Thursday, September 10, 2015

වැසිකිලියේ දෝංකාරය - 02



කතා වස්තුව අංක 02:

කලින් පෝස්ටුවෙ කියපු විදියට වැසිකිලිය කියන්නෙ හරිම ත්‍රාසජනක තැනක්. ඕන ම වෙලාවක ඕන ම දෙයක් වෙන්න පුළුවන්.

මතක හැටියට ඒ 2009 අවුරුද්ද. ඒ දවස් වල සාකියට පොඩි පුරුද්දක් තිබුණා අවුරුද්දෙන් අවුරුද්ද පන්ති මාරු වෙනකොට ඒ ඒ ශ්‍රේණියට නියමිත වැසිකිලියේ අනිත් ඒවට සාපේක්ෂව අබලන් බවින් අඩු, දොරේ හිල් නැති, ලොක් ගලවලා වීසි කරලා නැති ප්‍රසන්න කියුබිකල් එකක් තෝරා වෙන් කරගන්න. ඉතින් හදිසි අවස්ථාවක දී හැරුණු විට මුළු අවුරුද්ද පුරාම පාවිච්චියට ගන්නෙ ඒ කියුබිකල් එක විතරමයි.

ඕකට හේතුවක් තිබුණා. දවසක් දා සාකියා වැසිකිලියේ තදබද වෙලාවක කියුබිකල් එකක් හිස් වෙනකම් වැසිකිලිය තුළ ඔහේ අරමුණක් නැතිව උඩ යට බලමින් ඉන්නකොට, නොදැනුවත්වම ඉස්සරහින් තිබුණු කියුබිකල් එකේ දොරේ තිබුණු පැල්මක් තුළින් ඇතුලේ හිටිය දරුවගෙ ඇහැ ගැටුණා. හිතාගන්න පුළුවනි නේ? සාකියා ආපු කාරණේ පැත්තක තියලා නොහිටින්නම එතනින් වාෂ්ප වෙලා ගියා.

ඔය වගේ අකරතැබ්බ වලට අනාගතයේ මට මුහුණ දෙන්න සිද්ධ නොවෙන්න තමයි ඊට පස්සෙ අර වගේ පියවරක් අනුගමනය කළේ.

කොහොමහරි ඉතින් ඒ 2009 අවුරුද්ද. සාකියා විශාල හදිසියකින් වැසිකිලිය කරා ඇදී ගියා. ඇතුලේ මට වඩා වැඩිමහල් අක්කලා කිහිපයක් හැරුණු විට වෙන කෙනෙක් පේන්න හිටියෙ නැහැ. ඒත් මගේ සුපුරුදු කියුබිකල් එකේ කිසියම් භූතයෙක් අරක් අරගෙන තිබුණා.

අවශ්‍යතාවය කෙතරම් බරපතල එකක් ද කියනවා නම් යම් තරමක් පාවිච්චියට සුදුසු තත්වයේ තිබුණ තවත් කියුබිකල් එකකට රිංගාගත්තා.
ඊට පස්සෙ වැඩේ අවසන් කරලා කියුබිකල් එකෙන් එළියට ඇවිත් යන්න හදනකොටම මෙන්න සාකියාට ඇහෙනවා කොහෙන් හරි දේව ලෝකයකින් වගේ තමන්ගෙ නම කියලා අඬගහනවා. වටපිටාවෙ කවුරුවත් නෑ, වැසිකිලිය හිස්.

සාකියා තුෂ්නිම්භූත වෙලා හතර අත කැරකි කැරකි බැලුවා. ඔන්න ආයෙමත්,

"...... (මගේ නම )!"   කෙඳිරිලි හඬක් ඇහෙනවා.
"කවුද?"   ඒ හොල්මන් ද දෙල්කොළ වුණු මම.
"මේ මම!"   ආයෙමත් හීන් කෙඳිරිල්ලක්.
"කවුද මම?"   ඒ පාර ෆුල් හොල්මන් වෙච්චි මම.
"මම ....(අදාළ පුද්ගලයා), අනේ මාව එළියට ගන්නකො!"

හත්දෙයියනේ මේ අපේ පන්තියෙ ඉන්න මහත දෙහෙත ළමය නේද? දැන් මොකැයි කොරන්නෙ. . .

"මොන එකේද ඉන්නෙ?"   මං ආයෙමත් ඇහුවා.
"ඔයාගෙ වම් අත පැත්තෙ එකේ."

මොනවා? එහෙනම් මගේ කියුබිකල් එක බද්දට අරන් හිටියෙ මෙයාද?
කොරන්ට දෙයක් නෑ. ක්ෂණික ව ක්‍රියාත්මක වුණු සාකියා හැරුණු ගමන් වම් පැත්තෙ තිබුණු දොර අල්ලලා තල්ලු කරා. දොර අංශක දෙකක් විතර ඇතුළට තල්ලු වුණා.

ඔය විදියට දොර කඩන එක හැර දන්නා සියලු සටන් කලාවන් යොදාගෙන ඒ අසරණයාව එතනින් ගලවා ගැනීමේ මෙහෙයුම සාර්ථකව නිමා කිරීමට සාකියාට හැකිවුණා.

බැලින්නම් මේකයි වෙලා තියෙන්නෙ. මේ ළමයා තමන්ගෙ කටයුත්ත ඉවර වෙලා එළියට එන්න හදනකොට මොන විදියකින් හරි මේ දොර ඇරෙන්නෙ නැතුව තද වෙලා තියෙනවා. කටහඬවල් කීපයක් ඇහුණු නිසා මේ ළමයා උදවු ඉල්ලලා කතා කරලා. ඒත් කයිවාරුවේ සද්දෙට මේ දරුවගෙ කෙඳිරිල්ල කාටවත්ම ඇහිලා නෑ. සාකියා එළියට එනකොට මෙයා දොර හිලෙන් බලා ඉඳලා අඳුරගෙන තමයි කතා කොරලා තියෙන්නෙ.

හප්පේ. . . ඇති ඔයින් ගියා. නැත්තන් ටොයිලට් වතුර බිබී පස්සෙන් දා එළි වෙනකම් රැය පහන් කරන්න වෙන්නෙ දෙකයි දෙකේ ගන්ධස්කාර් වැසිකිලි කුටීරයක් ඇතුලෙ තමයි.

සාකියාගෙ අතිශය විමසිලිවන්තභාවය නිසා තවත් මනුෂ්‍ය ප්‍රාණියෙකුගෙ දිවි ගැලවුණේ ඔන්න ඔහොමයි.


- මතු සම්බන්ධයි -

6 comments:

  1. හොද වෙලාවට සද්දේ අැහුනේ... නැත්තං අනාථයි... ඔය විදිහේම කතාවක් ගැනත් මතකයක් තියෙනවා.... පාසලේ අතරමං වුණ දරුවෙකුගේ කතාවක්.....

    ReplyDelete
    Replies
    1. තව ඩිංගෙන් මේ ළමයට වෙන්නෙත් ඒ ටිකම තමයි.

      Delete
  2. හැක් හැක් මරු කතාව. තව ටිකෙන් අර ලමයා හුස්ම හිර වෙලා මැරෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා, ගඳටම හුස්ම හිරවෙලා! කසුන් ව සාදරයෙන් පිළිගන්නවා දෙපන්හිඳට!

      Delete
  3. හෙහ්, හොද වෙලාවට එහෙම උනේ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. . . ඒකනෙ කියන්නෙ

      Delete