Thursday, February 4, 2016

එක මවකගෙ දරු කැල බැවිනා



2016 ක් වූ පෙබරවාරි මස 4 වන දින,
සුවහසක් ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් වෙත ලියන වග නම්,

1948 පෙබරවාරි 4 වැනි දා අපි කවුරුත් දන්නා පරිදි පරදේසක්කාර සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් වසර 400කට වඩා කාලයක් හිංසා පීඩාවට පත් වුණු මේ රට දහසක් දෙනාගේ ලේ කඳුළු දහඩිය මැදින් අභිමානවත් ආකාරයෙන් නිදහස ලැබීය. එයින් තිස් වසරක් ඉක්ම යෑමට ප්‍රථම ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදී කල්ලියේ මූල බීජ මෙහි වැපිරෙන්නට පටන්ගත්තේය.

ඒ ඇයි ද කිවහොත් සුදු අධිරාජ්‍යවාදීන් විසින් යන්නට කලින් මතක ඇතුව අවුළුවා ගිය ජාතිවාදයේ කුඩා ගිනි පුපුර හෝස් ගා පත්තු වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

ඉස්සෙල්ලාම නොදන්නා අයගේ දැනගැනීම පිණිස ජාතිවාදය කියන්නේ මොකක්දැයි කෙටියෙන් හෝ කිව යුතුය.
ජාතිවාදය යනු තමුන් අයත් ජනවර්ගය අන් කිසිදු ජනවර්ගයකට වඩා උතුම් යැයි ද, පිරිසුදු යැයි ද, එබැවින් අන් සියල්ලෝ මෙයින් නැතිබංගස්තාන විය යුතු යැයිද හිතාගන්නා පටු එකෙත් පටුම පටු අමුතුම ආකල්පයක්ය. එහෙම හිතන උදවියගේ සිතුවිලි වලත් දෙවන ලෝක යුද්ධ කාලයේ යුදෙව්වන් සිය දහස් ගණනින් මැස්සන් මදුරුවන් මෙන් මරා දමන්නට යෙදුණු නාසිවාදියාගෙ සිතේ දළුලමින් පැවැති වෛරයේත් කිසිදු වෙනසක් අපට නම් නොපෙනේ.

1948 දී නිදහස ලබාගෙන අවුරුදු 68ක් ගත වූ පසුත් අපට රටක් වශයෙන් පොළොවෙ පය ගසා ස්වාධීනව නැගී සිටීමට නොහැකි වූ හේතුව ඔබ මඳක් හෝ සිතා බලා ඇත් ද?

ඒ අපිට ස්වභාවික සම්පත් වලින් ඇති අඩුවක්වත්, බුද්ධිමතුන්ගේ ඇති අඩුවක්වත් නොවේය.

ඒ ජාතිවාදීන්ට අනුව අපේ රට තුළ අරක්ගෙන සිටින සුළු ජාතීන් නම් යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩයින් නිසා ද නොවේය.

ඒ අපේ ඇති කුහක කම නිසාය.

ඒ අපි අතර ජාතිකත්වයක් නොමැති නිසාය.

දෙමළෙන් ජාතික ගීය ගයන විට ඇඟේ මාළු නටන්නේ වෙන කාගේවත් නොව ජාතිවාදීන්ගේය.
ඔබ දෙමළෙක් වූවානම් අද ඔබට කොහොම සිතේවි ද?
අපටත් මේ රටේ තැනක් ලැබුණා යැයි සිතේවි.


එදා වෛරයේ බීජයට අප දෙපිරිසම පොහොර ජලය එක් නොකරන්නට අද ප්‍රභාකරන් යනු රජයේ සේවකයෙක් වන්නට ඉඩ තිබුණි.
අද අප කළ යුත්තේ තවත් පිරිබාහරන් කෙනෙක් නොඉපදෙන්නට ඒ වෛරයේ විස බිඳුවෙන් බිඳ හෝ හැකි අයුරින් අප අතරින් තුරන් කිරීමය.
1948 නිදහස් සටනේ ඩී. ඇස්. සේනානායකලා මෙන්ම පොන්නම්බලම් රාමනාදන්ලා ද සිටි බව අප සිහියට නඟා ගත යුතුය.

හිට්ලර්ගේ නාසිවාදය මෙන්ම ජාතිවාදය යන්න අරුත්සුන් මිත්‍යාවක් බව අප වටහා ගත යුතුය. කිමද අප කිසිවෙකු පිරිසුදු සිංහලයෙකු යැයි ඔප්පු කිරීමට කිසිදු සාධකයක් නොමැති බැවිනි.
වරක් බුදුරජාණන් වහන්සේ කුල භේදයේ ඇති නිස්සාරත්වය පිළිබඳ එක් බමුණෙකු හට වටහා දීමට පැනයක් විමසූහ.

"අස්සලායන, ඔබගෙ මව බ්‍රාහ්මණයන් සමඟ පමණක් ලිංගික හැසිරීම් වල යෙදුනු බව ඔබ නිසැකවම දනිත් ද?"
එවිට නැත යැයි පිළිතුරු දුන් අස්සලායන බමුණාට බුදුරඳුන් විසින් පෙන්වා දෙන ලද්දේ තමා ඉතා පිරිසිදුව එක් කුලයකටම අයත් යැයි කිසිවෙකුට පැවසිය නොහැකි බවය.

මෙය අපට අදාළ කර බැලුවහොත් අස්සලායනට තිබූ තරම්වත් සාක්ෂි අපට නොමැති බව ඔබට වැටහෙණු ඇත. අප පරම්පරානුගතව ජාතීන් කෙතරම් ප්‍රමාණයක් සමඟ මිශ්‍ර ව ඇත්දැයි අපවත් නොදනිමු.

ඇත්ත වශයෙන්ම බැලුවහොත් මේ රටේ නියම අයිතිකරුවන් වන්නේ මහියංගනයේ සිටින වැද්දන් වේ. වැරදිලාවත් ඔවුන් විත් "මේ රට අපේ! උඹලට ඕනෑ දිහාකට තොලොංචි වෙලා මංගච්චං පලයන්!" යැයි කිවහොත් අපි යන්නේ කොහිට ද? ඉන්දියාවට ද? යුරෝපයට ද? එසේත් නැත්නම් අරාබියට ද?

පණ්ඩුකාභය රජතුමා ඉන්දියානු සම්භවයක් ඇති මවකට හා පියෙකුට දාව උපන්නෙක් බව බොහෝ දෙනෙකුට අමතකව ඇති සත්‍යයකි. එසේ නම් මෙහි සිටින දෙමල සහෝදරයින් මොන ක්‍රමේකට හෝ අපේ නෑයින් වෙන්නට පුළුවන් බව ඔබට නිකමට හෝ නොසිතුනා වන්නට නුපුළුවන.

"ජනවර්ග විශාල සංඛ්‍යාවක් ජීවත් වන ඉන්දියාවේ ජාතික ගීය ලියැවී ඇත්තේ බෙංගාල බසිනි!" අද බුකි වීරයින් බොහෝමයකගේ දිව අග රැඳුණු වැකිය ඕක ය. ඔය කියනා එව්වන්ට අමතක ව ගොස් ඇති ලොකුම කරුණ නම් ඉන්දියාවේ තිස් වසරක කුරිරු යුද්ධයක් නොපැවැති බවත්, ඉන්දියාව යනු මහා විශාල රජ්‍යයක් මිස සියල්ලන් එක ගොඩේ වැටී සිටින කුඩා දූවක් නොවන බවත්, බෙංගාලි යනු සුළු ජාතීන්ගේ භාෂාවක් බවත්, කාලෙකට ඉස්සර ඉන්දියාවේ කෑල්ලක් "පාකිස්ථානය" කියන නමින් මුස්ලිම් මිනිසුන්ට ලියාදුන් බවත් ය.

අපි සිටින්නේ මහා සාගරයකින් වටවෙච්චි අබ ඇටයක් තරම් වූ පුංචි දූපතක බවද ඔබට අමතක වී ඇත. තමුන් සිංහලද, දම්ළද, මුස්ලිම්ද කුමක්ද යන්න වලංගු වන්නේ මේ දූව තුළ පමණය. ලෝකයාට ඔබව පෙනෙන්නේ ඔය කවරෙකු හැටියටවත් නොව "ලාංකිකයින්" හැටියටය. ඒ නිසා ලංකාව ඇත්තේ කාණු පල්ලේ නම් ඔබේ ඒ ආඩම්බරකාර ශ්‍රී ලාංකිකත්වයෙන් උන්ට ඇති වැඩක් නැත.

අපිට "ශ්‍රී ලංකා මාතා" තරමටම අපේ සහෝදරයනට "ශ්‍රී ලංකා තායේ" වටිනවාය. උන් දෙමළ ජනවාර්ගිකයින් වුවද ශ්‍රී ලාංකික යැයි හැඟීම උන්ටද තිබෙනවා ය.

ජාතිවාදය යනු දෙශපාලකයින් විසින් තමන්ගේ වුවමනා එපාකම් අනුව මිනිසුන් කුලප්පු කිරීමට යොදාගන්නා උගුලක් බව ඔබලාට නොවැටහෙන්නේ මන්දැයි මට නම් නොතේරේ.
ඔබලා අතරට ගිනි පුපුරු දෙක තුනක් විසිකොට හුළං පිඹීමෙන් ඔවුන්ට සුරුට්ටු පත්තු කරගන්නට හැකිය.

පළමුවෙන්ම කළ යුත්තේ ඔය ගැතිභාවයෙන් මිදීමය. අපි කිසිම රජෙකුට කොන්ද නවන්නට වුවමනා නැත. අප දණ නමන්නට ඕනෑ රට වෙනුවෙන් මිස නායකයෙකු වෙනුවෙන් නොවේ. එක් රජෙක් රාජ්‍යත්වයෙන් පහ වී තවත් රජෙකු පත්වීම අද ඊයේ සිදු වූවක් නොවේ. අපි වෙනසට මුහුණ දිය යුතුය. වෙනසේ වැරදි සොයනවා වෙනුවට වෙනසේ හරි පැත්ත වැඩි කරගැනීමට දායකත්ව්ය දීම පුරවැසියන් වශයෙන් රටට ඉටු කළ යුතු වැදගත්ම යුතුකමයි.

අපි සියලු දෙනාම ශ්‍රී ලාංකික නම් එක ජාතියකට අයත් යැයි සිතා තම තමන්ගේ පටු අරමුණු සාක්ෂාත් කරගන්නවා වෙනුවට රට වෙනුවෙන් කැපවීම කෙරුවා නම් අර තරම් දරුණු සුනාමියට මුහුණ දී මාස කීපයක් ඇතුලත නැගීසිටි අපට යුද්ධය අවසන වසර 8ක් ගෙවුණු තැන කොයි නම් තැනක සිටින්නට හැකියාව් තිබුණාදැයි ඔය කොළ කන්නාඩිය ගලවා දමා සිතුවහොත් දැනගන්නට හැකිවේයැයි සිතමි.

අද රූපවාහිනියේ දමිළ බසින් ජාතික ගීය ගායනා වන විට ගෙවල් වල සිටි දෙමළ සහෝදර සහෝදරියන්, අම්මලා තාත්තලාට එය සිංහලයෙන් ගායනා කරන විට අපිට දැනුණු ආඩම්බරයම දැනුණ බවට කිසිදු සැකයක් නැත. උතුරුකරයේ සිංහල වචනයක් කතා කරගන්නට නොදන්නා දමිළ සහෝදරයින්ට අද මාතෘභූමිය පිළිබඳ යම් හැඟීමක් ඇතිවූවාට නිසැකය.

එදා කියූ ඊලාම් ගීතය වෙනුවට ඔවුන් අද අප හා එක් ව ශ්‍රී ලංකා ගීය ගයන්නට ඇති එකම යහපත් බලාපොරොත්තු ඇති නොකරන්නේදැයි ඇසිය යුතුය.

අවසානයට කියන්නට ඇත්තේ මෙය හොඳ පියවරක් බවත්, ජාතික ගීය භාෂා දෙකකින්ම ගායනා කිරීමෙන් පමණක් අපි දෙගොල්ලන්ගෙන්ම වෙච්චි වැරදි හදාගන්නට බැරි බව්ත්, අපි එක එක්කෙනා තම තමන් උස් හෝ පහත් යැයි නොසිතා සියලු දෙනා එකම මවකගේ දරු කැලක් යැයි සිතා වැඩකළහොත් පමණක් ජාතියක් වශයෙන් අපට ලෝකයේ පිළිගත් තැනක් ලැබෙන බවට නිසැක බවත් ය.

තරහ ගන්නේ නැතිව ඉවර වෙනකම් කියෙව්වාට ද, ඔබගේ වටිනා කාලයෙන් බිඳක් මෙය කියවීමට වැය කලාට ද පිං ය.

සමහරවිට ඔබට මට පළු යන්න බනින්නට පුළුවන. ඒත් මේ මගේ සත්‍යම අදහස පමණි.

එමෙන්ම මෙය අදහසක් පමණි.

ඔබේ අදහස ද මට ඉතා වටියි.

මීට සාකියා.