සාකියට නං ඉස්කෝලෙ යන කාලේ වැසිකිලිය කියන්නේ විවිධ ත්‍රාසජනක අත්දැකීම් වලට තෝතැන්නක් වගෙයි. ඇතුලට යන්නෙ කොහොමද, එලියට එන්න වෙන්න මොනාකාරයටද කියලා මොන දෙයියන්ටවත් කියන්න බැහැ. ඒ තරම් අද්භූතජනකයි.
ඉතින් මෙච්චර වෙලා පඳුරු තල තලා වටේට කැරකුණේ වැසිකිලියක් වුණත් දෝංකාර දෙන තරමට හද කම්පාකරවන සුලු ක්‍රියාදාමයන් පෙළක් ඔබ හමුවේ දිගහැරීමටයි.
කතා වස්තුව අංක 01:
ඒ කාලෙ සාකියා හරි ලැජ්ජකාරි. හොඳම යාළුවො එක්ක හැර වැඩි බජනයක් නෑ කාත් එක්කවත්. ඔය නිසාම පන්තියේ සිටින ගොබ්බ රැලේ අංක එක ලෙසට ගැරහුමට ලක්වෙමින් කුඩා අසරණ ප්‍රාණියෙක් හැටියට ජීවිතේ ගැටගහන් හිටපු එක් දුෂ්කර සමයක් තමයි ගතවෙමින් තිබුණේ.
එතකොට මම තුනවසරේ. පන්තියට අල්ලපු වැටේ තමයි වැසිකිලිය පිහිටා තිබුණේ. ඉතින් ටීචර් තුමී පන්තියෙ නැති ඕනෑම මොහොතක ටොයිලට් එක අස්සට රිංගන්න අපේ ළමයි පසුබට වුණේ නැහැ.
අනේ ඉතින් සාකියා නම් ඕවට නෑ. ඇත්තටම සාකියා ඒ කාලේ පිට ටොයිලට් අස්සට යන්න වැඩි කැමැත්තක් තිබුණෙත් නෑ. මොකවුණත් ඔය කියන දවසෙ ටීචරුත් පන්තියෙ නැති වෙලේක කරුමෙට බරපතල හදිස්සියක් සහිතව අල්ලපු වැට කරා දුවන්න සාකියාටත් සිද්ධ වුණා.
පුදුමෙක මහත කියන්නෙ එදා වැසිකිලිය ඇතුලෙ මොකෙක්වත් හිටියෙ නැති එක. ඉතින් සාකියා එක කුටීරයක් (කියුබිකල් එකක්) ඇතුළට රිංගන් තප්පර දෙකක් විතර ඔළුව කරකව කරකවා සිවිලිමේ සිරි නරඹමින් සතුටින් කල් ගත කළා. ඔන්න යන්තම් කටඅඬ එක දෙක මතුවෙන්න ගත්තා පිටතින්. අපේම පන්තියෙ ළමයි වගේ. සාකියත් ඉතින් වැඩිය ගානකට මිම්මකට ගත්තෙ නැහැ; පාඩුවෙ තමුන්ගෙ වැඩේ කරගෙන ගියා.
ඉතින් මං කිවුව නේ මුලින් මම වැසිකිලියට රිංගනකොට බලු බල්ලෙක් ඇතුලෙ හිටියෙ නැහැ කියල? ඒ කියන්නෙ මම හිටපු කුටීරය හැර හිස් කුටීර මතකෙ හැටියට තව දෙකක්වත් තියෙන්න ඇති. එහෙවු එකේ අර දැන් ඇතුළට ආපු කෙල්ලො දෙතුන් දෙනා සාකියා රාජකාරිය කරමින් හිටිය කුටීරෙ දොරට ම තඩිබාන්න ගත්තෙ නැතෑ.
මං කලින් කිවුවනෙ සාකියා ඒ කාලේ හරි ලැජ්ජකාරියක් කියලා. ඉතින් ලැජ්ජාවක මහත කියන්නේ මං ඇතුලේ ඉන්නවාය කියලා ටොයිලට් කුටීරයක් තුළ සිටන් කෑගහන එකත් සාකියාට පොළව පලන් යන්න තරම් ලැජ්ජාවට කාරණයක්. මං අහන්නෙ, කොහොමද ඊට පස්සෙ ප්‍රසිද්ධ සමාජෙ ඇතුලෙදි මං ඒ ළමයින්ට මූණ දෙන්නෙ?
ඉතින් සාකියා සද්ද බද්ද නැතුව හිටියා ඒ පිරිස යාවි ය කියන අහිංසක බලාපොරොත්තුව ඇතුව. කොහෙද? මුං එතනම ඉඳන් නොනවත්වා දොර ලෑල්ලෙ බෙර ගහන්න ගත්ත නෙව.
දැන් මොකෑ කරන්නෙ? වැඩේ හමාර කළත් සාකියට දොර ඇරන් එළියට යන්න බැහැ. ඇයි කියලා අහන්නෙ? ලෝක ලැජ්ජාවට! කොහොමද දොරට ගහද්දි සද්ද නැතිව ඉඳලා කොන්ද කෙලින් තියන් එකපාරටම දොර මැද්දෑවෙන් එළියට ප්‍රාදුර්භූත වෙන්නෙ?
ඉතින් සාකියා මුං දැන් යයි දැන් යයි කියලා දොර ගාව පඹයෙක් වගේ හිටගන හිටියා. විනාඩි දෙක තුනක් දොර එක්ක කොංගො අඩවු අල්ලපු කෙල්ලො ටික මෙන්න බොලේ එකපාරටම දොර තල්ලු කරන්න ගත්තෙ නැතෑ. වෙන කරන්න දෙයක් නෑ. පැනපු ගමන් සාකියත් මෙහාපැත්තෙ ඉඳන් දොර එහාපැත්තට තල්ලු කරන්න ගත්තා. දැන් යමර යුද්ධයයි! උන් එහාපැත්තෙ ඉඳන් දොර තල්ලු කොරනවා, අසරණ මං මෙහාපැත්තෙ ඉඳන් දොර තල්ලු කරනවා. තුනට එකේ හරිම අසාධාරණ අනුපාතයක් වුණත් සාකියා වැඩේ අතෑරියේ නෑ. මෙච්චරවෙලා ආරක්ෂා කොරගත්තු නම්බුව දිගටම පවත්වාගන්නවාය කියන දැඩි අධිෂ්ඨානයෙන් යුතුව දත කාගෙන මුලු වෙර යොදලා දොර තද කරගෙන හිටියා.
මෙයාකාරයෙන් විනාඩි පහක පමණ අති දීර්ඝ වූත්, දුෂ්කර වූත් කාල සීමාවකට පසු "අන්න ටීචර් එනවා!" යන වදන් වැලත් සමඟ ම බජාර් එක දොරත් මාවත් වැසිකිලියේ තනිකරලා දාලා අන්තරස්ධාන් වුණා. ආත්මාරක්ෂාවට තවත් විනාඩියක් පමණ කුටීරයේ සිරි නරඹමින් කල් ගත කළ සාකියා යන්තම් දොර ඇරලා වටපිට බලලා හීන් සැරේ ආඳා වගේ වැසිකිලියෙන් ලිස්සලා ගියා.
ප.ලි. : හිතුවට වඩා පෝස්ටුව දිග වැඩි වුණ නිසා ඉතිරි කතා වස්තූන් ඉදිරි දින වල දී බලාපොරොත්තු වන්න.
අපිත් බැලුවා.. පළවෙනි කතා වස්තුව කිව්වා ම දෙක තුනත් අැති කියලා... පස්ට...
ReplyDeleteතැනිකියු වේවා කුරුටු! ඒකනෙ ඉතින් දිග වැඩි වුණා නේ.
Deleteහපොයි ලැජ්ජාව... කන්නෙත් ලැජ්ජාවෙන් වෙන්ටැති නේද ඒ කාලේ.. හා හා ඉතිර ටිකත් ලිව්ව නං
ReplyDeleteඑහෙම තමයි. අපි ඉතින් ලැජ්ජා බයට හැදිච්ච ළමයි නොවැ.
Delete