Showing posts with label විශේෂාංග ලිපි. Show all posts
Showing posts with label විශේෂාංග ලිපි. Show all posts

Saturday, August 15, 2015

ඔබ සිටින්නේ නිවැරදි කතාන්තරයක ද?



"ඔබ සිටින්නේ වැරදි කතාන්තරයක යැයි ඔබට හැඟෙනවා නම්, ඉවත්වෙන්න."
-මෝ විලෙම්ස්-

මසුරන් වටින කියමනක්.
ඇත්තට ම ඇතැම් වෙලාවක ඔබට ත් හිතෙන්න පුළුවන් මං ජීවත් වෙන්නෙ වැරදි කතාන්දරයක ද කියලා. ඒක හරියට හා හා හරි හාවා කතාවට ඇනකොන්ඩා කඩාපාත් වුණා වගේ අතෘප්තිකර හැඟීමක්.
* * * * * * * *

මට එක්තරා මිතුරියක් හිටියා, මීට වසර කිහිපයකට පෙර මුණගැහුනු. හඳුනාගැන්මෙදි මට ඒත්තු ගියේ ඇය සැහැල්ලුවෙන් හිතන, සාමකාමී, තරමක විහිළුකාර, ඒ වගේම කල්පනාකාරී චරිතයක් බවයි. බොහෝ වෙලාවට මම යම් කෙනෙක් ආශ්‍රයට නුසුදුසු යැයි හැඟෙන විට ඔවුන් අතේ දුරින් එහාට දුරස් කරන ගතියක් තියෙනවා. නමුත් ඇගේ ඒ ගතිගුණ මම අගය කරන ලක්ෂණ වූ නිසා බොහොම ඉක්මනින් අපි මිතුරියන් බවට පත්වුණා.

යම් කාලයකට පසු එක් අවස්ථාවක දී මට හැඟෙන්න පටන්ගත්තා ඇය මගේ මිතුරුකමින් අයුතු ප්‍රයෝජන ගන්නා බවක්. ඇතැම් විට ඈ කොන් වූ අවස්ථාවලදී, නැත්නම් කිසිවෙක් ඈ ගණනකට නොගන්න වෙලාවන් වල දී ලොව සිටින ඉතාම යහපත්, මිත්‍රශීලී දැරියක් ලෙස ඇය මා ඉදිරියේ පෙනීසිටියා. නමුත් ඇයට අවශ්‍ය පිරිස ඈ වටකොට සිටින විට ඈ මට සොයාගත නොහැකි ලෙස ප්‍රාදූර්භූත වූවා. එමෙන් ම මා ගොඩනඟාගත් යම් තත්වයක්, පිළිගැනීමක් තිබේ ද ඈ එයින් අයුතු ප්‍රයෝජන ලබාගත්තා. මට පමණක් නොව, ඈ මිතුරු වේෂයෙන් පෙනීසිටි අනෙක් පිරිසට ද ඇතැම් අවස්ථාවන්වල ලැබිය යුතු ගෞරවය ඈ තමාට ම පමණක් හිමිකරගැනීමට තරම් පහත් මානසිකත්වයකට පත්වූවා. ඇතැම් විට ඈ හීන් නූලෙන් මට පරිභව කළා. පිරිස ඉදිරියේ මා පහත් කොට කතා කළා. අවාසනාවන්ත ම කරුණ වූයේ ඇගේ සැබෑ වේෂය මා ඉදිරියේ දිස් වන විට සැලකිය යුතු කාල සීමාවක් නොදැනී ම ගත වී තිබීමයි.

අවසානයේ මා ඈ අත්හැර දමන්නට තීරණය කළා. එය එක් දිනකින්, එක් රැයකින් සිදුවූවක් නොවේ. දිනෙන් දින මතු වූ කහට පැල්ලම් එක් ව සැදුනු කිලිටි මේස රෙද්දක් ඈ මගේ සිතේ නිර්මාණය කිරීම නිසා නැවතත් නොදකින්නට ම ඒ මේස රෙද්ද වීසි කරන්නට මම තීරණය කළා. ටිකෙන් ටික මා ඈ මගේ අතේ දුරින් ඈත් කරන්නට ක්‍රියා කළා. අවසානයේ ඇයට තවදුරටත් ප්‍රයෝජන ගත් නොහැකි වන දුරකට මා ඇය ඈත් කිරීමට සමත් වූවා.

ඒ කාලවකවානුවේදී ම තිරය පිටුපසින් තවත් යමක් සිදුවෙමින් පැවතියා. පැරණි මිතුරුකම අත්හළ මට මෙතෙක් දිනක් වැඩිපුර ආශ්‍රය කිරීමට නොහැකි වූ, කෙටියෙන් කිවහොත් මා එතරම් ගණනකට නොගත් පුද්ගලයින් ආශ්‍රය කිරීමට ලැබීමෙන් මගේ මිත්‍ර සමාගම අළුත් වන්නට වුණා. එමෙන්ම පෙර මට කරදරකාර හැඟීමක් ඇතිකළ ඇතැමුන්ගේ සැඟවුණු යහපත් ගතිගුණ මට එක්වන ම පෙනෙන්නට ගත්තා.

ඊට පෙර පැවති අතෘප්තිකර හැඟීම, අත්හැර දැමූ හැඟීම දශමයෙන් දශමය නැති වී, නොපෙනී ගොස්, සැබෑවට ම ජීවත්වනවා යන හැඟීම මගේ සිතේ ඇති වන්නට වුණා. එය ඇත්තෙන් ම වචනයෙන් විස්තර කළ නොහැකි නිදහස්, ස්වාධීන හැඟීමක්.

කෙසේ වුවත් මා වාසනාවන්ත වුණා, මා ඔවුන් එතරම් ඇසුරු නොකළ ද ඔවුන්ගේ මිතුරියක් සේ පිළිගණු ලැබීමට තරම්.

උගත්, කල්පනාකාරී යන මිනුම් දඬු වලින් ඔවුන්ගෙන් සමහරෙක් ට තැනක් නොලැබුණ ද යහපත් ගුණාංග යන මිනුම් දණ්ඩේ ඉහළ ම කෙළවරක ඔවුන් රැඳී සිටියා.

යම් කාලයක් ගත වීමෙන් පසු මට වැටහී ගියා කිලිටි මේස රෙද්දකින් වුව පොඟවා පිරිසුදු කළ හැකි මුස්නාවක් නිර්මාණය කළ හැකි බව.

මම ඇයත් සමඟ වෛර බඳිමින් සිටියෙ නැහැ. ඒ වෙනුවට අවශ්‍ය අවස්ථාවන්හි දී ඇයට උපකාර පවා වුණා. ඒ වගේම පළිගැනීම්, එකට එක කිරීම් වැනි ප්‍රාථමික ක්‍රියා වලින් මා සම්පූර්ණයෙන් ම වැළකී සිටියා. නමුත් ඈත් කළ අතේ දුර කිසිදු අවස්ථාවක දී මෑත් නොකිරීමට කල්පනාකාරි වුණා. අන්තිමේදි කිසිම දෙයකදී මට ඇඟිල්ලක් දික්කරන්න බැරි තත්ත්වයට ඇය පත්වුණා.

කොටින් ම එය මට මනුෂ්‍යත්වයේ පාඩමක් ඉගැන්වූ සිද්ධියක් වුණා. මම වැරදි කතාන්තරයක, වැරදි පසුබිම් සංගීතයක් වාදනය වුණු වැරදි පරිසරයක, වැරදි මිනිසුන් සමඟ ජීවත් වී අවසානයේ ඉන් මිදීමට තීරණය කර මට ම අයත් නිවැරදි කතාන්තරයක් ගොඩනඟාගත්තා.

කලකට පසු මා ඒ ස්ථානයෙන් වෙන් වූවා. නමුත් මා අනුගමනය කළ ක්‍රියා පිළිවෙත නිසා අදටත් මට මඟතොටේ දී හෝ මුණගැසුනහොත් ඈ හා සුහද ව කතාබස් කළ හැකියි. එසේ ම, මට පසුව හමු වූ මිතුරියන් මේ අද වන තුරු ත් මගේ දුක සැප සොයා බලනවා.
* * * * * * * *

-සාකියාට අහන්න ලැබුණු සත්‍ය සිදුවීමක් හා ඇසුරින් නිර්මාණය කරන ලදී.-




හෝව් හෝව්! යන්න එපා. . . ඉවර නැතෝ!

මේ කතාව මේ විදියට නොවුණත්, මීට සමාන සිදුවීමක් ඔබටත් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. සමහරවිට මේ දැන් එහෙම දේකට මුහුණදෙමින් ඉන්නවා වෙන්න පුළුවන්. කවමදාකවත් එහෙම දෙයක් සිද්ධ නොවුණු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔය මොන ගණයට අයිති වුණත් මෙය යම් දවසක අපි හැමෝට ම පොදුවේ මූණ දෙන්න වෙන දෙයක් .

එක ම දේ නම් එහෙම අහිතකර මිතුරුකමක් හෝ යම් සම්බන්ධකමක් (ඉංග්‍රීසි භාෂාවෙන් මේවට කියන්නේ "Toxic Relationships" කියලා) තියෙනවා නම් හොඳම දේ තමයි ඉස්සෙල්ලා ම ඒ පුද්ගලයාට වැරැද්ද තේරුම් යවන්න පුළුවන් ද කියලා බලන එක. ඒක විවිධ ආකාරයට උත්සාහ කරලා බලන්න පුළුවන්.
  1. කෙළින් ම කියන්න, මොනවට බයවෙන්න ද?
  2. බෑ බෑ වගේ නම් ලියුමක්, නැත්නම් සටහනක් ලියලා දෙන්න.
  3. ලියුම් ලියන එක පොඩිවුන් කරන වැඩක් නම් යම් යම් ඉඟි වලින් එයාට එයා කරන්නෙ වැරැද්දක් බව ඒත්තු යවන්න.
  උදා: සිත් රිදවීමක් ඇති වුණා නම් ඒ වෙලාවෙදි ම නැත්තං සුදුසු වෙලාවක් බලලා "ඔයා ඒ වෙලාවේ කියපු මෙන්න මේ වචනයට මගේ හිත රිදුණා." කියලා කියන්න. සමහරවිට ඇත්තටම එයා ඒ බව නොදන්නවා වෙන්න පුළුවන්.

"එක් දිනයකින් නිම වූයේ නැත රෝමේ" කිවුවා වගේ එකපාරට ම ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. ටික කාලයක් මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න.

ඔය කිසිම දෙයක් හරියන්නෙ නැත්තම් පිළිගන්න වෙනවා දැන් එයා මත්තෙ නැහිලා වැඩක් නෑ කියලා. එතකොට කරන්න තියෙන්නෙ අර කලින් කිවුවා වගේ අතේ දුරිනුත් ඈතට ඈතට ඈ. . .ත ට. . . ම ඈත් කරලා දාන්න.
ඊටපස්සේ වැරදි කතාන්දරයෙන් මිදිලා නිවැරදි කතාන්දරය ඔබ ම ගොඩනඟන්න, කැමති විදියට, කැමති පසුබිම් සංගීතයක් සහ කැමති චරිත සමඟ.

අනිත් කරුණ තමයි, කිසි දවසක මිතුරෙක් හෝ ප්‍රේමවන්තයෙක් හෝ, දෙමාපියන් හෝ දරුවෙකු හෝ මත තමන්ගේ ජීවිතය ගොඩනඟන්න එපා. ඒකෙන් ඔබ ඔබට ම කරගන්නේ විශාල හානියක්. ඒ විදියට වෙනත් කෙනෙකු මත තමන්ගේ ජීවිතය රඳාපවතිනවා කියලා හිතන කෙනෙක් තමන්ගේ මානසික තත්ත්වය, හැඟීම් පාලනය කරනගන්න බැරි තත්ත්වයකට පත්වෙනවා. හැමවෙලාවක ම සිහි තබාගන්න අවශ්‍ය දේ නම් තමන්ගේ කේන්තිය, දුක හෝ සතුට සම්පූර්ණයෙන් ම රඳාපවතින්නේ තමන්ගේ අතේ බව. තවත් කෙනෙකුගේ බලපෑම මත ඔබේ මානසිකත්වය හා හැසිරීම තීරණය වනවා නම් එයින් කියැවෙන්නේ ඔබට ඔබ පිළිබඳවවත් වගකීමක් නැති බව ම තමයි.

ආයේ කිසිම කතාවක් නෑ ඕං!

තවත් දෙයක්. . . උඩ තියෙන කතාවෙ ඉන්න මිතුරිය වගේ ඔබත් යම් කෙනෙකුට හිතාමතා හෝ නොහිතා ම සිත් තැවුලක් දෙන කෙනෙක් ද කියලා මතක් කරලා බලන්න. එහෙම නම් දැන්ම ම ඒ දෙය තේරුම් අරගෙන වෙනස් වෙන්නට උත්සාහ කරන්න. හිතන්න . . . ඔබට කවුරුන් හරි සිත් තැවුලක් දෙනකොට දැනෙන වේදනාව මනුෂ්‍යයෙක් හැටියට ඔබ තව කෙනෙකුට දෙන්නෙ කොහොමද?

ඒ වගේ ම තමන් ගේ සේවා ස්ථානයේ හෝ පාසලේ හෝ ඕනෑම තැනක ඉන්න සියළුදෙනා සමඟ ම සුහද ව වැඩකරන්න. "එයා මට වැඩක් නෑ, මෙයා මට වැඩක් නෑ" කියලා ඔබ අද හිතුවත්, යම් දවසක ඔය හැමකෙනෙකු ම අවශ්‍ය වෙන අවස්ථාවක් එන්න පුළුවන් බවත් හොඳින් ම මතක තියාගන්න.


ඉතින් නැවත වරක් සැළකිල්ලෙන් වටපිට බලන්න. ඔබ ජීවත් වෙන්නෙ නිවැරදි කතාන්තරයක ද?



ප.ලි. : බස්සි අක්කගේ මෙන්න මේ පෝටුව දැකලා තමයි සාකියාට මෙහෙම එකක් ලියන්න හිතුනේ.

Thursday, July 2, 2015

දේදුන්නට ගල් ගැසීම හෙවත් අනවබෝධය

පෝස්‍ටු දමන්නට කොහොමටත් කම්මැලි අනේමන්දා හිටියේ මේ ගැන ලියන්නට නොවේ ය.ඒත් ඊයේ දු‍ටු blog අඩවියක් නිසා මේ සම්බන්ධව යමක් ලිවිය යුතු බව හැඟුණි.

මීට අවුරුදු කීපයකට උඩ දී සමලිංගිකයන් ගැන අනේමන්දා දැරූ ආකල්පය "අනේ අපොයි" යන්නයි.ඔවුන් සොබාදහමට පටහැනි ජීවී කොට්ඨාසයක් ලෙස සිතූ ඇය ඔවුන්ව පිළිකෙව් කළා ය.ඔය අතරේ දිනක් ඇයට අපූරු පොතක් කියවන්නට ලැබිණි.
පොතේ නම "ගැහැණු පිරිමින්ට වඩා මේ තරම් වෙනස් ඇයි".පරිවර්තනයක් වූ මේ පොතේ මුල් කෘතිය Allan and Barbara Pease යුවළ ලියූ  Why Men Don't Listen & Women Can't Read Maps: How We're Different and what to Do about it(1998) ලෝ පතළ මනෝවිද්‍යාත්මක ග්‍රන්ථයයි.
ගැහැණු සහ පිරිමි මොළවල වෙනස්කම් බොහොම තාර්කිකව සහ විද්‍යාත්මකව විග්‍රහ කොට තිබූ එහි එක් පරිච්ඡේදයක් වෙන් වුණේ සමලිංගිකත්වය ගැන විස්තර කරන්නයි.
සමලිංගිකයන්ගේ ලිංගික අනන්‍යතාවය බොහෝ විට ඔවුන්ට කලල අවධියේ දී ලැබෙන දෙයක් බවත්  ඇත්ත වශයෙන්ම එය ඔවුන්ගේ ‍තෝරාගැනීමක් නොව ඉබේ ලැබෙන්නක් බවත් එහි සඳහන් වුණා.

"මෙය කියවන පාඨක ඔබ විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වන්නෙකු වීමේ සම්භාවිතාව 90%කි. මඳක් හිතන්න ඔබට ඔබේ ම වර්ගයේ අයෙකු ගැන ලිංගික හැඟීම් ඇති කර ගැනීම කොතරම් අපහසු ද කියා?
එලෙසම සමලිංගිකයන්ට ද සැබෑවට නොපවතින හැඟීම් ඇති කර ගත නොහැක.
හිතන්න,බොහෝ අය ප්‍රකාශ කරන පරිදි එය ‍තෝරාගැනීමක් වූවා නම් කිසිම බුද්ධිමත් පුද්ගලයෙකු විසින් තමාව විවේචනයට,ගර්හාවට ලක්වන,සමාජය විසින් අසාධාරණ පූර්ව නිගමනවලට එළඹ ඇති ජීවන පෙවෙතක් ‍තෝරාගනියි ද?
වගකිය යුත්තේ හෝර්මෝනයි,මානව තේරීම් නොවේ." 
 ඉහත දැක්වූවේ එම පොතෙන් උපුටාගත් කොටසක පරිවර්තනයයි.

එය කියැවූ අනේමන්දාට තමන් මේතාක් කල් වැරදි අවබෝධයකින් හුන් බව පසක් වුණා.

පොතෙහි pdf පිටපත පහත link මගින් කියවිය හැකියි.
Why Men Don't Listen & Women Can't Read Maps  (පි‍ටු 204-215)   

 පහුගිය දිනවල මුහුණු පොතේ සාමාජිකයන් දේදුණු පාටින් profile pictures වර්ණ ගන්වාගෙන ඉන්නවා කවුරුත් දකින්න ඇති.ඒ ඇයි කියලා සමහරු හරිහැටි දන්නේ නැතුවත් ඇති.
Jordan L. Schoen විසින් පළ කළ පහත ප්‍රකාශය ඔබට හේතුව පැහැදිලි කොට දෙයි.

"මෙය ලියන මම Straight ය. මෙහි ඇති Straight යන්නෙහි අර්ථය නම් මම මට ප්‍රතිවිරුද්ධ ලිංගික පාර්ශවය වන කාන්තාවන් සමග පමණක් කායික සම්බන්ධතා පවත්වන බවයි. නමුත් මා විශ්වාස කරන ආකාරයට ආදාරයට ස්ත්‍රී/පුරුෂ භාවයක් නොමැත. මන්ද ආදරය යනු ආදරය නිසාවෙනි.
ඔබ Straight වුවත් Homo Sexual (සම ලිංගික) වුවත් Bi Sexual (ද්වී ලිංගික) වුවත් ආදරය ආදරයම වන අතර කිසිදු වෙනසක් සිදු නොවේ.ඔබ ආදරය කල යුත්තේ කාටද යන තීරණය ගැනීම ඹබගේ අයිතියකි. තමන්ගේ ලිංගික පාර්ශවයට අයත් අයෙක් සමග සම්බන්ධතා පැවැත්වීම නරක වැඩක් වත් අසික්කිත වැඩක් වත් ලැජ්ජා විය යුතු දෙයක් වත් නොවේ. එසේ පවසන්නේ මෝඩ මිනිසුන්ය. කවුරුන් සමග ජීවත් වනවාද යන්න තීරණය කල යුත්තේ තමන්ය."




Celebrate Pride App එකේ තිබෙන දේදුනු පැහැති කොඩිය හදුන්වනු ලබන්නේ LGBT(Lesbian,Gay,Bi Sexual, Transgender) Pride Flag ලෙසයි.මෙහි තිබෙන වර්ණ LGBT සමාජයේ විවිධත්වය පෙන්වීමට යොදා තිබේ.එසේම මෙය ලොව පුරාම භාවිතා වන්නකි.

Celebrate Pride App එක බිහිවන්නේ LGBT Pride මාසය සැමරීමට වුවද ඇමරිකාවේ අධිකරණය මෙම සමාජ කණ්ඩායම් අතර විවාහ වීම නීති ගත කිරීමත් සමග ඉන් පැය කිහිපයකට පසු මෙය මුදා හැරුනි. ඒ අනුව facebook වෙබ් අඩවියේ සිටින ඕනෑම අයෙකුට දේදුනු පැහැය තම
Profile picture එකට එක් කර ගනිමින් තමන් ද එම විවාහ වලට සහයෝගය දක්වන අයෙක් බව පෙන්වීමට ඉඩ ලැබුණි.තේරුම් ගත යුතු වැදගත් කරුණ නම් කිසියම් සමාජයකට සහයෝගය දැක්වීමෙන් එම සමාජයේ කොටසක් නොවන බවයි.


Transgender නමින් හඳුන්වන තමන්ගේ පාලනයෙන් තොරව ලිංගිකත්වය වෙනස්වීමේ නොවැළැක්විය හැකි තත්ත්වය නිසා ලාංකීය සමාජයේ මිනිසෙකුට මුහුණ දීමට වන ඛේදනීය සිදුවීම් පිළිබඳව පහත ලින්කුව මගින් වැඩිදුරටත් කියැවිය හැකියි.

On Being Transgender in Sri Lanka
 
යමෙක් වෙනස් පුද්ගලයකු වූ පමණින් සමාජ විරෝධියකු ලෙස හංවඩු ගැසීම මනුෂ්‍යත්වය නොවෙයි.

කළ යුත්තේ සමලිංගිකයන් හෝ ද්විලිංගිකයන් සමාජයෙන් කොන් කිරීම නොව ඔවුන්ටත් සමාජයට වැඩදායී යහපත් පුරවැසියන් ලෙස කටයුතු කිරීමට සහයෝගය ලබාදීමයි.

        

Wednesday, June 17, 2015

අපි කාට ද බය


Image result for sharks 

අනේ සමාවෙන්න. ඔයිට වඩා ලොකු පින්තූරයක් දැම්මා නම් මට මේ පුටුව උඩම පත බෑවිලා ඉන්නයි වෙන්නෙ!

ඔව්, මම ඒ තරමට ම මෝරුන්ට බයයි. බයයි කියන්නෙ හොඳටම බයයි.
ඒක කොයි කාලේ කොහොම ඇති වෙච්ච බයක්ද කියලා දන්නෙ නෑ. පොඩි කාලෙ ඉඳන් මෝරුන් ගැන වැඩසටහන් බලලා ඇති වෙච්ච බයක් කියලා තමයි අනුමාන කරන්න පුලුවන්.

සමහර වෙලාවට ඔය නාන තටාක වල "ඩීපෙන්ඩ්" නොහොත් ගැඹුරු ම ප්‍රදේශයට ගියාම මට දැනෙන්නෙ මේ දැන් පහළ ඉඳන් මෝර තඩියෙක් ඇවිත් කකුලෙන් කෑල්ලක් ඩැහැගනියි කියලයි.

අද මේ කියන්න යන්නෙ මෝරු ගැන කියලා වරදවා වටහාගන්න එපා ඔන්න.

අහලා තියෙනවද "Phobia" නොහොත් අනියත බිය කියලා දෙයක් ගැන?
සමහරවිට ඔයාටත් තියෙනවා ඇති පුදුමාකාර ෆෝබියාවක්.

ෆෝබියා කියන්නෙ මම මෝරුන්ට දක්වන බයට වඩා එහා ගියපු දිගු කාලීන අසීමාන්තික ව පවතින බියක්.
සාමාන්‍යයෙන් අපි එතරම් වැදගැම්මකට නැති විදියට දකින දෙයක් තවත් කෙනෙකුට පන එපාකරවන තරම් බය දෙයක් වෙන්න පුළුවන් බව හිතලා තියෙනවද?
කොටින් ම සුභ ආරංචි අහන්න බය මිනිහෙක් ඉන්න පුලුවන් කියලා විශ්වාස කරනවද?

ඇත්තට ම එහෙම පුද්ගලයින් මේ ලෝකෙ, මේ අපි කතාකරන මොහොතෙ පවා ජීවත් වෙනවා.

ඇතැම් ෆෝබියාවන් සුලභ ව දකින්න පුලුවන් වුනත් ඇතැම් ඒවා හිතන්න බැරි තරමට විකාරයි. ඉතින් මම ගූගල් බාප්පා එක්ක එකතු වෙලා අනන්තය දක්වා විහිදී යන ෆෝබියා ලැයිස්තුවකින් සාමාන්‍ය සහ මාන්දමික යන දෙවර්ගයට ම අයත් ෆෝබියා දෙක තුනක් තෝරාගෙන ඔබ ඉදිරියේ දිගහරින්න හිතුවා.

 


 සාමාන්‍යයෙන් දකින්න පුලුවන් ෆෝබියා වර්ග කිහිපයක් තමයි මේ. බලන්න වැරදිලාවත් ඔය එකක් දෙකක් වගේ තමන්ටත් තියෙන්න පුලුවන්.

  1. ඇරැක්නෆෝබියා (Arachnophobia) - මකුළුවන්ට අසීමාන්තික බියක් දක්වන අය දැකලා තියෙනවද? ඒගොල්ලන්ට තියෙන්නෙ ඔන්න ඔය ෆෝබියාව තමයි. 
  2. ඇක්‍රොෆෝබියා (Acrophobia) - උස් ප්‍රදේශ වල ඉන්න බය උදවියට තියෙන්නෙ මේ ලෙඩේ තමයි.
  3. සමාජශීලී වීමට දක්වන බිය (Social Phobias) - මේක ටිකක් දරුණු තත්වයක්. මේ වගේ පුද්ගලයින් හැමවෙලේ ම උත්සාහ කරන්නෙ සමාජයෙන් වෙන්වෙලා ඉන්නයි. මෙහෙම අය සමාජයත් එක්ක ගැවසෙන අවථාවන් වලදි Anxiety attack කියන තත්ත්වය ට පත්වෙන්න බොහොම ඉඩකඩ තියෙනවා.
  4. Pteromerhanophobia - පියාසර කිරීමට දක්වන බිය, එහෙමත් නැත්තන් අහස්යාත්තර වල යන්න බියවීම තමයි මේකෙන් කියවෙන්නේ. (මට තේරෙන විදිහට ඕක කියවන්නෙ ටෙරමරානොෆෝබියා කියලා වෙන්න ඕනේ.)
දැන් බලමු දැක්ක ගමන් හිතාගන්න බැරි මාන්දමික ෆෝබියාවන් කිහිපයක්.

  1. Amaxophobia - කාර් රථයක් තුළ ගමන් කිරීමට ඇති බිය.
  2. Anthrophobia / Anthophobia  - මල් වලට ඇති බිය.
  3. Apeirophobia - අනන්තය ට දක්වන බිය.
  4. Arachibutyrophobia  - රටකජු බටර් නැත්තං සිංහලෙන් ම කියනවා නං Peanut Butter උඩුතල්ලේ ඇලෙනවාට ඇති බිය.
  5. Arithmophobia - සංඛ්‍යා නැත්නම් අංක වලට ඇති බිය.
  6. Aurophobia - රත්රන් වලට ඇති බිය.
  7. Chirophobia - අත් වලට ඇති බිය.
හම්මේ . . . දැන් නම් ඇති වගේ. හැබැයි වැරදිලාවත් මේ විෂයය ගැන උනන්දුවක් ඇති වුණා නං මෙන්න මේ ලින්කුව දිගේ ගිහින් හොයාගන්නකෝ ෆෝබියා ලැයිස්තුවක් ම!

තවත් එක් පෝස්ටුවක අවසානය. කොහොම නමුත් අවසානයට ත් සටහනක් තියන්න ඕනේ කියලා මම හිතුවා.
අඩුගානෙ අපෙ ජීවිත කාලෙදි මේ වගේ එක්කෙනෙක් හරි මුණගැහෙන්න පුළුවන්. සමහරවිට නොදැනුවත්ව ම මෙහෙම මිනිස්සු අපි දැකලත් ඇති.
ෆෝබියාවක් නිසා තමන්ගේ ජීවිත කාලෙම සමාජයෙන් වෙන්වෙලා, අමුතු පුද්ගලයෙක් විදියට හංවඩුගැහිලා ජීවත් වෙන මිනිසුන් මේ සමාජයේ ජීවත් වෙනවා.
ඉතින් ඒ නිසා කිසිම කෙනෙක් ගැන පිස්සෙක්, මෝඩයෙක් කියලා පූර්ව විනිශ්චයයන්ට, නිගමනයන්ට එළැඹෙන්නෙ නැතුව ඉන්නවා නම් තමයි හොඳ.

පණුවෙක්ට බය මිනිහෙක් දන්නවා ඌට කොච්චර බයද කියලා.

නැවත හමුවෙමු!