Tuesday, August 18, 2015

කලබල මැද්දේ. . .

ඊයේ රෑ ගොඩක් උදවිය නිදි වර්ජිතව හිටියා කියලයි ආරංචිය. ඔව් ඔව් සාකියත් හිටියා තමයි. හැබැයි හතර පහු වෙලා සුළු මොහොතකට පසු බඩගාගෙන වගේ ඇඳ කරා ඇදී යනවා මතකයි.

සාකියා මුලදි ප්ලෑන් කොරගෙන හිටියේ පැටිස් හදලා ගෙදර කට්ටියත් එක්ක කන්න. ඒත් සාකියාට ලෙඩක් තියෙනවා උදේ ඉඳන් "මං අද හවසට අරක කරනවා. . . කරනවා. . . " කියලා මන්තරේ වගේ ජප කර කර ඉඳලා පස්සෙ හවසට පොරෝගෙන බුදියන නරක පුරුද්දක්.

ආහ් ඉතින් කොහෙන්ද අපි නතර කළේ?

හරි ඉතින් පැටිස් හදනවා කිය කියා ඉඳලා අන්තිමේදි ඒ වැඩේ හෙටට කල් දැම්මා. ඒත් නිකම් ම හිටියේ නෑ ඕං. තවත් වැඩක් කළා. ඒක කලින් ප්ලෑන් නොකරපු එකක් හින්දා සාර්ථක ව කොරගෙන යන්න පුළුවන් වුණා.
ඔන්න ඔහොමයි සාකියාගෙ වැඩ.

ඉතින් ඡන්දෙ බල බල මොකද කළේ?

ඉතින් සාකියා තකහනියක් පෝස්ටුවක් කොටන්නෙ ඡන්දෙ බල බල ස්ට්‍රෝබෙරි  කෑවා කියන්න හෙම නෙවෙයි.

පෙනුමට නම් ස්ට්‍රෝබෙරි ගෙඩියක් තමයි. ඒත් මේක සාකියා විසින් නිර්මාණය කරන ලද කෝල්ඩ් පෝසිලේන් (Cold Porcelain) අනුරුවක්.

ඈහ්? ඒ මොනාද ඒ? කෑමක් ද?

දැන් දෙලොවට ම නැතුවා වාගේ ඉන්න නිසා සාකියත් අවුරුද්දෙ මුල ගියා නොමිලේ උගන්වන Craft Class එහෙකට. සාකියා Craft Class කිවුවට ඒක ට ඇත්තටම කියන්නේ ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානය කියලා. එහෙදි තමයි මුලින් ම මේ ගැන ඉගෙනගත්තෙ. පස්සෙ පින්ට්‍රස්ට් (Pinterest) එකේ රවුම් ගගහා ඉන්නකොට පොලිමර් ක්ලේ (Polymer Clay) කියලා ජාතියක් දැකලා තේරුණා අපි පන්තියෙදි හැදුවෙත් මේවාමයි කියලා. ඊටත් පස්සෙ ඔන්න මේ ඊයෙ පෙරේදා අනේමන්දා Cold Porcelain කියලා ජාතියක් හොයාගෙන මටත් පෙන්නුවා. ඊට පස්සෙ වට්ටෝරුව කියෙව්වා, හිතුවා, බඩු ගත්තා, හැදුවා!


සාකියා කෝල්ඩ් පොර්සිලේන් මෝලියක් හදාගෙන ඒකෙන් අනුරූ හැදුවා. ඕක තමයි දැන් මගේ අලුත් ම විනෝදාංශය.

කැමති කෙනෙක් අත්හදා බලන්ඩ. බල කරන්නෙ නැහැ ඕං. අන්තර්ජාලයෙන් ඕනෑතරම් අදහස් ගන්න පුලුවන්.

ඔන්න බලාගන්ඩ එහෙනම් අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුව :

1. කෝන් පිටි (Corn Flour) ග්‍රෑම් 100 (මේවා ආනයනය කරපු හොඳ වර්ගයේ ඒවා ගන්නේ නැතිව සිල්ලර කඩයකින් තමන්ට අවශ්‍ය ප්‍රමාණය ලබාගත්තාම ලාබයි.)
2. කෙමිෆික්ස් හෝ වෙනත් බයින්ඩින් ගම් වර්ගයක් ග්‍රෑම් 200
3. එළවළු තෙල් හෝ පොල්තෙල් මේස හැඳි 2
4. දෙහි යුෂ මේස හැන්දක්
5. වැස්ලින් හෝ සිලිකන් අඩංගු නැති ක්‍රීම් වර්ගයක් (අවශ්‍ය නම් ඉතාම ස්වල්පයක් අත්ලේ ආලේප කරගැනීම ට පමණී.
6. Non-stick සාස්පානක්
7. ලී හැන්දක්


දැන් කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරිය හා සම්බන්ධ වෙමු.

"මේතන Brand Names පළ කෙරුවේ ඔබගේ පහසුව තකා පමණි. නැත්තං කියයි සාකියා සන්නාම ප්‍රවර්ධනයක් කරනවාය කියලා."

ඔව් අපි නැවතත් වැඩසටහන හා සම්බන්ධ වෙනවා.

වැස්ලින් හා ලී හැන්ද හැර අනෙක් සියලුම ද්‍රව්‍ය සාස්පානට දමාගන්න.

අඩු ගින්දරේ ලිප තබා ලී හැන්දෙන් මිශ්‍ර කරන්න.

තරමක ගනකම් වූ විට ලිපෙන් බා, (අවශ්‍ය නම්) අත්ලෙහි ක්‍රීම් ආලේප කරගෙන මෝලියක් වනතුරු හොඳින් අනන්න. (මේ වනවිට මිශ්‍රණය තරමක උණුසුම් වන බැවින් ප්‍රවේසමින් මෙය සිදු කරන්න.)

අත්ලෙහි නොඇලෙන පදමට ආ පසු ප්ලාස්ටික් කවරයක් තුලට හෝ සිදුරු රහිත පොලිතින් බෑගයකට දමා සුළං නොවදින සේ තදින් ගැටගසන්න.

පිංතූර සමඟ ම බලාගන්න පුළුවන් මේ ලින්කුව දිගේ ගිහින්:
Cold Porcelain Tutorial


මේ තියෙන්නේ සාකියා හදාපු පෝසිලේන් මෝලිය.


ඒ වගේම පාවිච්චියට නොගන්නා වෙලාවට කුඩා පිටි ගුලි පවා මේ විදියට ආවරණය කරන්න ඕනෑමයි. නැත්තන් නිර්මාණය කරන්න නොහැකි තරමට ඝන වෙනවා.

දැන් පිටි මෝලියෙන් කැබැල්ලක් කඩාගෙන රෝල් කරලා, තුනී කරලා, පොළවෙ ගහලා, පාගලා ඔය ඕනෑම ආකාරයකට තමන් කැමති ඕනම නිර්මාණයක් කරගන්න පුලුවන්.

මේ තියෙන්නෙ සාකියා දැනට කරපු නිර්මාණ.






ගූගල් බාප්පට කිවුවොතින් ඔයිට වඩා ගොඩක් අදහස් හොයාගන්න පුළුවන් වෙයි.

නැවත හමුවෙමු!

Saturday, August 15, 2015

ඔබ සිටින්නේ නිවැරදි කතාන්තරයක ද?



"ඔබ සිටින්නේ වැරදි කතාන්තරයක යැයි ඔබට හැඟෙනවා නම්, ඉවත්වෙන්න."
-මෝ විලෙම්ස්-

මසුරන් වටින කියමනක්.
ඇත්තට ම ඇතැම් වෙලාවක ඔබට ත් හිතෙන්න පුළුවන් මං ජීවත් වෙන්නෙ වැරදි කතාන්දරයක ද කියලා. ඒක හරියට හා හා හරි හාවා කතාවට ඇනකොන්ඩා කඩාපාත් වුණා වගේ අතෘප්තිකර හැඟීමක්.
* * * * * * * *

මට එක්තරා මිතුරියක් හිටියා, මීට වසර කිහිපයකට පෙර මුණගැහුනු. හඳුනාගැන්මෙදි මට ඒත්තු ගියේ ඇය සැහැල්ලුවෙන් හිතන, සාමකාමී, තරමක විහිළුකාර, ඒ වගේම කල්පනාකාරී චරිතයක් බවයි. බොහෝ වෙලාවට මම යම් කෙනෙක් ආශ්‍රයට නුසුදුසු යැයි හැඟෙන විට ඔවුන් අතේ දුරින් එහාට දුරස් කරන ගතියක් තියෙනවා. නමුත් ඇගේ ඒ ගතිගුණ මම අගය කරන ලක්ෂණ වූ නිසා බොහොම ඉක්මනින් අපි මිතුරියන් බවට පත්වුණා.

යම් කාලයකට පසු එක් අවස්ථාවක දී මට හැඟෙන්න පටන්ගත්තා ඇය මගේ මිතුරුකමින් අයුතු ප්‍රයෝජන ගන්නා බවක්. ඇතැම් විට ඈ කොන් වූ අවස්ථාවලදී, නැත්නම් කිසිවෙක් ඈ ගණනකට නොගන්න වෙලාවන් වල දී ලොව සිටින ඉතාම යහපත්, මිත්‍රශීලී දැරියක් ලෙස ඇය මා ඉදිරියේ පෙනීසිටියා. නමුත් ඇයට අවශ්‍ය පිරිස ඈ වටකොට සිටින විට ඈ මට සොයාගත නොහැකි ලෙස ප්‍රාදූර්භූත වූවා. එමෙන් ම මා ගොඩනඟාගත් යම් තත්වයක්, පිළිගැනීමක් තිබේ ද ඈ එයින් අයුතු ප්‍රයෝජන ලබාගත්තා. මට පමණක් නොව, ඈ මිතුරු වේෂයෙන් පෙනීසිටි අනෙක් පිරිසට ද ඇතැම් අවස්ථාවන්වල ලැබිය යුතු ගෞරවය ඈ තමාට ම පමණක් හිමිකරගැනීමට තරම් පහත් මානසිකත්වයකට පත්වූවා. ඇතැම් විට ඈ හීන් නූලෙන් මට පරිභව කළා. පිරිස ඉදිරියේ මා පහත් කොට කතා කළා. අවාසනාවන්ත ම කරුණ වූයේ ඇගේ සැබෑ වේෂය මා ඉදිරියේ දිස් වන විට සැලකිය යුතු කාල සීමාවක් නොදැනී ම ගත වී තිබීමයි.

අවසානයේ මා ඈ අත්හැර දමන්නට තීරණය කළා. එය එක් දිනකින්, එක් රැයකින් සිදුවූවක් නොවේ. දිනෙන් දින මතු වූ කහට පැල්ලම් එක් ව සැදුනු කිලිටි මේස රෙද්දක් ඈ මගේ සිතේ නිර්මාණය කිරීම නිසා නැවතත් නොදකින්නට ම ඒ මේස රෙද්ද වීසි කරන්නට මම තීරණය කළා. ටිකෙන් ටික මා ඈ මගේ අතේ දුරින් ඈත් කරන්නට ක්‍රියා කළා. අවසානයේ ඇයට තවදුරටත් ප්‍රයෝජන ගත් නොහැකි වන දුරකට මා ඇය ඈත් කිරීමට සමත් වූවා.

ඒ කාලවකවානුවේදී ම තිරය පිටුපසින් තවත් යමක් සිදුවෙමින් පැවතියා. පැරණි මිතුරුකම අත්හළ මට මෙතෙක් දිනක් වැඩිපුර ආශ්‍රය කිරීමට නොහැකි වූ, කෙටියෙන් කිවහොත් මා එතරම් ගණනකට නොගත් පුද්ගලයින් ආශ්‍රය කිරීමට ලැබීමෙන් මගේ මිත්‍ර සමාගම අළුත් වන්නට වුණා. එමෙන්ම පෙර මට කරදරකාර හැඟීමක් ඇතිකළ ඇතැමුන්ගේ සැඟවුණු යහපත් ගතිගුණ මට එක්වන ම පෙනෙන්නට ගත්තා.

ඊට පෙර පැවති අතෘප්තිකර හැඟීම, අත්හැර දැමූ හැඟීම දශමයෙන් දශමය නැති වී, නොපෙනී ගොස්, සැබෑවට ම ජීවත්වනවා යන හැඟීම මගේ සිතේ ඇති වන්නට වුණා. එය ඇත්තෙන් ම වචනයෙන් විස්තර කළ නොහැකි නිදහස්, ස්වාධීන හැඟීමක්.

කෙසේ වුවත් මා වාසනාවන්ත වුණා, මා ඔවුන් එතරම් ඇසුරු නොකළ ද ඔවුන්ගේ මිතුරියක් සේ පිළිගණු ලැබීමට තරම්.

උගත්, කල්පනාකාරී යන මිනුම් දඬු වලින් ඔවුන්ගෙන් සමහරෙක් ට තැනක් නොලැබුණ ද යහපත් ගුණාංග යන මිනුම් දණ්ඩේ ඉහළ ම කෙළවරක ඔවුන් රැඳී සිටියා.

යම් කාලයක් ගත වීමෙන් පසු මට වැටහී ගියා කිලිටි මේස රෙද්දකින් වුව පොඟවා පිරිසුදු කළ හැකි මුස්නාවක් නිර්මාණය කළ හැකි බව.

මම ඇයත් සමඟ වෛර බඳිමින් සිටියෙ නැහැ. ඒ වෙනුවට අවශ්‍ය අවස්ථාවන්හි දී ඇයට උපකාර පවා වුණා. ඒ වගේම පළිගැනීම්, එකට එක කිරීම් වැනි ප්‍රාථමික ක්‍රියා වලින් මා සම්පූර්ණයෙන් ම වැළකී සිටියා. නමුත් ඈත් කළ අතේ දුර කිසිදු අවස්ථාවක දී මෑත් නොකිරීමට කල්පනාකාරි වුණා. අන්තිමේදි කිසිම දෙයකදී මට ඇඟිල්ලක් දික්කරන්න බැරි තත්ත්වයට ඇය පත්වුණා.

කොටින් ම එය මට මනුෂ්‍යත්වයේ පාඩමක් ඉගැන්වූ සිද්ධියක් වුණා. මම වැරදි කතාන්තරයක, වැරදි පසුබිම් සංගීතයක් වාදනය වුණු වැරදි පරිසරයක, වැරදි මිනිසුන් සමඟ ජීවත් වී අවසානයේ ඉන් මිදීමට තීරණය කර මට ම අයත් නිවැරදි කතාන්තරයක් ගොඩනඟාගත්තා.

කලකට පසු මා ඒ ස්ථානයෙන් වෙන් වූවා. නමුත් මා අනුගමනය කළ ක්‍රියා පිළිවෙත නිසා අදටත් මට මඟතොටේ දී හෝ මුණගැසුනහොත් ඈ හා සුහද ව කතාබස් කළ හැකියි. එසේ ම, මට පසුව හමු වූ මිතුරියන් මේ අද වන තුරු ත් මගේ දුක සැප සොයා බලනවා.
* * * * * * * *

-සාකියාට අහන්න ලැබුණු සත්‍ය සිදුවීමක් හා ඇසුරින් නිර්මාණය කරන ලදී.-




හෝව් හෝව්! යන්න එපා. . . ඉවර නැතෝ!

මේ කතාව මේ විදියට නොවුණත්, මීට සමාන සිදුවීමක් ඔබටත් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. සමහරවිට මේ දැන් එහෙම දේකට මුහුණදෙමින් ඉන්නවා වෙන්න පුළුවන්. කවමදාකවත් එහෙම දෙයක් සිද්ධ නොවුණු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔය මොන ගණයට අයිති වුණත් මෙය යම් දවසක අපි හැමෝට ම පොදුවේ මූණ දෙන්න වෙන දෙයක් .

එක ම දේ නම් එහෙම අහිතකර මිතුරුකමක් හෝ යම් සම්බන්ධකමක් (ඉංග්‍රීසි භාෂාවෙන් මේවට කියන්නේ "Toxic Relationships" කියලා) තියෙනවා නම් හොඳම දේ තමයි ඉස්සෙල්ලා ම ඒ පුද්ගලයාට වැරැද්ද තේරුම් යවන්න පුළුවන් ද කියලා බලන එක. ඒක විවිධ ආකාරයට උත්සාහ කරලා බලන්න පුළුවන්.
  1. කෙළින් ම කියන්න, මොනවට බයවෙන්න ද?
  2. බෑ බෑ වගේ නම් ලියුමක්, නැත්නම් සටහනක් ලියලා දෙන්න.
  3. ලියුම් ලියන එක පොඩිවුන් කරන වැඩක් නම් යම් යම් ඉඟි වලින් එයාට එයා කරන්නෙ වැරැද්දක් බව ඒත්තු යවන්න.
  උදා: සිත් රිදවීමක් ඇති වුණා නම් ඒ වෙලාවෙදි ම නැත්තං සුදුසු වෙලාවක් බලලා "ඔයා ඒ වෙලාවේ කියපු මෙන්න මේ වචනයට මගේ හිත රිදුණා." කියලා කියන්න. සමහරවිට ඇත්තටම එයා ඒ බව නොදන්නවා වෙන්න පුළුවන්.

"එක් දිනයකින් නිම වූයේ නැත රෝමේ" කිවුවා වගේ එකපාරට ම ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. ටික කාලයක් මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න.

ඔය කිසිම දෙයක් හරියන්නෙ නැත්තම් පිළිගන්න වෙනවා දැන් එයා මත්තෙ නැහිලා වැඩක් නෑ කියලා. එතකොට කරන්න තියෙන්නෙ අර කලින් කිවුවා වගේ අතේ දුරිනුත් ඈතට ඈතට ඈ. . .ත ට. . . ම ඈත් කරලා දාන්න.
ඊටපස්සේ වැරදි කතාන්දරයෙන් මිදිලා නිවැරදි කතාන්දරය ඔබ ම ගොඩනඟන්න, කැමති විදියට, කැමති පසුබිම් සංගීතයක් සහ කැමති චරිත සමඟ.

අනිත් කරුණ තමයි, කිසි දවසක මිතුරෙක් හෝ ප්‍රේමවන්තයෙක් හෝ, දෙමාපියන් හෝ දරුවෙකු හෝ මත තමන්ගේ ජීවිතය ගොඩනඟන්න එපා. ඒකෙන් ඔබ ඔබට ම කරගන්නේ විශාල හානියක්. ඒ විදියට වෙනත් කෙනෙකු මත තමන්ගේ ජීවිතය රඳාපවතිනවා කියලා හිතන කෙනෙක් තමන්ගේ මානසික තත්ත්වය, හැඟීම් පාලනය කරනගන්න බැරි තත්ත්වයකට පත්වෙනවා. හැමවෙලාවක ම සිහි තබාගන්න අවශ්‍ය දේ නම් තමන්ගේ කේන්තිය, දුක හෝ සතුට සම්පූර්ණයෙන් ම රඳාපවතින්නේ තමන්ගේ අතේ බව. තවත් කෙනෙකුගේ බලපෑම මත ඔබේ මානසිකත්වය හා හැසිරීම තීරණය වනවා නම් එයින් කියැවෙන්නේ ඔබට ඔබ පිළිබඳවවත් වගකීමක් නැති බව ම තමයි.

ආයේ කිසිම කතාවක් නෑ ඕං!

තවත් දෙයක්. . . උඩ තියෙන කතාවෙ ඉන්න මිතුරිය වගේ ඔබත් යම් කෙනෙකුට හිතාමතා හෝ නොහිතා ම සිත් තැවුලක් දෙන කෙනෙක් ද කියලා මතක් කරලා බලන්න. එහෙම නම් දැන්ම ම ඒ දෙය තේරුම් අරගෙන වෙනස් වෙන්නට උත්සාහ කරන්න. හිතන්න . . . ඔබට කවුරුන් හරි සිත් තැවුලක් දෙනකොට දැනෙන වේදනාව මනුෂ්‍යයෙක් හැටියට ඔබ තව කෙනෙකුට දෙන්නෙ කොහොමද?

ඒ වගේ ම තමන් ගේ සේවා ස්ථානයේ හෝ පාසලේ හෝ ඕනෑම තැනක ඉන්න සියළුදෙනා සමඟ ම සුහද ව වැඩකරන්න. "එයා මට වැඩක් නෑ, මෙයා මට වැඩක් නෑ" කියලා ඔබ අද හිතුවත්, යම් දවසක ඔය හැමකෙනෙකු ම අවශ්‍ය වෙන අවස්ථාවක් එන්න පුළුවන් බවත් හොඳින් ම මතක තියාගන්න.


ඉතින් නැවත වරක් සැළකිල්ලෙන් වටපිට බලන්න. ඔබ ජීවත් වෙන්නෙ නිවැරදි කතාන්තරයක ද?



ප.ලි. : බස්සි අක්කගේ මෙන්න මේ පෝටුව දැකලා තමයි සාකියාට මෙහෙම එකක් ලියන්න හිතුනේ.

Thursday, August 13, 2015

දේදුන්න





පිළිකන්නේ තාප්ප ගැටියට හේත්තු වී මම අහස දෙස බලා සිටිමි. සැඳෑ හිරු මනරම් රත්‍රන් පැහැයක් මුළු අහස් තලය පුරා තවරමින් සිටියි. ඒ පැහැය පසුබිම් කරගනිමින් සැරිසරන සරුංගල් රාශිය දෙස මම බලාසිටිමි. කොළ, කහ, රෝස, නිල් පැහැ සරුංගල් විටෙක කරනම් ගසමින්, විටෙක අසලින් පාවී එන වළාකුලක ගෑවී නොගෑවී, විටෙක හමා එන මඳ පවනත් සමඟ තාලයකට නැලැවෙමින් අහස සිසාරා විවිධාකාර වූ රංගනයන්හි නිරත වෙයි. ඒ අතරින් දඟර ගැසෙමින් අතරින් පතර දුව පනින අඳුරු පැහැ නාගයෙකු වන් සරුංගලයක් ද මට පෙනෙයි.

ඒ සියල්ලට ඉහලින් ලයාන්විත අයුරකින් පාවෙමින් සිටින එක් සරුංගලයක් අන් සියල්ල පරදා මගේ නෙත් මෙන් ම සිත ද පැහැරගෙන ඇත.
එය සියලු පැහැයන් එක් ව සදන ලද දේදුන්නක් වැනි විචිත්‍රවත් සරුංගලයකි.
සියලු වර්ණ එකට කැටිව, බැඳී එක වර්ණයක් නිර්මාණය කලාක් මෙන් දිස් වන ඒ සරුංගලයේ එල්ලී මම කාල තරණය කළෙමි.
* * * * * * * *

"ඔය දෙන්නා ඔහොම ඉන්න, මම ගිහින් සල්ලි අරන් එනකං." සඳූ අක්කා එසේ කියා කඩය අසලින් ඈත් මෑත් වන්නට සැරසුණි.

"එපා එපා! අම්මලා කිවුවා දුර යන්න එපා කියලා. අපි මේකෙන් සරුංගලේ අරන් යමු."
යන්තම් අවුරුදු පහක් පමණ වූ මා ඈ වලක්වමින් කීවේ සියුම් බියකිනි.

"ඒව කැතයි මෝඩියේ!"
ඒ භානු අයියා ය. මුන් දෙන්නා අහිංසක මා කියූ දෙය කනකට ගන්නා පාටක් නොපෙනිණි.

කුමක් කරන්නට ද? භානු අයියා සමඟ මා කඩ පිලට වී සඳූ අක්කා එනතුරු පාරේ එහා මෙහා යන වාහන ගණන් කළෙමි.

"එකා. . .යි දෙකා. . .යි තුනා. . .යි හතර- අන්න සඳූ අක්ක එනෝ!"
මම ගණන් කිරීම පසෙක තබා පාරට පනින්න තැනුවෙමි.

"මෝඩියෙ!"
භානු අයියා මට ටොක්කක් ඇන සඳූ අක්කා පාර පනින තුරු මගේ කනෙන් අල්ලාගෙන සිටියේය.

"රුපියල් විසිදෙකක් ගත්තා. ඇතිවෙයි නේ?"
සඳූ අක්ක ඇසුවාය.

"ඔව් ඔව්. ඇතිවෙයි..."
මම හිස වනා පිළිතුරු දුන්නෙමි. ඉන්පසු මට වඩා අඩියක් පමණ උස් ඔවුන් දෙස හිස කරකවා බැලීමි. කිසිවෙකුට මා කියූ දෙය ඇසුණු බවක් නොපෙනිණි.

"ඇතිවෙයි මං හිතන්නෙ. මදි වුණොත් ආයේ ගිහින් ගමු."
භානු අයියා කියමින් සිටියි. සඳූ අක්කා ද එයට එකඟ වෙයි.

"මාව ගනන් ගන්නෙ නෑ!!!"
මම කෑගසා කීවෙමි.

"හා හා චූටි දූ අපි ඔයාට ඉතුරු සල්ලි වලින් ටොෆි අරන් දෙන්නං."

ඉන්පසු ඔවුන් මගේ අත් දෙකෙන් අල්ලා මා මැදි කරගෙන මහ මිනිසුන් මෙන් බිය සැක නැතිව පාර දිගේ ඇවිද යන්නට විය.

කිලෝමීටර භාගයක් පමණ දුරින් පිහිටි කඩයකින් අප සරුංගලයක් මිල දී ගත්තෙමු. එය තොරාගත්තේ මා ය. විවිධ වර්ණ රාශියක් එකට එක් කර සැදුණු එය එහි තිබූ අන් සියලු සරුංගල පරදා මා සිත් ගත්තේය.

"දෙදුන්නක් වගෙයි."
අපි තිදෙනා ම ඒ දෙස බලා සිටියෙමු. මඟදිගට එය වර්ණනා කරමින් ද යන එන්නවුන් හට පෙනෙන සේ එහාටත් මෙහාටත් වනමින් ද ආපසු නිවසට පැමිණියෙමු.

නඩයේ ඉතිරි පස්දෙනා අප එනතුරු මඟ බලමින් ගේට්ටුව අසල රවුම් ගසමින් සිටියහ.

"හහ්. . . ඇයි මෙච්චර පරක්කු වුනේ? කොච්චර වෙලා බලන් හිටියද. . ."
අමා අක්කා අපි තිදෙනාටම හොඳ හැටි ඔරවා ඊටපසු මා අත තිබූ සරුංගලයේ හැඩ බලන්නට විය.

"ෂා ලස්සනයි!"
අමා අක්කාගේ මුහුණේ සිනහවක් පැතිරිණි.

"දේදුන්නක්! දේදුන්නක්!"
කුඩා චානි හා විරිඳු සරුංගලය අල්ලන්නට උඩපැන්නහ.

"අල්ලන්න එපා ඕක ඉරෙයි!"
චමිඳු අයියා කුඩාවුන්ට තරවටු කළේය.

එතෙක් වේලා නිශ්ශබ්දව සිටි කේෂණ අයියා "යමු දැ"යි ඇසුවේය. අපි කන්ද උඩහට් ගොස් එතැනින් නැවත පහළට බැස වෙල් යායට ගොස් දේදුණු වර්ණ සරුංගලය මුදා හැරියෙමු. එය පිනුම් ගසමින්, උඩ පනිමින් ගොස් අවසානයේ තඹ පැහැ සැඳෑ අහසේ ඉහළට ම නැඟ අවට පාවෙමින් සිටි අන් සියලු සරුංගල් පරදවා රජ වනු අප බලා සිටියෙමු. අවට සරුංගල් හරිමින් සිටි ළමුන් අපේ දේදුන්න දෙස නෙත් දල්වා බලා සිටිනු මා නෙත් කොණින් දුටුවෙමි.

"දේදුන්න පායලා."
මම සිනහ වුණෙමි.

දේදුන්නේ වල්ගයේ එල්ලී අප ඈතට පාවී ගියෙමු. වළාකුළු පසු කර කඳු වැටි වලට ඉහලින් අපි ගමන් කළෙමු. නමුත් ඇඟ හීගඩු නංවන හීතලක් සමඟ පැමිණි සැඩ කුණාටුවකට හසු වූ දේදුන්න කැඩී බිඳී දියවී ගියේය.

වල්ගයේ එල්ලී සිටි අප වීසි වී ගොස් මහපොළොවේ තැන් තැන් වල බිම පතිත වූයෙමු.

* * * * * * * *

දීර්ඝ කාලයකට පසු මා ඔවුන් ඇමතුවේ සුහද පිළිසඳරකට එක්වීමටයි.

"වැඩ වැඩ නංගි වැඩ"

"ආපෝ. . . ඒකා එනව නං මට එන්න බෑ. තරහ වෙන්න එපා."

"පුළුවන් වෙයි ද දන්නෙ නෑ."

"එන්නම්. ඒක නෙවෙයි දැන් අර අයියා හෝම් එකේ හොඳින් ඉන්නව ද? ඔළුවෙ අමාරුව හොඳයි ද?"
* * * * * * * *

රත්‍රන් පැහැ අහසට කෙමෙන් දම් ගෙඩියක පැහැය කාන්දු වෙයි. මම අවසන් වරට දේදුනු සරුංගලය දෙස බැලීමි.

නූල කැඩුණු දේදුන්න ඈතට පාවී යයි.

එහි වල්ගයේ එල්ලුණු ළමුන් රංචුවක් ඒ ත් සමඟ ම ඇදී යනු මා යාන්තමට දුටුවෙමි.

Wednesday, August 12, 2015

විවෘතයි!!!


අපේ ගෙදර ඉන්නවනේ හාදයෙක් ගොන්පීතර කියලා. ඉතින් පහුගිය දවසක ඔය හාදයා කෙඳිරි ගගා ඉඳලා බැරිම තැන ඉහින් කනින් පොරවලා ඉස්පිටිතාලේ ගිහින් නතර කළා. ඕන්න අද ගෙදර එක්කන් ආපු හැටියෙම හුස්මක් ගන්නවත් ඉඩක් නොදී පෝස්ටුවක් කොටාගෙන කොටාගෙන ගියා.

ඔන්න දැන් හරි නේ? වැරැද්ද මගේ නෙවෙයි. ගොන්පීතරේගෙ ම තමයි.

හනේ අප්පච්චියේ! බැලින්නං මාසෙකින් අකුරක්වත් ලියලා නෑ නෙව. ලේසි නෑ.

ඕක තමයි සමහරු "දෙපන්හිඳ ලිවිල්ල නැවැත්තුව ද?" අහලා පණිවුඩ එවලා තිබුණේ. එහෙම හොයලා බැලුවට පිං හොඳේ.
කිවුවට මොකද පෝස්ටුවක් දාගන්න බැරුව සාකියාටත් නිකන් පාළුයි පාළුයි වගේ.

සාකියාගෙ ගොන්පීතරයා ලෙඩ වුණ අතරෙම අනේමන්දාටත් හරියට කරදර මේ දවස් වල. අනේමන්දාගෙ තාත්තා හදිසි අනතුරකට මුහුණ දුන්නා නේ. ඉතින් පෝස්ටු දාන එක අතපහු වුණාට සමාව භාජනේකට දාන්ඩ බැරි නං බෝතලේකට, කුප්පියකට, පොල්කට්ටකට හරි කමක් නෑ දාගන්නවා හොඳයි.

කොටාගෙන කොටාගෙන ගියා කිවුවට මොකද ලියන්න පටන්ගත්ත වෙලාවට මේක දාගන්න බැරි වුණා නේ. මොනවා කරන්න ද. . .

හෙට අලුතින් ම පෝස්ටුවක් දාන පොරොන්දුව පිට සාකියා දැන් නිදිමරගාතෙ පිටවෙලා යනවා.

සුබ රැයක්!