Saturday, September 19, 2015

යථාභූත




"ගිනි කාෂ්ටක අව්ව,"

"ගිහින් නාගන්න."

"අදත් බස් එක මඟෑරුණා. යනකොට අරූ රතු ඉර ගහල."

"ඇත්තෙයි?"

"හුම්"

"කෝ දෙන්න ඔය ෂර්ට් එක. . . හම්මේ දාඩිය ගඳ!"

"පෙරෙයිදා ඇඳපු එක. මැදලා දාපු එක උදේ බැලින්නං මීයො කාලා."

"මං එලලලා දෙන්නං."

පුණ්‍යවික්‍රම කලිසම් පටිය ගලවමින් කාමරයට ඇවිද ගියේය. තැන තැන සිදුරු සැදුණු කොටු බැනියම උනා දහඩියෙන් තෙත් වූ තට්ටය ඉන් පිසදැමූ ඔහු එය කාමරයේ අනෙක් කෙළවරේ තිබූ ඇඳුම් රාක්කයට වීසි කළේය.

"ඒයි, මං එහෙනං නාන්න යනවා."

"හා හොඳයි."

වික්‍රම නාන කාමරය පිටතින් තිබූ කළු ගැහුණු තැඹිලි රබර් සෙරෙප්පු කුට්ටම පයෙහි රුවාගෙන දොර හැර නාන කාමරයට පිවිසියේය. දොර වසා අගුළු දැමු ඔහු ඉන්පසු අඳුරේම අතපත ගා ස්විචය සොයාගෙන විදුලි බුබුල දැල්වූයේය.

මුදුණ ගැලැවී ගිය නාන කරාමයෙන් පීල්ලකින් මෙන් දිය වෑස්සෙන අතරේ ඔහු දෑස් පියාගෙන එම සිහිල් සුවය විඳිමින් සිහින මවන්නට විය.

* * * * * * * * * 

"නෝනාවරුනි මහත්වරුනි! අද අපි මේ එක් වී සිටින්නෙ දිරියෙන් දිවිය දිනා, අපේ මේ පුංචි ලංකාද්වීපයේ නාමය විශ්වයටම ගෙනගිය, දේශමාමක දේශහිතෛෂී ඇම්. ඇම්. පුණ්‍යවික්‍රම මහතාගේ දියුණු වීමේ රහස් කෘතිය දොරට වැඩීමේ ඒ උත්කෘෂ්ට මොහොතටයි!"

නිවේදකයා වේදිකාවෙන් බිමට නොපැන්නා පමණි. උද්‍යෝගය නිසාම ඔහුගේ මුහුණ රත්පැහැ ගැන්වී, කම්මුල් දිගේ ඩහදිය බේරෙමින් තිබිණි. දේශමාමක දේශහිතෛෂී ඇම්.ඇම්. පුණ්‍යවික්‍රම මහතා වේදිකාව කරා පියමනින විට රැස් වී සිටි ජනයා ඔහුගේ උදාර ලීලාවෙන් කැළඹී ගොස් හුන් තැන් වලින් නැඟී සිට අත්පොලොසන් දෙන්නට වන්හ.

"කෘතඥ වෙනවා ඔබේ ඒ උපහාරයට. . . නමුත් සහෝදර සහෝදරියනි, ඔබ මේ නැඟී සිට ආචාර දක්වන මමත් එක කාලෙකදි පුංචි මිනිහෙක්. මම කියන්න ලැජ්ජා වෙන්නෙ නැහැ, බොහෝමයක් දවසට අපිට රෑට කන්න සිද්ධ වුණේ වැටකොළු මාලුවකුයි, හාල්මැස්සන් හොද්දක් හා උම්බලකඩයක්වත් නැති පොල් සම්බලකුත් විතරයි."

වික්‍රම තම කතාව නිමකරනවාත් සම්ඟ ම ශාලාව අත්පොලොසන් නදින් ගිගුම් දුන්නේය. ඇතැමුන්ගේ නෙත් අඟ කඳුලක් මෝදු වී තිබෙණු වික්‍රමට වේදිකාවේ සිට දැන් දැන් පෙනෙයි.

* * * * * * * * * *

'සිරිය මෙ ස්-සාර්-රා
නැ-ගෙ-වි හද්-ද මෝ-උ-රා. . .
ඕ ප්‍රෙමේ-"

"ගොඩ වෙලා නාන්න එපා ඒයි, ගිය මාසෙත් බිල ගෙවන්න මාලෙ උගස් තියන්න වුණා."

"ඔය මටද කියන්නෙ නැත්තන් අහල පහල ඉන්න උන්ටද?"

වික්‍රම කෝපයෙන් තතනමින් වතුර බේරෙන සුවඳ සබන් කැටය ගෙන ඇඟ පුරා තවරා නැවතත් කරාමය විවර කළේය.

* * * * * * * * * *

"ඔව්, විරාමයට පෙර අපි කතාකරමින් හිටියේ කෝටිපති ව්‍යාපාරිකා ලතා පුණ්‍යවික්‍රම මහත්මිය මෙතරම් සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් වීමේ ඒ ගමන් මඟ පිළිබඳවයි."

"ඇත්තටම බොහෝ පුද්ගලයන්ගේ දියුණු වීමේ මඟ රෝස මල් යහනාවක් නෙවෙයි. නමුත් මගේ මේ ගමන කටු ඇතිරිල්ලක් වෙන්නට ඉඩ නොදී රතු පලසක් දිගේ අතින් අල්ලන් මාව මෙතනට එක්කරගෙන පැමිණීමේ සම්පූර්ණ ගෞරවය හිමිවන්නෙ මගේ සැමියාට. . ."

"මෙතුමියගේ ආදරණීය ස්වාමිපුරුෂයා ඔබ අපි කවුරුත් හොඳින් හඳුනන මහාචාර්ය මානවරත්න පුණ්‍යවික්‍රමයන් ම තමයි. එහෙම නේද?"

"ඔව්. එතුමා තමයි මගේ ස්වයං රැකියා ව්‍යාපාරය ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ නමක් දිනාගත් වෙළඳ නාමයක් බවට පෙරලන ඒ ගමනේදී මගේ සෙවනැල්ල මෙන් රැඳුණු ඒ උතුම් පුරුෂයා."

"ඔබතුමන්ලා අපේ වත්මන් සමාජයට විශාල ආදර්ශයක්. තමන්ගේ ව්‍යාපාරික ජීවිතය වගේම ගෘහ ජීවිතයත් අතිසාර්ථක ලෙස ගත කරන පුද්ගලයින් වර්තමානයේ ඉතාමත් ම විරලයි."

"බොහොම ස්තූතියි!"
* * * * * * * * * *

පුණ්‍යවික්‍රම කරාමය වසාදමා නූල් ගිය තුවා කබලෙන් මුහුණේ තෙත මාත්තු කරන්නට විය.

"ටොක්. . . ටු ටුක්. . ."
නාන කාමරයේ දොරට ඇසෙන නෑහෙන තරමින් යමෙකු තට්ටු කරනු වික්‍රමට ඇසෙයි.

"ඒයි. . . මේ ඒයි. . .!"

"මොකද යෝදියෙ රහසින් කතාකරන්නෙ?"

"අනේ ඒයි පොළී මුදලාලි ඇවිත්. . .!"

පුණ්‍යවික්‍රම වහා නානකාමරයේ විදුලි බුබුල නිවා දැමී ය.

"මං ගෙදර නෑ කියන්න."