Showing posts with label සිනමා විචාර. Show all posts
Showing posts with label සිනමා විචාර. Show all posts

Saturday, January 30, 2016

කැ‍රැළි වෙනුවට ‍රැලි නංවමු



ඔබ දැකපු හීන මොනව ද,
ඇස් පියාගෙන හෝ විවර කරගෙන...

තුන්වෙනි ලෝකෙ රටක දුෂ්කර පළාතක ළමයි දහ අට දෙනෙක් විතරක් ඉන්න පුංචි ඉස්කෝලෙකට තමන්ගේ පළමුවෙනි ගුරු පත්වීම ලැබීම කෙනෙකුට හීන හැබෑවීමක් වෙන්න පුලුවන් සම්භාවිතාවය මිලියනයකින් එකක් වෙන තරමේ අහම්බයක්.ඒත්,තමන්ට ලැබුණු අවස්ථාවෙන් වෙනත් කෙනෙකුගේ,කිහිපදෙනෙකුගේ හීන හැබෑ කරවන්න පුලුවන් නම්..
ඒක විප්ලවයක් නෙවෙයි ද?

දශක ගනණාවක් මුළුල්ලේ "සංවර්ධනය වෙමින් පවතින" ලේබලය ගලවා දමන්න කිසි උත්සාහයක් නොදරන දේශපාලකයන් සිටින රටක අරගල කරන්න වුවමනා අවස්ථාවන් නිරන්තරයෙන් එළඹෙන බව ඇත්තක්.
නමුත් සැබෑ ප්‍රයෝජනයක් ලැබෙන බවක් දෘෂ්ඨි පථයට අහු නොවන අරගලයක් වෙනුවෙන් උගුර ලේ රහ වෙනතුරු කෑ කෝ ගැසීමට වඩා අර්ථවත් දෙයක් වෙනුවෙන් සුළු හෝ වෑයමක් දැරීම හැමදෙනෙකුගේ ම අගය කිරීමට බඳුන් විය යුතු උතුම් ක්‍රියාවක් බව අනේමන්දාට හැඟුණේ හෝ ගානා පොකුණේ ‍රැළි නැංවෙන හඬ කාලක්‍රියා කළ මූදු බෙල්ලෙකුගේ හක් ගෙඩි කවචයකට කන තියලා අහන වෙලාවෙදියි.

ඔව්,සිනමා පටය ධාවනය වෙන මිනිත්තු එකසිය විස්සක කාලය ඇතුළත වරුවක් ඉස්කෝලෙ වැඩ කරන,ඉතිරි වරුවෙ හේන් කොටන දරුවෙක් ශිෂ්‍යත්ව විභාගෙ සමත් කරවන ගුරුතුමියක් ගැන කතාන්ථරයක් ගොඩනැගෙන්න තිබුණා.ඒත් ඒක කොතෙක් දුරට යථාර්තයට සමීප ද?
ඒ වෙනුවට ඔබට,අපිට දකින්න ලැබෙන්නේ දරුවන්ට හීන දකින්න උගන්වන,දැකපු හීන හැබෑ කර දෙන්න වෙහෙසෙන ගුරුතුමියකගේ කථාවක්.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන වෙහෙසකාරී අතාත්වික ගණයේ චිත්‍රපටිවලට වඩා වෙනස් ආරක් ගන්නා "හෝ ගානා පොකුණ"(The Singing Pond) නරඹන අතරෙත් නරඹා අවසනත් හිතන්න යමක් ඉතිරි කළ අපූරු සිනමා සිත්තමක්.

Wednesday, November 11, 2015

IFFColombo 2015 සහ "මංමුලා වූ තාරුණ්‍යය"


 


සවස හතරට තිරගතවීමට නියමිත චිත්‍රපටය නරඹන්නට 2.45ට රීගල් සිනමා ශාලව අසළින් බසයෙන් බැසගත්ත සාකියාට දැකගන්නට හැකිවුණේ ඉලාස්ටික් වගේ දිග. . .ට ඇදිලා ගිය පෝළිමක්. කොච්චරක්ද කියනවනම් සාකියාට ලැබුණු ටෝකන් අංකය 336.
මඟ දිගට යන බස් මගියන්ට ඇස් වපර කරලා මේ මහ දිග පෝළිම දිහාව බලනව හැරෙන්ට වෙන වැඩක් තිබුණෙම නෑ. මඟ යන ත්‍රීවීල්කාරයෙක් ස්ලෝ ඩවුන් කරලා කියාපි "ඔය බ්ලාහ් බ්ලාහ් කොකා බලන්ඩ තමයි පෝළිම" කියලා!

අනේ ඒත් අපි නම් හිටියේ "ඔබ ඇවිත් පිරෙන්න" කියලා ලැබුණු විශේෂ ආරාධනය පිට නොමිලේ ම චිත්‍රපට නරඹන්න, කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ දෙවන අදියරට සහභාගි වෙන්නයි ඕං.

ඊයේ තිරගත වන්නට නියමිත ව තිබුණේ සාකියා "බලන්ඩ ඕනෙමයි" කියලා කලක් තිස්සෙ බලාගෙන හිටිය "මෝටර් බයිසිකල්".


"අම්මගෙ මාලේ - ටවුමෙ උගස් කඩේ
සමනල කාලේ මොකට ද - කඳුළු මේ ?
"


රංගන කියන්නෙ අපිට කොළඹ පාරවල් ගානෙ, මුඩුක්කු අතරෙ හැමදාම මුණගැහෙන, ඒත් කිසි වැදගැම්මකට නැති චරිතයක්. ඔහුගෙ ලොකුම හීනය වුණේ සුපර් ස්ටාර් ගිහින් ප්‍රසිද්ධ සංගීතකාරයෙක් වෙන්න. ආ. . . තව මෝටර් සයිකලයක් ගන්න, ඊට පස්සෙ පොඩි කාර් එහෙකුත් ගන්න.

රංගනට ස්ථීර රස්සාවක් නැහැ. බාර් ගානෙ ගිටාර් ගගහා සිංදුවක් කියලා කීයක් හරි හොයාගන්නවා. ගේ සන්තකේට තියෙන්නෙ අම්මගෙ කරේ හැමදාම එල්ලි එල්ලි  තිබුණු බාල රත්තරන් මාලෙ විතරයි.
ඒත් රංගන ඒක උගස් තියනවා, තමුන්ගෙ ලොකුම හීනයක් හැබෑ කරගන්න. ඊට පස්සෙ තමන්ගෙ පෙම්වතියත් එක්ක කාලයක් පෙරුම් පුරමින් හිටිය විදියට රවුමක් ගහන්න යනවා.

ඒත් දවස අවසන් වෙන්නෙ නොසිතූ ආකාරයට.

පැය දෙකයි මිනිත්තු හතරක් තිස්සෙ සාකියා කට ඇරගෙන බලාගෙන හිටියෙ ඔන්න ඔය ලක්ෂ්‍ය දෙක සම්බන්ධ කරන සිදුවීම් දාමය දිහාව.

කතාව පුරාවට මෝටර් බයිසිකලේ වෙලාවකට තල්ලු කර කර, වෙලාවකට රූං ගාලා අධිවේගයෙන් පැදගෙන යන්නෙ අපේ කාලයේ රංගන ශිල්පීන් දෙදෙනෙකු වන දසුන් පතිරණ සහ සමනලී ෆොන්සේකායි.

මේ දෙන්නගෙ රංගනය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. විශේෂයෙන්ම දසුන් කියන්නෙ සාකියා "ඒ ලෙවල් ඉවරයි" ටෙලිනාට්‍ය බලපු දා ඉඳලා බොහොම පැහැදීමක් තියෙන, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම "රංගන ශිල්පියෙක්". චිත්‍රපටය පුරාවට ඔහුගේ භාව ප්‍රකාශනය ප්‍රේක්ෂක සිත් "මෝටර් බයිසිකල්" වෙත තදින් ඇද බැඳ ගන්න සමත් ප්‍රධානත ම හේතුව කියලයි සාකියට නම් හිතුණේ.


"පෙට්‍රල් ගිනි ගන්න - ෆ්ලයිට් එක උඩ යන්න
මොහොත ආවා. . .
"


"මෝටර් බයිසිකල්" ශමීර රංගන නාඔටුන්නගේ කුළුදුල් වෘත්තාන්ත චිත්‍රපටය වනවා වගේම සාර්ක් අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයත් දිනාගැනීමට සමත් වුණා. කාලයක් වැඩිහිටියන්ට පමණක් සුදුසු යැයි වර්ගීකරණය කර තිබුණත් දැන් එම වාරණය ඉවත් කරගෙන තිබෙනවා. 
තරමක "වැඩිහිටි" තේමාවෙන් යුත් දර්ශන දෙකක් පමණ මෙහි අන්තර්ගත වුණත් එය ද අවිනීත ලිංගික දර්ශන ආකරයෙන් දැක්වෙන්නෙ නැහැ. ඊයේ දර්ශනයට වයස බින්දුවේ සිට දහ අට දක්වා ළමුන් ද සහභාගි වුණු බව කිව යුතුයි.

සුරංග ජයසූරිය විසින් නිෂ්පාදනය කරන ලද මෙහි නිර්මාණාත්මක කැමරාකරණය විශ්වජිත් කරුණාරත්නගෙනුයි. චිත්‍රපටයේ ගලායාමට කැමරාකරණය ද විශාල වශයෙන් දායක වුණු බව කිව යුතුයි.


"ඔය දෙතොල් සිපගන්න - ජීවිතයට පන දෙන්න
මොහොත ආවා. . .
තව චුට්ටක් ඉවසන්න - යාලුවෙක් වගේ ඉන්න
මොහොත ආවා. . .
"


සාකියාට තේරුම් ගිය අන්දමට මේ චිත්‍රපටයේ තේමා කිහිපයක් දක්වන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම සාමාන්‍ය මධ්‍යම පාන්තික ජනයාගේ දර්ශන පථයෙන් බැහැර වුණු සමාජ ස්තරයක යතාර්තය "මෝටර් බයිසිකල්' මුල සිට අගට දක්වන්නට සමත් වෙනවා.
තුරුණු ප්‍රේමයේ දුටු සහ නුදුටු පැතිකඩ, එයට ඇති බාධා, එහි සීමාවන් ආදිය, කිසිවක් සාධාරණීකරණය කිරීමට උත්සාහ නොගෙන ඉදිරිපත් කර තිබීම මෙහි විශේෂත්වයක්.
ඒ හැමටම වඩා සාකියා "මෝටර් බයිසිකල්"හි දැක්කේ මංමුලා වූ තාරුණ්‍යයයි. චිත්‍රපටය පුරාවට ප්‍රේක්ෂකයාගෙන් යම් පැනයක් විමසන ආකාරයක් සාකියාට දැනුණා. ඒත් එයට පිළිතුර නම් තවමත් ගැටලුවක්.

ඉතින් මේ විදිහට තමයි සාකියාගේ පසුගිය සතිය ගතවුණේ. ඔබ මෙවර "IFFColombo" හා සම්බන්ධ නොවුණා නම්, ලබන වසරේ ඉඩ ඇත්නම් සම්බන්ධ වෙන්න.

කසිකබල් පික්චර් මුදල් විසිකර බලන යුගයක, උසස් ගණයේ සිනමා නිර්මාණ ගාස්තුවක් නොමැතිව ම නරඹන්නට ලැබීම වාසනාවක් නොවේ ද?