Tuesday, September 1, 2015

වසවර්තියෝ



අපේ අල්ලපු ගෙදර ඉන්නෙ නාහෙට නාහන නිවුන් ළමයි තුන්දෙනෙක්. කෙල්ලො දෙන්නයි, කොල්ලයි. උදේ නැඟිට්ට වෙලේ ඉඳන් රෑට නින්දට යනකම් ම උන්ගෙ වැඩේ අඬන එක.

ඔන්න එකෙක් පටන් ගන්නවා. . . එක්කො අම්මා නාන බාල්දියෙන් සීතල වතුර එකක් ඔළුවට හැලුවා වෙන්න ඇති, නැත්තන් කකා හිටපු සීනි බෝලෙ බිම වැටුණා වෙන්න පුළුවන්. ඔය මොනයම්ම හෝ ආකාරයකින් කෝපගැන්විච්ච එකෙක් නාහෙන් අඬන්න ගන්නවා. ඕන්න එතකොට ම ඊලඟ එකා හරි එකී හරි පටන් ගන්නවා පිළිකන්න පැත්තෙ ඉඳන්. ඊට තප්පර බින්දුවයි දසම බින්දුවයි බින්දුවයි බින්දුවයි බින්දුවයි, බින්දුවයි එකකට පස්සෙ අවසානයා "කක්කා ගියෝ!" ගාලා හූ තියන්න ගන්නවා. ඉතින් හතර වටේට මාලු ලෑල්ල හරි ඉරිදා පොළ හරි වගේ, එකම ගාලගෝට්ටියයි.

ඔය ගෝරනාඩුව අහන් ඉන්න බැරි ම වුණා ම වෙලාවකට මම කනේ ඇඟිලි ගහගන්නවා. එතකොට මට දැනෙනවා ඇඟිලි දෙක කන් දෙකේ ඇතුළට ඇතුළට හිමීට හිමීට තල්ලු වෙලා යන හැටි. ඊට පස්සෙ ඇඟිල්ලක් ගිහිල්ල කන් බෙරේ වදිනවා. ඔන්න එතකොට වේදනාව දරාගන්න බැරුව මම කන් වලින් ඇඟිලි එළියට ගන්නවා. ඒත් ඉතින් එතකොට අර මාර පැටවුන්ගේ කෑගැහිල්ල ඇහෙන්න ගන්නවා. එක අතකට කන් දෙකේ වේදනාව ඒ කෑගැහිල්ලට වඩා සැපතක් කියලා හිතෙනවා.

ඔය විදියට දවස් ගානක් ගත වෙනකොට මගේ හිතේ පැළපදියම් වෙච්ච තරහ බුබුළු දම දම නටන කැඳ හැලියක් වගේ, නැත්තන් පපඩමක් බස්සපු ගමන් "පුෂ්!" ගාලා පිපිළා යන විදියට රත් වෙච්ච තෙල් තාච්චියක් වගේ වුණා. ඉතින් මම දවසක් දා පාර පල්ලෙහැ කඩේට ගිහින් සිදුරු නැති සිලි සිලි මලු තුනක්, රෝස පාට දෙකයි - නිල් පාට එකයි, සල්ලි වලට ගත්තා. සල්ලි වලට ගත්තාය කිවුවේ මෝඩකමකට එහෙම නෙවෙයි. සිලි සිලි මලු තුනකට සල්ලි ගන්න එක සාධාරණ නැහැයි කියලා මම පැය භාගයක් කඩ පිලේ හිටගෙන මුදලාලියා එක්ක වාද කළා. ඒත් අන්තිමට උවමනාව කොච්චරක් ද කියනවා නං මාරු සල්ලි නැති නිසා ඉතුරු සල්ලි වලින් කහට එකක් බොන්න කියල අතේ තිබ්බ රුපියල් දහයම මුදලාලිට දීලා මම දිව්වා ලියුම් කවරෙකුයි මුද්දරේකුයි ගන්න.

පැය භාගයක් ම වැඩකට නැතුව කඩ පිලක් උඩ නාස්ති වෙලා ගියා කිය කියා මම ඉක්මනට තැපැල් කාර්යාලෙට ගියා. තැපැල් කාර්යාලේ පැත්තක එල්ලලා තිබුණු ලාටු කෝප්පෙන් තලියක් ම අරන්, පහට හයට නවලා සිලි සිලි මලු තුන ඔබ්බවලා තිබුණු ලියුම් කවරේ ගාලා ඇලෙව්වා. ඒත් අන්තිමට හදිස්සිය වැඩිකමට මුද්දරේ අලවලා තිබ්බේ පිටපැත්ත උඩට හිටින්න. ඒ කිවුවේ මුද්දරේ පස්ස පැත්ත ලෝකෙට ප්‍රදර්ශනය වෙන්න. ඉතින් මොකද කරන්නෙ? . . . හරි! මම මුද්දරයක් අලවපු බව ඔප්පු කරන්න කලින් එක වගේ දෙගුණයක් වටින තව මුද්දරයක් මිලට අරන් ඒක ඇලෙව්වා ලියුම් කවරේ වම් කෙලවරේ.

ඊළඟ පියවර : සුදු පාට හාෆ් ෂීට් කොලේක මම රතු පෑනෙන් ලිවුවා,
"අවවාදයයි! මෙම ලියුම් කවරය තුල ඇති මලු තුන සියලු දෙනාගේ යහපත පිණිස ඔබේ නිවසේ වසන වසවර්තීන් තිදෙනා මරහඬතලන විට හිස ආවරණය වන පරිදි ගැටගසා තබන්න." කියලා. ඇත්ත, මටත් හිතුණා ඒක ටිකක් දිග වැඩී කියලා. ඇරත් කවුද දන්නෙ ඒ ගෑනි අකුරු කියවන්න දන්නවද කියලා. ඒත් කොයි එකටත් හොඳ කියන්න තියෙන දේ කෙලින් ම කියන එකයි කියලා මම හිත හදාගත්තා. කොලේ තුනට නවලා පැත්තකින් සිදුරක් හැදුවා, ලියුම් කවරෙ පැත්තකිනුත් තව සිදුරක් හැදුවේ පාරෙ පැත්තක වැටිලා තිබුණු ඉඳිකට්ටකින්. ඇඳන් හිටිය ඇඳුමෙන් නූල් කෑල්ලක් කඩාගෙන ලියුම් කවරෙයි කොල කෑල්ලයි එකට ගැටගැහුවා.

අවසානයේ මම ලියුම් කවරේ තැපැල් පෙට්ටිය ඇතුළට දැම්මා. හෙට වෙනකොට හැමදේම විසඳෙයි කියන සතුටට මම මුළු දවසම ගත කළේ පුදුම උද්‍යෝගයකින්. ගෙදර යන ගමන් මම තද කහපාට කෝලිකුට්ටු ඇවරියක් සල්ලි වලට ගත්තා. මෙච්චර කල් තරහා වෙලා හිටපු පල්ලෙහා ගෙදර සෝමා නැන්දලාගෙ ගෙදරට අළුවා පාර්සලයක් හදාගෙන අර එනගමන් ගත්ත කෙහෙල් ඇවරියත් අරන් ගියා.

ගෙදර ඇවිත් මුලු මිදුල ම අතුගෑවා. අන්තර්ජාලයෙන් බලලා පොල්ගස් වලට නැඟලා පොල් සේරම කැඩුවා. රෑට කන්න පොල් සම්බෝල එක්ක කිරිබත් හැදුවා, වත්තෙ හිටිය නකුටු පූසෙක් අල්ලන් නෑව්වා.

එදා රෑ නින්දට ගියෙත් පුදුම සතුටකින්.

ඔව් ඔව් මේ කතාව කිවුවහම ඔය වගේ ප්‍රතිචාරයක් මං මුල ඉඳලම බලාපොරොත්තු වුණා. මීට කලින් මේ කතාව අහපු අයත් මගෙ දිහාව බැලුවෙ මන්ද බුද්ධිකයෙක් දිහා මිනිස්සු අනුකම්පාවෙන් බලනවා වගේ තමයි. මන්දබුද්ධිකයෙක් දිහා බලනකොට තියෙනවා වගේ සමච්චල් හිනාවකුත් ඒ උන්දලගේ කට කොන්වල ඇඳිලා තියෙනවත් මං හොඳාකර ව ම දැක්කා. ඇයි දෙයියනේ කාට ද සතුටු නැත්තෙ? අල්ලපු ගෙදර වසවර්ති මාර පුත්‍රයෝ තුන්දෙනෙක් හිටපු අසරණයෙක්ට ම මිසක් ඔහෙලට මේවා තේරෙන්නෙ නැහැ.

එදා රෑ මම ම්හ භයානක හීනයක් දැක්කා. පල්ලෙහා ගෙදර සෝමා ඇන්ටි කහ පිරුවටයක් වගේ තිබ්බ කෝලිකුට්ටු ඇවරිය මගේ ඉස්සරහපිට දි ම පොළවේ ගහලා චප්ප කරලා දැම්මා. ඒ ගහපු වේගෙට පොළව හෙල්ලිලා වත්තෙ පොල්ගස් වල ගෙඩි සේරම මගෙ ඔළුගෙඩියට කඩාවැටෙන්න ගත්තා. හතරවටෙන් කඩාහැලෙන පොල්ගෙඩි වරුසාව මැද්දෙන් දුවන් ආපු නකුටු පූසෙක් දත් විලිස්සන් මගේ පස්සෙන් බුරාගෙන පැන්නුවා. මම පන එපෝ කියලා දුවනකොට ඊයෙ රෑ කාපු පොල් සම්බලුයි කිරිබතුයි පෑගිලා ලෙස්සලා උඩින් විසිවෙලා ගිහින් තාප්පෙන් එහා අල්ලපු ගෙදරට වැටුණා. වසවර්තියො තුන්දෙනෙක් මාව වටකරන් මරහඬ දෙන්න ගත්තා.

ඔන්න එතකොට තමයි මම උඩ විසිවෙලා ඇහැරුණේ. බය වෙච්චි පාරට මම දොර ඇරන් ගිහින් තැඹිලි ගෙඩියක් කපන් බීගෙන බීගෙන ගියා. ඊටපස්සෙ ඇවිත් වෙලාව බලනකොට හරියට ම ලියුම්කාරයා එන වෙලාව. මම පුටුවක් තියලා තාප්පෙ උඩින් අල්ලපු ගෙදරට එබුණා.

දැන් මට පේනවා ලියුම්කාරයා කන්ද උඩින් විසිල් එකක් ගහගෙන හැටට හැටේ පිඹගෙන එනවා. ඒ එන වේගෙට ඒ මනුස්සයගෙ කොන්ඩෙ තිබ්බ කෙස් ගස් දහය හුළඟේ දස අත පියාඹනවා. ඔන්න එකපාරට ම පාරෙ තිබ්බ ගැට්ටකට උඩින් රෝදෙ ගිහින් බයිසිකලේ අහසින් ඇවිත් අල්ලපු ගෙදර ඉස්සරහින් වැටිලා "කරාස්!" ගාලා බ්‍රේක් එකක් ගැහුවා.

වසවර්තීන්ගෙ අම්මා ලියුම අතට ගත්තෙ දත් එකසිය දෙකක් තිබ්බත් එක දත ගානෙ වෙන වෙනම පේන විදියට හිනාවෙවි යි. ලියුම්කාරයා කටේ තිබ්බ එකම දත විලිස්සලා ආපස්සට හිනා වුණා. "ට්‍රිං ට්‍රිං!" ගාලා බැල් එක ගහලා උන්දැ ආයෙමත් අධිවේගයෙන් බයිසිකලය ධාවනය කරගෙන පාර දිගේ නොපෙනී ගියා.

අම්මන්ඩි ලියුමට ඈඳලා තිබ්බ කොල කෑල්ල කියවන අතරේ දත් එකසිය දෙක දත් දෙක දක්වා නොපෙනී යන හැටිත්, ඊලඟට කට කජු ලෙල්ලක් වගේ අනිත් පැත්ත ගැහෙන හැටිත් මම බලාගෙන හිටියා. ඩෙන්න ඩෙනා නැටුමක් නටාගෙන ම ලියුම් කවරේ කෑලි කෑලි වලට ඉරලා ඇතුලේ තිබ්බ සිලි සිලි මලු තුන එළියට අරගත්ත උන්දාගෙ කටින් "මේක එවපු එකාට. . . !" කියලා පටන් අරන් කුණුහරුප වැස්සක් ඇදහැලෙන්න ගත්තා. ගනන් හදල බලනකොට රුපියල් විසිපහකට වඩා වටිනා සිලි සිලි මලු තුන බිම වැටිලා උන්දැගේ පයට පෑගිලා යන හැටි මං දැක්කා.

බැරිම තැන මම කෑගැහුවා.
"ඕන එකක් කරන්න මගෙ සිලි සිලි මලු තුන බේරලා!"

අම්මන්ඩි බලපු බැලිල්ලට නැඟලා හිටිය පුටුව පෙරලිලා මම බිම ඇදගෙන වැටුණා. ඒ එක්කම වගේ වසවර්තියො තුන්දෙනා සුපුරුදු විදියට ම මොරදෙන්න ගත්තා. මම එතැනම බිම දිගාවෙලා ඒ සද්දෙට මගේ කන අගුළු වැටිලා යන හැටි බලාගෙන හිටියා.

8 comments:

  1. මේ හොල්මන් කියෙවුවහම මටත් කෑගහල අඩන්න හිතෙනවා.......

    ReplyDelete
    Replies
    1. අන්න හරි. . . සේරම ඔලුවෙ අමාරු හේදිලා යන්න කියලා හොඳට අඬන්න,
      අනේ හැබැයි මතක ඇතුව සිලි සිලි මල්ලක් අරන් යන්න හොඳේ.

      Delete
  2. ලමයින්ගෙ අම්ම බලන්න ඇති කවුද ලියුම එවපු වසවර්තියා කියල

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්. ඕකට ඉතින් පුටුවෙන් වැටෙන් තරම් කුණුහරුප කියන්න ඕනැයෑ. . .

      Delete
  3. Replies
    1. කවුද බොල වසවර්තියා? මම ද?

      Delete
  4. මෙහෙමත් වසවර්තියෙක්..

    ReplyDelete
    Replies
    1. යකූ අන්තිමට වසවර්තියා වෙලා තියෙන්නෙ අර දහ දුක් විඳපු අසරණ ප්‍රාණියා නේ!

      Delete