Wednesday, September 2, 2015

ඉතුරු සල්ලි!



ඔන්න දවසක් දා අනේමන්දයි උන්දැගේ අතිජාත මිත්‍ර රත්නයක් වෙච්චි සපුවයි ක්ලාස් ඉවර වෙලා බස් එකක් එනකන් ඉන්නවලු හෝල්ට් එකේ.ඒ කාලේ ඉගනීමට තිබූ උනන්දුවේ මහිමය කොච්චරක් ද කියනවානම් මුන් දෙන්නා පන්තිය ඉවර වුණු හැටියේ ආලෝකයේ වේගයෙන් බස් හෝල්ට් එකට දුවන් එන්නේ එන පළවෙනි බස් එකේ ම නැගල ගෙදර යන්න.


හෝල්ට් එකට ආපු වෙලේ ඉඳන් ම මේ සපුමලී කෙලි පොඩිත්ත මගෙනුයි වටේ ඉන්න හැමෝගෙන්මයි අහන්නේ රුපියල් පනහක් මාරු කරගන්න තියෙනව ද කියලා.ඒත් වෙලාවට කවුරුවත් ගාව මාරු සල්ලි තිබුණෙ නෑ.


ඉතින් වෙනද වගේ ම එදත් බස් කටුවක් ගාට ගාට ආවා.අපි දෙන්නත් නැග්ගා.සපුවා බස් එකේ ඉස්සරහින් නැගලා සීට් එකක් බදාගෙන හිටියා.අසරණ මට ඒ මොළේ පහළ නොවුණු නිසා මම නිකන් දියවැලකට අහු වුණ ජෙලිෆිශ් කෙනෙක් වගේ තැලිලා පොඩිවෙලා ඇඹරිලා බස් රථයේ පශ්චාත් භාගය කරා චූෂණය වෙලා ගියා.කොහොම කොහොම හරි ටික දුරක් යද්දී සපුවා උඩ පැන පැන හස්ත මුද්‍රාව සහ වෙනත් හඳුනා නොගත් සංඥා භාෂා මාධ්‍ය භාවිත කරලා මට කිව්වේ උන්දෑට කොන්දොස්තර බාප්පා ඉතුරු සල්ලි නොදුන් බවත් තමුන් බහින හෝල්ට් එක කරා බසය ශීඝ්‍රගාමී ව ලඟා වන නිසා මට ඉතුරු සල්ලි ඉල්ලා ගන්නා ලෙසත් ය.


සපුවා බස් එකේ ඉස්සරහින් හිටි අතර කොන්දොස්තර හිටියේ මං හිටි දිසාවෙයි.ඉතින් මමත් දැන් ඉතිරි සල්ලි ඉල්ලන්න ඕන විදිය හිතින් කියවමින් හිටියේ නැතිනම් නැගපු හෝල්ට් එකටම ආපහු ටිකට් ඉල්ලන ජාතියේ පැරනෝමල් සිදුවීම් අනේමන්දාට අලුත් දෙයක් නොවෙච්චි හන්දයි.


ඉතින් ඔන්න කොන්දොස්තර ඇවිත් අනේමන්දගෙනුත් ටිකට් ඉල්ලුවාලු.

"බ්ලාහ් බ්ලා වත්තට එකක් ගත්තා ඉතුරු සල්ලි දුන්නේ නෑ..බ්ලා පිටියට.."

"කීය ද දුන්නේ??"

මේ යකා මට කතාව කියාගෙන යන්න නොදී කඩන් පැනපි.

"පනහ"

"ආ මෙන්න ඉතුරු සල්ලි"

අගින් වක්‍ර වුණ රුපියල් දහයෙ විස්සෙ කොල සහ කාසි කිහිපයක් මට දික් කරපු කොන්දොස්තර වහාම ඊළඟ මගියා වෙත යොමු වුණා.

මං තත්පරයක් දෙකක් ඇස්පිය ගහමින් බලන් හිටියා මේ මොකක් ද උනේ කියලා.

දැන් සපුවාගේ ඉතුරු සල්ලි ඉල්ලගත්තට මට ප්‍රවේශ පත්‍රයක් ගන්න බැරි වුණ බව කාට කාටත් තේරෙනවා ඇති නොවෑ.

ඉන්පස්සේ මං කල්පනා කළේ කොහොමද දැන් මම ටිකට් ඉල්ලගන්නේ කියලා.

ආයෙමත් සල්ලි දීලා ඉල්ලන්න ගියොත් කලින් ඉතුරු සල්ලි ඉල්ලපු එකී ආයෙ ටිකට් ගන්නේ මොන ඇන්නෑවකටද කියල අහල පහල සීට් කෑලිවල,බස් එකේ බාර්වල වවුල් පෝතකයො වගේ එල්ලිලා ඉන්න කොල්ලො බල්ලො කෙල්ලො සහ කොන්දොස්තර උන්නැහේ හිතන බව අනේමන්දාට සක්සුදක් වගේ පැහැදිලියි.

ඇත්තම කතන්දරේ ප්‍රවේශපත්තර කියා ජාතියක් දෙන්නෙත් ඉඳහිට එන සිලෝන් ටකරන් බස් එකක විතරක් වුණත් දැන් "බ්ලා බ්ලාහ් වත්තට" යනව කියල ඉතිරි සල්ලි ගනිපු මම ඒ පළාත පහු කරගෙන ගිහින් "බ්ලා පිටියෙන්" බහිනවා කොන්දොස්තර උන්නැහේට අවබෝධ වුණොත් මොන ජංජාලයක් වෙයි ද කියලා හිතෙනකොට මගේ හෘදය වස්තුව නිකන් දෙමෝලෙන් පිටි කොටනකොට වගේ උඩ පනින්න ගත්තා.වැඩියෙන්ම භයංකාර වුණේ දවසක් දා අනේමන්දාගේ යාලුවෙකුට වෙච්ච සිද්දියක් මතක් වෙලා.ඒ අසරණ දැරිවිට බස් එකේ ටිකට් ගන්න අමතක වෙලා බැහැලා යන්න හදනකොටම කොන්දොස්තර මොර දුන්නෙ නැතෑ ටිකට් ගත්තෙ නෑ නේද කියලා.කොහොම කොහොම හරි ටිකට් එකට සල්ලි දුන්නට බස් එකේ ෆුට්බෝඩ් එකේ ඉඳපු ඇට්ටර කොලු රැළක් හූ කියපු එක නවත්වන්න කාටවත් බැරි වුණා.

ඔය විදියට එන්න එන්නම බියජනක බස්‍ රථ අත්දැකීම් අනේමන්දාගේ ඔලුවට පොම්ප වෙන්න ගත්තේ හරියට කලුවර රෑක තනියම ඉන්නකොට මෙතෙක් ඇසූ පිරූ සියලු හොල්මන් කතා සහ හොර(ර්) මූවීස් හිතට එනවා වගේ.

කොහොම නමුත් එදා අතුරු ආන්තරාවක් නොවී බස් එකෙන් බැහැලා ගෙදර යන්න අනේමන්දාට වාසනාව තිබුණා.

පහුවදා උදේ මං ඉස්කෝලෙ ගියේ සපුවාගේ ඉතුරු සල්ලි නිසා මට වුණ ඇබැද්දිය කට්ටියටම කියන්න හිතාගෙන. මම පන්තියට එද්දි ම සපුවා නිකන් අමුතු ම බැල්මක් දාගෙන,

 "ඔයා ඊයෙ කොන්දගෙන් මගේ ඉතුරු සල්ලි ඉල්ලගත්ත ද?"
කියල ඇහුවේ ලාවට නෝන්ඩි හිනාවක් කට කොනකින් මතුවෙද්දී.

"ඔව් බං.මාර වැඩේනෙ උනේ.මට ටිකට් ගන්න උනෙත් නෑ උඹේ ඉතුරු සල්ලි ඉල්ලගන්න ගිහින්."
එහෙම කිය කිය මම බෑග් එක ඇද්දේ සල්ලි ටික දෙන්න හිතාගෙන.

 එතකොට ම එච්චර වෙලා තදකරගෙන හිටපු හිනාව එළියට පැන්න සපුවා කියපි,

"අනේ බං,ඌ මං බැස්සට පස්සේ බස් එකෙන් එලියට බැහැලා දුවගෙන ඇවිත් මට ඉතුරු සල්ලි දුන්න නේ!!!"