Showing posts with label සිදුවීම්. Show all posts
Showing posts with label සිදුවීම්. Show all posts

Wednesday, September 2, 2015

ඉතුරු සල්ලි!



ඔන්න දවසක් දා අනේමන්දයි උන්දැගේ අතිජාත මිත්‍ර රත්නයක් වෙච්චි සපුවයි ක්ලාස් ඉවර වෙලා බස් එකක් එනකන් ඉන්නවලු හෝල්ට් එකේ.ඒ කාලේ ඉගනීමට තිබූ උනන්දුවේ මහිමය කොච්චරක් ද කියනවානම් මුන් දෙන්නා පන්තිය ඉවර වුණු හැටියේ ආලෝකයේ වේගයෙන් බස් හෝල්ට් එකට දුවන් එන්නේ එන පළවෙනි බස් එකේ ම නැගල ගෙදර යන්න.


හෝල්ට් එකට ආපු වෙලේ ඉඳන් ම මේ සපුමලී කෙලි පොඩිත්ත මගෙනුයි වටේ ඉන්න හැමෝගෙන්මයි අහන්නේ රුපියල් පනහක් මාරු කරගන්න තියෙනව ද කියලා.ඒත් වෙලාවට කවුරුවත් ගාව මාරු සල්ලි තිබුණෙ නෑ.


ඉතින් වෙනද වගේ ම එදත් බස් කටුවක් ගාට ගාට ආවා.අපි දෙන්නත් නැග්ගා.සපුවා බස් එකේ ඉස්සරහින් නැගලා සීට් එකක් බදාගෙන හිටියා.අසරණ මට ඒ මොළේ පහළ නොවුණු නිසා මම නිකන් දියවැලකට අහු වුණ ජෙලිෆිශ් කෙනෙක් වගේ තැලිලා පොඩිවෙලා ඇඹරිලා බස් රථයේ පශ්චාත් භාගය කරා චූෂණය වෙලා ගියා.කොහොම කොහොම හරි ටික දුරක් යද්දී සපුවා උඩ පැන පැන හස්ත මුද්‍රාව සහ වෙනත් හඳුනා නොගත් සංඥා භාෂා මාධ්‍ය භාවිත කරලා මට කිව්වේ උන්දෑට කොන්දොස්තර බාප්පා ඉතුරු සල්ලි නොදුන් බවත් තමුන් බහින හෝල්ට් එක කරා බසය ශීඝ්‍රගාමී ව ලඟා වන නිසා මට ඉතුරු සල්ලි ඉල්ලා ගන්නා ලෙසත් ය.


සපුවා බස් එකේ ඉස්සරහින් හිටි අතර කොන්දොස්තර හිටියේ මං හිටි දිසාවෙයි.ඉතින් මමත් දැන් ඉතිරි සල්ලි ඉල්ලන්න ඕන විදිය හිතින් කියවමින් හිටියේ නැතිනම් නැගපු හෝල්ට් එකටම ආපහු ටිකට් ඉල්ලන ජාතියේ පැරනෝමල් සිදුවීම් අනේමන්දාට අලුත් දෙයක් නොවෙච්චි හන්දයි.


ඉතින් ඔන්න කොන්දොස්තර ඇවිත් අනේමන්දගෙනුත් ටිකට් ඉල්ලුවාලු.

"බ්ලාහ් බ්ලා වත්තට එකක් ගත්තා ඉතුරු සල්ලි දුන්නේ නෑ..බ්ලා පිටියට.."

"කීය ද දුන්නේ??"

මේ යකා මට කතාව කියාගෙන යන්න නොදී කඩන් පැනපි.

"පනහ"

"ආ මෙන්න ඉතුරු සල්ලි"

අගින් වක්‍ර වුණ රුපියල් දහයෙ විස්සෙ කොල සහ කාසි කිහිපයක් මට දික් කරපු කොන්දොස්තර වහාම ඊළඟ මගියා වෙත යොමු වුණා.

මං තත්පරයක් දෙකක් ඇස්පිය ගහමින් බලන් හිටියා මේ මොකක් ද උනේ කියලා.

දැන් සපුවාගේ ඉතුරු සල්ලි ඉල්ලගත්තට මට ප්‍රවේශ පත්‍රයක් ගන්න බැරි වුණ බව කාට කාටත් තේරෙනවා ඇති නොවෑ.

ඉන්පස්සේ මං කල්පනා කළේ කොහොමද දැන් මම ටිකට් ඉල්ලගන්නේ කියලා.

ආයෙමත් සල්ලි දීලා ඉල්ලන්න ගියොත් කලින් ඉතුරු සල්ලි ඉල්ලපු එකී ආයෙ ටිකට් ගන්නේ මොන ඇන්නෑවකටද කියල අහල පහල සීට් කෑලිවල,බස් එකේ බාර්වල වවුල් පෝතකයො වගේ එල්ලිලා ඉන්න කොල්ලො බල්ලො කෙල්ලො සහ කොන්දොස්තර උන්නැහේ හිතන බව අනේමන්දාට සක්සුදක් වගේ පැහැදිලියි.

ඇත්තම කතන්දරේ ප්‍රවේශපත්තර කියා ජාතියක් දෙන්නෙත් ඉඳහිට එන සිලෝන් ටකරන් බස් එකක විතරක් වුණත් දැන් "බ්ලා බ්ලාහ් වත්තට" යනව කියල ඉතිරි සල්ලි ගනිපු මම ඒ පළාත පහු කරගෙන ගිහින් "බ්ලා පිටියෙන්" බහිනවා කොන්දොස්තර උන්නැහේට අවබෝධ වුණොත් මොන ජංජාලයක් වෙයි ද කියලා හිතෙනකොට මගේ හෘදය වස්තුව නිකන් දෙමෝලෙන් පිටි කොටනකොට වගේ උඩ පනින්න ගත්තා.වැඩියෙන්ම භයංකාර වුණේ දවසක් දා අනේමන්දාගේ යාලුවෙකුට වෙච්ච සිද්දියක් මතක් වෙලා.ඒ අසරණ දැරිවිට බස් එකේ ටිකට් ගන්න අමතක වෙලා බැහැලා යන්න හදනකොටම කොන්දොස්තර මොර දුන්නෙ නැතෑ ටිකට් ගත්තෙ නෑ නේද කියලා.කොහොම කොහොම හරි ටිකට් එකට සල්ලි දුන්නට බස් එකේ ෆුට්බෝඩ් එකේ ඉඳපු ඇට්ටර කොලු රැළක් හූ කියපු එක නවත්වන්න කාටවත් බැරි වුණා.

ඔය විදියට එන්න එන්නම බියජනක බස්‍ රථ අත්දැකීම් අනේමන්දාගේ ඔලුවට පොම්ප වෙන්න ගත්තේ හරියට කලුවර රෑක තනියම ඉන්නකොට මෙතෙක් ඇසූ පිරූ සියලු හොල්මන් කතා සහ හොර(ර්) මූවීස් හිතට එනවා වගේ.

කොහොම නමුත් එදා අතුරු ආන්තරාවක් නොවී බස් එකෙන් බැහැලා ගෙදර යන්න අනේමන්දාට වාසනාව තිබුණා.

පහුවදා උදේ මං ඉස්කෝලෙ ගියේ සපුවාගේ ඉතුරු සල්ලි නිසා මට වුණ ඇබැද්දිය කට්ටියටම කියන්න හිතාගෙන. මම පන්තියට එද්දි ම සපුවා නිකන් අමුතු ම බැල්මක් දාගෙන,

 "ඔයා ඊයෙ කොන්දගෙන් මගේ ඉතුරු සල්ලි ඉල්ලගත්ත ද?"
කියල ඇහුවේ ලාවට නෝන්ඩි හිනාවක් කට කොනකින් මතුවෙද්දී.

"ඔව් බං.මාර වැඩේනෙ උනේ.මට ටිකට් ගන්න උනෙත් නෑ උඹේ ඉතුරු සල්ලි ඉල්ලගන්න ගිහින්."
එහෙම කිය කිය මම බෑග් එක ඇද්දේ සල්ලි ටික දෙන්න හිතාගෙන.

 එතකොට ම එච්චර වෙලා තදකරගෙන හිටපු හිනාව එළියට පැන්න සපුවා කියපි,

"අනේ බං,ඌ මං බැස්සට පස්සේ බස් එකෙන් එලියට බැහැලා දුවගෙන ඇවිත් මට ඉතුරු සල්ලි දුන්න නේ!!!"


Saturday, May 16, 2015

හිතට දුකක් ඇතිවෙනවා . . .




ඒ අසූහතේ අවුරුද්දේ එක්තරා දවසක්.

මම ඒ වෙනකොට අවුරුදු එකොළහක දුෂ්කර සේවයට ආයුබෝවන් කියලා, නුගේගොඩ ප්‍රසිද්ධ පිරිමි පාසලක උසස් පෙළ ගුරුවරියක් ලෙස මාරුවීමක් ලබාගෙන ඇවිත් අවුරුද්දක්වත් නැතුව ඇති.
එදාත් වෙනදා වගේම මම පාසල නිමාවෙලා ගිනි අව්වෙ පයින්ම ගෑටුවා පාසලට කිලෝමීටරයක් විතර දුරින් පිහිටි තට්ටු නිවාසෙට. දකුණු පළාතේ මුල් ඇදලා හිටපු මම ගමන් පහසුවට නැවතිලා හිටියේ ඒ තට්ටු නිවාසෙ උඩම, ඒ කිවුවේ තුන්වෙනි තට්ටුවේ පදිංචි වෙලා හිටිය ලොකු මාමලා එක්ක.

ඒ ගෙදර දරුවො පස් දෙනෙක් හිටියා. ගෑණු ළමයි දෙන්නයි, පිරිමි ළමයි තුන්දෙනයි. ඒ අතරින් තුන්වැනියා වුණු ශ්‍රියානිකා කොළඹ පිහිටි උසස්ම බාලිකා විද්‍යාලයක හත හෝ අට වසරේ ඒ වෙනකොට ඉගෙනුම ලබමින් හිටියා.

වයසට වඩා මෝරපු බුද්ධිමත් පෙනුමක් තිබ්බ, විශාල කණ්නාඩි දෙකක් දාලා, දත් ටිකක් ඉදිරියට නෙරලා හිටපු හීන්දෑරි කෙට්ටු උස ගෑණු ළමයා මාව තමන්ගෙම අක්ක විදිහට සැලකුවා.

ඉස්කෝලේ ඇරිලා ආපු වෙලේ ඉඳන් මගේ වටේ දැවටි දැවටි කතා කර කර ඉන්න පුරුද්දක් මේ පුංචි කෙල්ලට තිබුනා.

එක දවසක පාසල නිමා වෙලා ඇවිත් ශ්‍රියානිකා ඒ විදිහටම මගේ ලඟින් ඇවිල්ලා වාඩිවුණා. පුංචි කෙල්ලගෙ මූණ වෙනදාටත් වඩා බරපතල පාටයි.

"ශිරන්ති අක්කෙ,"

"ම්ම්හ් . . ."

"මං දෙයක් අහන්න කියනවද?"

"මොකද්ද නංගි?"

පුංචි පුංචි කැරලි කෙස් රැළි අතරින් තඩි කන්නාඩි දෙක බිමට පාත්වෙලා ටිකක් වෙලා කල්මැරුවා.

නියපොත්තකුත් හැපුවා.

"අපේ රිචී අයියා අපිට වඩා ගොඩක් වැඩිමල් වුනේ කොහොමද?"

රිචී අයියා කිවුවේ ඒ පවුලේ වැඩිමල් ම සහෝදරයා. රිචී අයියා මටත් වඩා අවුරුදු දහයක් විතර වැඩිමල්.

තඩි කන්නාඩි රාමුව අතරින් පෙනුණු, ප්‍රශ්නාර්ථයක් සමඟ මං දිහාට එල්ල වෙලා තිබ්බ වයසක පාට ඇස් දෙක දිහා මම පුදුමෙන් බැලුවා.

"මං දන්නෙ නැහැ නංගි."

"බොරු කියන්නෙපා."

"මං දන්නෙ නැහැ."

ටිකක් වෙලා ඔරවගෙන හිටපු ශ්‍රියානිකා හෙමින් හෙමින් මං හිටපු කාමරෙන් පිටතට ඇවිදගෙන ගියා.

එදා දවසම ශ්‍රියානිකා මාත් එක්ක වචනයක් කතා කලේ නැහැ.

ඊට පහුවෙනිදත්.

ඊටත් පහුවෙනිදත්.

ඊටත් ඊට පහුවෙනිදා . . . ඒ කියන්නේ අසූහතේ එක්තරා දවසක, මම පාසල නිමාවෙලා, ගිනි කාෂ්ඨක අව්වේ තට්ටු නිවාසෙට පයින්ම ඇවිදන් ඇවිත්, තට්ටු තුන අමාරුවෙන් තරණය කරලා මගෙ කාමරේට ඇතුළු වුණා.

අතේ එල්ලන් ආපු මලු දෙක තුන මේසෙ උඩින් තියනකොට තමයි දෙකට නවපු පොඩි කොළයක් මේසෙ පැත්තක තියලා තියෙනවා මම දැක්කෙ.

"හිතට දුකක් ඇතිවෙනවා - ඒත් කමක් නෑ,
 මම තරහා නෑ."


ඒ කොළේ එහෙම ලියලා තිබුණා.

එදා ශ්‍රියානිකා මගේ කාමරේට ආපු වෙලාවෙ කාටවත්ම කියන්න එපා කියලා මම ඒ පොඩි එකාට
රිචී අයියගේ තාත්තා එයාලගෙ තාත්තා නොවන බවත්,
රිචී අයියාගේ අම්ම, ඒ කියන්නෙ ශ්‍රියානිකාලගේ අම්මත් අපේ ලොකු මාමත් කලින් විවාහ වෙලා වැන්දඹුවන් වුණු දෙන්නෙක් බවත්,
රිචී අයියව ලොකු මාමා තමන්ගේ දරුවෙක් විදිහට භාරගත් බවත්,
ඇත්තටම තමන්ගෙ ම දරුවෙකු වගේ හැදූ වැඩූ බවත්,
කියලා දුන්නා.

කෙල්ල ඇස් ලොකු කරන් අහගෙන හිටියා. සමහරවිට එයා ඒක අනුමාන කරන් ඉන්න ඇති.

වයසට වඩා බුද්ධිමත් ශ්‍රියානිකා නංගි ඒ ගැන ඊට පස්සෙ හාර ඇවිස්සුවෙ නැහැ.

විවාහය තීන්දු වෙලා මං ඒ ගෙදරින් වෙන් වෙනකොට තඩි කන්ණාඩි රාමුවක් ඇතුලෙන් පෙනුණු වයසක පාට ඇස් දෙකක් මම ඈතට ඈතට යනකන් දුකින් බලාගෙන හිටිය හැටි මට අදටත් මැවිලා පේනවා.

නිමි.



ප.ලි. : කතාව සමඟ සම්බන්ධයක් නැතත් දෙකට නවපු කොළේ තිබුණු ගීතයත් රසවිඳලා ම ගියොත් නේද හොඳ?