Saturday, January 30, 2016

කැ‍රැළි වෙනුවට ‍රැලි නංවමු



ඔබ දැකපු හීන මොනව ද,
ඇස් පියාගෙන හෝ විවර කරගෙන...

තුන්වෙනි ලෝකෙ රටක දුෂ්කර පළාතක ළමයි දහ අට දෙනෙක් විතරක් ඉන්න පුංචි ඉස්කෝලෙකට තමන්ගේ පළමුවෙනි ගුරු පත්වීම ලැබීම කෙනෙකුට හීන හැබෑවීමක් වෙන්න පුලුවන් සම්භාවිතාවය මිලියනයකින් එකක් වෙන තරමේ අහම්බයක්.ඒත්,තමන්ට ලැබුණු අවස්ථාවෙන් වෙනත් කෙනෙකුගේ,කිහිපදෙනෙකුගේ හීන හැබෑ කරවන්න පුලුවන් නම්..
ඒක විප්ලවයක් නෙවෙයි ද?

දශක ගනණාවක් මුළුල්ලේ "සංවර්ධනය වෙමින් පවතින" ලේබලය ගලවා දමන්න කිසි උත්සාහයක් නොදරන දේශපාලකයන් සිටින රටක අරගල කරන්න වුවමනා අවස්ථාවන් නිරන්තරයෙන් එළඹෙන බව ඇත්තක්.
නමුත් සැබෑ ප්‍රයෝජනයක් ලැබෙන බවක් දෘෂ්ඨි පථයට අහු නොවන අරගලයක් වෙනුවෙන් උගුර ලේ රහ වෙනතුරු කෑ කෝ ගැසීමට වඩා අර්ථවත් දෙයක් වෙනුවෙන් සුළු හෝ වෑයමක් දැරීම හැමදෙනෙකුගේ ම අගය කිරීමට බඳුන් විය යුතු උතුම් ක්‍රියාවක් බව අනේමන්දාට හැඟුණේ හෝ ගානා පොකුණේ ‍රැළි නැංවෙන හඬ කාලක්‍රියා කළ මූදු බෙල්ලෙකුගේ හක් ගෙඩි කවචයකට කන තියලා අහන වෙලාවෙදියි.

ඔව්,සිනමා පටය ධාවනය වෙන මිනිත්තු එකසිය විස්සක කාලය ඇතුළත වරුවක් ඉස්කෝලෙ වැඩ කරන,ඉතිරි වරුවෙ හේන් කොටන දරුවෙක් ශිෂ්‍යත්ව විභාගෙ සමත් කරවන ගුරුතුමියක් ගැන කතාන්ථරයක් ගොඩනැගෙන්න තිබුණා.ඒත් ඒක කොතෙක් දුරට යථාර්තයට සමීප ද?
ඒ වෙනුවට ඔබට,අපිට දකින්න ලැබෙන්නේ දරුවන්ට හීන දකින්න උගන්වන,දැකපු හීන හැබෑ කර දෙන්න වෙහෙසෙන ගුරුතුමියකගේ කථාවක්.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන වෙහෙසකාරී අතාත්වික ගණයේ චිත්‍රපටිවලට වඩා වෙනස් ආරක් ගන්නා "හෝ ගානා පොකුණ"(The Singing Pond) නරඹන අතරෙත් නරඹා අවසනත් හිතන්න යමක් ඉතිරි කළ අපූරු සිනමා සිත්තමක්.

13 comments:

  1. කීප දෙනෙක් ම කිව්වා හොදයි කියලා.............. බලන්න ඔ්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් කුරුටු,පොඩි පොඩි දොස් තිබුණත් ලස්සන කතාවක්... :)

      Delete
  2. ඇත්තටම කතාව අතිං ගත්තත් රංගනය අතිං ගත්තත් අවුලක් නෑ.
    ඒත් දෙබස් වල සහ දෙබස් කියා පෑමේ දුර්වලතා දැක්කා...
    ඒත් සිරාවටම මට නං අල්ලල ගිය පිලුමක්
    සෑහෙන කාලෙකිං කියන්න බෑ. ඔයිට කලිං හදපුව ඒ තරං කොලිටි නෑ
    අර හදය වගේව ඇරෙන්න

    ReplyDelete
    Replies
    1. ඒක හැබෑව.දෙබස්වල යාන්තමින් නාට්‍යමය ස්වභාවයක් තිබුණා තමයි සමහර තැන්වල.ඔව්,හඳයට පස්සෙ ආපු අපූරු ම සිංහල ළමා චිත්‍රපටය කියලා ලක්බිම පත්තරේ සිනමා විචාරයෙත් තියෙනව දැක්කා

      Delete
  3. හැමෝම හොදයි කිවුවට බලන්න වෙන්නේ නැති එකනේ තියෙන දුක.

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තෙ ඉන්න ලාංකිකයො වෙනුවෙන් හොඳ film festival එකක්වත් සංවිධානය කළා නම් වටිනව නේද? අපි බලමුකෝ torrent file එකක්වත් upload කළොත් කවුරු හරි..

      Delete
  4. බලන්න ඕන.. වෙලාව නැති එක තමා ගැටලුව..))

    ReplyDelete
    Replies
    1. නිදහස් දිනේ දිහාටවත්,නැද්ද නිවාඩු පාඩුවක්? :)

      Delete
  5. ඇත්තටම අපුරු චිත්‍රපටයක් ලංකාවේ සිනමාවක් තියෙනවා කියලා මතක් වෙන්නේ මේ වගේ සිනමා කෘති නිසා,

    ReplyDelete
    Replies
    1. එකඟ වෙනවා.ජුගුප්සාජනක ඕලාරික චිත්‍රපට අතරේ බිහිවෙන මේවගේ නිර්මාණ මසුරන් වටිනවා.

      Delete
    2. අහ් අමතක උනා නේ!අද නේද මුලින් ම මේ පැත්තට ආවෙ රස්ති?
      සාකියා සහ මා විසින් සාදරයෙන් පිළිගන්නවා දෙපන්හිඳට... :)

      Delete
  6. ආසයි අතේ පිච්චියක් නෑ.. නිදහසකුත් නෑ.. අයියෝ අපරාදේ ටීවි එකේ ඇඩ් එක්ක තමයි අපිට බලන්න වෙන්නේ..
    ස්කෝලේ කාලේ හෝල් එක්කට ගියාට පස්සේ තාම ගියේ නෑ.. කිව්වට විස්වාශ කොරන්.

    ReplyDelete
    Replies
    1. මචන් මට විස්වාසයි.අපිත් මේ තාත්තට free හම්බවෙච්ච tickets හතර නිසා මිසක් "පුංචි සුරංගනාවි" බැලුවයින් පස්සෙ පවුලෙ හතර දෙනා සෙට් වෙලා ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බලන්න අවස්ථාවක් උදා වුණේ නෑ නෙව!
      බයි ද වේ,ඉස්සර හිටියේ වෙන නමකින් නේ ද? සාදරයෙන් පිළිගන්නවා දෙපන්හිඳට...

      Delete