Tuesday, August 18, 2015

කලබල මැද්දේ. . .

ඊයේ රෑ ගොඩක් උදවිය නිදි වර්ජිතව හිටියා කියලයි ආරංචිය. ඔව් ඔව් සාකියත් හිටියා තමයි. හැබැයි හතර පහු වෙලා සුළු මොහොතකට පසු බඩගාගෙන වගේ ඇඳ කරා ඇදී යනවා මතකයි.

සාකියා මුලදි ප්ලෑන් කොරගෙන හිටියේ පැටිස් හදලා ගෙදර කට්ටියත් එක්ක කන්න. ඒත් සාකියාට ලෙඩක් තියෙනවා උදේ ඉඳන් "මං අද හවසට අරක කරනවා. . . කරනවා. . . " කියලා මන්තරේ වගේ ජප කර කර ඉඳලා පස්සෙ හවසට පොරෝගෙන බුදියන නරක පුරුද්දක්.

ආහ් ඉතින් කොහෙන්ද අපි නතර කළේ?

හරි ඉතින් පැටිස් හදනවා කිය කියා ඉඳලා අන්තිමේදි ඒ වැඩේ හෙටට කල් දැම්මා. ඒත් නිකම් ම හිටියේ නෑ ඕං. තවත් වැඩක් කළා. ඒක කලින් ප්ලෑන් නොකරපු එකක් හින්දා සාර්ථක ව කොරගෙන යන්න පුළුවන් වුණා.
ඔන්න ඔහොමයි සාකියාගෙ වැඩ.

ඉතින් ඡන්දෙ බල බල මොකද කළේ?

ඉතින් සාකියා තකහනියක් පෝස්ටුවක් කොටන්නෙ ඡන්දෙ බල බල ස්ට්‍රෝබෙරි  කෑවා කියන්න හෙම නෙවෙයි.

පෙනුමට නම් ස්ට්‍රෝබෙරි ගෙඩියක් තමයි. ඒත් මේක සාකියා විසින් නිර්මාණය කරන ලද කෝල්ඩ් පෝසිලේන් (Cold Porcelain) අනුරුවක්.

ඈහ්? ඒ මොනාද ඒ? කෑමක් ද?

දැන් දෙලොවට ම නැතුවා වාගේ ඉන්න නිසා සාකියත් අවුරුද්දෙ මුල ගියා නොමිලේ උගන්වන Craft Class එහෙකට. සාකියා Craft Class කිවුවට ඒක ට ඇත්තටම කියන්නේ ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානය කියලා. එහෙදි තමයි මුලින් ම මේ ගැන ඉගෙනගත්තෙ. පස්සෙ පින්ට්‍රස්ට් (Pinterest) එකේ රවුම් ගගහා ඉන්නකොට පොලිමර් ක්ලේ (Polymer Clay) කියලා ජාතියක් දැකලා තේරුණා අපි පන්තියෙදි හැදුවෙත් මේවාමයි කියලා. ඊටත් පස්සෙ ඔන්න මේ ඊයෙ පෙරේදා අනේමන්දා Cold Porcelain කියලා ජාතියක් හොයාගෙන මටත් පෙන්නුවා. ඊට පස්සෙ වට්ටෝරුව කියෙව්වා, හිතුවා, බඩු ගත්තා, හැදුවා!


සාකියා කෝල්ඩ් පොර්සිලේන් මෝලියක් හදාගෙන ඒකෙන් අනුරූ හැදුවා. ඕක තමයි දැන් මගේ අලුත් ම විනෝදාංශය.

කැමති කෙනෙක් අත්හදා බලන්ඩ. බල කරන්නෙ නැහැ ඕං. අන්තර්ජාලයෙන් ඕනෑතරම් අදහස් ගන්න පුලුවන්.

ඔන්න බලාගන්ඩ එහෙනම් අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුව :

1. කෝන් පිටි (Corn Flour) ග්‍රෑම් 100 (මේවා ආනයනය කරපු හොඳ වර්ගයේ ඒවා ගන්නේ නැතිව සිල්ලර කඩයකින් තමන්ට අවශ්‍ය ප්‍රමාණය ලබාගත්තාම ලාබයි.)
2. කෙමිෆික්ස් හෝ වෙනත් බයින්ඩින් ගම් වර්ගයක් ග්‍රෑම් 200
3. එළවළු තෙල් හෝ පොල්තෙල් මේස හැඳි 2
4. දෙහි යුෂ මේස හැන්දක්
5. වැස්ලින් හෝ සිලිකන් අඩංගු නැති ක්‍රීම් වර්ගයක් (අවශ්‍ය නම් ඉතාම ස්වල්පයක් අත්ලේ ආලේප කරගැනීම ට පමණී.
6. Non-stick සාස්පානක්
7. ලී හැන්දක්


දැන් කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරිය හා සම්බන්ධ වෙමු.

"මේතන Brand Names පළ කෙරුවේ ඔබගේ පහසුව තකා පමණි. නැත්තං කියයි සාකියා සන්නාම ප්‍රවර්ධනයක් කරනවාය කියලා."

ඔව් අපි නැවතත් වැඩසටහන හා සම්බන්ධ වෙනවා.

වැස්ලින් හා ලී හැන්ද හැර අනෙක් සියලුම ද්‍රව්‍ය සාස්පානට දමාගන්න.

අඩු ගින්දරේ ලිප තබා ලී හැන්දෙන් මිශ්‍ර කරන්න.

තරමක ගනකම් වූ විට ලිපෙන් බා, (අවශ්‍ය නම්) අත්ලෙහි ක්‍රීම් ආලේප කරගෙන මෝලියක් වනතුරු හොඳින් අනන්න. (මේ වනවිට මිශ්‍රණය තරමක උණුසුම් වන බැවින් ප්‍රවේසමින් මෙය සිදු කරන්න.)

අත්ලෙහි නොඇලෙන පදමට ආ පසු ප්ලාස්ටික් කවරයක් තුලට හෝ සිදුරු රහිත පොලිතින් බෑගයකට දමා සුළං නොවදින සේ තදින් ගැටගසන්න.

පිංතූර සමඟ ම බලාගන්න පුළුවන් මේ ලින්කුව දිගේ ගිහින්:
Cold Porcelain Tutorial


මේ තියෙන්නේ සාකියා හදාපු පෝසිලේන් මෝලිය.


ඒ වගේම පාවිච්චියට නොගන්නා වෙලාවට කුඩා පිටි ගුලි පවා මේ විදියට ආවරණය කරන්න ඕනෑමයි. නැත්තන් නිර්මාණය කරන්න නොහැකි තරමට ඝන වෙනවා.

දැන් පිටි මෝලියෙන් කැබැල්ලක් කඩාගෙන රෝල් කරලා, තුනී කරලා, පොළවෙ ගහලා, පාගලා ඔය ඕනෑම ආකාරයකට තමන් කැමති ඕනම නිර්මාණයක් කරගන්න පුලුවන්.

මේ තියෙන්නෙ සාකියා දැනට කරපු නිර්මාණ.






ගූගල් බාප්පට කිවුවොතින් ඔයිට වඩා ගොඩක් අදහස් හොයාගන්න පුළුවන් වෙයි.

නැවත හමුවෙමු!

10 comments:

  1. යකූ සාකියත් හොද වැඩ්ඩියක් නෙව. එළ එළ. හැබැයි පොඩි එකාල ගෙනන් ඈත් කොල්ල තියාං. බුග් ගාල ගිලියි නැත්තං

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පොඩි එකෙක් ආපු වෙලාවට හංගලා තියන්ඩ ඕනි තමයි, මතක් කළ එක හොඳයි. තැනිකිවු වේවා මරා. (මරා කිවුවේ මහේෂ් රත්නායක කියන එකට හොඳේ!) කොහොමද? එළ නම නේ?

      Delete
  2. ඒකත් හැබැයි නරකම නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. නරකද නිකං ඉන්න වෙලාවෙන් වැඩක් ගත්ත එක!

      Delete
  3. බලාගෙන ගියහම ඒකෙත් ගතියක් තියනව නේද...
    මොනවයින්ද මේව පාට කරන්නෙ ?
    පිටි වලට කූඹි වගේ සත්තු එන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඕනෙ නම් පොඩි පිටි ගුලියක් කඩාගෙන ඒකට ම වර්ණ මිශ්‍ර කරන්න පුළුවන්. නැත්නම් අනුරුව නිර්මාණය කරලා අන්තිමට වර්ණ ගන්වන්න පුළුවන්. මම නම් පාවිච්චි කළේ Fabric Paint, අනෙක් තීන්ත වර්ගත් යොදාගන්න පුළුවනි මගෙ හිතේ.

      තාම නම් කූඹි ආවෙ නෑ හි හි හි . . . වාර්නිෂ් කළොත් නම් කොහොමටවත් කූඹි එන්නෙ නෑ.

      Delete
  4. මේ සුකුරුත්තන් වගෙද අනේ පැටිස්... පැටිසක් දැම්මනං කෙලවත් ගිලින්න තිබ්බ...පැටිස් කාපු කාලයක් මතක නෑ..කඩේ පැටිස් ලෙල්ල විතරයි ඇතුල හුලං

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකට තමයි කියන්නෙ පැහැදිළි ඉරිසියාව කියලා හුහ්!
      අනේ ඉතින් මාත් කාලයක් පැටිස් ලෙල්ල කාලා ඇතුලේ ඒවා සැර වැඩි නිසා වෙන එකෙකුට දුන්නා.

      වෙලාවක කෙල ගිලින්නවත් කියලා දන්නම්කො සෝටීස් පෝස්ට් එකක්.

      Delete
  5. ඕක හැමදාටම තියාගන්න පුළුවන්ද ?

    ReplyDelete
    Replies
    1. සියලු දේ අනිත්‍යයි නිසා මේක කැඩෙනකං හරි, කවුරුහරි වැරදිලා ගිලදානකම් හරි තියාගන්න පුළුවන්.
      අරුණ ව සාදරයෙන් පිළිගන්නවා දෙපන්හිඳ ට!

      Delete