Showing posts with label විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ. Show all posts
Showing posts with label විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ. Show all posts

Saturday, February 6, 2016

ස්කූල් බස් නොහොත් ජරමර


සාකියා මුලදි ඉස්කෝලෙ ගියේ වෑන් එහෙක.
සාකියාගෙ වෙලාවට වැඩ කරන පුරුද්ද නිසා වෑන් මාමාගෙන් ලැබෙන ප්‍රශංසාවන්ගේ උච්චතම අවස්ථාවට ලඟා වුණු දවසෙ සාකියා එඩිතර තීරණයක් ගත්තා.

"හෙට ඉඳලා මම වෑන් එකේ යන්නෙ නැහැ. ස්කූල් බස් එකේ!"

ඉතින් ඔහොම ආරම්භ වුණු බස් ගමනේ සිදුවුණු රසබර සිදූවීම් ටිකක් තමයි කියන්න යන්නෙ.

ඒ ලෙවල් ආරම්භ වුණු කාලෙදි එක කාලයක් ආවා වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම බස් එකේ ඇඟිල්ලක් ගහන්න බෑ සෙනඟ.
සාකියා බැල් එක ගහපු ගමන් ඊතලේ වගේ ඇවිත් සීට් එකක් අල්ලන්න ආවත් කොහ්හෙද්ද?
සීට් සේරම බුක් කොරලා. ලේබල් අලවලා නැති ටික විතරයි.

ඉතින් හිත යටින් බැන බැන හිටන් ඉන්නවා. විනාඩි පහක් යන්න ඉස්සෙල්ලා බස් එකේ සෙනඟ පැටවෙනවා. ඊටපස්සෙ සැමන් පැක් කරලා වගේ. මගේ අත තියෙන්නෙ කොහෙද, කකුල කොහෙද, බෙල්ල කොහෙද කියලා මමවත් දන්නෙ නැහැ.
ඒ අතරෙ කොට්ටාව බස් එක භාරව හිටපු තලත්තෑනි මිස්ගේ වැඩේ ඇඟිල්ලක් දික්කරල ලඟම ඉන්න ලමයගෙ බඩට ඇනලා පිටිපස්සට තල්ලු කොරලා දානවා. ඔහොම වෙලාවට මාරම කේන්තී. අනේ සමහරවෙලාවට දන්නෙම නැතුව වැලමිට ගිහිල්ලා වාඩිවෙලා ඉන්න අසරණ මිස් කෙනෙකුගෙ ඔළුවෙ ඩෝං ගාලා වැදෙනවා. ඊට පස්සෙ ලඟම ඉන්න එකාට වහංගු වෙලා ඇහෙන නෑහෙන ගානට සොරි කියනවා.

ඔන්න ඔහොම ටිකින් ටික දෙපැත්තෙන්ම තැලෙන්න ගන්නවා. බූවල්ලන්ට ඕනෙම පොඩි ඉඩකින් රිංගන්න පුළුවන් වගේ තමයි, අපිට ඕනෙම පොඩි ඉඩක වුණත් පැයක් හමාරක් එක විදියකට ගමන් කරන්න පුළුවන්. ඉතින් සාකියා ඉඩ අඩුවේගෙන අඩුවේගෙන යනකොට කකුල් දෙක ටික ටික ලංකරගන්නවා. තවත් ටික වෙලාවකට පස්සෙ ඉන්නෙ තනි කකුලෙන්! මේ ඇත්තමයි!

එහෙම දවසට කොන්දොස්තර බාප්පාට වෙන්නෙත් ඔය වගේම සිද්ධියක්.
මිනිහ ටික ටික ඉස්සරහට තල්ලු වෙලා යනවා. මුලින්ම ෆුට් බෝර්ඩ් එකේ උඩම අඩියෙ, ඊලඟට දෙවෙනි අඩියේ, ඊලඟට තුන්වෙනි අඩියේ. ඊට ටික වෙලාවකට පස්සෙ ට්‍රැෆික් එකේ බස් එක හෙමීට ඇදෙද්දි මිනිහා පේමන්ට් එක දිගේ දුවගෙන එනවා.

දවසක් සාකියගේ යාලුවෙක් ආච්චිලගෙ ගෙදර යන්ඩෙයි කියලා මුල්ම වතාවට ස්කූල් බස් එකේ යන්න ආවා. මෙයාට පුදුම සතුටක් තිබ්බෙ පළවෙනි දවසෙ ස්කූල් බස් එකේ යාම පිළිබඳව, මුල් ම දොළදුක වගේ.
වෙලාවට සාකියට සීට් එකක් ලැබුණා. මිනිහට දෙන්න හැදුවම එපාමය කිවුවා. හිටගෙනම යන්නයි ආසාව තිබ්බෙ.
ටික ටික සෙනඟ පිරෙන්න ගත්තා. බස් එක ඉස්සරහට යන්ට පටන්ගත්තා. ගමනෙ මැද හරියක් යනකොට මගෙ කෝටුකිතයි යලුවා බොහොම අමාරුවෙන් එක අන්ඩකින් සීට් ඇන්ද අල්ලන් යනවා මම දැක්කා. ගමනෙ මැද හරියෙදි බස් එක ගියේ නයා වගේ, පවනට බඳු වේගයෙන්. ඔහොම ගිහින් ගිහින් එකපාරටම බ්‍රේක් එකක් ගැහැවුවා.
වාඩිවෙලා හිටපු සාකියා මුලින්ම බැලුවේ යාලුවා ඉන්න දිහාව. මිනිහා කොහේද නෑ. අන්තරස්දාන්.
සාකියගෙ හිත වෙඬරු පිඩ වගේ උණු වුණා. දර කෝට්ට වගේ ඉන්න එකා ජනේලෙකින්වත් එළියට වීසි වුණාද?
ටිකක් විපරම් කරළා බලනකොට මෙන්න සීට් ඇන්ද ගාවින් අතක් පේනවා. අතේ අයිතිකාරයා මතුවෙන්නෙ ඊටත් විනාඩි පහකට පස්සෙ එතන ඉඳන් මීටර් සීයක් විතර ඈතක ඉඳන්.
ඊටපස්සෙ කවමදාකවත් ඒ යාලු මිත්තරය බස් එකේ නම් ආවේ නැහැ.

අන්න ඒ වගේ දුෂ්කර ජීවිතයක් අපි ගත කොළේ.

තවත් දවසක සාකියට අහම්බෙන් වගේ සීට් එකක් හම්බුණා. ඊට විනාඩි පහකට පස්සෙ එතනට සාකියට වඩා අවුරුද්දකින් බාල නංගිසන් කෙනෙක් ආවා. කෙල්ල මාර අණ්ඩපාලයි. සාකියට පෙන්නන්න බෑ.

"මට ඔතන අයින දෙනව ද?" ඇහැව්වා.

බැහැයි කියන්න බැරි කමට සාකියා මෙහාට වෙලා ඉඩ දුන්නා.
ඊළඟට එනවා පුංචි සිඟිති නංගියෙක්. බැලින්නම් මේක එයාට බුක් කරපු සීට් එකලු, පොඩි එකා නිසා එතනම ඉන්න කියලා එයාට අණ ලැබිලා තියෙන්නෙ.
දැන් වැඩේ කියන්නෙ සාධාරණව බැලුවොතින් මෙතනට මුලින්ම ආපු සාකියා නෙවෙයි අනිත් එක්කෙනායි සීට් එක දෙන්ඩ ඕනේ. ඒත් වැඩේ කියන්නෙ ඒ කෙල්ල සීට් එකේ මුල්ල ඉල්ලාගෙන මේ වෙලේ බීරෙක් වගේ චූන් එකේ ජනේලෙන් එළිය බලාගෙන ඉන්නවා.
සාකියාට තරහේ බෑ. තට්ටු කොළා. "මොකද කොරන්නෙ?" ඇහුවා.
"ඇයි?" ඇහුවා.
පොඩි යුද්දයක් ප්‍රකාශ කළා.
අණ්ඩපාලිට තේරුණා හැමදාම දාන නූල් සුඑත්තරේ වැරදෙන බව.
කතා කළා සිඟිති නංගියාට. සීට් එක මැද්දෑවෙන් තියාගත්තා.
දැන් සීට් එකේ තුන් දෙනයි. සාකියා හිටියෙ සීට් එකෙ අටෙන් පංගුවක, ඒත් බොහොම ආඩම්බරයෙන්.
කරන්ට දෙයක් නැති තැන කකුල් දෙක දැම්ම බස් එක මැද්දට. දාලා සීට් එකේ හරහට වාඩි වුණා. මුළු ගමනම ගියේ එහෙමයි.

තවත් ඔහොම්මම සීට් එකක් ලැබිච්ච දවසක බස් එක පිටත් වෙන්නකොටම කවුරුහරි සාකියගේ කොණ්ඩ කරලක එල්ලුනා. බැලින්නං එතන හිටිය සිඟිති නංගියෙක් සාකියගෙ කොණ්ඩ කරල බස් එකේ සීට් ඇන්ද කියලා වැරදිලා කලබලේට ඒකෙ එල්ලිලා!

සාකියා අනපේක්ෂිත අන්දමින් ඕලෙවල් හොඳින් ගොඩදාගත්තු දවසෙ සතුට සමරන්න කියලා කළේ ගමනාන්තයට වෙනකම්ම බස් එකේ හිටගෙන ගියපු එකයි.

බස් එකේ යනකොට තිබ්බ ප්‍රියතම සින්දුව තමයි "කොටුව කොටුව කොටුව පිටෝටුව 138 මම හිටිය. . ."
ඕක කියනකොට අපේ කොන්දොස්තර මාමට මාරම හැපී.

බස් එක ඇතුලෙදි ඉස්සරහා ඉන්න කෙනෙකුට පිටිපස්සෙ ඉන්න එකෙකුට පණිවිඩයක් යවන්න ඕනි නම් කරන්නෙ පණිවිඩේ "පාස්" කරන් එකයි. ඒ කියන්නෙ එක එක්කෙනා අතේ පිටිපස්සට යනකං කටින් කටට පණිවිඩේ යවන එකට.
බස් එකේ ගිය අන්තිම දවස්වල, ඒ කියන්නෙ ඉස්කෝලේ ගිය අන්තිම දවස් කීපයේ එක දවසක් සාකියා බස් එකේ හිටගෙන යනකොට ඔන්න ඔය වගේ පණිවිඩයක් ආවා.

"බත් පාර්සලේ ඉස්සරහට එවන්න."
කියලා තමයි පණිවිඩේ කියැවුණේ.

විනාඩියකට පස්සෙ පිළිතුර පාස් වෙලා ආවා.
එහාපැත්තෙ හිටිය ළමයා සාකියට ඒක කිවුවේ, "බත් එක කෑව." කියලා. ඒ කියන්නෙ පණිවිඩේ දුන්නු ළමයා එක දැනටමත් අනුභව කර ඇති බැවින් කරදර නොවන්න වගේ තෙරුමක් ඒකෙ තිබ්බෙ.

සාකියට මේක හරි මදි. තප්පරයක් කල්පනා කොළා. ඊළඟට ඉන්න ළමයට තට්ටු කළා.

"ඒක කවුද කාලා."

 


Friday, December 25, 2015

පැන්සල් හිඟාකෑම

සමහරවෙලාවලට සාකියාගෙ සිහිබුද්ධියත් එච්චර හොඳ මදි. ඒ වගේ වෙලාවට මේ දැන් හිතපු දේ දැන් අමතක වෙනවා. කරන්න ගිය වැඩේ අමතක වෙලා, ආයෙ පස්සෙන් පස්සට ආපු ගමන්මඟේ ම ගියාම අමතක වුණු දේ නැවත මතක් වෙන අමුතු ලෙඩකුත් තියෙනවා.

ඒවැයින් වැඩක් නෑ. මේ කතන්දරේ පැන්සලක් සම්බන්ධ සිදුවීමක් ගැන.

තුන වසරෙදි අපිව සලකන්නෙ ළදරුවන් හැටියට. ඒකනෙ යසට පෑනෙන් ලියන්න පුළුවන්කම තියෙද්දී පැන්සලෙන් ලියන්න බල කරන්නෙ.

සාකියා බොහොම කැමතියි ලිය ලියා ඉන්න ගමන් පැන්සල් කොටෙන් හීනියට ඔළුව කහගන්න. ඇයි? පිට කහගන්නත් පැන්සල් නම් ජාති!

හදිසියෙ ඔළුව බූගාන්න සිද්ධ වුණා නං නිධන් සිතියමක වගේ කඩඉරි, කතිර පාරවල් හොයාගන්නත් ඉඩ තිබුණා.

තුන වසර තමයි සාකියාගෙ ජීවිතේ අඬු කැඩෙන, කාඩ් කුඩු වෙලා, කුඩුත් හොයාගන්න බැරි තරමට විසිරිලා ගිය වසර. මේ වසරේ සාකියට කරන්න තිබුණු අමාරුම වැඩේ තමයි තුන්වරක් සහ හතරවරක් පාඩම් කිරීම.

මොකක්? නෑ නෑ නෑ!!!! තුන් හතර පාරක් පාඩම් කරන්න තරම් යහපත්, ඉගෙනීමට කැපවුණු ළමයෙක් නම් නෙවෙයි මේ සාකියා ඒ කාලේ.
මං මේ කිවුවෙ චක්කරේ ගැන.

තුන්වරක් සහ හතරවරක් තමයි අමාරු ම. ටීචර්ගෙ පස්සෙන් පැන්නිල්ල ඉවසගන්නම බැරිවුණ දවසක ඕක බොහොම අමාරුවෙන් රෑ පාඩම් කරගෙන ගිහින් ඊලඟ දවසෙ පාඩම් දීලා බේරුණා. කරුමෙට එදා මට බොහොම බරපතල විදිහට හෙම්බා උත්සන්න වෙලා තිබුණේ. ටීචර් කතාකරනකොට හචිස් එහෙකුත් ගිහින් දහජරා හොටුවලින් මූණ කවර් වෙලා තිබුණේ.
ගුරු ගෞරවේ වැඩිකමට සාකියා ලේන්සුවෙන් එහෙම්මම නහය කට වහගෙන ගිහින්, ලේන්සුවෙන් කට වහගෙනම චක්කරේ පාඩම් දීලා ආවා.

අයියයියෝ!

මොනවද මං මෙච්චර වෙලා දොඩවලා තියෙන්නෙ?
පැන්සල් කොටයක් ගැන කතාවක් අහන්න ආපු උදවිය දැන් ඔල්මොරොන්දන් වෙලා ඇති.

හරි ඉතින් චක්කරේ පාඩම් කොළා. ඊළඟට පැමිණියේ දෙවන වාර විභාගය. ඒ දවස් වල ඉතින් ඔය විභාග චුවින්ගම් වගේ දිගට දිගට සතියක් හමාරක් ඇදිලා යනවනෙ.

ඉතින් ඔය විභාග සතිය මැද එක්තරා අන්ධකාර දවසක සාකියා බොහොම උනන්දුවෙන් විභාගය ලියමින් සිටියා.
උනන්දුව වැඩිකමට පැන්සල් කොටෙන් ඔළුවත් කැහුවේ මොලේ ඇතුලෙ හිරවෙලා තියෙන ඒවා නහයින් කටින්වත් ඇවිත් මේ හොල්මන් ප්‍රස්න වලට උත්තර සපයන්න උදවුවක් වෙයි කියලා හිතාගනයි.

ඉතින් ප්‍රස්න පත්තරේ දිගෑරගෙන සාකියා උත්තර ලිවුවා.
ටික වෙලාවක් ගතවුණා.

ඔන්න දෙයියනේ මේ දැන් අගේට ලිය ලියා හිටිය පැන්සල් කොටේ අන්තරස්දාන් වෙලා!

දැන් කොහොමෙයි උත්තර ලියන්නෙ? තිබ්බෙත් ඒ පැන්සල් බට්ටා විතරමනෙ.

තමුන් වාඩිවෙලා ඉන්න මේසෙ වටේට ඉන්වෙස්ටිගේසොං එක අසාර්ථකව අහවර වුණායින් පස්සෙ සාකියා තීරණය කළා මේක හරියන්නෙ නැති බව

නැගිට්ටා පුටුවෙන් විභාගෙ මැද්දෙම.
එකින් එක මේසෙට ගිහින් පැන්සලක් හිඟාකමින් පන්තිය වටේටම ඇවිද්දා, විභාගෙ මැද්දෙම.

එකෙක්වත් මට පැනසලක් දන් දෙන්න කැමති වුණේ නැහැ. ඔහොම ගිහින් ගිහින් එක ළමයෙක් ගාවට ආවා.
බොහොම අසරණ ව බලලා "මගෙ පැන්සල නැතිවුණා, ඔයා ගාව වැඩිපුර පැන්සලක් තියෙනවද?" ඇහුවා.

ළමයා ටිකක් වෙලා මගෙ මූණ දිහා බලන් හිටියා.

"ඔය ඔයාගෙ ඔළුවෙ තියෙන්නෙ."

මොකක්!!!
සාකියා වහාම අත්දෙකෙන්ම ඔළුව අල්ලාගත්තා.

ඇත්ත නේන්නම්! මේ තියෙන්නෙ පැන්සල ඔලුවෙ.

සාකියා අතේ තිබ්බ පැන්සලෙන් ඔළුව කහ කහ ඉඳලා අර ලී වඩුවෙක් වගේ ඒක එහෙම්ම ම කන පිටිපස්සෙ ගහගෙන, පැන්සල නැහැයි කියමින් පන්තිය වටේට ගිහින් තියෙන්නෙ.


ආ! අමතක වුණා නෙ.

දෙපන්හිඳ කියවන හැමෝටම සුබ නත්තලක් වේවා!


Thursday, September 10, 2015

වැසිකිලියේ දෝංකාරය - 02



කතා වස්තුව අංක 02:

කලින් පෝස්ටුවෙ කියපු විදියට වැසිකිලිය කියන්නෙ හරිම ත්‍රාසජනක තැනක්. ඕන ම වෙලාවක ඕන ම දෙයක් වෙන්න පුළුවන්.

මතක හැටියට ඒ 2009 අවුරුද්ද. ඒ දවස් වල සාකියට පොඩි පුරුද්දක් තිබුණා අවුරුද්දෙන් අවුරුද්ද පන්ති මාරු වෙනකොට ඒ ඒ ශ්‍රේණියට නියමිත වැසිකිලියේ අනිත් ඒවට සාපේක්ෂව අබලන් බවින් අඩු, දොරේ හිල් නැති, ලොක් ගලවලා වීසි කරලා නැති ප්‍රසන්න කියුබිකල් එකක් තෝරා වෙන් කරගන්න. ඉතින් හදිසි අවස්ථාවක දී හැරුණු විට මුළු අවුරුද්ද පුරාම පාවිච්චියට ගන්නෙ ඒ කියුබිකල් එක විතරමයි.

ඕකට හේතුවක් තිබුණා. දවසක් දා සාකියා වැසිකිලියේ තදබද වෙලාවක කියුබිකල් එකක් හිස් වෙනකම් වැසිකිලිය තුළ ඔහේ අරමුණක් නැතිව උඩ යට බලමින් ඉන්නකොට, නොදැනුවත්වම ඉස්සරහින් තිබුණු කියුබිකල් එකේ දොරේ තිබුණු පැල්මක් තුළින් ඇතුලේ හිටිය දරුවගෙ ඇහැ ගැටුණා. හිතාගන්න පුළුවනි නේ? සාකියා ආපු කාරණේ පැත්තක තියලා නොහිටින්නම එතනින් වාෂ්ප වෙලා ගියා.

ඔය වගේ අකරතැබ්බ වලට අනාගතයේ මට මුහුණ දෙන්න සිද්ධ නොවෙන්න තමයි ඊට පස්සෙ අර වගේ පියවරක් අනුගමනය කළේ.

කොහොමහරි ඉතින් ඒ 2009 අවුරුද්ද. සාකියා විශාල හදිසියකින් වැසිකිලිය කරා ඇදී ගියා. ඇතුලේ මට වඩා වැඩිමහල් අක්කලා කිහිපයක් හැරුණු විට වෙන කෙනෙක් පේන්න හිටියෙ නැහැ. ඒත් මගේ සුපුරුදු කියුබිකල් එකේ කිසියම් භූතයෙක් අරක් අරගෙන තිබුණා.

අවශ්‍යතාවය කෙතරම් බරපතල එකක් ද කියනවා නම් යම් තරමක් පාවිච්චියට සුදුසු තත්වයේ තිබුණ තවත් කියුබිකල් එකකට රිංගාගත්තා.
ඊට පස්සෙ වැඩේ අවසන් කරලා කියුබිකල් එකෙන් එළියට ඇවිත් යන්න හදනකොටම මෙන්න සාකියාට ඇහෙනවා කොහෙන් හරි දේව ලෝකයකින් වගේ තමන්ගෙ නම කියලා අඬගහනවා. වටපිටාවෙ කවුරුවත් නෑ, වැසිකිලිය හිස්.

සාකියා තුෂ්නිම්භූත වෙලා හතර අත කැරකි කැරකි බැලුවා. ඔන්න ආයෙමත්,

"...... (මගේ නම )!"   කෙඳිරිලි හඬක් ඇහෙනවා.
"කවුද?"   ඒ හොල්මන් ද දෙල්කොළ වුණු මම.
"මේ මම!"   ආයෙමත් හීන් කෙඳිරිල්ලක්.
"කවුද මම?"   ඒ පාර ෆුල් හොල්මන් වෙච්චි මම.
"මම ....(අදාළ පුද්ගලයා), අනේ මාව එළියට ගන්නකො!"

හත්දෙයියනේ මේ අපේ පන්තියෙ ඉන්න මහත දෙහෙත ළමය නේද? දැන් මොකැයි කොරන්නෙ. . .

"මොන එකේද ඉන්නෙ?"   මං ආයෙමත් ඇහුවා.
"ඔයාගෙ වම් අත පැත්තෙ එකේ."

මොනවා? එහෙනම් මගේ කියුබිකල් එක බද්දට අරන් හිටියෙ මෙයාද?
කොරන්ට දෙයක් නෑ. ක්ෂණික ව ක්‍රියාත්මක වුණු සාකියා හැරුණු ගමන් වම් පැත්තෙ තිබුණු දොර අල්ලලා තල්ලු කරා. දොර අංශක දෙකක් විතර ඇතුළට තල්ලු වුණා.

ඔය විදියට දොර කඩන එක හැර දන්නා සියලු සටන් කලාවන් යොදාගෙන ඒ අසරණයාව එතනින් ගලවා ගැනීමේ මෙහෙයුම සාර්ථකව නිමා කිරීමට සාකියාට හැකිවුණා.

බැලින්නම් මේකයි වෙලා තියෙන්නෙ. මේ ළමයා තමන්ගෙ කටයුත්ත ඉවර වෙලා එළියට එන්න හදනකොට මොන විදියකින් හරි මේ දොර ඇරෙන්නෙ නැතුව තද වෙලා තියෙනවා. කටහඬවල් කීපයක් ඇහුණු නිසා මේ ළමයා උදවු ඉල්ලලා කතා කරලා. ඒත් කයිවාරුවේ සද්දෙට මේ දරුවගෙ කෙඳිරිල්ල කාටවත්ම ඇහිලා නෑ. සාකියා එළියට එනකොට මෙයා දොර හිලෙන් බලා ඉඳලා අඳුරගෙන තමයි කතා කොරලා තියෙන්නෙ.

හප්පේ. . . ඇති ඔයින් ගියා. නැත්තන් ටොයිලට් වතුර බිබී පස්සෙන් දා එළි වෙනකම් රැය පහන් කරන්න වෙන්නෙ දෙකයි දෙකේ ගන්ධස්කාර් වැසිකිලි කුටීරයක් ඇතුලෙ තමයි.

සාකියාගෙ අතිශය විමසිලිවන්තභාවය නිසා තවත් මනුෂ්‍ය ප්‍රාණියෙකුගෙ දිවි ගැලවුණේ ඔන්න ඔහොමයි.


- මතු සම්බන්ධයි -

Thursday, September 3, 2015

වැසිකිලියේ දෝංකාරය - 01



වැසිකිලිය කියන්නෙ මහ පුදුමාකාර තැනක්. නැද්ද මං අහන්නෙ? හැමෝටම වැසිකිලිය ඇතුලෙදි වෙච්ච රසබර කතාන්තර තියෙනවා නේ. ඕවැයින් වැඩිහරියක් සමාජයට මූණ දෙන්න තියෙන ලැජ්ජාව නිසා සදාකාලිකව ම පෙට්ටගම් ඇතුලෙ ඇටසැකිලි ආකාරයට තිබිලා දිරාපත් වෙලා යනවා. ඒත් සමහරක් එව්වා නං තළු මර මර කියන්න තරම් රසබර, පරම්පරා ගණනාවක් තිස්සේ ආටෝප සාටෝප එකතු වෙලා තොරොම්බල් කරත්තයක් වගේ ලස්සන වෙච්ච පුංචි රසකතා.
සාකියට නං ඉස්කෝලෙ යන කාලේ වැසිකිලිය කියන්නේ විවිධ ත්‍රාසජනක අත්දැකීම් වලට තෝතැන්නක් වගෙයි. ඇතුලට යන්නෙ කොහොමද, එලියට එන්න වෙන්න මොනාකාරයටද කියලා මොන දෙයියන්ටවත් කියන්න බැහැ. ඒ තරම් අද්භූතජනකයි.

ඉතින් මෙච්චර වෙලා පඳුරු තල තලා වටේට කැරකුණේ වැසිකිලියක් වුණත් දෝංකාර දෙන තරමට හද කම්පාකරවන සුලු ක්‍රියාදාමයන් පෙළක් ඔබ හමුවේ දිගහැරීමටයි.


කතා වස්තුව අංක 01:


ඒ කාලෙ සාකියා හරි ලැජ්ජකාරි. හොඳම යාළුවො එක්ක හැර වැඩි බජනයක් නෑ කාත් එක්කවත්. ඔය නිසාම පන්තියේ සිටින ගොබ්බ රැලේ අංක එක ලෙසට ගැරහුමට ලක්වෙමින් කුඩා අසරණ ප්‍රාණියෙක් හැටියට ජීවිතේ ගැටගහන් හිටපු එක් දුෂ්කර සමයක් තමයි ගතවෙමින් තිබුණේ.

එතකොට මම තුනවසරේ. පන්තියට අල්ලපු වැටේ තමයි වැසිකිලිය පිහිටා තිබුණේ. ඉතින් ටීචර් තුමී පන්තියෙ නැති ඕනෑම මොහොතක ටොයිලට් එක අස්සට රිංගන්න අපේ ළමයි පසුබට වුණේ නැහැ.

අනේ ඉතින් සාකියා නම් ඕවට නෑ. ඇත්තටම සාකියා ඒ කාලේ පිට ටොයිලට් අස්සට යන්න වැඩි කැමැත්තක් තිබුණෙත් නෑ. මොකවුණත් ඔය කියන දවසෙ ටීචරුත් පන්තියෙ නැති වෙලේක කරුමෙට බරපතල හදිස්සියක් සහිතව අල්ලපු වැට කරා දුවන්න සාකියාටත් සිද්ධ වුණා.

පුදුමෙක මහත කියන්නෙ එදා වැසිකිලිය ඇතුලෙ මොකෙක්වත් හිටියෙ නැති එක. ඉතින් සාකියා එක කුටීරයක් (කියුබිකල් එකක්) ඇතුළට රිංගන් තප්පර දෙකක් විතර ඔළුව කරකව කරකවා සිවිලිමේ සිරි නරඹමින් සතුටින් කල් ගත කළා. ඔන්න යන්තම් කටඅඬ එක දෙක මතුවෙන්න ගත්තා පිටතින්. අපේම පන්තියෙ ළමයි වගේ. සාකියත් ඉතින් වැඩිය ගානකට මිම්මකට ගත්තෙ නැහැ; පාඩුවෙ තමුන්ගෙ වැඩේ කරගෙන ගියා.

ඉතින් මං කිවුව නේ මුලින් මම වැසිකිලියට රිංගනකොට බලු බල්ලෙක් ඇතුලෙ හිටියෙ නැහැ කියල? ඒ කියන්නෙ මම හිටපු කුටීරය හැර හිස් කුටීර මතකෙ හැටියට තව දෙකක්වත් තියෙන්න ඇති. එහෙවු එකේ අර දැන් ඇතුළට ආපු කෙල්ලො දෙතුන් දෙනා සාකියා රාජකාරිය කරමින් හිටිය කුටීරෙ දොරට ම තඩිබාන්න ගත්තෙ නැතෑ.

මං කලින් කිවුවනෙ සාකියා ඒ කාලේ හරි ලැජ්ජකාරියක් කියලා. ඉතින් ලැජ්ජාවක මහත කියන්නේ මං ඇතුලේ ඉන්නවාය කියලා ටොයිලට් කුටීරයක් තුළ සිටන් කෑගහන එකත් සාකියාට පොළව පලන් යන්න තරම් ලැජ්ජාවට කාරණයක්. මං අහන්නෙ, කොහොමද ඊට පස්සෙ ප්‍රසිද්ධ සමාජෙ ඇතුලෙදි මං ඒ ළමයින්ට මූණ දෙන්නෙ?

ඉතින් සාකියා සද්ද බද්ද නැතුව හිටියා ඒ පිරිස යාවි ය කියන අහිංසක බලාපොරොත්තුව ඇතුව. කොහෙද? මුං එතනම ඉඳන් නොනවත්වා දොර ලෑල්ලෙ බෙර ගහන්න ගත්ත නෙව.

දැන් මොකෑ කරන්නෙ? වැඩේ හමාර කළත් සාකියට දොර ඇරන් එළියට යන්න බැහැ. ඇයි කියලා අහන්නෙ? ලෝක ලැජ්ජාවට! කොහොමද දොරට ගහද්දි සද්ද නැතිව ඉඳලා කොන්ද කෙලින් තියන් එකපාරටම දොර මැද්දෑවෙන් එළියට ප්‍රාදුර්භූත වෙන්නෙ?

ඉතින් සාකියා මුං දැන් යයි දැන් යයි කියලා දොර ගාව පඹයෙක් වගේ හිටගන හිටියා. විනාඩි දෙක තුනක් දොර එක්ක කොංගො අඩවු අල්ලපු කෙල්ලො ටික මෙන්න බොලේ එකපාරටම දොර තල්ලු කරන්න ගත්තෙ නැතෑ. වෙන කරන්න දෙයක් නෑ. පැනපු ගමන් සාකියත් මෙහාපැත්තෙ ඉඳන් දොර එහාපැත්තට තල්ලු කරන්න ගත්තා. දැන් යමර යුද්ධයයි! උන් එහාපැත්තෙ ඉඳන් දොර තල්ලු කොරනවා, අසරණ මං මෙහාපැත්තෙ ඉඳන් දොර තල්ලු කරනවා. තුනට එකේ හරිම අසාධාරණ අනුපාතයක් වුණත් සාකියා වැඩේ අතෑරියේ නෑ. මෙච්චරවෙලා ආරක්ෂා කොරගත්තු නම්බුව දිගටම පවත්වාගන්නවාය කියන දැඩි අධිෂ්ඨානයෙන් යුතුව දත කාගෙන මුලු වෙර යොදලා දොර තද කරගෙන හිටියා.

මෙයාකාරයෙන් විනාඩි පහක පමණ අති දීර්ඝ වූත්, දුෂ්කර වූත් කාල සීමාවකට පසු "අන්න ටීචර් එනවා!" යන වදන් වැලත් සමඟ ම බජාර් එක දොරත් මාවත් වැසිකිලියේ තනිකරලා දාලා අන්තරස්ධාන් වුණා. ආත්මාරක්ෂාවට තවත් විනාඩියක් පමණ කුටීරයේ සිරි නරඹමින් කල් ගත කළ සාකියා යන්තම් දොර ඇරලා වටපිට බලලා හීන් සැරේ ආඳා වගේ වැසිකිලියෙන් ලිස්සලා ගියා.


ප.ලි. : හිතුවට වඩා පෝස්ටුව දිග වැඩි වුණ නිසා ඉතිරි කතා වස්තූන් ඉදිරි දින වල දී බලාපොරොත්තු වන්න.

Wednesday, September 2, 2015

ඉතුරු සල්ලි!



ඔන්න දවසක් දා අනේමන්දයි උන්දැගේ අතිජාත මිත්‍ර රත්නයක් වෙච්චි සපුවයි ක්ලාස් ඉවර වෙලා බස් එකක් එනකන් ඉන්නවලු හෝල්ට් එකේ.ඒ කාලේ ඉගනීමට තිබූ උනන්දුවේ මහිමය කොච්චරක් ද කියනවානම් මුන් දෙන්නා පන්තිය ඉවර වුණු හැටියේ ආලෝකයේ වේගයෙන් බස් හෝල්ට් එකට දුවන් එන්නේ එන පළවෙනි බස් එකේ ම නැගල ගෙදර යන්න.


හෝල්ට් එකට ආපු වෙලේ ඉඳන් ම මේ සපුමලී කෙලි පොඩිත්ත මගෙනුයි වටේ ඉන්න හැමෝගෙන්මයි අහන්නේ රුපියල් පනහක් මාරු කරගන්න තියෙනව ද කියලා.ඒත් වෙලාවට කවුරුවත් ගාව මාරු සල්ලි තිබුණෙ නෑ.


ඉතින් වෙනද වගේ ම එදත් බස් කටුවක් ගාට ගාට ආවා.අපි දෙන්නත් නැග්ගා.සපුවා බස් එකේ ඉස්සරහින් නැගලා සීට් එකක් බදාගෙන හිටියා.අසරණ මට ඒ මොළේ පහළ නොවුණු නිසා මම නිකන් දියවැලකට අහු වුණ ජෙලිෆිශ් කෙනෙක් වගේ තැලිලා පොඩිවෙලා ඇඹරිලා බස් රථයේ පශ්චාත් භාගය කරා චූෂණය වෙලා ගියා.කොහොම කොහොම හරි ටික දුරක් යද්දී සපුවා උඩ පැන පැන හස්ත මුද්‍රාව සහ වෙනත් හඳුනා නොගත් සංඥා භාෂා මාධ්‍ය භාවිත කරලා මට කිව්වේ උන්දෑට කොන්දොස්තර බාප්පා ඉතුරු සල්ලි නොදුන් බවත් තමුන් බහින හෝල්ට් එක කරා බසය ශීඝ්‍රගාමී ව ලඟා වන නිසා මට ඉතුරු සල්ලි ඉල්ලා ගන්නා ලෙසත් ය.


සපුවා බස් එකේ ඉස්සරහින් හිටි අතර කොන්දොස්තර හිටියේ මං හිටි දිසාවෙයි.ඉතින් මමත් දැන් ඉතිරි සල්ලි ඉල්ලන්න ඕන විදිය හිතින් කියවමින් හිටියේ නැතිනම් නැගපු හෝල්ට් එකටම ආපහු ටිකට් ඉල්ලන ජාතියේ පැරනෝමල් සිදුවීම් අනේමන්දාට අලුත් දෙයක් නොවෙච්චි හන්දයි.


ඉතින් ඔන්න කොන්දොස්තර ඇවිත් අනේමන්දගෙනුත් ටිකට් ඉල්ලුවාලු.

"බ්ලාහ් බ්ලා වත්තට එකක් ගත්තා ඉතුරු සල්ලි දුන්නේ නෑ..බ්ලා පිටියට.."

"කීය ද දුන්නේ??"

මේ යකා මට කතාව කියාගෙන යන්න නොදී කඩන් පැනපි.

"පනහ"

"ආ මෙන්න ඉතුරු සල්ලි"

අගින් වක්‍ර වුණ රුපියල් දහයෙ විස්සෙ කොල සහ කාසි කිහිපයක් මට දික් කරපු කොන්දොස්තර වහාම ඊළඟ මගියා වෙත යොමු වුණා.

මං තත්පරයක් දෙකක් ඇස්පිය ගහමින් බලන් හිටියා මේ මොකක් ද උනේ කියලා.

දැන් සපුවාගේ ඉතුරු සල්ලි ඉල්ලගත්තට මට ප්‍රවේශ පත්‍රයක් ගන්න බැරි වුණ බව කාට කාටත් තේරෙනවා ඇති නොවෑ.

ඉන්පස්සේ මං කල්පනා කළේ කොහොමද දැන් මම ටිකට් ඉල්ලගන්නේ කියලා.

ආයෙමත් සල්ලි දීලා ඉල්ලන්න ගියොත් කලින් ඉතුරු සල්ලි ඉල්ලපු එකී ආයෙ ටිකට් ගන්නේ මොන ඇන්නෑවකටද කියල අහල පහල සීට් කෑලිවල,බස් එකේ බාර්වල වවුල් පෝතකයො වගේ එල්ලිලා ඉන්න කොල්ලො බල්ලො කෙල්ලො සහ කොන්දොස්තර උන්නැහේ හිතන බව අනේමන්දාට සක්සුදක් වගේ පැහැදිලියි.

ඇත්තම කතන්දරේ ප්‍රවේශපත්තර කියා ජාතියක් දෙන්නෙත් ඉඳහිට එන සිලෝන් ටකරන් බස් එකක විතරක් වුණත් දැන් "බ්ලා බ්ලාහ් වත්තට" යනව කියල ඉතිරි සල්ලි ගනිපු මම ඒ පළාත පහු කරගෙන ගිහින් "බ්ලා පිටියෙන්" බහිනවා කොන්දොස්තර උන්නැහේට අවබෝධ වුණොත් මොන ජංජාලයක් වෙයි ද කියලා හිතෙනකොට මගේ හෘදය වස්තුව නිකන් දෙමෝලෙන් පිටි කොටනකොට වගේ උඩ පනින්න ගත්තා.වැඩියෙන්ම භයංකාර වුණේ දවසක් දා අනේමන්දාගේ යාලුවෙකුට වෙච්ච සිද්දියක් මතක් වෙලා.ඒ අසරණ දැරිවිට බස් එකේ ටිකට් ගන්න අමතක වෙලා බැහැලා යන්න හදනකොටම කොන්දොස්තර මොර දුන්නෙ නැතෑ ටිකට් ගත්තෙ නෑ නේද කියලා.කොහොම කොහොම හරි ටිකට් එකට සල්ලි දුන්නට බස් එකේ ෆුට්බෝඩ් එකේ ඉඳපු ඇට්ටර කොලු රැළක් හූ කියපු එක නවත්වන්න කාටවත් බැරි වුණා.

ඔය විදියට එන්න එන්නම බියජනක බස්‍ රථ අත්දැකීම් අනේමන්දාගේ ඔලුවට පොම්ප වෙන්න ගත්තේ හරියට කලුවර රෑක තනියම ඉන්නකොට මෙතෙක් ඇසූ පිරූ සියලු හොල්මන් කතා සහ හොර(ර්) මූවීස් හිතට එනවා වගේ.

කොහොම නමුත් එදා අතුරු ආන්තරාවක් නොවී බස් එකෙන් බැහැලා ගෙදර යන්න අනේමන්දාට වාසනාව තිබුණා.

පහුවදා උදේ මං ඉස්කෝලෙ ගියේ සපුවාගේ ඉතුරු සල්ලි නිසා මට වුණ ඇබැද්දිය කට්ටියටම කියන්න හිතාගෙන. මම පන්තියට එද්දි ම සපුවා නිකන් අමුතු ම බැල්මක් දාගෙන,

 "ඔයා ඊයෙ කොන්දගෙන් මගේ ඉතුරු සල්ලි ඉල්ලගත්ත ද?"
කියල ඇහුවේ ලාවට නෝන්ඩි හිනාවක් කට කොනකින් මතුවෙද්දී.

"ඔව් බං.මාර වැඩේනෙ උනේ.මට ටිකට් ගන්න උනෙත් නෑ උඹේ ඉතුරු සල්ලි ඉල්ලගන්න ගිහින්."
එහෙම කිය කිය මම බෑග් එක ඇද්දේ සල්ලි ටික දෙන්න හිතාගෙන.

 එතකොට ම එච්චර වෙලා තදකරගෙන හිටපු හිනාව එළියට පැන්න සපුවා කියපි,

"අනේ බං,ඌ මං බැස්සට පස්සේ බස් එකෙන් එලියට බැහැලා දුවගෙන ඇවිත් මට ඉතුරු සල්ලි දුන්න නේ!!!"


Saturday, June 13, 2015

ඉස්කෝලේ, හීනය, සහ ගෝනිය

සුබ උදෑසනක් නෝනාවරුනි, මහත්වරුනි!
අදත් මං මෙ කියන්නට අර අදින්නෙ සාකියා පොඩි එකා කාලේ සිද්ධ වෙච්චි සන්තෑසියක් ගැනයි.

ඇත්තටම සාකියා පොඩි කාලේ වෙච්ච හැමදෙයක්ම වගේ අණ්ඩබජල් කේස් වුණාට මේක ඒ සියල්ලට ම වඩා නෝණ්ඩි ටයිප් එකක් වීම විශේෂත්වයකි.

හොඳයි එහෙම නම් අහගන්න.

එතකොට මට අවුරුදු දහයක් විතර.
මොකද්ද? . . . . ඔව් ඔව් අර සිස්සත්තෙ ලියන අවුරුද්දෙ තමයි.

ඉතින් ඒ දවස් වල උදෑසන හතරකුත් ගානට ආරම්භ වී එම යාමයේ ම හයකුත් ගානකට අවසන් වෙන යමර යුද්ධයක් හැමදාම (සෙනසුරාදා සහ ඉරිදා දිනවල හැර)  සාකියාගේ ගෙදර නොවරදවා, නොමිලයේ රඟදැක්වෙනවා.

අපරාදෙ . . . ඒ කාලෙ ආවා නං බලාගන්ට තිබුණා.

ඉතින් ඔය කියන වයසෙදි සාකියාට උදේ නැගිටින්නෙ කීයට, ද ගෙදරින් එලියට බහින්නෙ කීයටද කියලාවත් හරිහමන් අවබෝධයක් තිබුණෙ නැහැ. නැගිට්ටන වෙලාවට නැගිටලා අඩවන් දෑසින් දතකට මැද්ගෙන, උගුරට ම ඔබන බත් කටවල් දෙකතුනක් විතර ගිලදාලා, වැනි වැනී හන්දියෙ නවත්තං හෝන් ගහන වෑන් එකට නැඟලා බැණුම් අහ අහා ඉස්කෝලෙට ඇදිලා යනවා.

ඔහොම ගිහින් ගිහින් එක දවසක් ආවා අර අවුරුදු දෙක තුනකට සැරයක් එන නරක දේවල් ම විතරක් වෙන දවසක්.

එදා උදේ නැඟිටිනකොට මොකක් හරි හේතුවක් නිසා සාකියාට ඇහැ ඇරගන්න බැරි තරම් නිදිමතයි.
සාකියාගෙ ගෙදර නානකාමරයට අල්ලපු කාමරයේ ඇඳක් තියෙනවා. ඉතින් වැනි වැනී නිදිමරගාතෙ නානකාමරයට යන කෙනෙකුට ඇඳක් දැක්කොත් මොකද්ද වෙන්නෙ කියලා හිතාගන්න පුළුවනි නේ? විශේෂයෙන් ලේසියෙන් ම කරදර වල පැටලෙන මං වගේ උතුම් දරුවෙකුට?

සාකියා හිතුවා නිදිමත පහවෙනකං විනාඩි පහක් අර ඇඳේ ඇලවිලා ඉන්නවා කියලා. ඕන්න මං අද කිවුවා කියලා හිතාගන්න, කවදාවත් . . . ඔව්, කවමදාකවත් වැදගත් රාජකාරියකට යන අතරමඟ ඇඳක් පේන්ඩ තියන්න නං එපා.

නින්දේ හිටපු සාකියා හරි අපූරු හීනයක් දැක්කා.
ලා ඉරු එළිය මැදින් පිනි බිංදු බිංදු වැටිලා කොළ පාටට බැබළෙන වෙල්යායක නියරක් දිගේ උඩ පනිමින්, නටමින් දුව දුව, කෑගගහා මම සින්දුවක් කියමින් උන්නා.

(තාලයට ගායනා කරන්න)
"මංගෝ. . . කළු නැන්දේ - මොකදෑ . . . මේ පැත්තේ,
සැන්දෑ . . . යාමෙ බලා . . .
ගෙදරින්! - පැන ගත්තේ
පීප් පීප් පීප්!!!!
ඒ මොකද්ද ඒ සද්දේ?"

හුටා!!!!....... අරෙහෙ වෑන් එක හෝං ගහනොවා!
විනාසා . . .යි! මොනවද මම මේ කරගත්තේ.

කොරන්නට දෙයක් නැතුවා. මම විනාඩි දහයෙන් ලෑස්ති වුණේ කොහොමද කියලා තාමත් හරිහැටි මතකයක් නෑ.

කොහොමින් කොහොමින් හරි වෑන් එකටත් නැඟලා, බැනුම් වරුසාවකත් තෙමි තෙමී ඉස්කෝලෙට ලඟාවුනා.

ඒත් ඊලඟට වෙන්න තියෙන දේ ගැන සාකියා හාංකවිසියක්වත් දැනගෙන හිටියෙ නෑ.

සාකියා ඉස්කෝලෙ පිටිපස්සෙ ගේට්ටුවෙන් ඇතුළු වෙලා ජන ගංගාවක් එක්ක පිට්ටනිය මැද්දෙන් ඇවිදගෙන යන අතරෙ තමයි ඒ කරදරයට මූණ දෙන්න සිද්ධ වුනේ.


සාකියා ඇවිදගෙන යනවා. එහෙම යනකොට සාකියාට අමුත්තක් දැනෙනවා. හරියට නිකන් තමන් ගෝනියක් ඇඳන් ඉන්නවා සහ ඒ ගෝනිය මේ දැන් ගැලවිලා බිම පතිත වෙන්න යනවා වගේ.

ඉතින් මම දස අතේ කල්පනා කොලා මේ මොකද්ද මේ වෙන්න යන්නෙ කියලා. ඒ අතරේ සාකියාට දැනෙනවා කකුල් වල පුංචි පුංචි නූල් කෑලි ගෑවෙනවා. මොකාද බොල?

එතකොටයි මට ඒ සුන්දර යතාර්ථය අව්බෝධ වුණේ.
හදිස්සිය වැඩිකමට ඇඳගෙන හිටපු ටවල් කෑල්ලට උඩින් යුනිෆෝම් එක දාගෙන තමයි මම ඉතාම තේජවන්ත ව පිට්ටනිය මැද්දෙන් මේ ඇවිදන් යන්නේ.

මීට කලිනුත් මීටත් දෙගුණයක් හපන් සිද්ධියක් වෙලා හිටපු සාකියා (ඒ සිද්ධිය අපි පසුව ට කල් තියමු.) දැනගෙන හිටියා මේ වගේ වෙලාවක ගන්න ඕනෙ හොඳ ම ක්‍රියාමාර්ගය.

මම රොබෝ මෝඩ් එක ඇක්ටිවේට් කොළා.

කොහොමද? ටවල් එක වැටෙන්න නොදී රොබොටික්කා වගේ අත්දෙක සරීර කූඩුව දෙපැත්තෙන් තද කොරාගෙන, වටේ පිටේ ඉන්න එවුන්ට වෙනසක් නොපෙන්නා ඉදිරියට ම ගමන් කළා.


රොබෝ වගේ ස්ලෝ මෝෂන් ඇවිදගෙන ගිහින් ගිහින් යන්තම් ටොයිලට් එකට රිංගගත්තා. ඊටපස්සෙ ටවල් එක දහයට නවලා යුනිෆෝම් එකේ පොකට් එකට දාගත්තෙ කොහොමද කියලා නං අහන්න එපා. ඒක නං පුතෝ මමවත් දන්නෙ නෑ!

Friday, May 22, 2015

නියත විවරණ


මේ කථාව දැන් අවුරුදු කීපයකට කලින් වෙච්ච එකක්.
ඒ කාලේ අපි පාසලේ දහතුන්වැනි වසරට පා තබපු කාලේ.
අපේ ස්කෝලේ ජීව විද්‍යා අංශය තිබුණේ පාසලේ අනෙක් කොටස්වලින් තරමක් හුදෙකලා වෙලා,කන්දක් මුදුනේ නිස්කලංක පරිසරයකයි.

ඉතින් සමහර වෙලාවට හවස ගෙදර යන්න කලින් අපේ පන්ති කාමර වහලා යන්න බැරි වෙන අවස්ථා තියෙනවනේ.සති අන්තයේ වගේ එහෙම දෙයක් වුනොත් අපිට අමතර කරදරයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා.
අයාලේ යන බල්ලෙක් පන්තිය ඇතුළට ඇවිත් පන්තිය ඇතුළේ විවිධ නිෂ්පාදන කරලා පිටවෙළා යන එක තමයි මේ අලකලන්චිය.ඉතින් උදේ පාන්දර පන්තියට ආවාම දකින්න ලැබෙන මේ මංගල දර්ශනය කොච්චර අලංකාරද,හමා එන සුගන්ධය කොයිතරම් මිහිරිද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.


ඇත්තම කියනවානම් අපේ පන්තියට මේ කරදරේ සිදු වුණේ එකම එක දවසක් විතරයි.ඒත් එදාත් අපි කොහොමහරි විෂබීජනාශක බෝතල් භාගයක් ඉවර වෙනකන් පන්තිය සෝදලා තමයි වැඩ පටන් ගත්තේ.අවාසනාවට අපේ එහා පන්තියේ ළමයි නම් එච්චර වාසනාවන්ත වුණේ නැහැ.මට මතක විදියට ඒ පන්තියේ දොරේ අගුල කැඩිලයි තිබුණේ,එහෙමත් නැත්නම් බොහෝ දවසට දොර වහල යන්න මේ අසරණ දරුවන්ට අමතක වුණා.



කොහොම නමුත් පිරිසිදු කරන රාජකාරිය ඒ ඒ දවසට අතුගාන්න ඉන්න ළමයි කට්ටියගේ ඇඟේ ගහලා ලිස්සලා යන්න මේ ළමයි වගබලා ගත්තු බවයි ආරන්චිය.

ඒත් එක්තරා දවසකදී මේ වැඩේ අසාර්ථක වෙනවා.
බලු වසුරු ඉවත් කරන්න එක ළමයෙක්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ.

දැන් ඔන්න පන්තියට ඇතුළු වෙන දොරකඩම මේ බලු වසුරු තියෙනවාලු.

මුලින්ම උදේ රසායන විද්‍යා පාඩම තමයි තිබුණේ.ටිකක් විතර කට සැර ලතා මිස් (නම් ගම් සංශෝධිත බැව් කරුණාවෙන් සළකන්න)තමයි උගන්නන්න එන්නේ.
ඉතින් මිස් පන්තියට ඉස්සහරට ඇවිත් මේ සංදර්ශනේ දැක්ක ගමන් නහය කට අකුලගෙන මෙන්න මෙහෙම කතාවක් කිව්වා...

"ගිය අවුරුද්දෙත් මේ විදියට පන්තිය ඉස්සරහා බල්ලෙක් ජරා කරලා තිබුනා.
හැම ළමයෙක්ම ඒක උඩින් පැන පැන පන්තිය අතුළට ගියා.කවුරුවත් අස් කළේ නෑ.
ඒත් එකම එක ළමයෙක් තනියම මේ බලු බෙට්ට අයින් කළා.
මට හොඳටම මතකයි ඒ ළමයා first shyම medical faculty select වුණා!!!"

මේක ඇහුවා විතරයි අපේ කට්ටිය කඩි ගුල ඇවිස්සුනා වගේ කඩිසරව පන්තිය සුද්ධ කළේ නැතැයි.

ඔන්න ඉතින් ඊට පස්සේ ඒ පන්තියේ ළමයි කියලා තිබුණේ "මචං medicine යන්න ඕන නම් මේ අපි වගේ මුලින්ම  බලුබෙට්ටක් අයින් කරලා ඉඳපල්ලා" කියලයි.

Thursday, May 21, 2015

විද්‍යාත්මක අත්හදාබැලීම්



ඔන්න එක්තරා කාලයක සාකියාත් විකාරරූපී පොඩි එකෙක් වෙලා හිටියලු.
නෑ දැනුත් ටිකා...ක් විතර එහෙම තමයි.

ඔය කාලෙදි කරපුවා මතක් වෙනකොට තනියම හිනා යනවා. දන්නව ද? සමහර වෙලාවලට ඔය පොදු ප්‍රවාහන සේවයේ ගමන් බිමන් යනකොට හිටිහැටියේ ඕවා මතක් වෙලා හිනා යනවනේ! ඒ වෙලාවට ඉතින් මම මගේ බුද්ධිය පාවිච්චි කොරලා පොඩි එකෙක් දිහා බලලා හරි ජනේලෙන් එලියේ තියෙන දේකට හරි හිනාවෙනවා වගේ බොරු පාට් එකක් දාලා නම්බුව බේරගන්නවා.
නැත්තන් වටේ පිටේ ඉන්න මිනිස්සු කලබල වෙලා බස් කෝච්චි හරවං ඉස්පිටිතාලෙ ගියෝතින් හැමෝටම පරක්කු වෙනවනේ. නැද්ද?

ආ. . . පැන්නා නේද ට්‍රැක් එකෙන් එලියට?

ඉතින් මං කියන්න ගියේ පොඩි කාලෙ වෙච්ච සිද්ධි ගැන නේ.

හොඳයි ඉතින් ඔය ඉඩ තියෙන තැන් තැන් වලින් ඈඳි ගත්තා නං. . .

මේක සිද්ධ වුනේ සාකියා බාලාංශ පන්තියෙ ඉන්නකොට. බාලාංශ? ඒ මොකද්ද අනේ ඒ?
මං කිව්වේ මේක වුනේ මම එක වසරේ ඉන්නකොට.

ඔය වයසෙදි පොඩි එවුන්ට විවිධ නව නිපැයුම්, විද්‍යාත්මක අත්හදාබැලීම් වගේ දේවල් කරන්ඩ හිතෙනවා හරියට. ඔය නිසා තමයි විද්‍යාඥයින්, උගතුන්, පඬිවරුන් අනාගතේදි බිහිවෙන්නේ.

ඉතින් පන්තිය ඉතාමත් ඝෝෂාකාරී වෙලාවක මී පැටියෙක් වගේ හුම් සද්දයක් නැතුව හිටි සාකියාගේ මොලෙත් එකපාරටම ක්‍රියාත්මක වෙන්න ගත්තා.
පන්තිය පුරා ළමයි සී සී කඩ. ටීචරුත්  මෙලෝ සිහියකින් හිටියෙ නෑ.

"හොඳ වෙලාව. . ."
සාකියා හොඳට හරි බරි ගැහිලා වාඩිවෙලා තමුන්ගේ ඩැස් එකට ඔලුව තියාගත්තා සුවච කීකරු සිසු දැරියක් වගේ.

පොඩ්ඩක් උගුර පාදලා එහෙම මම මගේ විද්‍යාත්මක පර්යේෂණය ආරම්භ කොළා.

තප්පර පහක් විතර ගත වුනායින් පස්සෙ සාකියාට අති බිහිසුණු හූවක් පන්තිය පුරා පැතිරීගෙන යනවා ඇහෙනවා.

"ඇයි මේ කවුරුත් කැගහන්නෙ නැත්තේ? මුන් මගේ වැඩේට කෙළවන්නයි යන්නෙ!"

ඒත් ඉතින් මේක හිතන්න ගිය තප්පරේටත් හූව දිගටම පවත්වාගෙන යනවා හැරෙන්නට වෙන විකල්පයක් සාකියාට තිබුණේ නෑනේ.

ඉතින් එකපාරට ම උල්කාපාතයක් පිට මැද්දෑවට පත බෑවුනා වගේ සාකියාට දැණුනා.

"ලෝකෙ පෙරළිලා භූමිකම්පාවක්වත් ආව ද? නැත්තන් ඒ මාව හෙල්ලිලා ගියේ මොන බලවේගෙකින් ද?"

සාකියා ඔළුව උස්සලා බැලුවා.


ඉතින් සාකියා දැක්කේ ඔන්න ඔහොම දර්ශනයක් තමයි.

ඊට අමතර ව ටීචරුත් දිග මීටර් කෝදුව අතේ තියාගෙන ඔරෝගෙන හිටියා.

"පිස්සු ද?"
ටීචර් එහෙම ඇහුවා.

ඇස් දෙක ලොඹු කරගෙන ටීචර් දිහා එක දිගටම බලාගෙන ඉන්නවා හැර වෙන දෙයක් කරගන්ඩ සාකියාගෙ අතපය වාරු තිබ්බෙ නැහැ.

මොනවා කරන්න ද. . . ලෝකෙට තවත් විද්‍යාඥයෙක් එකතුවෙන්න තිබ්බ අවස්ථාව ඒ විදියට නැති බංගස්තාන වුණා.

(සත්‍ය කතාවකි. )