලංකාර මල් ගොමු අතරින් ඇය ඉදිරියට පියමනිත් ම මනසේ පැවති නොපහන් බව ක්‍රමයෙන් මැකී යනු දැනුණු හේසල් විස්මයට පත් වූවා ය.
ඔග්ස්ටස්,කෙටියෙන් ම කිවහොත් ඇගේ පළමු ආල කතාවේ ආරම්භය,දෙසතියක් සහ තවත් දින කිහිපයක් ඇතුළත බිඳී ගොස් තිබුණි.කුඩා කල ම තම දෙමව්පියන්ගේ කෙළවරක් නොමැති වාද විවාද සහ දබර අත්දැක තිබුණු හේසල් ඒවායේ අවසානයක් දුටුවේ ඔවුන් එකිනෙකාගෙන් වෙන්වීමෙන් අනතුරුව ය.එනිසා ම අඬ දබර පිරි සබඳතා ඇය පිළිකෙව් කළා ය.
"ඔයා කවදාවත් මට කිසි ම තෑග්ගක් දීල නැහැ"
ඒ ඔවුනතර ඇති වූ ප්‍රථම ගැටුම විය.
"ඔයා.. ඔයා මොනවත් ඉල්ලුවෙ නැහැ නේ" ඔගස්ටස් පැවසුවේ කලබලයට පත් ස්වරයෙනි.මෙවැන්නක් ඔහු ඇත්ත වශයෙන් ම බලාපොරොත්තු වූයේ නැත.ඔවුන් එක් ව කතා කළේ දේශපාලනය,සම්භාව්‍ය සාහිත්‍යය කෘති,ආගමික අන්තවාදයේ ශෝචනීය බව වැනි ඔවුන්ගේ වියේ අනෙක් ආදරවන්තයන් සාකච්ඡාවට නොගන්නා මාතෘකා ය.ඇය බුද්ධිමත් ලෙස ඔහුගෙන් අංක ගණිතය පාඩම් උගත් අතර ස්ක්‍රැබල් ක්‍රීඩාවේ දී හැමවිටම ඔහු පැරද වූවා ය;ඉන්පසු මහත් ප්‍රබෝධයෙන් හිස පිටුපසට සලා නොනවත්වා සිනහ නැගුවා ය.ඇය ගෙවත්තේ මල් වැවීමට උනන්දු නොවූවා ය.
කුඩා ළමුන් විෂයයෙහි උදාසීන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ළදරුවකු දුටු පමණින් කම්මුල් මිරිකීමට සහ සුරතල් කෙරුමට උත්සුක වන, ඔහු මේතාක් කාලයකට මුණ ගැසී තිබුණු සියලු ම ස්ත්‍රී ප්‍රාණීන්ගෙන්  වෙනස් වූවා ය.
ඉදින්,පීත්තපටිවලින් සැරසූ තෑගි බෝග වර්ග,තම මිතුරන් ඔවුන්ගේ පෙම්වතියන්ට ලබා දෙන ආකාරයේ තෑගි ඇය බලාපොරොත්තු වනු ඇතැයි ඔහු කෙසේ නම් දැනගන්න ද?
"මං මොනවත් ඉල්ලුවෙ නැහැ!" හේසල් එය ම පුනරුච්චාරණය කළේ උපහාසය සහ කෝපය සියයට පනහක් බැගින් කැටි වූ ස්වරයෙනි.
 බෙලාගේ පෙම්වතා හැරී,ඇයට සති දෙකකට වරක්වත් සිත් ඇදගන්නා සුළු අත් පළඳනා තෑගි කරයි.අමීලියා තමන්ට මනාපය පළ කළ මුල් දිනයේ ම නෝවා ඈට අනර්ඝ රසයෙන් යුතු චොකලට් පෙට්ටියක් තෑගි කළා ය.(එය සිය දෙමාපියන්ගේ නිවසට ගෙන යාමට පසුබට වුණු අමීලියා හේසල් ඇතුළු ගැහැණු ළමුන්ට එය බෙදා දුන් බැවින් එහි රසය ඇය දත්තා ය.) මෙවැනි උදාහරණ රාශියක් හේසල්ගේ මනසට ගලා ආව ද ඇය ඒවා වචනයට නොනැගුවා ය.ඇයට හදිසියේ වෙහෙසට පත් බවක් දැණින.ඔවුන්ගේ බැඳුම අනෙක් අයට නොතිබුණු ගණයේ දුර්ලභ සහ පියවරක් ඉදිරියෙන් පැවතුණු එකක් බව ඇය මෙතෙක් කලක් විශ්වාස කළා ය.
එහෙත් හදිසියේ ම ඇයට සාමාන්‍ය වන්නට,ඇගේ පන්තියේ අනෙක් අයට මෙන් සාමාන්‍ය සහ මඳක් බොළඳ වන්නට වුවමනා විය.

මතු සම්බන්ධයි...