Showing posts with label නිදහස් ආර. Show all posts
Showing posts with label නිදහස් ආර. Show all posts

Thursday, February 4, 2016

එක මවකගෙ දරු කැල බැවිනා



2016 ක් වූ පෙබරවාරි මස 4 වන දින,
සුවහසක් ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් වෙත ලියන වග නම්,

1948 පෙබරවාරි 4 වැනි දා අපි කවුරුත් දන්නා පරිදි පරදේසක්කාර සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් වසර 400කට වඩා කාලයක් හිංසා පීඩාවට පත් වුණු මේ රට දහසක් දෙනාගේ ලේ කඳුළු දහඩිය මැදින් අභිමානවත් ආකාරයෙන් නිදහස ලැබීය. එයින් තිස් වසරක් ඉක්ම යෑමට ප්‍රථම ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදී කල්ලියේ මූල බීජ මෙහි වැපිරෙන්නට පටන්ගත්තේය.

ඒ ඇයි ද කිවහොත් සුදු අධිරාජ්‍යවාදීන් විසින් යන්නට කලින් මතක ඇතුව අවුළුවා ගිය ජාතිවාදයේ කුඩා ගිනි පුපුර හෝස් ගා පත්තු වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

ඉස්සෙල්ලාම නොදන්නා අයගේ දැනගැනීම පිණිස ජාතිවාදය කියන්නේ මොකක්දැයි කෙටියෙන් හෝ කිව යුතුය.
ජාතිවාදය යනු තමුන් අයත් ජනවර්ගය අන් කිසිදු ජනවර්ගයකට වඩා උතුම් යැයි ද, පිරිසුදු යැයි ද, එබැවින් අන් සියල්ලෝ මෙයින් නැතිබංගස්තාන විය යුතු යැයිද හිතාගන්නා පටු එකෙත් පටුම පටු අමුතුම ආකල්පයක්ය. එහෙම හිතන උදවියගේ සිතුවිලි වලත් දෙවන ලෝක යුද්ධ කාලයේ යුදෙව්වන් සිය දහස් ගණනින් මැස්සන් මදුරුවන් මෙන් මරා දමන්නට යෙදුණු නාසිවාදියාගෙ සිතේ දළුලමින් පැවැති වෛරයේත් කිසිදු වෙනසක් අපට නම් නොපෙනේ.

1948 දී නිදහස ලබාගෙන අවුරුදු 68ක් ගත වූ පසුත් අපට රටක් වශයෙන් පොළොවෙ පය ගසා ස්වාධීනව නැගී සිටීමට නොහැකි වූ හේතුව ඔබ මඳක් හෝ සිතා බලා ඇත් ද?

ඒ අපිට ස්වභාවික සම්පත් වලින් ඇති අඩුවක්වත්, බුද්ධිමතුන්ගේ ඇති අඩුවක්වත් නොවේය.

ඒ ජාතිවාදීන්ට අනුව අපේ රට තුළ අරක්ගෙන සිටින සුළු ජාතීන් නම් යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩයින් නිසා ද නොවේය.

ඒ අපේ ඇති කුහක කම නිසාය.

ඒ අපි අතර ජාතිකත්වයක් නොමැති නිසාය.

දෙමළෙන් ජාතික ගීය ගයන විට ඇඟේ මාළු නටන්නේ වෙන කාගේවත් නොව ජාතිවාදීන්ගේය.
ඔබ දෙමළෙක් වූවානම් අද ඔබට කොහොම සිතේවි ද?
අපටත් මේ රටේ තැනක් ලැබුණා යැයි සිතේවි.


එදා වෛරයේ බීජයට අප දෙපිරිසම පොහොර ජලය එක් නොකරන්නට අද ප්‍රභාකරන් යනු රජයේ සේවකයෙක් වන්නට ඉඩ තිබුණි.
අද අප කළ යුත්තේ තවත් පිරිබාහරන් කෙනෙක් නොඉපදෙන්නට ඒ වෛරයේ විස බිඳුවෙන් බිඳ හෝ හැකි අයුරින් අප අතරින් තුරන් කිරීමය.
1948 නිදහස් සටනේ ඩී. ඇස්. සේනානායකලා මෙන්ම පොන්නම්බලම් රාමනාදන්ලා ද සිටි බව අප සිහියට නඟා ගත යුතුය.

හිට්ලර්ගේ නාසිවාදය මෙන්ම ජාතිවාදය යන්න අරුත්සුන් මිත්‍යාවක් බව අප වටහා ගත යුතුය. කිමද අප කිසිවෙකු පිරිසුදු සිංහලයෙකු යැයි ඔප්පු කිරීමට කිසිදු සාධකයක් නොමැති බැවිනි.
වරක් බුදුරජාණන් වහන්සේ කුල භේදයේ ඇති නිස්සාරත්වය පිළිබඳ එක් බමුණෙකු හට වටහා දීමට පැනයක් විමසූහ.

"අස්සලායන, ඔබගෙ මව බ්‍රාහ්මණයන් සමඟ පමණක් ලිංගික හැසිරීම් වල යෙදුනු බව ඔබ නිසැකවම දනිත් ද?"
එවිට නැත යැයි පිළිතුරු දුන් අස්සලායන බමුණාට බුදුරඳුන් විසින් පෙන්වා දෙන ලද්දේ තමා ඉතා පිරිසිදුව එක් කුලයකටම අයත් යැයි කිසිවෙකුට පැවසිය නොහැකි බවය.

මෙය අපට අදාළ කර බැලුවහොත් අස්සලායනට තිබූ තරම්වත් සාක්ෂි අපට නොමැති බව ඔබට වැටහෙණු ඇත. අප පරම්පරානුගතව ජාතීන් කෙතරම් ප්‍රමාණයක් සමඟ මිශ්‍ර ව ඇත්දැයි අපවත් නොදනිමු.

ඇත්ත වශයෙන්ම බැලුවහොත් මේ රටේ නියම අයිතිකරුවන් වන්නේ මහියංගනයේ සිටින වැද්දන් වේ. වැරදිලාවත් ඔවුන් විත් "මේ රට අපේ! උඹලට ඕනෑ දිහාකට තොලොංචි වෙලා මංගච්චං පලයන්!" යැයි කිවහොත් අපි යන්නේ කොහිට ද? ඉන්දියාවට ද? යුරෝපයට ද? එසේත් නැත්නම් අරාබියට ද?

පණ්ඩුකාභය රජතුමා ඉන්දියානු සම්භවයක් ඇති මවකට හා පියෙකුට දාව උපන්නෙක් බව බොහෝ දෙනෙකුට අමතකව ඇති සත්‍යයකි. එසේ නම් මෙහි සිටින දෙමල සහෝදරයින් මොන ක්‍රමේකට හෝ අපේ නෑයින් වෙන්නට පුළුවන් බව ඔබට නිකමට හෝ නොසිතුනා වන්නට නුපුළුවන.

"ජනවර්ග විශාල සංඛ්‍යාවක් ජීවත් වන ඉන්දියාවේ ජාතික ගීය ලියැවී ඇත්තේ බෙංගාල බසිනි!" අද බුකි වීරයින් බොහෝමයකගේ දිව අග රැඳුණු වැකිය ඕක ය. ඔය කියනා එව්වන්ට අමතක ව ගොස් ඇති ලොකුම කරුණ නම් ඉන්දියාවේ තිස් වසරක කුරිරු යුද්ධයක් නොපැවැති බවත්, ඉන්දියාව යනු මහා විශාල රජ්‍යයක් මිස සියල්ලන් එක ගොඩේ වැටී සිටින කුඩා දූවක් නොවන බවත්, බෙංගාලි යනු සුළු ජාතීන්ගේ භාෂාවක් බවත්, කාලෙකට ඉස්සර ඉන්දියාවේ කෑල්ලක් "පාකිස්ථානය" කියන නමින් මුස්ලිම් මිනිසුන්ට ලියාදුන් බවත් ය.

අපි සිටින්නේ මහා සාගරයකින් වටවෙච්චි අබ ඇටයක් තරම් වූ පුංචි දූපතක බවද ඔබට අමතක වී ඇත. තමුන් සිංහලද, දම්ළද, මුස්ලිම්ද කුමක්ද යන්න වලංගු වන්නේ මේ දූව තුළ පමණය. ලෝකයාට ඔබව පෙනෙන්නේ ඔය කවරෙකු හැටියටවත් නොව "ලාංකිකයින්" හැටියටය. ඒ නිසා ලංකාව ඇත්තේ කාණු පල්ලේ නම් ඔබේ ඒ ආඩම්බරකාර ශ්‍රී ලාංකිකත්වයෙන් උන්ට ඇති වැඩක් නැත.

අපිට "ශ්‍රී ලංකා මාතා" තරමටම අපේ සහෝදරයනට "ශ්‍රී ලංකා තායේ" වටිනවාය. උන් දෙමළ ජනවාර්ගිකයින් වුවද ශ්‍රී ලාංකික යැයි හැඟීම උන්ටද තිබෙනවා ය.

ජාතිවාදය යනු දෙශපාලකයින් විසින් තමන්ගේ වුවමනා එපාකම් අනුව මිනිසුන් කුලප්පු කිරීමට යොදාගන්නා උගුලක් බව ඔබලාට නොවැටහෙන්නේ මන්දැයි මට නම් නොතේරේ.
ඔබලා අතරට ගිනි පුපුරු දෙක තුනක් විසිකොට හුළං පිඹීමෙන් ඔවුන්ට සුරුට්ටු පත්තු කරගන්නට හැකිය.

පළමුවෙන්ම කළ යුත්තේ ඔය ගැතිභාවයෙන් මිදීමය. අපි කිසිම රජෙකුට කොන්ද නවන්නට වුවමනා නැත. අප දණ නමන්නට ඕනෑ රට වෙනුවෙන් මිස නායකයෙකු වෙනුවෙන් නොවේ. එක් රජෙක් රාජ්‍යත්වයෙන් පහ වී තවත් රජෙකු පත්වීම අද ඊයේ සිදු වූවක් නොවේ. අපි වෙනසට මුහුණ දිය යුතුය. වෙනසේ වැරදි සොයනවා වෙනුවට වෙනසේ හරි පැත්ත වැඩි කරගැනීමට දායකත්ව්ය දීම පුරවැසියන් වශයෙන් රටට ඉටු කළ යුතු වැදගත්ම යුතුකමයි.

අපි සියලු දෙනාම ශ්‍රී ලාංකික නම් එක ජාතියකට අයත් යැයි සිතා තම තමන්ගේ පටු අරමුණු සාක්ෂාත් කරගන්නවා වෙනුවට රට වෙනුවෙන් කැපවීම කෙරුවා නම් අර තරම් දරුණු සුනාමියට මුහුණ දී මාස කීපයක් ඇතුලත නැගීසිටි අපට යුද්ධය අවසන වසර 8ක් ගෙවුණු තැන කොයි නම් තැනක සිටින්නට හැකියාව් තිබුණාදැයි ඔය කොළ කන්නාඩිය ගලවා දමා සිතුවහොත් දැනගන්නට හැකිවේයැයි සිතමි.

අද රූපවාහිනියේ දමිළ බසින් ජාතික ගීය ගායනා වන විට ගෙවල් වල සිටි දෙමළ සහෝදර සහෝදරියන්, අම්මලා තාත්තලාට එය සිංහලයෙන් ගායනා කරන විට අපිට දැනුණු ආඩම්බරයම දැනුණ බවට කිසිදු සැකයක් නැත. උතුරුකරයේ සිංහල වචනයක් කතා කරගන්නට නොදන්නා දමිළ සහෝදරයින්ට අද මාතෘභූමිය පිළිබඳ යම් හැඟීමක් ඇතිවූවාට නිසැකය.

එදා කියූ ඊලාම් ගීතය වෙනුවට ඔවුන් අද අප හා එක් ව ශ්‍රී ලංකා ගීය ගයන්නට ඇති එකම යහපත් බලාපොරොත්තු ඇති නොකරන්නේදැයි ඇසිය යුතුය.

අවසානයට කියන්නට ඇත්තේ මෙය හොඳ පියවරක් බවත්, ජාතික ගීය භාෂා දෙකකින්ම ගායනා කිරීමෙන් පමණක් අපි දෙගොල්ලන්ගෙන්ම වෙච්චි වැරදි හදාගන්නට බැරි බව්ත්, අපි එක එක්කෙනා තම තමන් උස් හෝ පහත් යැයි නොසිතා සියලු දෙනා එකම මවකගේ දරු කැලක් යැයි සිතා වැඩකළහොත් පමණක් ජාතියක් වශයෙන් අපට ලෝකයේ පිළිගත් තැනක් ලැබෙන බවට නිසැක බවත් ය.

තරහ ගන්නේ නැතිව ඉවර වෙනකම් කියෙව්වාට ද, ඔබගේ වටිනා කාලයෙන් බිඳක් මෙය කියවීමට වැය කලාට ද පිං ය.

සමහරවිට ඔබට මට පළු යන්න බනින්නට පුළුවන. ඒත් මේ මගේ සත්‍යම අදහස පමණි.

එමෙන්ම මෙය අදහසක් පමණි.

ඔබේ අදහස ද මට ඉතා වටියි.

මීට සාකියා.

Friday, January 29, 2016

මචං. . .


ඇයි මචං උඹ මට මචං කියන්නෙ?

කරට අතක් දාගෙන
සැහැල්ලුවෙන් හිනාවෙන
උඹේ මූණ
කවද්ද මචං මගෙ දිහා
ආදරෙන් බලන්නෙ?

මචං,
මේ අන්තිම වෙනකං
මං හිතුවා උඹ මට
කවදහරි කියයි කියලා
"රත්තරං"!

ඒත් මචං ඒක බොළඳ වැඩියි. . .

කියපං අඩු තරමෙ
"කෙල්ලෙ" කියලාවත්.

දිග කොණ්ඩයක්,
සුකුරුත්තං නැතිවුණාට
මමත් කෙල්ලෙක් මචං

අනේ මචං යන්න කලින් එකපාරක්
කියපන්. . . .

කියපං මචං
"මචං" නැතුව
වෙන ඕනෙ එකක්.

Thursday, January 28, 2016

පියාපත් විදහා පියඹන්න -- The Making of a Butterfly




"How does one become a Butterfly?"
she asked.

"You must want to fly so much that you are 
willing to give up being a caterpillar."
-Trina Paulus-

සාකියට මතකයි අවුරුදු හතරෙදි පහේදි විතර හැමදාම ඩිස්කවරි බලනවා. ඒ කාලෙ ටීවී වල කොච්චර නම් වැදගත් වැඩසටහන් විකාශනය වුණාද. . .

ඩිස්කවරියෙ පෙන්නපු වැඩසටහන් වලින් සාකියගෙ හිත වඩාත්ම ඇදිලා ගිය එක වැඩසටහනක් තිබුණා. මේ ලඟදි තමයි එකපාරටම සාකියට ඒක මතක් වුණේ.

කැතම කැත අප්‍රසන්න දළඹුවෙක් ගහක අත්තක් දිගේ අමාරුවෙන් බඩගාගෙන යනවා. ඒ යන අතරමඟ නැවතිලා කොළ පාට දළු උඩ දිගාවෙලා හෙමින් හෙමින් බඩපුරවගන්නවා, හරියට හරක් තණකොළ කනවා වගේ.

චූටි දළඹුවා ටිකාක් විතර ලොකු වෙනවා. ඔහොම දවස් කීපයක් ගතවුණායින් පස්සෙ දළඹුවට මහ නිදිමතක් දැනෙනවා. ඉතින් ඌ නිදාගන්න යනවා. නිදාගන්න කලියෙන් සුදු පාට සිනිඳු නූල් වලින් ඝනකම ආවරණයක් හදාගන්නවා. ඒකත් බොහොම අමාරුවෙන් හෙමින් හෙමින් තමයි වෙන්නෙ.

කිසි හැලහොල්මනක් නැතුව ටික දවසක් ගතවෙනවා.

දළඹුවා වටේට එතුණු කෝෂය ටිකක් හෙලවෙනවා. අහ්! පොඩ්ඩක් ඉන්න. කෝෂෙ වටේට ලස්සන ලස්සන පාටවලුත් පේනවා.
පුදුම දැඟලිල්ලක් දඟලලා දළඹු- නෑ. . . සමනළයෙක් එළියට එනවා. එළියට ආපු ගමන් ඌ කරන්නෙ මහන්සියටම ඔහේ වැටිලා ඉන්න එක. අන්න ඊට පස්සෙ තමන්ගෙ ලස්සන තටු මුදාහැරලා තවත් සමනල්ලු ගොඩාක් එක්ක ආකාසෙ පුරා පියාඹනවා.

"මේක මොන්ටිසෝරියක් කියලා හිතුවද? අපි බබ්බු වගේද පේන්නෙ?"
එහෙම හිතුණ ද? මේ තමයි සාකියට පොඩි ළමයෙක් හැටියට දැණුනු දේ.

ඒත් අද සාකියට හිතෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්.

අපිට බලාපොරොත්තු තියෙනවා. හැම අවුරුද්දක් මුල ම, හැම උපන්දිනයකම අපි අලුත් බලාපොරොත්තු ඇති කරගන්නවා. අලුත් ඉලක්ක හදාගන්නවා. ඒත් ආපස්සට හැරිලා බලද්දි ගිය අවුරුද්දෙ මුල ඇති කරගත් බලාපොරොත්තු කීයෙන් කීයක් හැබෑ කරගන්න අපිට හැකි වෙලා ද? අඩු තරමෙ එයින් බාගයක්වත්?

පිළිතුර "නැහැ." නම්, මේ ලිපිය ඔබටම තම්යි ලිවුවේ.
පිළිතුර "ඔව්" නම්, ඒත් කමක් නැහැ. දිගටම කියවන්න.

හිතන්න ඔයත් පොඩි දළඹුවෙක් කියලා. එහෙමත් නැත්තං පණු බිත්තරයක්. අන්තිමට වෙන්නෙ මොකද්ද කියලා හාංකවිසියක් නෑ. අපි හැමෝමත් ඒ වගේ.

ඒත් දළඹුවා බඩගාමින් යනවා. සාකියට උන්ව පෙන්නන්න බෑ. ඒත් උන් නෙවෙයි තඹ සතෙකට මායිම් කරන්නෙ! කවුරු මොනවා කිවුවත් තමන්ට අල්ලන්න තියා හිතන්නවත් බෑ වගේ පේන ආකාසෙ පිනුං ගහන්න උන් දිවා රෑ හීන දකිනවා.

දළඹුවට පේනවා වෛවර්ණ සමනල්ලු තමන්ට ඔච්චමට වගේ රූං ගාල පියාඹාගෙන යනවා. ඒත් ඌ උන්ට ඊරිසියා කරන්නෙ නෑ. උඩ ඉන්න අයගෙ ලස්සනත් බලමින් සතුටු වෙවී,කවදහරි තමන්ට ම ආවේනික විදියකට අහස් කරනම් ගහන්න සිහින මවමින් ඒකට අවශ්‍ය ශක්තිය කොළෙන් කොළේ කාලා ටිකින් ටික එකතු කරගන්නවා.

ටික කාලයක් ගතවෙනවා. දළඹුවා තවදුරටත් පැටියෙක් නෙවෙයි. තවමත් ලෝකයට උගේ ලස්සනක් පේන්නෙ නැහැ. ඌ ගණන් ගන්නෙත් නෑ.
සමහරවිට. . . සමහරවිට අපිට නොපෙනුණාට වයිරම් වැටුණු කැත දළඹුවෙකුගෙ හිතත් කඩාවැටෙන වෙලාවන් ඇති.
ඒත් කවුරු මොනවා කිවුවත් තමන්ගෙ අරමුණ අත් නොහරින්න හයියත් ඒ එක්කම සැඟවිලා තියෙන්න ඕනෙ, නිසැකවම.

අන්තිමට දළඹුවා දවසක්දා සිනිඳු නූල් දැලක් තුළට වෙනවා. ලෝකයා හිතනවා සියල්ල හමාරයි කියලා. එක් එක්කෙනා හිනා වෙනවා, ඔච්චමට බලනවා කෝෂයක් ඇතුලෙ අමාරුවෙන් වකුටු වෙලා ඉන්න දළඹුවා දිහාව.

දවසක් දා සර සර හඬක් සමඟ කෝෂය සෙලවෙනවා. අන්න එතකොට එකා දෙන්නා හැරිලා බලනවා.එවිට ඔවුන් දකිනවා විනිවිද පෙනෙන කෝෂය තුලින් වෛවර්ණ ගැන්වුණු ලස්සන රටාවන්.

ටික ටික ඒ අරුම පුදුම දෙය බලන්න සෙනඟ වටවෙනවා. ඔන්න දළඹුවා සිදුරක් හදාගෙන එළියට එන්න උත්සාහ කරනවා. දඟලනවා.
මේ විගඩම බලන් ඉන්න අනෙක් උදවිය හිනාවෙනවා. ඒ අතරින් අතලොස්සක් සමනළයා ධෛර්‍යමත් කරනවා. ඒත් සමහර සමනළයින්ට එහෙම කෙනෙක් හොයාගන්නවත් නැති තරම්.

කොහොමහරි සමනළයා එළියට එනවා. දැන් ඌට හොඳටම මහන්සියි. පොඩි විවේකයක් ගන්නවා, සුදුසු කාලය එනකම් ඉවසනවා.
කල්යල් බලලා සමනළයා තමන්ගෙ තටු දිගහරිනවා. වටේපිටේ උදවිය හුස්ම අල්ලන් බලන් ඉන්නවා.
සමනළයා තමන් දුර අතීතයේ දැකපු හීනය හැබැහින් දකිනවා. අවසානෙදි ඌ අහසෙ සැරිසරන සමනල්ලු රෑනට එකතු වෙනවා. බිම ඉන්න මිනිස්සු උඩ බලන් සමනළයා අවකාශගතවීමේදී සිද්ධ වුණු අඩුපාඩු විවේචනය කරමින් ඉන්නවා.

ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඒවායින් තුන්කාලක් ව්‍යංගාර්ථයෙන් කියලා අවසන් කළා.

සාකියට වැඩියෙන්ම කියන්න ඕනෙ වුණේ මේ ටික.

බලාපොරොත්තුවක් තියෙනවා නම් යම් දෙයක් කරන්න, එහෙනම් අද ම මුල් පියවර ගන්න. ඔබට ඉදිරිය නොපෙනෙන්න පුළුවන්. අපි වාහනයක යනකොට වංගුවක් එහාපැත්තෙ ඇති දේ පේන්නෙ නැහැ කියලා නැවතිලා බලා ඉන්නවා නම් කොටින්ම කිසිම දවසක අපිට කිසිම ගමනාන්තයකට ලඟාවෙන්න බැහැ.

ගිය අවුරුද්දෙ නෙවෙයි, අවුරුදු දහයකට පෙර ඔබට වුවමනා වුණා නම් යම් දෙයක් කරන්න, පළමු අඩිය තබන්න. ඉතිරි අඩි තියන්න නෙලුම් මල් පිපෙන එකක් නැහැ.

ඒත් ඉස්සරහටම යන්න.

ජයවේවා!

Tuesday, January 26, 2016

මහපාරක් මැද වුණත්

 
මට ඕනෙ
ගිටාරයක තතක් වෙන්න,

රළුවන් ඔබේ අතැඟිලි
තත් සුසර කරනට තරම්
සුසිනිඳු වෙනකොට.

මට ඕනෙ
ඈතින් ඉඳන්
ඔහේ බලාගෙන ඉන්න,
අඳුරු දෑසින් ඔබ දොස් පවරන විටත්
 
කෙහෙරැලි දෙක තුනක්
නළල දෙපසින් එබිකම් කරන දෙස.

මට ඕනෙ
වේදිකාවක මයික්‍රෆෝනයක් වෙන්න.

සතියකට වරක්
කෑම පැයට කලින්,
ගර්ජනය කරන ගොරහැඩි හඬින්,
සභාවක් නිසල කරවන තරම් මිහිරියට
ගීයක් ගයනකොට.

ඒ ඔක්කොටම වඩා
මට ඕනෙ,
ලවුඩ් ස්පීකරයක් වෙන්න
 
මහපාරක් මැද,
විප්ලවයක වුණත්
ඔබව අත්නොහරින්න.


Wednesday, November 11, 2015

IFFColombo 2015 සහ "මංමුලා වූ තාරුණ්‍යය"


 


සවස හතරට තිරගතවීමට නියමිත චිත්‍රපටය නරඹන්නට 2.45ට රීගල් සිනමා ශාලව අසළින් බසයෙන් බැසගත්ත සාකියාට දැකගන්නට හැකිවුණේ ඉලාස්ටික් වගේ දිග. . .ට ඇදිලා ගිය පෝළිමක්. කොච්චරක්ද කියනවනම් සාකියාට ලැබුණු ටෝකන් අංකය 336.
මඟ දිගට යන බස් මගියන්ට ඇස් වපර කරලා මේ මහ දිග පෝළිම දිහාව බලනව හැරෙන්ට වෙන වැඩක් තිබුණෙම නෑ. මඟ යන ත්‍රීවීල්කාරයෙක් ස්ලෝ ඩවුන් කරලා කියාපි "ඔය බ්ලාහ් බ්ලාහ් කොකා බලන්ඩ තමයි පෝළිම" කියලා!

අනේ ඒත් අපි නම් හිටියේ "ඔබ ඇවිත් පිරෙන්න" කියලා ලැබුණු විශේෂ ආරාධනය පිට නොමිලේ ම චිත්‍රපට නරඹන්න, කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ දෙවන අදියරට සහභාගි වෙන්නයි ඕං.

ඊයේ තිරගත වන්නට නියමිත ව තිබුණේ සාකියා "බලන්ඩ ඕනෙමයි" කියලා කලක් තිස්සෙ බලාගෙන හිටිය "මෝටර් බයිසිකල්".


"අම්මගෙ මාලේ - ටවුමෙ උගස් කඩේ
සමනල කාලේ මොකට ද - කඳුළු මේ ?
"


රංගන කියන්නෙ අපිට කොළඹ පාරවල් ගානෙ, මුඩුක්කු අතරෙ හැමදාම මුණගැහෙන, ඒත් කිසි වැදගැම්මකට නැති චරිතයක්. ඔහුගෙ ලොකුම හීනය වුණේ සුපර් ස්ටාර් ගිහින් ප්‍රසිද්ධ සංගීතකාරයෙක් වෙන්න. ආ. . . තව මෝටර් සයිකලයක් ගන්න, ඊට පස්සෙ පොඩි කාර් එහෙකුත් ගන්න.

රංගනට ස්ථීර රස්සාවක් නැහැ. බාර් ගානෙ ගිටාර් ගගහා සිංදුවක් කියලා කීයක් හරි හොයාගන්නවා. ගේ සන්තකේට තියෙන්නෙ අම්මගෙ කරේ හැමදාම එල්ලි එල්ලි  තිබුණු බාල රත්තරන් මාලෙ විතරයි.
ඒත් රංගන ඒක උගස් තියනවා, තමුන්ගෙ ලොකුම හීනයක් හැබෑ කරගන්න. ඊට පස්සෙ තමන්ගෙ පෙම්වතියත් එක්ක කාලයක් පෙරුම් පුරමින් හිටිය විදියට රවුමක් ගහන්න යනවා.

ඒත් දවස අවසන් වෙන්නෙ නොසිතූ ආකාරයට.

පැය දෙකයි මිනිත්තු හතරක් තිස්සෙ සාකියා කට ඇරගෙන බලාගෙන හිටියෙ ඔන්න ඔය ලක්ෂ්‍ය දෙක සම්බන්ධ කරන සිදුවීම් දාමය දිහාව.

කතාව පුරාවට මෝටර් බයිසිකලේ වෙලාවකට තල්ලු කර කර, වෙලාවකට රූං ගාලා අධිවේගයෙන් පැදගෙන යන්නෙ අපේ කාලයේ රංගන ශිල්පීන් දෙදෙනෙකු වන දසුන් පතිරණ සහ සමනලී ෆොන්සේකායි.

මේ දෙන්නගෙ රංගනය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. විශේෂයෙන්ම දසුන් කියන්නෙ සාකියා "ඒ ලෙවල් ඉවරයි" ටෙලිනාට්‍ය බලපු දා ඉඳලා බොහොම පැහැදීමක් තියෙන, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම "රංගන ශිල්පියෙක්". චිත්‍රපටය පුරාවට ඔහුගේ භාව ප්‍රකාශනය ප්‍රේක්ෂක සිත් "මෝටර් බයිසිකල්" වෙත තදින් ඇද බැඳ ගන්න සමත් ප්‍රධානත ම හේතුව කියලයි සාකියට නම් හිතුණේ.


"පෙට්‍රල් ගිනි ගන්න - ෆ්ලයිට් එක උඩ යන්න
මොහොත ආවා. . .
"


"මෝටර් බයිසිකල්" ශමීර රංගන නාඔටුන්නගේ කුළුදුල් වෘත්තාන්ත චිත්‍රපටය වනවා වගේම සාර්ක් අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයත් දිනාගැනීමට සමත් වුණා. කාලයක් වැඩිහිටියන්ට පමණක් සුදුසු යැයි වර්ගීකරණය කර තිබුණත් දැන් එම වාරණය ඉවත් කරගෙන තිබෙනවා. 
තරමක "වැඩිහිටි" තේමාවෙන් යුත් දර්ශන දෙකක් පමණ මෙහි අන්තර්ගත වුණත් එය ද අවිනීත ලිංගික දර්ශන ආකරයෙන් දැක්වෙන්නෙ නැහැ. ඊයේ දර්ශනයට වයස බින්දුවේ සිට දහ අට දක්වා ළමුන් ද සහභාගි වුණු බව කිව යුතුයි.

සුරංග ජයසූරිය විසින් නිෂ්පාදනය කරන ලද මෙහි නිර්මාණාත්මක කැමරාකරණය විශ්වජිත් කරුණාරත්නගෙනුයි. චිත්‍රපටයේ ගලායාමට කැමරාකරණය ද විශාල වශයෙන් දායක වුණු බව කිව යුතුයි.


"ඔය දෙතොල් සිපගන්න - ජීවිතයට පන දෙන්න
මොහොත ආවා. . .
තව චුට්ටක් ඉවසන්න - යාලුවෙක් වගේ ඉන්න
මොහොත ආවා. . .
"


සාකියාට තේරුම් ගිය අන්දමට මේ චිත්‍රපටයේ තේමා කිහිපයක් දක්වන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම සාමාන්‍ය මධ්‍යම පාන්තික ජනයාගේ දර්ශන පථයෙන් බැහැර වුණු සමාජ ස්තරයක යතාර්තය "මෝටර් බයිසිකල්' මුල සිට අගට දක්වන්නට සමත් වෙනවා.
තුරුණු ප්‍රේමයේ දුටු සහ නුදුටු පැතිකඩ, එයට ඇති බාධා, එහි සීමාවන් ආදිය, කිසිවක් සාධාරණීකරණය කිරීමට උත්සාහ නොගෙන ඉදිරිපත් කර තිබීම මෙහි විශේෂත්වයක්.
ඒ හැමටම වඩා සාකියා "මෝටර් බයිසිකල්"හි දැක්කේ මංමුලා වූ තාරුණ්‍යයයි. චිත්‍රපටය පුරාවට ප්‍රේක්ෂකයාගෙන් යම් පැනයක් විමසන ආකාරයක් සාකියාට දැනුණා. ඒත් එයට පිළිතුර නම් තවමත් ගැටලුවක්.

ඉතින් මේ විදිහට තමයි සාකියාගේ පසුගිය සතිය ගතවුණේ. ඔබ මෙවර "IFFColombo" හා සම්බන්ධ නොවුණා නම්, ලබන වසරේ ඉඩ ඇත්නම් සම්බන්ධ වෙන්න.

කසිකබල් පික්චර් මුදල් විසිකර බලන යුගයක, උසස් ගණයේ සිනමා නිර්මාණ ගාස්තුවක් නොමැතිව ම නරඹන්නට ලැබීම වාසනාවක් නොවේ ද?

Wednesday, September 2, 2015

ඉතුරු සල්ලි!



ඔන්න දවසක් දා අනේමන්දයි උන්දැගේ අතිජාත මිත්‍ර රත්නයක් වෙච්චි සපුවයි ක්ලාස් ඉවර වෙලා බස් එකක් එනකන් ඉන්නවලු හෝල්ට් එකේ.ඒ කාලේ ඉගනීමට තිබූ උනන්දුවේ මහිමය කොච්චරක් ද කියනවානම් මුන් දෙන්නා පන්තිය ඉවර වුණු හැටියේ ආලෝකයේ වේගයෙන් බස් හෝල්ට් එකට දුවන් එන්නේ එන පළවෙනි බස් එකේ ම නැගල ගෙදර යන්න.


හෝල්ට් එකට ආපු වෙලේ ඉඳන් ම මේ සපුමලී කෙලි පොඩිත්ත මගෙනුයි වටේ ඉන්න හැමෝගෙන්මයි අහන්නේ රුපියල් පනහක් මාරු කරගන්න තියෙනව ද කියලා.ඒත් වෙලාවට කවුරුවත් ගාව මාරු සල්ලි තිබුණෙ නෑ.


ඉතින් වෙනද වගේ ම එදත් බස් කටුවක් ගාට ගාට ආවා.අපි දෙන්නත් නැග්ගා.සපුවා බස් එකේ ඉස්සරහින් නැගලා සීට් එකක් බදාගෙන හිටියා.අසරණ මට ඒ මොළේ පහළ නොවුණු නිසා මම නිකන් දියවැලකට අහු වුණ ජෙලිෆිශ් කෙනෙක් වගේ තැලිලා පොඩිවෙලා ඇඹරිලා බස් රථයේ පශ්චාත් භාගය කරා චූෂණය වෙලා ගියා.කොහොම කොහොම හරි ටික දුරක් යද්දී සපුවා උඩ පැන පැන හස්ත මුද්‍රාව සහ වෙනත් හඳුනා නොගත් සංඥා භාෂා මාධ්‍ය භාවිත කරලා මට කිව්වේ උන්දෑට කොන්දොස්තර බාප්පා ඉතුරු සල්ලි නොදුන් බවත් තමුන් බහින හෝල්ට් එක කරා බසය ශීඝ්‍රගාමී ව ලඟා වන නිසා මට ඉතුරු සල්ලි ඉල්ලා ගන්නා ලෙසත් ය.


සපුවා බස් එකේ ඉස්සරහින් හිටි අතර කොන්දොස්තර හිටියේ මං හිටි දිසාවෙයි.ඉතින් මමත් දැන් ඉතිරි සල්ලි ඉල්ලන්න ඕන විදිය හිතින් කියවමින් හිටියේ නැතිනම් නැගපු හෝල්ට් එකටම ආපහු ටිකට් ඉල්ලන ජාතියේ පැරනෝමල් සිදුවීම් අනේමන්දාට අලුත් දෙයක් නොවෙච්චි හන්දයි.


ඉතින් ඔන්න කොන්දොස්තර ඇවිත් අනේමන්දගෙනුත් ටිකට් ඉල්ලුවාලු.

"බ්ලාහ් බ්ලා වත්තට එකක් ගත්තා ඉතුරු සල්ලි දුන්නේ නෑ..බ්ලා පිටියට.."

"කීය ද දුන්නේ??"

මේ යකා මට කතාව කියාගෙන යන්න නොදී කඩන් පැනපි.

"පනහ"

"ආ මෙන්න ඉතුරු සල්ලි"

අගින් වක්‍ර වුණ රුපියල් දහයෙ විස්සෙ කොල සහ කාසි කිහිපයක් මට දික් කරපු කොන්දොස්තර වහාම ඊළඟ මගියා වෙත යොමු වුණා.

මං තත්පරයක් දෙකක් ඇස්පිය ගහමින් බලන් හිටියා මේ මොකක් ද උනේ කියලා.

දැන් සපුවාගේ ඉතුරු සල්ලි ඉල්ලගත්තට මට ප්‍රවේශ පත්‍රයක් ගන්න බැරි වුණ බව කාට කාටත් තේරෙනවා ඇති නොවෑ.

ඉන්පස්සේ මං කල්පනා කළේ කොහොමද දැන් මම ටිකට් ඉල්ලගන්නේ කියලා.

ආයෙමත් සල්ලි දීලා ඉල්ලන්න ගියොත් කලින් ඉතුරු සල්ලි ඉල්ලපු එකී ආයෙ ටිකට් ගන්නේ මොන ඇන්නෑවකටද කියල අහල පහල සීට් කෑලිවල,බස් එකේ බාර්වල වවුල් පෝතකයො වගේ එල්ලිලා ඉන්න කොල්ලො බල්ලො කෙල්ලො සහ කොන්දොස්තර උන්නැහේ හිතන බව අනේමන්දාට සක්සුදක් වගේ පැහැදිලියි.

ඇත්තම කතන්දරේ ප්‍රවේශපත්තර කියා ජාතියක් දෙන්නෙත් ඉඳහිට එන සිලෝන් ටකරන් බස් එකක විතරක් වුණත් දැන් "බ්ලා බ්ලාහ් වත්තට" යනව කියල ඉතිරි සල්ලි ගනිපු මම ඒ පළාත පහු කරගෙන ගිහින් "බ්ලා පිටියෙන්" බහිනවා කොන්දොස්තර උන්නැහේට අවබෝධ වුණොත් මොන ජංජාලයක් වෙයි ද කියලා හිතෙනකොට මගේ හෘදය වස්තුව නිකන් දෙමෝලෙන් පිටි කොටනකොට වගේ උඩ පනින්න ගත්තා.වැඩියෙන්ම භයංකාර වුණේ දවසක් දා අනේමන්දාගේ යාලුවෙකුට වෙච්ච සිද්දියක් මතක් වෙලා.ඒ අසරණ දැරිවිට බස් එකේ ටිකට් ගන්න අමතක වෙලා බැහැලා යන්න හදනකොටම කොන්දොස්තර මොර දුන්නෙ නැතෑ ටිකට් ගත්තෙ නෑ නේද කියලා.කොහොම කොහොම හරි ටිකට් එකට සල්ලි දුන්නට බස් එකේ ෆුට්බෝඩ් එකේ ඉඳපු ඇට්ටර කොලු රැළක් හූ කියපු එක නවත්වන්න කාටවත් බැරි වුණා.

ඔය විදියට එන්න එන්නම බියජනක බස්‍ රථ අත්දැකීම් අනේමන්දාගේ ඔලුවට පොම්ප වෙන්න ගත්තේ හරියට කලුවර රෑක තනියම ඉන්නකොට මෙතෙක් ඇසූ පිරූ සියලු හොල්මන් කතා සහ හොර(ර්) මූවීස් හිතට එනවා වගේ.

කොහොම නමුත් එදා අතුරු ආන්තරාවක් නොවී බස් එකෙන් බැහැලා ගෙදර යන්න අනේමන්දාට වාසනාව තිබුණා.

පහුවදා උදේ මං ඉස්කෝලෙ ගියේ සපුවාගේ ඉතුරු සල්ලි නිසා මට වුණ ඇබැද්දිය කට්ටියටම කියන්න හිතාගෙන. මම පන්තියට එද්දි ම සපුවා නිකන් අමුතු ම බැල්මක් දාගෙන,

 "ඔයා ඊයෙ කොන්දගෙන් මගේ ඉතුරු සල්ලි ඉල්ලගත්ත ද?"
කියල ඇහුවේ ලාවට නෝන්ඩි හිනාවක් කට කොනකින් මතුවෙද්දී.

"ඔව් බං.මාර වැඩේනෙ උනේ.මට ටිකට් ගන්න උනෙත් නෑ උඹේ ඉතුරු සල්ලි ඉල්ලගන්න ගිහින්."
එහෙම කිය කිය මම බෑග් එක ඇද්දේ සල්ලි ටික දෙන්න හිතාගෙන.

 එතකොට ම එච්චර වෙලා තදකරගෙන හිටපු හිනාව එළියට පැන්න සපුවා කියපි,

"අනේ බං,ඌ මං බැස්සට පස්සේ බස් එකෙන් එලියට බැහැලා දුවගෙන ඇවිත් මට ඉතුරු සල්ලි දුන්න නේ!!!"


Tuesday, September 1, 2015

වසවර්තියෝ



අපේ අල්ලපු ගෙදර ඉන්නෙ නාහෙට නාහන නිවුන් ළමයි තුන්දෙනෙක්. කෙල්ලො දෙන්නයි, කොල්ලයි. උදේ නැඟිට්ට වෙලේ ඉඳන් රෑට නින්දට යනකම් ම උන්ගෙ වැඩේ අඬන එක.

ඔන්න එකෙක් පටන් ගන්නවා. . . එක්කො අම්මා නාන බාල්දියෙන් සීතල වතුර එකක් ඔළුවට හැලුවා වෙන්න ඇති, නැත්තන් කකා හිටපු සීනි බෝලෙ බිම වැටුණා වෙන්න පුළුවන්. ඔය මොනයම්ම හෝ ආකාරයකින් කෝපගැන්විච්ච එකෙක් නාහෙන් අඬන්න ගන්නවා. ඕන්න එතකොට ම ඊලඟ එකා හරි එකී හරි පටන් ගන්නවා පිළිකන්න පැත්තෙ ඉඳන්. ඊට තප්පර බින්දුවයි දසම බින්දුවයි බින්දුවයි බින්දුවයි බින්දුවයි, බින්දුවයි එකකට පස්සෙ අවසානයා "කක්කා ගියෝ!" ගාලා හූ තියන්න ගන්නවා. ඉතින් හතර වටේට මාලු ලෑල්ල හරි ඉරිදා පොළ හරි වගේ, එකම ගාලගෝට්ටියයි.

ඔය ගෝරනාඩුව අහන් ඉන්න බැරි ම වුණා ම වෙලාවකට මම කනේ ඇඟිලි ගහගන්නවා. එතකොට මට දැනෙනවා ඇඟිලි දෙක කන් දෙකේ ඇතුළට ඇතුළට හිමීට හිමීට තල්ලු වෙලා යන හැටි. ඊට පස්සෙ ඇඟිල්ලක් ගිහිල්ල කන් බෙරේ වදිනවා. ඔන්න එතකොට වේදනාව දරාගන්න බැරුව මම කන් වලින් ඇඟිලි එළියට ගන්නවා. ඒත් ඉතින් එතකොට අර මාර පැටවුන්ගේ කෑගැහිල්ල ඇහෙන්න ගන්නවා. එක අතකට කන් දෙකේ වේදනාව ඒ කෑගැහිල්ලට වඩා සැපතක් කියලා හිතෙනවා.

ඔය විදියට දවස් ගානක් ගත වෙනකොට මගේ හිතේ පැළපදියම් වෙච්ච තරහ බුබුළු දම දම නටන කැඳ හැලියක් වගේ, නැත්තන් පපඩමක් බස්සපු ගමන් "පුෂ්!" ගාලා පිපිළා යන විදියට රත් වෙච්ච තෙල් තාච්චියක් වගේ වුණා. ඉතින් මම දවසක් දා පාර පල්ලෙහැ කඩේට ගිහින් සිදුරු නැති සිලි සිලි මලු තුනක්, රෝස පාට දෙකයි - නිල් පාට එකයි, සල්ලි වලට ගත්තා. සල්ලි වලට ගත්තාය කිවුවේ මෝඩකමකට එහෙම නෙවෙයි. සිලි සිලි මලු තුනකට සල්ලි ගන්න එක සාධාරණ නැහැයි කියලා මම පැය භාගයක් කඩ පිලේ හිටගෙන මුදලාලියා එක්ක වාද කළා. ඒත් අන්තිමට උවමනාව කොච්චරක් ද කියනවා නං මාරු සල්ලි නැති නිසා ඉතුරු සල්ලි වලින් කහට එකක් බොන්න කියල අතේ තිබ්බ රුපියල් දහයම මුදලාලිට දීලා මම දිව්වා ලියුම් කවරෙකුයි මුද්දරේකුයි ගන්න.

පැය භාගයක් ම වැඩකට නැතුව කඩ පිලක් උඩ නාස්ති වෙලා ගියා කිය කියා මම ඉක්මනට තැපැල් කාර්යාලෙට ගියා. තැපැල් කාර්යාලේ පැත්තක එල්ලලා තිබුණු ලාටු කෝප්පෙන් තලියක් ම අරන්, පහට හයට නවලා සිලි සිලි මලු තුන ඔබ්බවලා තිබුණු ලියුම් කවරේ ගාලා ඇලෙව්වා. ඒත් අන්තිමට හදිස්සිය වැඩිකමට මුද්දරේ අලවලා තිබ්බේ පිටපැත්ත උඩට හිටින්න. ඒ කිවුවේ මුද්දරේ පස්ස පැත්ත ලෝකෙට ප්‍රදර්ශනය වෙන්න. ඉතින් මොකද කරන්නෙ? . . . හරි! මම මුද්දරයක් අලවපු බව ඔප්පු කරන්න කලින් එක වගේ දෙගුණයක් වටින තව මුද්දරයක් මිලට අරන් ඒක ඇලෙව්වා ලියුම් කවරේ වම් කෙලවරේ.

ඊළඟ පියවර : සුදු පාට හාෆ් ෂීට් කොලේක මම රතු පෑනෙන් ලිවුවා,
"අවවාදයයි! මෙම ලියුම් කවරය තුල ඇති මලු තුන සියලු දෙනාගේ යහපත පිණිස ඔබේ නිවසේ වසන වසවර්තීන් තිදෙනා මරහඬතලන විට හිස ආවරණය වන පරිදි ගැටගසා තබන්න." කියලා. ඇත්ත, මටත් හිතුණා ඒක ටිකක් දිග වැඩී කියලා. ඇරත් කවුද දන්නෙ ඒ ගෑනි අකුරු කියවන්න දන්නවද කියලා. ඒත් කොයි එකටත් හොඳ කියන්න තියෙන දේ කෙලින් ම කියන එකයි කියලා මම හිත හදාගත්තා. කොලේ තුනට නවලා පැත්තකින් සිදුරක් හැදුවා, ලියුම් කවරෙ පැත්තකිනුත් තව සිදුරක් හැදුවේ පාරෙ පැත්තක වැටිලා තිබුණු ඉඳිකට්ටකින්. ඇඳන් හිටිය ඇඳුමෙන් නූල් කෑල්ලක් කඩාගෙන ලියුම් කවරෙයි කොල කෑල්ලයි එකට ගැටගැහුවා.

අවසානයේ මම ලියුම් කවරේ තැපැල් පෙට්ටිය ඇතුළට දැම්මා. හෙට වෙනකොට හැමදේම විසඳෙයි කියන සතුටට මම මුළු දවසම ගත කළේ පුදුම උද්‍යෝගයකින්. ගෙදර යන ගමන් මම තද කහපාට කෝලිකුට්ටු ඇවරියක් සල්ලි වලට ගත්තා. මෙච්චර කල් තරහා වෙලා හිටපු පල්ලෙහා ගෙදර සෝමා නැන්දලාගෙ ගෙදරට අළුවා පාර්සලයක් හදාගෙන අර එනගමන් ගත්ත කෙහෙල් ඇවරියත් අරන් ගියා.

ගෙදර ඇවිත් මුලු මිදුල ම අතුගෑවා. අන්තර්ජාලයෙන් බලලා පොල්ගස් වලට නැඟලා පොල් සේරම කැඩුවා. රෑට කන්න පොල් සම්බෝල එක්ක කිරිබත් හැදුවා, වත්තෙ හිටිය නකුටු පූසෙක් අල්ලන් නෑව්වා.

එදා රෑ නින්දට ගියෙත් පුදුම සතුටකින්.

ඔව් ඔව් මේ කතාව කිවුවහම ඔය වගේ ප්‍රතිචාරයක් මං මුල ඉඳලම බලාපොරොත්තු වුණා. මීට කලින් මේ කතාව අහපු අයත් මගෙ දිහාව බැලුවෙ මන්ද බුද්ධිකයෙක් දිහා මිනිස්සු අනුකම්පාවෙන් බලනවා වගේ තමයි. මන්දබුද්ධිකයෙක් දිහා බලනකොට තියෙනවා වගේ සමච්චල් හිනාවකුත් ඒ උන්දලගේ කට කොන්වල ඇඳිලා තියෙනවත් මං හොඳාකර ව ම දැක්කා. ඇයි දෙයියනේ කාට ද සතුටු නැත්තෙ? අල්ලපු ගෙදර වසවර්ති මාර පුත්‍රයෝ තුන්දෙනෙක් හිටපු අසරණයෙක්ට ම මිසක් ඔහෙලට මේවා තේරෙන්නෙ නැහැ.

එදා රෑ මම ම්හ භයානක හීනයක් දැක්කා. පල්ලෙහා ගෙදර සෝමා ඇන්ටි කහ පිරුවටයක් වගේ තිබ්බ කෝලිකුට්ටු ඇවරිය මගේ ඉස්සරහපිට දි ම පොළවේ ගහලා චප්ප කරලා දැම්මා. ඒ ගහපු වේගෙට පොළව හෙල්ලිලා වත්තෙ පොල්ගස් වල ගෙඩි සේරම මගෙ ඔළුගෙඩියට කඩාවැටෙන්න ගත්තා. හතරවටෙන් කඩාහැලෙන පොල්ගෙඩි වරුසාව මැද්දෙන් දුවන් ආපු නකුටු පූසෙක් දත් විලිස්සන් මගේ පස්සෙන් බුරාගෙන පැන්නුවා. මම පන එපෝ කියලා දුවනකොට ඊයෙ රෑ කාපු පොල් සම්බලුයි කිරිබතුයි පෑගිලා ලෙස්සලා උඩින් විසිවෙලා ගිහින් තාප්පෙන් එහා අල්ලපු ගෙදරට වැටුණා. වසවර්තියො තුන්දෙනෙක් මාව වටකරන් මරහඬ දෙන්න ගත්තා.

ඔන්න එතකොට තමයි මම උඩ විසිවෙලා ඇහැරුණේ. බය වෙච්චි පාරට මම දොර ඇරන් ගිහින් තැඹිලි ගෙඩියක් කපන් බීගෙන බීගෙන ගියා. ඊටපස්සෙ ඇවිත් වෙලාව බලනකොට හරියට ම ලියුම්කාරයා එන වෙලාව. මම පුටුවක් තියලා තාප්පෙ උඩින් අල්ලපු ගෙදරට එබුණා.

දැන් මට පේනවා ලියුම්කාරයා කන්ද උඩින් විසිල් එකක් ගහගෙන හැටට හැටේ පිඹගෙන එනවා. ඒ එන වේගෙට ඒ මනුස්සයගෙ කොන්ඩෙ තිබ්බ කෙස් ගස් දහය හුළඟේ දස අත පියාඹනවා. ඔන්න එකපාරට ම පාරෙ තිබ්බ ගැට්ටකට උඩින් රෝදෙ ගිහින් බයිසිකලේ අහසින් ඇවිත් අල්ලපු ගෙදර ඉස්සරහින් වැටිලා "කරාස්!" ගාලා බ්‍රේක් එකක් ගැහුවා.

වසවර්තීන්ගෙ අම්මා ලියුම අතට ගත්තෙ දත් එකසිය දෙකක් තිබ්බත් එක දත ගානෙ වෙන වෙනම පේන විදියට හිනාවෙවි යි. ලියුම්කාරයා කටේ තිබ්බ එකම දත විලිස්සලා ආපස්සට හිනා වුණා. "ට්‍රිං ට්‍රිං!" ගාලා බැල් එක ගහලා උන්දැ ආයෙමත් අධිවේගයෙන් බයිසිකලය ධාවනය කරගෙන පාර දිගේ නොපෙනී ගියා.

අම්මන්ඩි ලියුමට ඈඳලා තිබ්බ කොල කෑල්ල කියවන අතරේ දත් එකසිය දෙක දත් දෙක දක්වා නොපෙනී යන හැටිත්, ඊලඟට කට කජු ලෙල්ලක් වගේ අනිත් පැත්ත ගැහෙන හැටිත් මම බලාගෙන හිටියා. ඩෙන්න ඩෙනා නැටුමක් නටාගෙන ම ලියුම් කවරේ කෑලි කෑලි වලට ඉරලා ඇතුලේ තිබ්බ සිලි සිලි මලු තුන එළියට අරගත්ත උන්දාගෙ කටින් "මේක එවපු එකාට. . . !" කියලා පටන් අරන් කුණුහරුප වැස්සක් ඇදහැලෙන්න ගත්තා. ගනන් හදල බලනකොට රුපියල් විසිපහකට වඩා වටිනා සිලි සිලි මලු තුන බිම වැටිලා උන්දැගේ පයට පෑගිලා යන හැටි මං දැක්කා.

බැරිම තැන මම කෑගැහුවා.
"ඕන එකක් කරන්න මගෙ සිලි සිලි මලු තුන බේරලා!"

අම්මන්ඩි බලපු බැලිල්ලට නැඟලා හිටිය පුටුව පෙරලිලා මම බිම ඇදගෙන වැටුණා. ඒ එක්කම වගේ වසවර්තියො තුන්දෙනා සුපුරුදු විදියට ම මොරදෙන්න ගත්තා. මම එතැනම බිම දිගාවෙලා ඒ සද්දෙට මගේ කන අගුළු වැටිලා යන හැටි බලාගෙන හිටියා.

Tuesday, August 18, 2015

කලබල මැද්දේ. . .

ඊයේ රෑ ගොඩක් උදවිය නිදි වර්ජිතව හිටියා කියලයි ආරංචිය. ඔව් ඔව් සාකියත් හිටියා තමයි. හැබැයි හතර පහු වෙලා සුළු මොහොතකට පසු බඩගාගෙන වගේ ඇඳ කරා ඇදී යනවා මතකයි.

සාකියා මුලදි ප්ලෑන් කොරගෙන හිටියේ පැටිස් හදලා ගෙදර කට්ටියත් එක්ක කන්න. ඒත් සාකියාට ලෙඩක් තියෙනවා උදේ ඉඳන් "මං අද හවසට අරක කරනවා. . . කරනවා. . . " කියලා මන්තරේ වගේ ජප කර කර ඉඳලා පස්සෙ හවසට පොරෝගෙන බුදියන නරක පුරුද්දක්.

ආහ් ඉතින් කොහෙන්ද අපි නතර කළේ?

හරි ඉතින් පැටිස් හදනවා කිය කියා ඉඳලා අන්තිමේදි ඒ වැඩේ හෙටට කල් දැම්මා. ඒත් නිකම් ම හිටියේ නෑ ඕං. තවත් වැඩක් කළා. ඒක කලින් ප්ලෑන් නොකරපු එකක් හින්දා සාර්ථක ව කොරගෙන යන්න පුළුවන් වුණා.
ඔන්න ඔහොමයි සාකියාගෙ වැඩ.

ඉතින් ඡන්දෙ බල බල මොකද කළේ?

ඉතින් සාකියා තකහනියක් පෝස්ටුවක් කොටන්නෙ ඡන්දෙ බල බල ස්ට්‍රෝබෙරි  කෑවා කියන්න හෙම නෙවෙයි.

පෙනුමට නම් ස්ට්‍රෝබෙරි ගෙඩියක් තමයි. ඒත් මේක සාකියා විසින් නිර්මාණය කරන ලද කෝල්ඩ් පෝසිලේන් (Cold Porcelain) අනුරුවක්.

ඈහ්? ඒ මොනාද ඒ? කෑමක් ද?

දැන් දෙලොවට ම නැතුවා වාගේ ඉන්න නිසා සාකියත් අවුරුද්දෙ මුල ගියා නොමිලේ උගන්වන Craft Class එහෙකට. සාකියා Craft Class කිවුවට ඒක ට ඇත්තටම කියන්නේ ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානය කියලා. එහෙදි තමයි මුලින් ම මේ ගැන ඉගෙනගත්තෙ. පස්සෙ පින්ට්‍රස්ට් (Pinterest) එකේ රවුම් ගගහා ඉන්නකොට පොලිමර් ක්ලේ (Polymer Clay) කියලා ජාතියක් දැකලා තේරුණා අපි පන්තියෙදි හැදුවෙත් මේවාමයි කියලා. ඊටත් පස්සෙ ඔන්න මේ ඊයෙ පෙරේදා අනේමන්දා Cold Porcelain කියලා ජාතියක් හොයාගෙන මටත් පෙන්නුවා. ඊට පස්සෙ වට්ටෝරුව කියෙව්වා, හිතුවා, බඩු ගත්තා, හැදුවා!


සාකියා කෝල්ඩ් පොර්සිලේන් මෝලියක් හදාගෙන ඒකෙන් අනුරූ හැදුවා. ඕක තමයි දැන් මගේ අලුත් ම විනෝදාංශය.

කැමති කෙනෙක් අත්හදා බලන්ඩ. බල කරන්නෙ නැහැ ඕං. අන්තර්ජාලයෙන් ඕනෑතරම් අදහස් ගන්න පුලුවන්.

ඔන්න බලාගන්ඩ එහෙනම් අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුව :

1. කෝන් පිටි (Corn Flour) ග්‍රෑම් 100 (මේවා ආනයනය කරපු හොඳ වර්ගයේ ඒවා ගන්නේ නැතිව සිල්ලර කඩයකින් තමන්ට අවශ්‍ය ප්‍රමාණය ලබාගත්තාම ලාබයි.)
2. කෙමිෆික්ස් හෝ වෙනත් බයින්ඩින් ගම් වර්ගයක් ග්‍රෑම් 200
3. එළවළු තෙල් හෝ පොල්තෙල් මේස හැඳි 2
4. දෙහි යුෂ මේස හැන්දක්
5. වැස්ලින් හෝ සිලිකන් අඩංගු නැති ක්‍රීම් වර්ගයක් (අවශ්‍ය නම් ඉතාම ස්වල්පයක් අත්ලේ ආලේප කරගැනීම ට පමණී.
6. Non-stick සාස්පානක්
7. ලී හැන්දක්


දැන් කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරිය හා සම්බන්ධ වෙමු.

"මේතන Brand Names පළ කෙරුවේ ඔබගේ පහසුව තකා පමණි. නැත්තං කියයි සාකියා සන්නාම ප්‍රවර්ධනයක් කරනවාය කියලා."

ඔව් අපි නැවතත් වැඩසටහන හා සම්බන්ධ වෙනවා.

වැස්ලින් හා ලී හැන්ද හැර අනෙක් සියලුම ද්‍රව්‍ය සාස්පානට දමාගන්න.

අඩු ගින්දරේ ලිප තබා ලී හැන්දෙන් මිශ්‍ර කරන්න.

තරමක ගනකම් වූ විට ලිපෙන් බා, (අවශ්‍ය නම්) අත්ලෙහි ක්‍රීම් ආලේප කරගෙන මෝලියක් වනතුරු හොඳින් අනන්න. (මේ වනවිට මිශ්‍රණය තරමක උණුසුම් වන බැවින් ප්‍රවේසමින් මෙය සිදු කරන්න.)

අත්ලෙහි නොඇලෙන පදමට ආ පසු ප්ලාස්ටික් කවරයක් තුලට හෝ සිදුරු රහිත පොලිතින් බෑගයකට දමා සුළං නොවදින සේ තදින් ගැටගසන්න.

පිංතූර සමඟ ම බලාගන්න පුළුවන් මේ ලින්කුව දිගේ ගිහින්:
Cold Porcelain Tutorial


මේ තියෙන්නේ සාකියා හදාපු පෝසිලේන් මෝලිය.


ඒ වගේම පාවිච්චියට නොගන්නා වෙලාවට කුඩා පිටි ගුලි පවා මේ විදියට ආවරණය කරන්න ඕනෑමයි. නැත්තන් නිර්මාණය කරන්න නොහැකි තරමට ඝන වෙනවා.

දැන් පිටි මෝලියෙන් කැබැල්ලක් කඩාගෙන රෝල් කරලා, තුනී කරලා, පොළවෙ ගහලා, පාගලා ඔය ඕනෑම ආකාරයකට තමන් කැමති ඕනම නිර්මාණයක් කරගන්න පුලුවන්.

මේ තියෙන්නෙ සාකියා දැනට කරපු නිර්මාණ.






ගූගල් බාප්පට කිවුවොතින් ඔයිට වඩා ගොඩක් අදහස් හොයාගන්න පුළුවන් වෙයි.

නැවත හමුවෙමු!

Wednesday, August 12, 2015

විවෘතයි!!!


අපේ ගෙදර ඉන්නවනේ හාදයෙක් ගොන්පීතර කියලා. ඉතින් පහුගිය දවසක ඔය හාදයා කෙඳිරි ගගා ඉඳලා බැරිම තැන ඉහින් කනින් පොරවලා ඉස්පිටිතාලේ ගිහින් නතර කළා. ඕන්න අද ගෙදර එක්කන් ආපු හැටියෙම හුස්මක් ගන්නවත් ඉඩක් නොදී පෝස්ටුවක් කොටාගෙන කොටාගෙන ගියා.

ඔන්න දැන් හරි නේ? වැරැද්ද මගේ නෙවෙයි. ගොන්පීතරේගෙ ම තමයි.

හනේ අප්පච්චියේ! බැලින්නං මාසෙකින් අකුරක්වත් ලියලා නෑ නෙව. ලේසි නෑ.

ඕක තමයි සමහරු "දෙපන්හිඳ ලිවිල්ල නැවැත්තුව ද?" අහලා පණිවුඩ එවලා තිබුණේ. එහෙම හොයලා බැලුවට පිං හොඳේ.
කිවුවට මොකද පෝස්ටුවක් දාගන්න බැරුව සාකියාටත් නිකන් පාළුයි පාළුයි වගේ.

සාකියාගෙ ගොන්පීතරයා ලෙඩ වුණ අතරෙම අනේමන්දාටත් හරියට කරදර මේ දවස් වල. අනේමන්දාගෙ තාත්තා හදිසි අනතුරකට මුහුණ දුන්නා නේ. ඉතින් පෝස්ටු දාන එක අතපහු වුණාට සමාව භාජනේකට දාන්ඩ බැරි නං බෝතලේකට, කුප්පියකට, පොල්කට්ටකට හරි කමක් නෑ දාගන්නවා හොඳයි.

කොටාගෙන කොටාගෙන ගියා කිවුවට මොකද ලියන්න පටන්ගත්ත වෙලාවට මේක දාගන්න බැරි වුණා නේ. මොනවා කරන්න ද. . .

හෙට අලුතින් ම පෝස්ටුවක් දාන පොරොන්දුව පිට සාකියා දැන් නිදිමරගාතෙ පිටවෙලා යනවා.

සුබ රැයක්!

Saturday, June 27, 2015

කවියක් ය ජීවිතය . . .




කවියක් ය ජීවිතය . . .

ලා හිරු එළිය අතරින්
වන මල් සිනාසෙන උදෑසන
කිරි කළයක සුද ගත් නැවුම් සිතිවිල්ලෙන්
මුතු කැට අකුරින් ලියැවුණ

ගිනිගහන මද්දහනේ
තුරු සෙවනක
පාළු බංකුවකට වී
අකුරු කළ

මැදියම් රැයේ අදිසියෙන් ඇහැ ඇර
මේස ලාම්පුව අසල සිට
නිදිමතින් කැටයම් වුණ

සිනාසෙන විට සොම්නසින්
කලබලෙන් ඇදවුණ

සීරුවට ගලන කඳුළු වැල් අතරින්
බොඳ වුණු පිටුවක මතුවුණ

ඇතැමුන්ට වැටහෙන
ඇතැමුන්ට නොවැටහෙන
තවෙකෙකුට නීරස
තවත් කෙනෙකුට රස

වැඩි කහට
වැඩි සීනි
කිරි තේ කෝප්පයක්.

Monday, June 22, 2015

පූසෙකුගේ මළගම


මං යම්තරමක් දුරට බළල් බස හදාරා ඇත. අපේ නිවසේ මා කුඩා කාලයේදී "සොමි නෝනා" නම් මහලු බැළලියක් හැර එකල මා හා කතාබස් කිරීමට කිසිවෙකුත් නොවූයෙන් අපහසුවෙන් වුව එය ඉගෙනීමට මට සිදුවිය.

පසු කලෙකදී මා එම ප්‍රදේශයේ බල්ලන් හා බළලුන් අතර භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කිරීමෙන් ලබාගත් ප්‍රශංසා සහ කීර්ති නාමය සම්පූර්ණයෙන් හිමිවන්නේ සොමි නෝනා හට ය.

මා මේ කියන්නට යන කතාව තරුණ කල මා වසන ගම්මානයේ බළලුන් මෙන් ම, අප වැනි බල්ලන් අතර ද නම් දරා සිටි බැළලියක් පිළිබඳව ය.

ඇගේ භාරකාර පවුලේ එකම දරුවා වන දිනිත් මා සමඟ අතිශයින් මිත්‍රශීලී බැවින් මේ සිදුවීම වූ දිනයේ මා අසලට වී කඳුළු සලමින් කී කතාව හොඳින් අසා සිටීමෙන් පසු මට එම බැළලිය පිළිබඳ කතාන්තරයක් කවදා හෝ ලේඛනගත කොට මිනිසුන් අතට පත්කිරීමට සිත්විය.

බැළලිය පිළිබඳ මා දන්න කරුණු ද,ලෝකයාගෙන් දැනගන්නට යෙදුණු තොරතුරු ද, දිනිත් මා අසළට වී කී කතාව ද එකට එක් කොට එක් කතාවක් නිර්මාණය කිරීම ට මට ඉතා දීර්ඝ කලක් ගත විය.

මේ මා විසින් ලියන ලද එම බැළලියගේ කතාවයි.

* * * * * * * * * * * * * * * *

දිනිත්ලාගේ ගෙදර කුඩා කල පටන් ඇති දැඩි කරන පූස් තඩියෙක් විය. නිවැරදිව කිවහොත් ඌ පූසියෙකි. නෑ, ඈ පූසියෙකි.

සුදු, කළු, දුඹුරු වයිරම් පමණක් නොව, ඇගේ ලොම් කබායේ කොළ පැහැ පුල්ලිද තැනින් තැන දක්නට ලැබිණි. අසල්වාසීන් අතර මෙන්ම අහල ගම් හතක බළලුන් ද, බල්ලන් ද අතර "බුහුටි" ජනප්‍රිය චරිතයක් බවට පත්වන්නට එය ද හේතුවක් වන්නට ඇතැයි සිතමි.

මේ කියන්නට යන දින උදෑසන ද සැමදා ම කරනවාක් මෙන් ලා හිරු එළිය පොළොව සිප ගැනීමට ප්‍රථම අවදි වූ බුහුටි වත්ත පල්ලට ගොස් තමා විසින් ම වෙන් කරගන්නා ලද ස්ථානයේ වලක් සාරා, තම සිරුරේ බර නිදහස් කරගත්තී, නැවත ඒ මත පස් දමා ආවරණය කිරීමට තරම් ප්‍රවේසම් වූවාය. මැදිවියේ පසුවන, දැන ට තිදරු මවක් වූ ඇය සෑමවිටම තම දරුවන්ට ආදර්ශමත් ලෙස හැසිරීම තමාගේ විශාලතම රාජකාරිය ලෙස සලකා කටයුතු කළ බව පළාතේ ම ප්‍රසිද්ධ කරුණකි. මේ හෙයින් අවට ගම්මාන වල වසන  බළල් පවුල් වලින් ඇයට මාළු බත්, කුකුළු මස්, සාලයින් වැනි වටනා යමකට හුවමාරු ලෙස කෙළි වියේ පසුවන පූස් පැටවුන් පුහුණු කිරීමට ආරාධනා එමට ලැබිණි.

ඉදින් මතක ඇති කාලයක පටන් බුහුටි ට තම කුඩා දුවා දරුවන් හට ආහාර ඉල්ලා තම භාරකාරයින් ඉදිරියේ හඬා වැටීමට කිසිදු අවශ්‍යතාවක් නොවීය.

ඉතින් අපි නැවතත් කතාව දෙසට හැරෙමු . . .

බුහුටි ඉන්පසු පැමිණියේ සිය ආදරණීය දරුවන් වෙතට යි. ටික්කා, වලිග කොටා සහ උදුම්බරා කුස්සි දොර අසල බුමුතුරුනේ සැප පහසුවට ගුලි වී හිඳිනු ඈ බලා සිටියේ දෑසින් සෙනෙහස උතුරද්දීය.

මිලි තත්පරයකට පසු ඇය පුළුන් බෝලයට තම ඉදිරි පා වලින් කුඩා පහරක් දුන්නීය.
එවිට එකිනෙකා මත වැටී නිදා සිටි පැටවුන් අවදි ව දීර්ඝ ඈනුම් හරිමින් අත් පා දසත විහිදා හිරි අරින්නට වන්හ. ඉන්පසු ඇහිපිල්ලම් ගසමින් එකිනෙකා දෙසත්, බුහුටි දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට වූහ.

"යසයි හැදෙන ළමයි. නැගිටපල්ලා විගහට."
තරවටු ස්වරයෙන් කී ඇය තම වැඩ කටයුතු ආරම්භ කළාය.

මුලින්ම ඈ අල්ලාගත්තේ බාලයා වන වල්ග කොටා ව ය. ඈ පැටවාගේ කුඩා කන් පෙති වල ඇතුල් පැති හොඳින් පරීක්ෂා කර ඉන්පසු උගේ බෙල්ලේ සිට උඩු අතට පිරිසුදු කිරීම ආරම්භ කළාය. අනෙක් පැටවුන් ට හිමි රාජකාරිය වූයේ මේ ක්‍රියාකාරකම දෙස බලා සිට තමන්ට හැකි අයුරින් ඇඟපත පිරිසුදු කරගැනීමයි. එය අම්මාට පහසුවක් වනු ඇත.
වල්ග කොටාගෙන් පසු පිළිවෙලින් උදුම්බරා ද, ටික්කා ද බුහුටි විසින් නාවන ලදී. නිදිමතේ සිටින ඔවුහු වත්ත පහළට දක්කාගෙන ගොස් මළපහ කරවීම ඉන්පසුව සිදුකෙරිණි.

තවමත් මිහිදුම පහව ගොස් නැත. පරිසරය හිරිගඩු නංවන සීතලකින් වෙලී ඇත. බුහුටි මීළඟ රාජකාරිය ආරම්භ කළාය.

පෙර දින අල්වා සඟවන ලද මීකුනු සතරක් ඇය තම කටින් ගෙනැවිත් ඉන් තුනක් තම සාදර දරු තිදෙන ඉදිරියේ තබා ඉතිරි පංගුවෙන් තම උල් දත් වලින් මීයාගේ සම ඉරා, ඇටසැකිල්ල පමණක් ඉතිරි වන සේ පිළිවෙලට අනුභව කරන ආකාරය ඉගැන්වීමේ පාඩම් මාලාවේ අවසාන කොටස පැටවුන ට උගන්වා නිම කරන ලදී.

මේ සියල්ලත් අතරේ පෙර දිනයේ ආරම්භ කරන ලදුව, නිම කළ යුතු රාජකාරි දහසක් එකින් එක තම සිත තුළ ආවර්ජනය කිරීම ද සිදුකළ යුතු විය.

අඩු ආදායම් ලාභී බඩදරු අම්මාවරුන් වාසය කරනා කුණු ඇල අසල මුඩුක්කු පරිශ්‍රය ට ගොස් තම ආහාර සලාකයෙන් කොටසක් ලබා දීම මේ අතරින් ප්‍රධාන රාජකාරිය විය. එමෙන් ම අලුත උපන් බිළිඳුන් නිවෙස්නා පවුල් වලට අවශ්‍ය උපදෙස් නොමිලේ සැපයීම ද ඇය තුරුණු වියේ සිට නොකඩවා ඉටු කරන ලද්දකි.

"හපොයි! අද ලන්සි බැළලිලෑ දිහාවෙත් එන්න කීවා නෙව. තව ඩිංගෙන් අමතක වෙනවා."

ලන්සි බැළිලි නම් පූසියට මහලු පියෙක් සිටියි. කළබලකාරියක් වන ඇයට තවමත් දෑස් නොහැරුණු පැටවුන් පස් දෙනෙකු සමඟ පියාගේ වැඩ කටයුතු ඉටු කිරීමට සහය වන්නී ද බුහුටි බව මෙතැනදී කිවමනා ය.

යන්තම් නිල් පැහැයකින් ආකාසය වර්ණවත් වන විට බුහුටිලාගේ භාරකාර නිවසේ, එනම් දිනිත්ගේ නිවසේ විදුලි පහන් එක දෙක දැල්වෙන්නට විය.
එදින දිනිත් ට සුවිශේෂී දිනයකි. දිනිත් සාමාන්‍ය පෙළ විභාගය ලියන්නට නියමිතව තිබුණේ මෙදිනට ය.

ඉදින් නිවසේ කළබගෑනියක මහත නොකිවමනාය.

බුහුටි බළල් ලොව රැජිනක් වූවාට මිනිස් ලොව විභාග පිළිබඳ ව දන්නා දෙයක් නැත. එබැවින් ඌට එය ද සමාජ සේවයේ නියැළෙන තවත් එක් දිනයක් ම පමණක් විය. තම දරුවන් ජීවත් කැරවීම උදෙසා ගම් නියම්ගම් හි සැරිසරන්නට වන තවත් දිනයක් ම විය.

දිනිත්ගේ පියා ඉදිරිපස දොර හැරගෙන පිටතට එන විට බුහුටි සිටියේ සුපුරුදු ගමනට පිටවීම ට ලක ලැහැස්ති වෙමිනි. වල්ග කොටා, උදුම්බරා හා ටික්කා ඇයට සුභ ගමන් පතමින් සිටියහ. ඈ සිටියේ ඔවුනගේ හිස් සිඹිමිනි.

"මෙහෙ වර පූසි . . ."
දිනිත්ගේ පියා තාලයට ගයමින් බුහුටි වෙතට ආවේ ය.

"අපේ දුව අද විභාගේ ලියනවා බං. ඔන්න ඔහේ උඹ අදට විතරක් එයා පිටත් වෙනකොට පේන්න හිටපං."

"බළලෙක් පේන්න තියන්නෙ මොන එහෙකට ද විභාගෙට පිටවෙන දරුවෙකුට?"
මේ කතාව පැවසූ විට කෙනෙක් මගෙන් විමසීය.
මේ ගම්මානයේ මිනිසුන් අතර එවකට ප්‍රචලිත මිත්‍යා විශ්වාසයක් විය. ගමනක ට පිටත් වන විට බළලෙකු පේන්නට සිටීම ඉතා ශුභ ලකුණක් සේ ඔවුහු සැලකූහ.

දිනිත් ගෙයින් පිටවීම ට නියමිත ඉදිරි දොර කෙලින් නිවසේ තාප්පය පෙනෙන්නට තිබේ. ඉතින් දිනිත්ගේ පියා බුහුටිව වඩාගෙන ගොස් තාප්ප ගැට්ට මතින් තැබුවේ වඩා හොඳින් දැක ගැනීම සඳහා ය.

තාප්ප ගැට්ටේ සිටවන ලද බුහුටි තම රාජකාරි අතපසු වීම පිළිබඳ නොසන්සුන් වූයෙන් පැන යන්නට තැත් කරන විට, "ඔහෙ හිටු!" කී දිනිත්ගේ පියා ලණු පොටක් ගෙන බුහුටිගේ කරවට තොණ්ඩුවක් දමා, අසල සිටවන ලද යකඩ පොල්ලක එහි අනෙක් කෙළවර ගැටගැසුවේය.

මේ වන විට දිනිත් විභාගයට පිටත් වීම ට ලැහැස්ති වී ඉදිරි දොරටුවෙන් පිටතට පැමිණීය. එවිට ම දිනිත්ගේ මව් සුදු මල් දමා සරසන ලද වතුර වීදුරුවක් ගෙන දිනිත් ඉදිරියට පැමිණියේ සිනාමුසු වතිනි.

මේ අතරතුර අපගේ කතානායිකාව සිටියේ විශාල අකරතැබ්බයකට මුහුණපාමිනි.

ටික්කා ලද ඇසිල්ලක සලබයෙකු පසුපස එලවා ගොස් ළිං ගැට්ටක් මතට ගොඩ වී සිටිනා අයුරු ඈ දුටුවේ හරියට ම දිනිත්ගේ මව් වතුර වීදුරුව දෝතින් ගෙන දිනිත් ඉදිරියට ආ ඒ නිමේෂයේදීම ය.

"පුතේ . . . බැහැපන් ඔතනින් බිමට!"

ටික්කාට ඇසුණු වගක්වත් පෙනෙන්නට නැතිවා සේ ය. ඌ දැන් ළිඳ තුළින් දිස්වන තම ඡායාව දෙස විශ්මයට පත් ව බලා සිටිනු බුහුටි ට පෙනෙයි.

"අම්මේ . . . මෙන්න තව පැටියෙක්! අම්මගේ නැතිවුණා කියපු පැටියා මෙන්න ඇතුලේ!"
ටික්කා ළිං ගැට්ටේ සිට කෑගසයි.

"බිමට බැහැපන් . . . අකීකරු දරුවා!"

"අම්මා ඉන්න මං මෙයාව එක්කන් එන්නං."
ටික්කා තව එක් සැරයක් ළිඳට එබෙනු බුහුටි දිටී ය. ඉන්පසු තම දරුවා එක් පාදයක් ඔසවා ළිං කටට ඉහළින් අවකාශයේ මුදාහරිනු ද ඈ දුටුවා ය.


* * * * * * * * * * * * * * * * *

දිනිත් වතුසුදු මලින් පිරි දිය බඳුනෙන් උගුරක් බී, සිනාසී ශුභ ගමනට පිටත් විය.

"ඉන්න ඉන්න . . . තව බඩුවක්!"
දිනිත්ගේ පියා එසේ කියමින් තාප්පය දෙසට දෑත ම දිගු කළේය.

තාප්පය අසළ යකඩ පොල්ලේ සුදු, කළු, මෙන් ම දුඹුරු වයිරම් ද වැටුණු, තැනින් තැන කොළ පැහැ පුල්ලි වලින් ද හැඩවුණු බැළලියක උගුර අසළින් ගැටගැසූ ලණු පොටකින් එල්ලෙමින් සිටියේ ය.

"ජබුං!"

පළමුව දුටුවේ දර්ශනය ද, පළමුව ඇසුණේ හඬ ද කියා කිසිවෙකුත් කිසි දා දැනගත්තේ නැත.

නිමි.

Monday, June 15, 2015

ලියුමක් ආව දුරක්



කවදාහරි කාටහරි ලියලා තියෙනව ද ලියුමක්?

මට මතකයි මම ඉස් ඉස්සරම ලියුමක් ලියනකොට යන්තම් අවුරුදු හතක් අටක් විතර ඇති. හැබැයි ඉතින් ඕක ලිවීමේ ගෞරවය මට තනියම ගන්න බෑ. මොකද ඒක ලිවුවේ මේ බ්ලොග් එක කරන අනිත් එක්කෙනා, ඒ කියන්නෙ අනේමන්දා එක්ක එකතුවෙලා.

ගෙදර තිබිච්ච ලස්සන සුදු A4 කොළයක් කොහෙන්ද හොයාගෙන, ඊට පස්සෙ ඒකේ පාට පාට ප්ලැටිග්නම් වලින් විවිධාකාර මල්, සත්තු ඇඳලා තඩි බෝල අකුරු වලින් මොනවාදෝ කුරුටු ගාලා පළවෙනි වතාවට ලියුමක් ලියපු හැටි මට තාම මතක් වෙනවා. විශේෂත්වය තමයි ඒ ලියුම නිර්නාමික ලිපියක් වීම. ඒ වගේම ඒක යවන්නට නියම වෙලා තිබුණේ අපේ ගම්මුලාදෑනි සීයාට.

ලියුම අපිට තැපෑලට දාන්න පුළුවන් වුනා ද කියලා නම් මට හරි හැටි මතකයක් නෑ. ඒත් ඒ ලියුමේ අවසානයට ලියපු විකාර කවිය නම් මට හොඳට ම කටපාඩම්.

"කුරු කුරු නළුවා මමයි - කුරු කුරු නළුවා මමයි
ගීතය රස විඳ විඳ ඉන්නේ - පස්වෙනි හතු පෙත්තේ

කොටුවයි කූඹි කැලෙයි - ෆොටෝ ගන්න මම කූඹිච්චී
කූඹිච්චිගෙ හැඩ වැඩ බලලා - හැමෝම හිනැහෙනවා
හා! හා!"

ඒ ගීතයෙන් ආරම්භ වුනේ නොනිමෙන කූඹි ගීත වැලක්. දැන් නම් ලියුම් ලියන්න එතරම් ම හැකි වුණේ නැතත් කලාතුරකින් හරි ලියුමක් ලිවුවොත් ඒ හැම ලියුමක ම අවසානය ට තමන් ම නිර්මාණය කරපු කූඹි ගීතයක් එකතු කිරීම දැන් අපේ සම්ප්‍රදායයක්.

ඒ දවස් වල අපි ලියුම් ලියන්නෙ එක්සර්සයිස් පොත් වලින් ගලවාගත්ත මැද පිටු එකතුකරලා එකට අමුණලා. ඒ පිටු පිරෙන්න ලියන්න ගොඩාක් දේවල් ඒ කාලේ තිබ්බා. ඒ අතරිනුත් වැඩිපුර ම ලියැවුණේ අපි ආරම්භ කරපු රහස් සංවිධානයක් ගැන. ඊට අමතර ව නාට්‍ය, චිත්‍රපටි කරන්නත් ලියුම් මාර්ගයෙන් සැලසුම් කළා.

ඒ වගේම දෙහි යුෂ වලින් ලියපු නොපෙනෙන රහස් ලියුමකුත් මම ලියපු ලියුම් අතරේ තියෙනවා. ඒ ලියුමෙ උඩම පෑනෙන් ලියලා කියවීම ට උපදෙස් දීලා තියෙනවා. ඒ කියන්නෙ ඉටිපන්දම් එළියට අල්ලලා කියවන්න කියලා කියවන්නා ව දැනුවත් කිරීමක්. ඒ වගේම අවසානය ට ලියලා තියෙනවා "මෙය කියවූ වහාම ගිනිබත් කර විනාශ කරන්න!" කියලා.

මට මතකයි ඒ කාලේ පැයක් දෙකක් ගත කරලා හිතට එන හැම එකක් ම වගේ ලියනවා. ඊට පස්සෙ රෑට කුස්සිය ට අරන් ගිහින් අම්මා උයන තැනට වෙලා ඒ ලියුම හයියෙන් කියවනවා. පස්සෙන්දා ලා දුඹුරු පාට ලියුම් කවරෙ ඇතුලේ ඒ ලියුම පොඩි නොවෙන්න පරිස්සමට තැන්පත් කරලා ගම් ගාලා අලවනවා. නැට්ටුකාරයාගේ මුද්දරයක් ඒ ලියුමෙ දකුණු අත පැත්තෙ ඉහළ ම කෙළවරේ වතුර ටිකක් ගාලා අලවලා ඊට යටින් ලිපිනය ලියනවා.
වැඩට යන ගමන් තැපැල් පෙට්ටියට දාගෙන යන වගකීම අම්මා ට හරි තාත්තා ට හරි පවරලා ආයෙමත් දහ පහළොස් සැරයක් මතක් කරන්නෙ ලියුම යවන එක ප්‍රමාද වෙයි කියලා බයට.

ඊලඟට එන්නෙ යවපු ලියුමට දිගම දිග පිළිතුරු ලිපියක් එනකම් ඇඟිලි ගැන ගැන ඉන්න නොඉවසිලිමත් කාලය. ලියුම් පියුම් ගේට්ටුව ගාව බෙල් එක ගහනකොට මම තමයි ඉස්සරහට දුවගෙන යන්නේ. එතකොට ඉතින් මගේ නමට ලියුමක් නැත්නම් එන්නේ කට ඇද කරගෙන තමයි.

අනේමන්දා එවන ලියුම් මගේ ඒවට වඩා ටිකක් වෙනස්. ඒවා වෙනස් වෙන්නෙ එයාගෙ ලියුම් කවර වලින්.  අනේමන්දා එවන ලියුම් වල මුද්දර අලවලා නෑ. ලියුම් කවරයේ ම මුද්දරයක් මුද්‍රණය කරපු ලියුම් ගැන මම දැනගත්තෙ ඒ ලියුම් වලින් තමයි.

ඉතින් එහෙම මුද්දරය මුද්‍රිත ලියුම් කවරයක දාපු ලියුමක් ආපුවහම මුලින් ම කරන්නෙ ගේට්ටුව ගාව ඉඳන් ගෙදරට දුවගෙන එන ගමන් ම ලියුම කඩන එක. ගේ ඇතුලට ගිහින් ලියුම කඩන එකත් කාලය නාස්ති වීමක් නේ!
ඉස්සෙල්ලා ම මම හොඳ සැප පහසු පුටුවක වාඩි වෙලා තනියම ලියුම කියවනවා. ඊට පස්සේ නැවතත් සැරයක් කියවනවා. හවස ට ආයෙමත් ගෙදර හැමෝට ම ඇහෙන්න ලියුම කියවනවා. ඔය අතරේ සමහර කොටස් සංස්කරණය කරමින් කියවන්නත් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මුලදී ම ලියුම දෙතුන් සැරයක් ස්කෑන් කරන්නෙ.

දැන් කාලේ වෙනකොට නම් ලියුම් වෙනුවට යවන්නේ විද්‍යුත් ලිපි එහෙමත් නැත්නම් ඊ-මේල්.  එහෙම ලිපියක් ආවත් මට නම් තාමත් අර ඉස්සර පියුම්ගෙන් ලියුමක් ලැබෙන වෙලාවට දැනෙන සතුට දැනෙනවා. ඒත් ඉතින් ලියුම් කවරේ කඩලා, කොල වල සර සරයත් එක්ක පිටුවෙන් පිටුව පෙරලලා, අතරින් පතර බලි රූප ඇඳපු ලස්සන ලියුමක් කියවනකොට දැනෙන මිහිරි ගතිය නැති අඩුවත් හොඳින් ම දැනෙනවා.

ඒ විතරක් නෙවෙයි. දැන් ලියුමක් යවන්න ඉස්සර වගේ දින ගනන් බලන් ඉන්න උවමනාවක් නෑ. ලියන පමාව ට යවන්නත්, යවන පමාව ට පිළිතුරු එවන්නත් පුළුවන් වෙන තරමට තාක්ෂණය දියුණු වෙලා. මට හිතෙන්නෙ ඒකෙන් ලා දුඹුරු පාට ලියුම් කවර වල දාපු රහස් පිරුණු ලියුම් වලට තිබුණු වටිනාකම අඩුවෙලා.

ඉඳලා හිටලා කාමරයක් අස්පස් කරනකොට, පරණ දිනපොතක් පෙරළනකොට හදිසියේ ම අර පරණ ලියුමක් මුණගැහෙනවා. එතකොට අවුරුදු දහයක් දොළහක් අතීතයට ගිහින් ආයෙමත් පොඩි ළමයෙක් බවට පත්වෙලා මම ඒ ලියුම කියවන්නෙ හරියට පරණ ම යාලුවෙක් එක්ක නිහඬ සංවාදයක යෙදෙනවා වගේ.

ඒ කොහොමවුණත් කවුරුවත් ම නැතත් වයසක ආච්චියෙකුට හරි සීයෙකුට හරි, එහෙමත් නැත්තං තනිවෙච්ච කෙනෙකුට හරි කමක් නෑ, අතින් ලියලා ලස්සන ලියුමක් යවන්න පුලුවන් නම්, ඒ සිත් වලට සතුට අවුන්සයක් කාන්දු කරවන්න ඔයාට පුළුවන් වෙයි.


* * * * * * * * * * * * 

ප.ලි. මේ ලිපිය ලියන්න සිතුවිල්ල ආවේ W.H. Audenගේ "Night Mail" කවිය කියෙව්වට පස්සෙ.

Thursday, June 4, 2015

අවුරුද්දක්ම ගතවුණා...

අවුරුද්ද ළං වෙනකොට
කාන්දු වෙයි දුකක් හිතට

නැකතට කිරි උතුරවලා
වැඩ අල්ලලා
ඉවර වුණ හැටියේ,
ඉස්සර වගේ ගමට දුවලා යන්න
දැන් කාටවත් හදිසියක් නෑ...

ගියත් ඉතින්,
අර පවුලේ හැමෝම එකතුවෙලා ගන්න
අලුත් අවුරුදු පින්තූරේ මැදින් මතුවෙන
තේජස පිරුණු පැරණි රුව දැන් නෑ.
ඉතිරි වෙලා ඉන්න
පරපුරු දෙකක සෙනගට
අන්තිම පුරුක ගිළිහුණු
පළමු පරපුර යන්න ගිහින් ඉතිරි කරපු
හිදැස මකන්න බෑ…

වෙසක් හුලඟ හමන විට
කාන්සියක් දැනෙයි හිතට..

හරි හරියට අපිත් එක්ක
බට පතුරු කපලා
අසව් කරදහි අලවලා
වෙසක් කූඩු හදලා හැඩ බලන්න
දැන් කවුරුත් නෑ..

උපහාස මඳහාස එක්ක
පොඩ්ඩක් සැර වැර කරන
ඒ අපූරු පෞරුෂය
වෙන කාටත් නෑ..

අගෝස්තුවෙ නිවාඩුවට
ඔන්චිල්ලා බැඳල දෙන්න
අඹ ගහකට නගින කොට
ඔච්චම් කර හිනාවෙන්න
දැන් කවුරුත් නෑ..

දෙසැම්බරේ හීතලට
වේළුණු කොළ හැලුණු මිදුල
අපිළිවෙලට අතුගානකොට
පොල් අත්තේ රටාව
තියන හැටි කියාදෙන්න
දැන් කවුරුත් නෑ..

පරණ ගේට්‍ටුව ඇරගෙන
මහ ගෙදරට ගියාම
ඉස්තෝප්පුවේ ඉඳගෙන
කන්නාඩිත් නැතුවම පත්තරේ බලන 
අපේ සීයා
ආයේ දකින්න වෙන්නේ නැති බව
හිත පිළිගන්නේම නෑ...

Thursday, May 28, 2015

අට්ටාලයේ හොල්මන



මුලින්ම මට තනියම කාමරයක් දුන්නම හරියට ලෝකෙන් බාගයක් දුන්න වගෙ මම උඩපැන්නා. ඒක පොඩි ළමයෙකුට විතරක් දැනෙන විදිහෙ අමුතු සතුටක්. හරියට පළවෙනි ජයග්‍රහණය වගේ.
මුලු දවසම වගේ මම ගත කළේ මගේ අලුත් නිදන කාමරේ ඇතුලේ. අලුත් කිවුවට ඒක පරණ අට්ටාල කාමරයක්. ඒ වුණත් ඒක පොඩි එකෙකුට රජදහනක්. අට්ටාලේ පැත්තකට වෙන්න ගොඩගහපු කාඩ්බෝඩ් පෙට්ටි ටිකත් එක්ක හොර රහසෙම රෑට ගවේෂණයක් කරන්න මම හිතාගත්තා.

රෑ කෑමෙන් පස්සෙ අම්මයි, අප්පච්චියි, අක්කයි, අයියයි, සාලේ පැති බිත්තියකට මුවාවෙලා තිබුණු පඩිපෙල නැඟගෙන අට්ටාල කාමරේට මාත් එක්ක පසුගමන් කරා.

"සුබ රාත්‍රියක් සැලී, ඇඳ මකුණො කයි බලාගෙන!"
අම්මා හැමදාම නිදාගන්න යද්දි කරන විහිළුව කිවුවා.

"අම්මා! මම දැන් තනියම කාමරයක ඉන්න ඇහැකි ලොකු ළමයෙක්. ඒ විහිළු වලට මට දැන් හිනා යන්නෙ නෑ."
මම බුම්මට්ටං ගහගෙන එහෙම කිවුවා.

අම්මයි අප්පච්චියි විදුලි ලාම්පුව නිවලා හිනා වෙවී පඩිපෙල බැස්සා. අක්කයි අයියයි තාමත් දොර ගාව හිටගෙන.

"ඇයි මොකද? කකුල් ඇලවිලා ද?"
මම ඒගොල්ලන්ටත් අම්මලාට දාපු සැර ස්වරයෙන්ම දමලා ගැහුවා.

"නෑ කකුල් මැලවිලා."
අයියා මට දිව දික් කරා. මෝඩ විහිළු.

අක්කගේ මූණෙ ලාවට හිනාවක් ඇඳිලා තිබුණා. හොඳකට නෙවෙයි.

"ඔයා දන්නවද නංගි මැග්නස්?"
"මොන මැග්නසෙක් ද?"
මම ගෙරෙව්වා.

"මැග්නස් අපේ සීයගෙ පළවෙනි කසාදෙ."

"ඉතින් මට මොකෝ?"

"සීයා අපේ ආච්චිව බැන්දෙ මැග්නස් මැරුණු නිසා. මම අහලා තියෙනවා එයා සීයට පුදුම විදියට ආදරේ කලාලු. එයා මැරුණේ දරුවෙක් ලැබෙන්න ඉන්නකොට. මැරෙන මොහොතෙ කියලා තියෙනවා, පීටර් (අපේ සීයා) මම මැරුණත් ඔයත් එක්කමයි කියලා."

"ඉතින් . . ."
මගේ සැර දැන් බාල වෙලා.

"ඉතින් ඔයාට මේක කියන්න හිතුවෙ ඔයාගෙ ම හොඳට පැට්ටෝ. මොනවා වුනත් ඔයා අපේ නංගි නේ, නැද්ද ජෝන්?"

"ඔව් ඔව්."
අයියා එයාගෙ ඉදිරියට නෙරපු අලි පොල් දත් දෙක මං දිහාට විහිදගෙන මෝඩයෙක් වගේ ඔළුව දෙපැත්තට වැනුවා.

"මං කිවුවනෙ මැග්නස් නැතිවුනේ දරුවෙක් ලැබෙන්න ගිහිල්ලය කියලා, ඉතින් දරුවා ලැබෙන්න ඉන්නකොට මැග්නස් දවසක් මේ කාමරේට ඇවිත් තියෙනවා. වෙන මොහොකටවත් නෙවෙයි, එයාගෙ දියමන්ති මංගල මුද්ද හොයන්න. එයා දවස් ගානක් මෙහාට ඇවිත් හෙව්වත් ඒක හොයාගන්න බැරි වෙලා . . ."

"පීටර් මං ඒක මේ කාමරෙන්මයි තියලා ගියේ, මට හොඳටම විශ්වාසයි!" 
මැග්නස්ගෙ ඇත්දළ පාට ලස්සන මූණ කඳුළු වලින් බොඳ වෙලා ගිහින් වගෙයි සීයට පෙනුණේ.

"වදවෙන්න එපා මැගී, අපි ඒක පස්සෙ හොයාගනිමු."


"සීයා එහෙම් කිවුවත් ඊට ටික දවසකට පස්සෙ මැගීට අමාරුවෙලා දරුවා ලැබෙන්න ගිහින් අතරමඟදි මැරිලා."

"ඉ-ති-න්"
කතාවෙ ඉතුරු ටික මගේ ඔලුව ඇතුලෙ මැවිලා ඉවරයි, ඒත් මම සැකහැර දැනගන්න "ඉතින්" කියලා ඇහුවෙ අවසානය හොඳ එකක් වෙන්නත් පුලුවන් කියන අන්තිම තුත්තිරි ගහෙත් ඇඟිල්ලකින් එල්ළිලා.

"ඔයා පොඩි හින්දා මෙච්චර කල් කවුරුවත් කිවුවෙ නැහැ. මැග්නස්ගෙ අතරමංවුණු ආත්මය තවමත් මේ කාමරේට රෑට රෑට එනවලු අර නැතිවෙච්ච මංගල මුද්ද හොයාගෙන."

මගෙ මූනෙන් බාගයක් පොරෝනයෙන් වැහිලා. අර කාටූන් වල ඉන්න ළමයි බය වුණහම වගේ. මෙච්චර කල් මට එයාලගෙ බය ගැන කිසි වැටහීමක් තිබුණෙම නෑ. පව් අසරණ කාටූන් ළමයි.

ඔය වගේ අමුතු සිතුවිල්ලකුත් ඒ වෙලාවෙ මගේ හිතේ ඇතිවුනා මට මතකයි. අසරණ පොඩි එකා!

මගෙ අයියා ඇඟිල්ලකුත් සූප්පු කර කර මහ බරපතල විදිහට මං දිහා බැලුවා.

"එයා පොඩි ළමයි කනවා."

අක්කා එයාට ටොක්කක් ඇන්නා.
"ඔය ඇති, අපි යමු."

අයියා ඇඟිල්ල කටෙන් එලියට අරං ඒකෙ තිබ්බ කෙළ ටික කලිසමේ පිහිදගත්තා

"සුබ රාත්‍රියක් සැලී, ඇඳ මකු-  ආහ් . . . වැරදුණා. මැග්නස් කයි බලාගෙන!"
එයා පොල් දත් විහිදලා, ඇස් හීනි කරලා මාත් එක්ක හිනා වුණා.

ඒගොල්ලො දොර වහගෙන යන්න ගියා.

"අනේ ඉන්නකෝ . . ."
මම කෙඳිරි ගෑවා. ඒත් ඒගොල්ලො ආපිට ආවෙ නැහැ. පඩිපෙළ දිගේ පහළට පහළට යන අඩි සද්ද ටික ටික ඈත් වෙලා ගිහින් නැත්තටම නැති වුණා.

නන්නත්තාර වුණු හොල්මනක් ඉන්න කාමරේක තට්ට තනියම ඉන්න ඔනෙ කාට ද? සාලෙ මැද්දෙ තිබුණු බිග් බෙන් ඔරලෝසුවෙ දොළහෙ කණිසම වදිනකොටත් මම හිටියෙ ඇහැරිලා. ඒ පළවෙනි වතාවට රෑ දොළහ වදිනවා ඇහුණමයි මගෙ හිතේ.

මට මතක් වුණා ආච්චි උපන්දිනේට තෑගි දුන්නු පින්තූර පොත් වල හිටපු ළමයින්ට මූණපාන්න වුණු දේවල්.
ඒවට අනුව රෑ දොළහ කියන්නෙ හොඳ වෙලාවක් නම් නෙවෙයි. අහිංසක ළමයි නිකං අමාරුවෙ වැටෙන්න පුලුවන් වෙලාවක්. අපේ අසල්වැසි මාගරට් ආච්චිට අනුව රෑ දොළහ කියන්නේ "යක්කු ගස් නගින" වෙලාවක්.

දොළහෙ කණිසම වැදුණු ගමන් ඔය වගේ දේවල් හිතන්න පටන්ගත්තු මට නිකං ම නින්ද ගියා.

ඒත් ඒ වැඩි වෙලාවකට නම් නෙවෙයි.

"ටොක්! ටොක්!!"
ඔන්න ඔය විදියට අට්ටාලයේ ලී පොළොව දිගේ සපත්තු දෙකක් ඇවිදින සද්දයක් ඇහෙන්න ගත්තා. මම හෙමින් සැරේ එක ඇහැක් ඇරලා බැලුවා.

ඒ නං මැග්නස් ම තමයි! මලානික පාට සුදු ගවුමක් ඇඳලා හිටිය එයාගෙ මූණත් ගවුම වගේම මලානික සුදු පාටකින් කළුවර අතරින් අමුතු විදිහකට දිළිසුණා.

එයා මොනවහරි හොය හොයා හැමතැනම හරිම කලබලෙන් ඇවිද්දා.
ඉස්සෙල්ලම චූටි කන්ණාඩි මේසෙ ලාච්චු ඇර ඇර බැලුවා. මගේ අරින්න වහන්න පුළුවන් පියනක් තියෙන මේසෙත් පියන ඇරලා එයා බැලුවා. මගේ පොත් රාක්කේ පොත් එහාට මෙහාට කර කර ත් බැලුවා. එයා මේ හැමදේම කළේ හරිම කලබලෙන්.

ඊට පස්සෙ එයා කාමරේ බිත්ති හැම එකකම උඩ පහල බැලුවා. එහෙම බලන අතරෙ භ්‍රාන්තියට පත්වෙලා ඇඳෙන් හෙලවීගන්න බැරුව හිටි මාව එයාගෙ ඇහැගැටුණා.

"සමාවෙන්න බබෝ . . . කෝ මේ බිත්තියෙ එල්ලලා තිබුණු ඔරලෝසුව?"

"ම . . . ම . . . දන් . . .නෙ නෑ. . ." කිවුව මම ඊළඟට,
"අනේ මාව කන්න එපා!!!!"  කියලා කෑගහන්න හැදුවට උගුරෙන් එළියට ආවෙ හීනි කෙඳිරියක් විතරයි.

එයා ප්‍රශ්නාර්ථයකින් වගේ මං දිහා බලං හිටියා.
"ඔයා බයවෙලා? මම ඔයාව කන්නෙ නැහැ. කොටින්ම මම කිසිම දෙයක් කන්නෙ නැහැ.

"එතකොට කන්නෙ නැද්ද?"
හුස්ම ටිකක් ගන්න පුළුවන් වෙන විදියට මම පොරෝණය මගෙ මූණෙන් පහත් කළා.

"නෑ."

"එතකොට්-"
මගෙ කතාව පටන්ගන්නවත් එයා ඉඩ දුන්නෙ නෑ.

"අනේ සමාවෙන්න මට පරක්කු වෙනවා. කරුණාකරලා කියනව ද මේ කාමරේ දියමන්ති මුද්දක් තිබ්බ ද කියලා."

"අදමයි මම ඒ කතාව ඇහුවෙ. කලින් දැනගත්ත නං හොයලා තියනවා මම."
මම කිවුවෙ ඇත්තටමයි. මට එයාගෙ මහන්සි පාට මූණ දැක්කම දුක හිතුණා.

එයා කර කර හිටපු වැඩේ තප්පරේකට නතර කරලා මං දිහා බැලුවේ අම්මා කෙනෙක් වගේ ආදරේකින්.

ඇත්ත නේ, එයා අම්මා කෙනෙක් වෙන්න බැරිවුණු අම්මා කෙනෙක් නෙ.

ඒ වෙලාවෙ මට ආවා හොඳ අදහසක්. ඇඳෙන් බැස්ස මම එයා ගාවට ඇවිදන් ගියා.
මැග්නස් ගාව තිබ්බෙ දත කට පූට්ටු වෙලා යන මහා හීතලක්.
ආයෙමත් ඇඳ ළඟට ගිහින් මම පොරෝනාව මගෙ ඇඟ වටේටම ඔතාගෙන ආයෙමත් මැග්නස් ගාවට ගියා.

"හරි. අපි දෙන්නම එකතු වෙලා හොයමු."
මම කිව්වා.

"ස්තූතියි!"

ඊට පස්සෙ රෑ පුරාම අපි ඒ මුද්ද හෙව්වා.

අන්තිමට අර පැත්තක ගොඩගහලා තිබිච්ච කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුලෙ තිබිලා මට මලකඩ කාපු මුද්දක් හම්බ වුනා. ඒක මැද්දෙ තිබුණේ කිසිම දිස්නයක් නැති වීදුරු කෑල්ලක්.

"මේක වෙන්න බෑ . . ."
මම කොයිකටත් මැග්නස්ට ඒක පෙන්නලා ඇහැව්වා.

මැග්නස් හිටියේ අට්ටාලෙ එහා කෙළවරේ. ඒත් මුද්ද පෙන්නපු ගමන් එයා විදුලි වේගයෙන් මං ගාවට දුවගෙන දුවගෙන ආවා.
ආපු වේගය පාලනය කරගන්න බැරුව එයා මගේ ඇඟ විනිවිද ගිහින් එහාපැත්තෙන් මතුවුණා.

මට කිඹුහුමක් ගියා.

"අනේ සමාවෙන්න දරුවෝ! කෝ බලන්න මුද්ද. . ."
එයා මගේ අත්ලෙ තිබුණු මුද්ද බොහොම පරිස්සමින් එයාගෙ සීතල ඇඟිලි අතර ට ගත්තා. ඊට පස්සෙ බොහොම ආදරෙන් වීදුරු ගලක් අල්ලපු ඒ කබල් මුද්ද දිහා බලාගෙන හිටියා.

මට නං ඒ මුකුත් තේරුණේ නැහැ. කබල් මුද්දෙ මොනවා බලනව ද මන්දා. පව් කියලා හිතුණු නිසා මගේ ලඟ හිටපු රත්තරං කෙස් ඇති බොනික්කෙක් ව එයාට තෑගි දුන්නා.

එයා බෝනික්කගේ කෙස් කැරලි දෙක තුනක් අවුල් කරලා ඊලඟට ඒ සීතල ඇඟිලි වලින් මගේ ඔළුවත් අතගෑවා.

"ඔයාට බොහොම ස්තූතියි, මම යන්නං මගේ පැට්ටෝ."
එහෙම කියලා එයා අට්ටාලෙ තිබුණු කවුළුවෙන් එළියට පැනලා නොපෙනී ගියා.

නිදිමත ට වැටුණු තැන ම මට නින්ද ගියා.

ඊළඟ දවසෙ මට නිව්මෝනියාව හැදුණා.

සති දෙකකට පස්සෙ රෑ දොළහෙ කණිසම වදිනකොට මම පහළ තට්ටුවේ මහ ඇඳේ, අම්මයි අප්පච්චියි මැද්දට වෙලා නිදාගෙන හිටියා.
 

Monday, May 25, 2015

අහක බලාගතිමි - Unrequited Love




පස් වසකට එපිට,
කවදා හෝ කොතැනක හෝ
අහඹු ලෙස ගැටුණි මා ඔබ දෙනෙත් . . .

ඔබ පෙම්වතෙකි

නොහැකි වූයෙන්
පවුරක් වන්නට
ඔබ හා ඈ අතර,
අහක බලාගතිමි නුදුටුවාක් මෙන්

කලකටත් පසු අහඹු ලෙස නැවතත්,
කවදා හෝ, කොතැනක හෝ,
ගැටුණි මා ඔබ දෙනෙත්

ඔබ තනිකඩය

මම,
කෝඩුකාරියෙකි මම
සිතුවිලි සිරකරගත් පපුතුර,
ඉවසන්ට නොහැකි තැන ඒ බැල්ම,
අහක බලාගතිමි
නුදුටුවාක් මෙන්,
නැවතත් සඟවාගෙන හැඟුම් සිත් තුළ

"කවදා හෝ ඔබ
ඇවිද යාවි'යි මා අසලින්
බලාසිටිනෙමි,
කල්පයක් වුවත් බලාසිටිනෙමි
එනවානම් ඔබ නොවැරදීම",

දහස් වරක් මා සිතින් කියා ඇති

"දන්නවාද පොල් ගස්?
පොල් ගස්වලට තියෙනවා ලොකු මුල්,
හුළඟට පොල් ගස් කොච්චර වැනෙනවද
ඒත් මුල්,
දන්නවද ඒ මුල්
ගලවන්න කොච්චර අමාරුද කියලා?
පොළොව බදාගෙන ඉන්නෙ,
හරියට මේ මං වගේ . . .

සමහරවිට,
පොළොවට වෙනසක් නොදැනෙනවා වෙන්නැති
තව කොච්චර නං කියලා ගස් ඇත්ද?
ඒත් කවුරු දන්නවද,
ඒ ගහේ හිටිය පුංචි පොල් කුරුමිනියෙකුට
ඒ ගහත් මහමෙරක් වෙන්නැති"


දොඩමළු වෙන්න ඇත්නම්
ඔබත් එක්ක,
නොවැදගත් කාරණා
විචාරය කරන්න හරි බරපතලෙට

ඒත්,
අවසාන තීරණය රැගෙන මම
වචනයක් පවසන්න ඔබ සමඟ
ඇවිද ආ විට,
බලා ඉඳල ම හෙම්බත් වෙලා
අහක බලාගෙන ඔබ
ආපිට ගොස් තිබුණි,
ඡායාවකුදු නොතියාම.

කුළුදුල් ආදරය යනු
කුමක්දැයි
තවම
නොදනිමි.


ප.ලි. : හිතට ආපු දෙයක් නිදිමතේ ම ඔහේ ලියලා දැම්මා. අඩුපාඩු තියෙනව නං සමාවෙන්ඩ ඕනෑ.