Saturday, June 27, 2015

කවියක් ය ජීවිතය . . .




කවියක් ය ජීවිතය . . .

ලා හිරු එළිය අතරින්
වන මල් සිනාසෙන උදෑසන
කිරි කළයක සුද ගත් නැවුම් සිතිවිල්ලෙන්
මුතු කැට අකුරින් ලියැවුණ

ගිනිගහන මද්දහනේ
තුරු සෙවනක
පාළු බංකුවකට වී
අකුරු කළ

මැදියම් රැයේ අදිසියෙන් ඇහැ ඇර
මේස ලාම්පුව අසල සිට
නිදිමතින් කැටයම් වුණ

සිනාසෙන විට සොම්නසින්
කලබලෙන් ඇදවුණ

සීරුවට ගලන කඳුළු වැල් අතරින්
බොඳ වුණු පිටුවක මතුවුණ

ඇතැමුන්ට වැටහෙන
ඇතැමුන්ට නොවැටහෙන
තවෙකෙකුට නීරස
තවත් කෙනෙකුට රස

වැඩි කහට
වැඩි සීනි
කිරි තේ කෝප්පයක්.

Tuesday, June 23, 2015

මිහි මවගෙන් ලියමනක්


මේ කවියත් සාකියා ඉස්කෝලේ කාලෙදි පාසල් පුවත්පතට ලියාපු එකකි. කියවලා ම බලන්නකෝ.


ඉපැදුණු දින පටන් ඔබ මා කැදැල්ලේ
ඇති දැඩි කළෙමි රැකගෙන මගේ තුරුල්ලේ
කාලය එළඹ හැරි විට ඔබ නිදැල්ලේ
අමතක විණි ද? යෙදුණි ද මා නැසිල්ලේ

පුතුණේ නුඹට දුන්නෙමි මම ජීවිතය
නිවන ට පවස නිරතුරු පෙවු මීවිත ය
පවන ට මුසු කළෙමි ජීවන ගී රසය
අතහැර යනු ද එය? මා සිත පීඩිතය

නිලඹර සැදිමි වැහි දිය පිරි වළාවන්
මිහිපිට මැවිමි ඝන තුරුලිය පලා වණ්
උරුමය ලෙසට දෙන ලෙද නිම කළා මම්
අතහැර දසත ගිය වෙ ද ඔබ පළා දැන්

දාහය නිවනු සිහිලැල් පවනකි එව්වේ
ඒ කළ ගුණට තුති ගීයක් නැත පැතුවේ
ජීවය රකින්නය ඔබ සැම මා සිතුවේ
ඒ වුව ඔබම ආපසු විත් මා නැසුවේ

ආදර කරමි ඔබ හට දිවි තිබෙන තුරා
සාදර සිතින් සිටියෙමි මම දිවිය පුරා
මා දිවි රකින තුරුලිය ඔබ ඈත් කරා
නාරිමි එහෙත් සිටිනෙමි නුඹෙ දිවිය අරා

දෑතම පණ නැතත් මට ඔබ රැකගන්ට
වාරුව ගනිමි කල එනතුරු වැටහෙන්ට
කාලය එන්ට පෙර දෑස ම පියවෙන්ට
ජීවය රැකගන්ට, මා හට සැනසෙන්ට

Monday, June 22, 2015

පූසෙකුගේ මළගම


මං යම්තරමක් දුරට බළල් බස හදාරා ඇත. අපේ නිවසේ මා කුඩා කාලයේදී "සොමි නෝනා" නම් මහලු බැළලියක් හැර එකල මා හා කතාබස් කිරීමට කිසිවෙකුත් නොවූයෙන් අපහසුවෙන් වුව එය ඉගෙනීමට මට සිදුවිය.

පසු කලෙකදී මා එම ප්‍රදේශයේ බල්ලන් හා බළලුන් අතර භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කිරීමෙන් ලබාගත් ප්‍රශංසා සහ කීර්ති නාමය සම්පූර්ණයෙන් හිමිවන්නේ සොමි නෝනා හට ය.

මා මේ කියන්නට යන කතාව තරුණ කල මා වසන ගම්මානයේ බළලුන් මෙන් ම, අප වැනි බල්ලන් අතර ද නම් දරා සිටි බැළලියක් පිළිබඳව ය.

ඇගේ භාරකාර පවුලේ එකම දරුවා වන දිනිත් මා සමඟ අතිශයින් මිත්‍රශීලී බැවින් මේ සිදුවීම වූ දිනයේ මා අසලට වී කඳුළු සලමින් කී කතාව හොඳින් අසා සිටීමෙන් පසු මට එම බැළලිය පිළිබඳ කතාන්තරයක් කවදා හෝ ලේඛනගත කොට මිනිසුන් අතට පත්කිරීමට සිත්විය.

බැළලිය පිළිබඳ මා දන්න කරුණු ද,ලෝකයාගෙන් දැනගන්නට යෙදුණු තොරතුරු ද, දිනිත් මා අසළට වී කී කතාව ද එකට එක් කොට එක් කතාවක් නිර්මාණය කිරීම ට මට ඉතා දීර්ඝ කලක් ගත විය.

මේ මා විසින් ලියන ලද එම බැළලියගේ කතාවයි.

* * * * * * * * * * * * * * * *

දිනිත්ලාගේ ගෙදර කුඩා කල පටන් ඇති දැඩි කරන පූස් තඩියෙක් විය. නිවැරදිව කිවහොත් ඌ පූසියෙකි. නෑ, ඈ පූසියෙකි.

සුදු, කළු, දුඹුරු වයිරම් පමණක් නොව, ඇගේ ලොම් කබායේ කොළ පැහැ පුල්ලිද තැනින් තැන දක්නට ලැබිණි. අසල්වාසීන් අතර මෙන්ම අහල ගම් හතක බළලුන් ද, බල්ලන් ද අතර "බුහුටි" ජනප්‍රිය චරිතයක් බවට පත්වන්නට එය ද හේතුවක් වන්නට ඇතැයි සිතමි.

මේ කියන්නට යන දින උදෑසන ද සැමදා ම කරනවාක් මෙන් ලා හිරු එළිය පොළොව සිප ගැනීමට ප්‍රථම අවදි වූ බුහුටි වත්ත පල්ලට ගොස් තමා විසින් ම වෙන් කරගන්නා ලද ස්ථානයේ වලක් සාරා, තම සිරුරේ බර නිදහස් කරගත්තී, නැවත ඒ මත පස් දමා ආවරණය කිරීමට තරම් ප්‍රවේසම් වූවාය. මැදිවියේ පසුවන, දැන ට තිදරු මවක් වූ ඇය සෑමවිටම තම දරුවන්ට ආදර්ශමත් ලෙස හැසිරීම තමාගේ විශාලතම රාජකාරිය ලෙස සලකා කටයුතු කළ බව පළාතේ ම ප්‍රසිද්ධ කරුණකි. මේ හෙයින් අවට ගම්මාන වල වසන  බළල් පවුල් වලින් ඇයට මාළු බත්, කුකුළු මස්, සාලයින් වැනි වටනා යමකට හුවමාරු ලෙස කෙළි වියේ පසුවන පූස් පැටවුන් පුහුණු කිරීමට ආරාධනා එමට ලැබිණි.

ඉදින් මතක ඇති කාලයක පටන් බුහුටි ට තම කුඩා දුවා දරුවන් හට ආහාර ඉල්ලා තම භාරකාරයින් ඉදිරියේ හඬා වැටීමට කිසිදු අවශ්‍යතාවක් නොවීය.

ඉතින් අපි නැවතත් කතාව දෙසට හැරෙමු . . .

බුහුටි ඉන්පසු පැමිණියේ සිය ආදරණීය දරුවන් වෙතට යි. ටික්කා, වලිග කොටා සහ උදුම්බරා කුස්සි දොර අසල බුමුතුරුනේ සැප පහසුවට ගුලි වී හිඳිනු ඈ බලා සිටියේ දෑසින් සෙනෙහස උතුරද්දීය.

මිලි තත්පරයකට පසු ඇය පුළුන් බෝලයට තම ඉදිරි පා වලින් කුඩා පහරක් දුන්නීය.
එවිට එකිනෙකා මත වැටී නිදා සිටි පැටවුන් අවදි ව දීර්ඝ ඈනුම් හරිමින් අත් පා දසත විහිදා හිරි අරින්නට වන්හ. ඉන්පසු ඇහිපිල්ලම් ගසමින් එකිනෙකා දෙසත්, බුහුටි දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට වූහ.

"යසයි හැදෙන ළමයි. නැගිටපල්ලා විගහට."
තරවටු ස්වරයෙන් කී ඇය තම වැඩ කටයුතු ආරම්භ කළාය.

මුලින්ම ඈ අල්ලාගත්තේ බාලයා වන වල්ග කොටා ව ය. ඈ පැටවාගේ කුඩා කන් පෙති වල ඇතුල් පැති හොඳින් පරීක්ෂා කර ඉන්පසු උගේ බෙල්ලේ සිට උඩු අතට පිරිසුදු කිරීම ආරම්භ කළාය. අනෙක් පැටවුන් ට හිමි රාජකාරිය වූයේ මේ ක්‍රියාකාරකම දෙස බලා සිට තමන්ට හැකි අයුරින් ඇඟපත පිරිසුදු කරගැනීමයි. එය අම්මාට පහසුවක් වනු ඇත.
වල්ග කොටාගෙන් පසු පිළිවෙලින් උදුම්බරා ද, ටික්කා ද බුහුටි විසින් නාවන ලදී. නිදිමතේ සිටින ඔවුහු වත්ත පහළට දක්කාගෙන ගොස් මළපහ කරවීම ඉන්පසුව සිදුකෙරිණි.

තවමත් මිහිදුම පහව ගොස් නැත. පරිසරය හිරිගඩු නංවන සීතලකින් වෙලී ඇත. බුහුටි මීළඟ රාජකාරිය ආරම්භ කළාය.

පෙර දින අල්වා සඟවන ලද මීකුනු සතරක් ඇය තම කටින් ගෙනැවිත් ඉන් තුනක් තම සාදර දරු තිදෙන ඉදිරියේ තබා ඉතිරි පංගුවෙන් තම උල් දත් වලින් මීයාගේ සම ඉරා, ඇටසැකිල්ල පමණක් ඉතිරි වන සේ පිළිවෙලට අනුභව කරන ආකාරය ඉගැන්වීමේ පාඩම් මාලාවේ අවසාන කොටස පැටවුන ට උගන්වා නිම කරන ලදී.

මේ සියල්ලත් අතරේ පෙර දිනයේ ආරම්භ කරන ලදුව, නිම කළ යුතු රාජකාරි දහසක් එකින් එක තම සිත තුළ ආවර්ජනය කිරීම ද සිදුකළ යුතු විය.

අඩු ආදායම් ලාභී බඩදරු අම්මාවරුන් වාසය කරනා කුණු ඇල අසල මුඩුක්කු පරිශ්‍රය ට ගොස් තම ආහාර සලාකයෙන් කොටසක් ලබා දීම මේ අතරින් ප්‍රධාන රාජකාරිය විය. එමෙන් ම අලුත උපන් බිළිඳුන් නිවෙස්නා පවුල් වලට අවශ්‍ය උපදෙස් නොමිලේ සැපයීම ද ඇය තුරුණු වියේ සිට නොකඩවා ඉටු කරන ලද්දකි.

"හපොයි! අද ලන්සි බැළලිලෑ දිහාවෙත් එන්න කීවා නෙව. තව ඩිංගෙන් අමතක වෙනවා."

ලන්සි බැළිලි නම් පූසියට මහලු පියෙක් සිටියි. කළබලකාරියක් වන ඇයට තවමත් දෑස් නොහැරුණු පැටවුන් පස් දෙනෙකු සමඟ පියාගේ වැඩ කටයුතු ඉටු කිරීමට සහය වන්නී ද බුහුටි බව මෙතැනදී කිවමනා ය.

යන්තම් නිල් පැහැයකින් ආකාසය වර්ණවත් වන විට බුහුටිලාගේ භාරකාර නිවසේ, එනම් දිනිත්ගේ නිවසේ විදුලි පහන් එක දෙක දැල්වෙන්නට විය.
එදින දිනිත් ට සුවිශේෂී දිනයකි. දිනිත් සාමාන්‍ය පෙළ විභාගය ලියන්නට නියමිතව තිබුණේ මෙදිනට ය.

ඉදින් නිවසේ කළබගෑනියක මහත නොකිවමනාය.

බුහුටි බළල් ලොව රැජිනක් වූවාට මිනිස් ලොව විභාග පිළිබඳ ව දන්නා දෙයක් නැත. එබැවින් ඌට එය ද සමාජ සේවයේ නියැළෙන තවත් එක් දිනයක් ම පමණක් විය. තම දරුවන් ජීවත් කැරවීම උදෙසා ගම් නියම්ගම් හි සැරිසරන්නට වන තවත් දිනයක් ම විය.

දිනිත්ගේ පියා ඉදිරිපස දොර හැරගෙන පිටතට එන විට බුහුටි සිටියේ සුපුරුදු ගමනට පිටවීම ට ලක ලැහැස්ති වෙමිනි. වල්ග කොටා, උදුම්බරා හා ටික්කා ඇයට සුභ ගමන් පතමින් සිටියහ. ඈ සිටියේ ඔවුනගේ හිස් සිඹිමිනි.

"මෙහෙ වර පූසි . . ."
දිනිත්ගේ පියා තාලයට ගයමින් බුහුටි වෙතට ආවේ ය.

"අපේ දුව අද විභාගේ ලියනවා බං. ඔන්න ඔහේ උඹ අදට විතරක් එයා පිටත් වෙනකොට පේන්න හිටපං."

"බළලෙක් පේන්න තියන්නෙ මොන එහෙකට ද විභාගෙට පිටවෙන දරුවෙකුට?"
මේ කතාව පැවසූ විට කෙනෙක් මගෙන් විමසීය.
මේ ගම්මානයේ මිනිසුන් අතර එවකට ප්‍රචලිත මිත්‍යා විශ්වාසයක් විය. ගමනක ට පිටත් වන විට බළලෙකු පේන්නට සිටීම ඉතා ශුභ ලකුණක් සේ ඔවුහු සැලකූහ.

දිනිත් ගෙයින් පිටවීම ට නියමිත ඉදිරි දොර කෙලින් නිවසේ තාප්පය පෙනෙන්නට තිබේ. ඉතින් දිනිත්ගේ පියා බුහුටිව වඩාගෙන ගොස් තාප්ප ගැට්ට මතින් තැබුවේ වඩා හොඳින් දැක ගැනීම සඳහා ය.

තාප්ප ගැට්ටේ සිටවන ලද බුහුටි තම රාජකාරි අතපසු වීම පිළිබඳ නොසන්සුන් වූයෙන් පැන යන්නට තැත් කරන විට, "ඔහෙ හිටු!" කී දිනිත්ගේ පියා ලණු පොටක් ගෙන බුහුටිගේ කරවට තොණ්ඩුවක් දමා, අසල සිටවන ලද යකඩ පොල්ලක එහි අනෙක් කෙළවර ගැටගැසුවේය.

මේ වන විට දිනිත් විභාගයට පිටත් වීම ට ලැහැස්ති වී ඉදිරි දොරටුවෙන් පිටතට පැමිණීය. එවිට ම දිනිත්ගේ මව් සුදු මල් දමා සරසන ලද වතුර වීදුරුවක් ගෙන දිනිත් ඉදිරියට පැමිණියේ සිනාමුසු වතිනි.

මේ අතරතුර අපගේ කතානායිකාව සිටියේ විශාල අකරතැබ්බයකට මුහුණපාමිනි.

ටික්කා ලද ඇසිල්ලක සලබයෙකු පසුපස එලවා ගොස් ළිං ගැට්ටක් මතට ගොඩ වී සිටිනා අයුරු ඈ දුටුවේ හරියට ම දිනිත්ගේ මව් වතුර වීදුරුව දෝතින් ගෙන දිනිත් ඉදිරියට ආ ඒ නිමේෂයේදීම ය.

"පුතේ . . . බැහැපන් ඔතනින් බිමට!"

ටික්කාට ඇසුණු වගක්වත් පෙනෙන්නට නැතිවා සේ ය. ඌ දැන් ළිඳ තුළින් දිස්වන තම ඡායාව දෙස විශ්මයට පත් ව බලා සිටිනු බුහුටි ට පෙනෙයි.

"අම්මේ . . . මෙන්න තව පැටියෙක්! අම්මගේ නැතිවුණා කියපු පැටියා මෙන්න ඇතුලේ!"
ටික්කා ළිං ගැට්ටේ සිට කෑගසයි.

"බිමට බැහැපන් . . . අකීකරු දරුවා!"

"අම්මා ඉන්න මං මෙයාව එක්කන් එන්නං."
ටික්කා තව එක් සැරයක් ළිඳට එබෙනු බුහුටි දිටී ය. ඉන්පසු තම දරුවා එක් පාදයක් ඔසවා ළිං කටට ඉහළින් අවකාශයේ මුදාහරිනු ද ඈ දුටුවා ය.


* * * * * * * * * * * * * * * * *

දිනිත් වතුසුදු මලින් පිරි දිය බඳුනෙන් උගුරක් බී, සිනාසී ශුභ ගමනට පිටත් විය.

"ඉන්න ඉන්න . . . තව බඩුවක්!"
දිනිත්ගේ පියා එසේ කියමින් තාප්පය දෙසට දෑත ම දිගු කළේය.

තාප්පය අසළ යකඩ පොල්ලේ සුදු, කළු, මෙන් ම දුඹුරු වයිරම් ද වැටුණු, තැනින් තැන කොළ පැහැ පුල්ලි වලින් ද හැඩවුණු බැළලියක උගුර අසළින් ගැටගැසූ ලණු පොටකින් එල්ලෙමින් සිටියේ ය.

"ජබුං!"

පළමුව දුටුවේ දර්ශනය ද, පළමුව ඇසුණේ හඬ ද කියා කිසිවෙකුත් කිසි දා දැනගත්තේ නැත.

නිමි.

Saturday, June 20, 2015

අත් ඔරලෝසුව



"ටොක් . . . ටො. . . ට්ට්ට්ට් . . .ක්"
දුක්ඛදායක හඬක් නඟමින් අවසන් හුස්ම පිටකරන්නට ආසන්නව හිටිය අත් ඔරලෝසුවේ තප්පර කටුව අන්තිම පන නලත් රැකගැනීමේ නිශ්ඵල ව්‍යායාමයක යෙදෙන දිහා මම බලාගෙන හිටියා.

මඳ අඳුරු කාමරයේ දැවමුවා මේසය මත වැතීරීගෙන හිටපු අත් ඔරලෝසුව දිහා ඒ අවට හිටපු පැන්සල් කොට, තීන්ත පෑන් විතරක් නෙවෙයි, පරණ මේස ලාම්පුවත්, නොසෙල්වී දෑස් යොමාගෙන හිටියා.

මිය යමින් හිටියත් දුඹුරු හම් පටියත්, ඔප දැමූ රත්‍රන් පැහැ මුහුණතත්, පරණ, එහෙත් ශක්තිමත් හෝරා තත්පර කටුත්, අත් ඔරලෝසුවට පරිණත ජෙනරාල්වරයෙකුගේ ගාම්භීර බව කදිමට ආරෝපණය කර දී තිබුණා.

ඇත්ත, එයා තමයි වයසක ම . . . කාමරේ හිටපු වයසක ම ජෙනරාල්. අනිත් උදවිය සේරම අලුත්.

නාකි ජෙනරාල් ව මම මුලින්ම දෑහැට දැක්කෙ විසිවෙනි උපන්දිනය දවසෙයි. එයාව මට තෑගි කළේ මගේ එවකට පෙම්වතිය, ධීරා.

දැන් මම අවුරුදු පනස් පහක ජීවිත අත්දැකීම් වලින් හෙම්බත් වුණු නාකි තනිකඩයෙක්.

"ට් ර්‍රර්ක්. . ."

නෑ . . . බැහැ . . . එයාට මැරෙන්න දෙන්න බැහැ . . .

වාඩිවෙලා හිටපු පුටුව පස්සට වීසි කරලා දුවගෙන ගිහින්, බිත්තියෙ එල්ලෙමින් හිටපු අන්ඩ දැමූ කබාය ගත්ත වේගෙට ඒකෙ එල්ලි එල්ලි තිබුණු නූලක් යාරයක් විතර දුරට ඇදිලා මගෙ පස්සෙන් ආවා.

ලී මේසය උඩ මලානික ව වැතිරිලා හිටපු ජෙනරාල් ව මම අත්ලට ගත්තෙ ඊට වඩා සිය දහස් ගුණයක් පරෙස්සමින්.

දුඹුරු හම් පටි අත් ඔරලෝසුවක් දෝතින් අරන් පාර දිගේ වේගයෙන් ඇවිදින මං දිහා වටපිටාව බලාගෙන හිටියෙ නිද්‍රාශීලී උනන්දුවකින්.

මම නගරෙ ඔරලෝසු සාප්පුවට ලඟා වෙනකොට හීන් සිරි සිරි වැස්සක් පටන් ගෙන තිබුණා.

"ටිකක් වෙලා මෙතන රැඳෙන්න වෙයි වගේ. . ."
අහස දිහා බැලුවා ම මගේ හිත මට එහෙම කිවුවා. ඊලඟට කුඩයක් නොගෙනාවට දොස් කියන්න පටන් ගත්තා.

"ඇති ඇති! අවුරුදු තිස්පහක් තිස්සෙ ඔහේගෙ දොස් අහලා මට ඇතිවෙලා."
මම ආපිට කෑගෑවා, මගෙ හිත දිහාවට.

යන්තම් හිනාවක් ආරූඪ කරගෙන මම සාප්පුවට ඇතුළු වුණා. මටසිලිටි නිමාවක් සහිත සාප්පු දොරේ රඳවලා තිබුණු සීනු මිහිරි හඬින් මාව පිළිගත්තා.

"සුභ සන්ධ්‍යාවක් රොබින්! වැස්සත් අරගෙන ම ඇවිත් තියෙන්නෙ."
සුපුරුදු මුහුණක් කවුන්ටරේ පිටිපස්සෙ ඉඳන් හිනාවුණා.

මම වාඩිවෙලා කබා සාක්කුවෙන් අත් ඔරලෝසුව ප්‍රවේසමෙන් පිටතට අරන් ලාලි මහත්මිය ඉදිරියේ තැබුවා.

"මෙච්චර කල් බැටරි මාරු කරනවා, හම් පටි මාරු කරනවා ඇරෙන්න කිසිම ලෙඩක් තිබුණෙ නැහැ."

තවමත් ඔරලෝසුව පන අදිනවා. මට බලන් ඉන්න බැරි ගතියක් දැනුනා.

"හ්ම්ම්. . . ස්විස් ඔරලෝසුව, මට මතකයි."
ලාලි මහත්මිය ලාච්චුවක් ඇරලා ඉස්කුරුප්පු, අඬු බඬු කිහිපයක් පිටතට අරන් ඔරලෝසුවෙ ඇණ බුරුල් කරනවා.

හිරිපොද වැස්ස ධාරානිපාත වර්ෂාවක් වෙලා ජනෙල් වීදුරු වලට තඩිබාන්න පටන්ගත්තෙ ඒ වෙලාවෙයි.

"ටිලි ටිලිං ටිලිං . . . දඩස්!"

එකවරම සාප්පුව ට කඩාවැදුණු පුද්ගලයා නිසා  අපි දෙදෙනා ම උඩ විසිවුණා කිවුවොත් නිවැරදියි.

"සමාවෙන්න මිසිස් ලාලි! හිතාගන්න බැරි විදිහට වැස්සක් පටන්ගත්තනේ."
හිස ආවරණය කරපු අළු පැහැ සාළුව ට යටින් ආවෙ සිහින්, ලජ්ජිත කට අඬක්.

ඔරලෝසුව අලුත්වැඩියා කිරීම පසෙකින් තියලා තෙත් වූ කබාය ඉවත් කරන්නට ලාලි මහත්මිය ඇය ට උදවු වුණා.

ඇය මැදිවියේ පෙනුමක් තිබ්බ හීන්දෑරි කාන්තාවක්. ඇගේ ලා දුඹුරු පැහැ හිසකෙස් අවුල් වෙලා, දිගු ගවොම තෙත බරිත වෙලා තිබුණා.

ලාලි මහත්මිය කාන්තාවට මං අසලින් තිබුණු තවත් සැප පහසු පුටුවක් පෙන්වලා, ඉන්පස්සෙ මාව ත් ඇයට හඳුන්වා දුන්නා.

වැස්ස එන්න එන්න ම දරුණු වුණා. ලාලි මහත්මිය දිගට ම ඔරලෝසුව හැදුවා. ඇය, අසල තිබුණු සඟරාවක් කියවමින් හිටියා.

"මෝසම පටන්ගෙන වගේ. . ."
මගේ හිත මාත් එක්ක කතාවක් පටන්ගන්න උත්සාහ කළා. ඒත් මම හිටියේ කාලයක් තිස්සෙ ඔහුත් එක්ක කතාකිරීමෙන් හෙම්බත් වෙලා.

"මෝසම පටන්ගෙන වගේ. . ."
ලාලි මහත්මියයි, ඇයයි එකවරම නිශ්ශබ්දතාවය බිඳ දමපු මා දිහා පුදුමයෙන් බැලුවා.

"මෝසම පටන්ගෙන වගේ."
මම නැවතත් උත්සාහ කළා.

"ආහ්. . . හ්ම්ම්. . ."
ලාලි මහත්මිය ඇගේ උපැස් යුවල යටින් මා දිහා බලාගෙන කියන අතරේ ඇගේ දෑත් නොනවත්වා ම ඉස්කුරුප්පුව කැරකෙව්වා.

කාන්තාව මා දිහා බලලා හිනාවුණා. ටික වෙලාවක් ගිය තැන ඇය අතේ තිබුණු පාට ගිය හම් බෑගයක් ඇතුලෙන් කුඩා පාර්සලයක් පිටතට ගත්තා.

"එන ගමන් ගත්තා. දැනුයි මතක් වුණේ."
ඇය පාර්සලය විවෘත කරලා මේසය මතින් තැබුවා. පිරිසුදු සුදු පාට පෙපර්මින්ට් තොගයක් මගේ ඇහැ ගැටුණා.

පෙපර්මින්ට් කන ගමන් අපි කතාවට වැටුණා. පොත්, මල් වැවීම, ඉරු එළිය, කුඩා දරුවන් වගේ මාතෘකා මහ ගොඩක්. කොතරම් වෙලාවක් තිස්සෙ අපි කතා කළා ද කියන්න මම දන්නෙ නෑ. ඒත් අපේ කතාව අවසන් වෙනකොට ධාරානිපාත වැස්ස සිහින් සිරි සිරියකට පෙරළිලා ඉන්පස්සේ නැතිවෙලා ම ගිහින් තිබුණා.

මම මේසය මත තිබුණු අවසන් පෙපර්මින්ට් එක දිහා ඇස් කොනෙන් බැලුවා. ඊටත් පස්සෙ ඒක ගන්න මගේ අත දිගු කළා.

දුඹුරු පාට, නහර ඉල්පුණු, එහෙත් සිනිඳු අත්ලක් පෙපර්මින්ට් පාර්සලය අසළදී මගේ අතට මුණගැහුණා. අපි දෙදෙනා ම එකවර ම අපේ අත් ආපස්සට ගත්තෙ ලැජ්ජාවෙන්.

"කමක් නැහැ . . . ඔයා ගන්න."

"නැහැ. . . ඔයා ගන්න."

"ඔයා ගන්න, මගේ බඩ පිරිලා."

ඇය මගෙ දිහා බලලා ලැජ්ජාවෙන් සිනාසුණා. අවසාන පෙපර්මින්ටුව අතට අරන් ඇය ඒක දෙකට කැඩුවා.

"හරියට හඳ පළුවෙනුත් බාගයක් වෙන් කරලා වගේ."
මං ඇගේ ගිළුණු ඇස් දිහාව බලලා කිවුවා.

ලාලි මහත්මිය කැස්සා.

"රොබින් මේකෙ කල් පැනලා වගේ. අලුත් එකක් ගන්න වෙයි."
ඇය කිවුවේ පරණ අත් ඔරලෝසුව ගැන.

සාප්පුවෙ මේසය මත වැතිරීගෙන හිටිය ජෙනරාල් මම නොදැනුවත්ව ම අවසන් හුස්ම හෙලලා තිබුණා. මම ඔහු දිහා අන්තිම වතාවට බලලා අවසන් ගෞරව දැක්වූවා.

"කමක් නෑ මිසිස් ලාලි."
මම ලාලි මහත්මිය දිහාව බලලා හිනාවුණා.

සාප්පුවෙන් පිටවෙන දොර අසළ ට තෙතබරි දිගු ගවොම දැන් වේළුණු ඇයත් මා සමඟ පැමිණියා.

"නැවත හමුවෙමු!"

"නැවත හමුවෙමු!"
ඇගේ ගිළුණු ඇස් දිළිසුණා.

මං සාප්පුවෙ දොර ඇරලා නැවතත් මිසිස් ලාලි දිහාට හැරුණා.

"කමක් නෑ. . ."

Wednesday, June 17, 2015

අපි කාට ද බය


Image result for sharks 

අනේ සමාවෙන්න. ඔයිට වඩා ලොකු පින්තූරයක් දැම්මා නම් මට මේ පුටුව උඩම පත බෑවිලා ඉන්නයි වෙන්නෙ!

ඔව්, මම ඒ තරමට ම මෝරුන්ට බයයි. බයයි කියන්නෙ හොඳටම බයයි.
ඒක කොයි කාලේ කොහොම ඇති වෙච්ච බයක්ද කියලා දන්නෙ නෑ. පොඩි කාලෙ ඉඳන් මෝරුන් ගැන වැඩසටහන් බලලා ඇති වෙච්ච බයක් කියලා තමයි අනුමාන කරන්න පුලුවන්.

සමහර වෙලාවට ඔය නාන තටාක වල "ඩීපෙන්ඩ්" නොහොත් ගැඹුරු ම ප්‍රදේශයට ගියාම මට දැනෙන්නෙ මේ දැන් පහළ ඉඳන් මෝර තඩියෙක් ඇවිත් කකුලෙන් කෑල්ලක් ඩැහැගනියි කියලයි.

අද මේ කියන්න යන්නෙ මෝරු ගැන කියලා වරදවා වටහාගන්න එපා ඔන්න.

අහලා තියෙනවද "Phobia" නොහොත් අනියත බිය කියලා දෙයක් ගැන?
සමහරවිට ඔයාටත් තියෙනවා ඇති පුදුමාකාර ෆෝබියාවක්.

ෆෝබියා කියන්නෙ මම මෝරුන්ට දක්වන බයට වඩා එහා ගියපු දිගු කාලීන අසීමාන්තික ව පවතින බියක්.
සාමාන්‍යයෙන් අපි එතරම් වැදගැම්මකට නැති විදියට දකින දෙයක් තවත් කෙනෙකුට පන එපාකරවන තරම් බය දෙයක් වෙන්න පුළුවන් බව හිතලා තියෙනවද?
කොටින් ම සුභ ආරංචි අහන්න බය මිනිහෙක් ඉන්න පුලුවන් කියලා විශ්වාස කරනවද?

ඇත්තට ම එහෙම පුද්ගලයින් මේ ලෝකෙ, මේ අපි කතාකරන මොහොතෙ පවා ජීවත් වෙනවා.

ඇතැම් ෆෝබියාවන් සුලභ ව දකින්න පුලුවන් වුනත් ඇතැම් ඒවා හිතන්න බැරි තරමට විකාරයි. ඉතින් මම ගූගල් බාප්පා එක්ක එකතු වෙලා අනන්තය දක්වා විහිදී යන ෆෝබියා ලැයිස්තුවකින් සාමාන්‍ය සහ මාන්දමික යන දෙවර්ගයට ම අයත් ෆෝබියා දෙක තුනක් තෝරාගෙන ඔබ ඉදිරියේ දිගහරින්න හිතුවා.

 


 සාමාන්‍යයෙන් දකින්න පුලුවන් ෆෝබියා වර්ග කිහිපයක් තමයි මේ. බලන්න වැරදිලාවත් ඔය එකක් දෙකක් වගේ තමන්ටත් තියෙන්න පුලුවන්.

  1. ඇරැක්නෆෝබියා (Arachnophobia) - මකුළුවන්ට අසීමාන්තික බියක් දක්වන අය දැකලා තියෙනවද? ඒගොල්ලන්ට තියෙන්නෙ ඔන්න ඔය ෆෝබියාව තමයි. 
  2. ඇක්‍රොෆෝබියා (Acrophobia) - උස් ප්‍රදේශ වල ඉන්න බය උදවියට තියෙන්නෙ මේ ලෙඩේ තමයි.
  3. සමාජශීලී වීමට දක්වන බිය (Social Phobias) - මේක ටිකක් දරුණු තත්වයක්. මේ වගේ පුද්ගලයින් හැමවෙලේ ම උත්සාහ කරන්නෙ සමාජයෙන් වෙන්වෙලා ඉන්නයි. මෙහෙම අය සමාජයත් එක්ක ගැවසෙන අවථාවන් වලදි Anxiety attack කියන තත්ත්වය ට පත්වෙන්න බොහොම ඉඩකඩ තියෙනවා.
  4. Pteromerhanophobia - පියාසර කිරීමට දක්වන බිය, එහෙමත් නැත්තන් අහස්යාත්තර වල යන්න බියවීම තමයි මේකෙන් කියවෙන්නේ. (මට තේරෙන විදිහට ඕක කියවන්නෙ ටෙරමරානොෆෝබියා කියලා වෙන්න ඕනේ.)
දැන් බලමු දැක්ක ගමන් හිතාගන්න බැරි මාන්දමික ෆෝබියාවන් කිහිපයක්.

  1. Amaxophobia - කාර් රථයක් තුළ ගමන් කිරීමට ඇති බිය.
  2. Anthrophobia / Anthophobia  - මල් වලට ඇති බිය.
  3. Apeirophobia - අනන්තය ට දක්වන බිය.
  4. Arachibutyrophobia  - රටකජු බටර් නැත්තං සිංහලෙන් ම කියනවා නං Peanut Butter උඩුතල්ලේ ඇලෙනවාට ඇති බිය.
  5. Arithmophobia - සංඛ්‍යා නැත්නම් අංක වලට ඇති බිය.
  6. Aurophobia - රත්රන් වලට ඇති බිය.
  7. Chirophobia - අත් වලට ඇති බිය.
හම්මේ . . . දැන් නම් ඇති වගේ. හැබැයි වැරදිලාවත් මේ විෂයය ගැන උනන්දුවක් ඇති වුණා නං මෙන්න මේ ලින්කුව දිගේ ගිහින් හොයාගන්නකෝ ෆෝබියා ලැයිස්තුවක් ම!

තවත් එක් පෝස්ටුවක අවසානය. කොහොම නමුත් අවසානයට ත් සටහනක් තියන්න ඕනේ කියලා මම හිතුවා.
අඩුගානෙ අපෙ ජීවිත කාලෙදි මේ වගේ එක්කෙනෙක් හරි මුණගැහෙන්න පුළුවන්. සමහරවිට නොදැනුවත්ව ම මෙහෙම මිනිස්සු අපි දැකලත් ඇති.
ෆෝබියාවක් නිසා තමන්ගේ ජීවිත කාලෙම සමාජයෙන් වෙන්වෙලා, අමුතු පුද්ගලයෙක් විදියට හංවඩුගැහිලා ජීවත් වෙන මිනිසුන් මේ සමාජයේ ජීවත් වෙනවා.
ඉතින් ඒ නිසා කිසිම කෙනෙක් ගැන පිස්සෙක්, මෝඩයෙක් කියලා පූර්ව විනිශ්චයයන්ට, නිගමනයන්ට එළැඹෙන්නෙ නැතුව ඉන්නවා නම් තමයි හොඳ.

පණුවෙක්ට බය මිනිහෙක් දන්නවා ඌට කොච්චර බයද කියලා.

නැවත හමුවෙමු!

Monday, June 15, 2015

ලියුමක් ආව දුරක්



කවදාහරි කාටහරි ලියලා තියෙනව ද ලියුමක්?

මට මතකයි මම ඉස් ඉස්සරම ලියුමක් ලියනකොට යන්තම් අවුරුදු හතක් අටක් විතර ඇති. හැබැයි ඉතින් ඕක ලිවීමේ ගෞරවය මට තනියම ගන්න බෑ. මොකද ඒක ලිවුවේ මේ බ්ලොග් එක කරන අනිත් එක්කෙනා, ඒ කියන්නෙ අනේමන්දා එක්ක එකතුවෙලා.

ගෙදර තිබිච්ච ලස්සන සුදු A4 කොළයක් කොහෙන්ද හොයාගෙන, ඊට පස්සෙ ඒකේ පාට පාට ප්ලැටිග්නම් වලින් විවිධාකාර මල්, සත්තු ඇඳලා තඩි බෝල අකුරු වලින් මොනවාදෝ කුරුටු ගාලා පළවෙනි වතාවට ලියුමක් ලියපු හැටි මට තාම මතක් වෙනවා. විශේෂත්වය තමයි ඒ ලියුම නිර්නාමික ලිපියක් වීම. ඒ වගේම ඒක යවන්නට නියම වෙලා තිබුණේ අපේ ගම්මුලාදෑනි සීයාට.

ලියුම අපිට තැපෑලට දාන්න පුළුවන් වුනා ද කියලා නම් මට හරි හැටි මතකයක් නෑ. ඒත් ඒ ලියුමේ අවසානයට ලියපු විකාර කවිය නම් මට හොඳට ම කටපාඩම්.

"කුරු කුරු නළුවා මමයි - කුරු කුරු නළුවා මමයි
ගීතය රස විඳ විඳ ඉන්නේ - පස්වෙනි හතු පෙත්තේ

කොටුවයි කූඹි කැලෙයි - ෆොටෝ ගන්න මම කූඹිච්චී
කූඹිච්චිගෙ හැඩ වැඩ බලලා - හැමෝම හිනැහෙනවා
හා! හා!"

ඒ ගීතයෙන් ආරම්භ වුනේ නොනිමෙන කූඹි ගීත වැලක්. දැන් නම් ලියුම් ලියන්න එතරම් ම හැකි වුණේ නැතත් කලාතුරකින් හරි ලියුමක් ලිවුවොත් ඒ හැම ලියුමක ම අවසානය ට තමන් ම නිර්මාණය කරපු කූඹි ගීතයක් එකතු කිරීම දැන් අපේ සම්ප්‍රදායයක්.

ඒ දවස් වල අපි ලියුම් ලියන්නෙ එක්සර්සයිස් පොත් වලින් ගලවාගත්ත මැද පිටු එකතුකරලා එකට අමුණලා. ඒ පිටු පිරෙන්න ලියන්න ගොඩාක් දේවල් ඒ කාලේ තිබ්බා. ඒ අතරිනුත් වැඩිපුර ම ලියැවුණේ අපි ආරම්භ කරපු රහස් සංවිධානයක් ගැන. ඊට අමතර ව නාට්‍ය, චිත්‍රපටි කරන්නත් ලියුම් මාර්ගයෙන් සැලසුම් කළා.

ඒ වගේම දෙහි යුෂ වලින් ලියපු නොපෙනෙන රහස් ලියුමකුත් මම ලියපු ලියුම් අතරේ තියෙනවා. ඒ ලියුමෙ උඩම පෑනෙන් ලියලා කියවීම ට උපදෙස් දීලා තියෙනවා. ඒ කියන්නෙ ඉටිපන්දම් එළියට අල්ලලා කියවන්න කියලා කියවන්නා ව දැනුවත් කිරීමක්. ඒ වගේම අවසානය ට ලියලා තියෙනවා "මෙය කියවූ වහාම ගිනිබත් කර විනාශ කරන්න!" කියලා.

මට මතකයි ඒ කාලේ පැයක් දෙකක් ගත කරලා හිතට එන හැම එකක් ම වගේ ලියනවා. ඊට පස්සෙ රෑට කුස්සිය ට අරන් ගිහින් අම්මා උයන තැනට වෙලා ඒ ලියුම හයියෙන් කියවනවා. පස්සෙන්දා ලා දුඹුරු පාට ලියුම් කවරෙ ඇතුලේ ඒ ලියුම පොඩි නොවෙන්න පරිස්සමට තැන්පත් කරලා ගම් ගාලා අලවනවා. නැට්ටුකාරයාගේ මුද්දරයක් ඒ ලියුමෙ දකුණු අත පැත්තෙ ඉහළ ම කෙළවරේ වතුර ටිකක් ගාලා අලවලා ඊට යටින් ලිපිනය ලියනවා.
වැඩට යන ගමන් තැපැල් පෙට්ටියට දාගෙන යන වගකීම අම්මා ට හරි තාත්තා ට හරි පවරලා ආයෙමත් දහ පහළොස් සැරයක් මතක් කරන්නෙ ලියුම යවන එක ප්‍රමාද වෙයි කියලා බයට.

ඊලඟට එන්නෙ යවපු ලියුමට දිගම දිග පිළිතුරු ලිපියක් එනකම් ඇඟිලි ගැන ගැන ඉන්න නොඉවසිලිමත් කාලය. ලියුම් පියුම් ගේට්ටුව ගාව බෙල් එක ගහනකොට මම තමයි ඉස්සරහට දුවගෙන යන්නේ. එතකොට ඉතින් මගේ නමට ලියුමක් නැත්නම් එන්නේ කට ඇද කරගෙන තමයි.

අනේමන්දා එවන ලියුම් මගේ ඒවට වඩා ටිකක් වෙනස්. ඒවා වෙනස් වෙන්නෙ එයාගෙ ලියුම් කවර වලින්.  අනේමන්දා එවන ලියුම් වල මුද්දර අලවලා නෑ. ලියුම් කවරයේ ම මුද්දරයක් මුද්‍රණය කරපු ලියුම් ගැන මම දැනගත්තෙ ඒ ලියුම් වලින් තමයි.

ඉතින් එහෙම මුද්දරය මුද්‍රිත ලියුම් කවරයක දාපු ලියුමක් ආපුවහම මුලින් ම කරන්නෙ ගේට්ටුව ගාව ඉඳන් ගෙදරට දුවගෙන එන ගමන් ම ලියුම කඩන එක. ගේ ඇතුලට ගිහින් ලියුම කඩන එකත් කාලය නාස්ති වීමක් නේ!
ඉස්සෙල්ලා ම මම හොඳ සැප පහසු පුටුවක වාඩි වෙලා තනියම ලියුම කියවනවා. ඊට පස්සේ නැවතත් සැරයක් කියවනවා. හවස ට ආයෙමත් ගෙදර හැමෝට ම ඇහෙන්න ලියුම කියවනවා. ඔය අතරේ සමහර කොටස් සංස්කරණය කරමින් කියවන්නත් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මුලදී ම ලියුම දෙතුන් සැරයක් ස්කෑන් කරන්නෙ.

දැන් කාලේ වෙනකොට නම් ලියුම් වෙනුවට යවන්නේ විද්‍යුත් ලිපි එහෙමත් නැත්නම් ඊ-මේල්.  එහෙම ලිපියක් ආවත් මට නම් තාමත් අර ඉස්සර පියුම්ගෙන් ලියුමක් ලැබෙන වෙලාවට දැනෙන සතුට දැනෙනවා. ඒත් ඉතින් ලියුම් කවරේ කඩලා, කොල වල සර සරයත් එක්ක පිටුවෙන් පිටුව පෙරලලා, අතරින් පතර බලි රූප ඇඳපු ලස්සන ලියුමක් කියවනකොට දැනෙන මිහිරි ගතිය නැති අඩුවත් හොඳින් ම දැනෙනවා.

ඒ විතරක් නෙවෙයි. දැන් ලියුමක් යවන්න ඉස්සර වගේ දින ගනන් බලන් ඉන්න උවමනාවක් නෑ. ලියන පමාව ට යවන්නත්, යවන පමාව ට පිළිතුරු එවන්නත් පුළුවන් වෙන තරමට තාක්ෂණය දියුණු වෙලා. මට හිතෙන්නෙ ඒකෙන් ලා දුඹුරු පාට ලියුම් කවර වල දාපු රහස් පිරුණු ලියුම් වලට තිබුණු වටිනාකම අඩුවෙලා.

ඉඳලා හිටලා කාමරයක් අස්පස් කරනකොට, පරණ දිනපොතක් පෙරළනකොට හදිසියේ ම අර පරණ ලියුමක් මුණගැහෙනවා. එතකොට අවුරුදු දහයක් දොළහක් අතීතයට ගිහින් ආයෙමත් පොඩි ළමයෙක් බවට පත්වෙලා මම ඒ ලියුම කියවන්නෙ හරියට පරණ ම යාලුවෙක් එක්ක නිහඬ සංවාදයක යෙදෙනවා වගේ.

ඒ කොහොමවුණත් කවුරුවත් ම නැතත් වයසක ආච්චියෙකුට හරි සීයෙකුට හරි, එහෙමත් නැත්තං තනිවෙච්ච කෙනෙකුට හරි කමක් නෑ, අතින් ලියලා ලස්සන ලියුමක් යවන්න පුලුවන් නම්, ඒ සිත් වලට සතුට අවුන්සයක් කාන්දු කරවන්න ඔයාට පුළුවන් වෙයි.


* * * * * * * * * * * * 

ප.ලි. මේ ලිපිය ලියන්න සිතුවිල්ල ආවේ W.H. Audenගේ "Night Mail" කවිය කියෙව්වට පස්සෙ.

Saturday, June 13, 2015

ඉස්කෝලේ, හීනය, සහ ගෝනිය

සුබ උදෑසනක් නෝනාවරුනි, මහත්වරුනි!
අදත් මං මෙ කියන්නට අර අදින්නෙ සාකියා පොඩි එකා කාලේ සිද්ධ වෙච්චි සන්තෑසියක් ගැනයි.

ඇත්තටම සාකියා පොඩි කාලේ වෙච්ච හැමදෙයක්ම වගේ අණ්ඩබජල් කේස් වුණාට මේක ඒ සියල්ලට ම වඩා නෝණ්ඩි ටයිප් එකක් වීම විශේෂත්වයකි.

හොඳයි එහෙම නම් අහගන්න.

එතකොට මට අවුරුදු දහයක් විතර.
මොකද්ද? . . . . ඔව් ඔව් අර සිස්සත්තෙ ලියන අවුරුද්දෙ තමයි.

ඉතින් ඒ දවස් වල උදෑසන හතරකුත් ගානට ආරම්භ වී එම යාමයේ ම හයකුත් ගානකට අවසන් වෙන යමර යුද්ධයක් හැමදාම (සෙනසුරාදා සහ ඉරිදා දිනවල හැර)  සාකියාගේ ගෙදර නොවරදවා, නොමිලයේ රඟදැක්වෙනවා.

අපරාදෙ . . . ඒ කාලෙ ආවා නං බලාගන්ට තිබුණා.

ඉතින් ඔය කියන වයසෙදි සාකියාට උදේ නැගිටින්නෙ කීයට, ද ගෙදරින් එලියට බහින්නෙ කීයටද කියලාවත් හරිහමන් අවබෝධයක් තිබුණෙ නැහැ. නැගිට්ටන වෙලාවට නැගිටලා අඩවන් දෑසින් දතකට මැද්ගෙන, උගුරට ම ඔබන බත් කටවල් දෙකතුනක් විතර ගිලදාලා, වැනි වැනී හන්දියෙ නවත්තං හෝන් ගහන වෑන් එකට නැඟලා බැණුම් අහ අහා ඉස්කෝලෙට ඇදිලා යනවා.

ඔහොම ගිහින් ගිහින් එක දවසක් ආවා අර අවුරුදු දෙක තුනකට සැරයක් එන නරක දේවල් ම විතරක් වෙන දවසක්.

එදා උදේ නැඟිටිනකොට මොකක් හරි හේතුවක් නිසා සාකියාට ඇහැ ඇරගන්න බැරි තරම් නිදිමතයි.
සාකියාගෙ ගෙදර නානකාමරයට අල්ලපු කාමරයේ ඇඳක් තියෙනවා. ඉතින් වැනි වැනී නිදිමරගාතෙ නානකාමරයට යන කෙනෙකුට ඇඳක් දැක්කොත් මොකද්ද වෙන්නෙ කියලා හිතාගන්න පුළුවනි නේ? විශේෂයෙන් ලේසියෙන් ම කරදර වල පැටලෙන මං වගේ උතුම් දරුවෙකුට?

සාකියා හිතුවා නිදිමත පහවෙනකං විනාඩි පහක් අර ඇඳේ ඇලවිලා ඉන්නවා කියලා. ඕන්න මං අද කිවුවා කියලා හිතාගන්න, කවදාවත් . . . ඔව්, කවමදාකවත් වැදගත් රාජකාරියකට යන අතරමඟ ඇඳක් පේන්ඩ තියන්න නං එපා.

නින්දේ හිටපු සාකියා හරි අපූරු හීනයක් දැක්කා.
ලා ඉරු එළිය මැදින් පිනි බිංදු බිංදු වැටිලා කොළ පාටට බැබළෙන වෙල්යායක නියරක් දිගේ උඩ පනිමින්, නටමින් දුව දුව, කෑගගහා මම සින්දුවක් කියමින් උන්නා.

(තාලයට ගායනා කරන්න)
"මංගෝ. . . කළු නැන්දේ - මොකදෑ . . . මේ පැත්තේ,
සැන්දෑ . . . යාමෙ බලා . . .
ගෙදරින්! - පැන ගත්තේ
පීප් පීප් පීප්!!!!
ඒ මොකද්ද ඒ සද්දේ?"

හුටා!!!!....... අරෙහෙ වෑන් එක හෝං ගහනොවා!
විනාසා . . .යි! මොනවද මම මේ කරගත්තේ.

කොරන්නට දෙයක් නැතුවා. මම විනාඩි දහයෙන් ලෑස්ති වුණේ කොහොමද කියලා තාමත් හරිහැටි මතකයක් නෑ.

කොහොමින් කොහොමින් හරි වෑන් එකටත් නැඟලා, බැනුම් වරුසාවකත් තෙමි තෙමී ඉස්කෝලෙට ලඟාවුනා.

ඒත් ඊලඟට වෙන්න තියෙන දේ ගැන සාකියා හාංකවිසියක්වත් දැනගෙන හිටියෙ නෑ.

සාකියා ඉස්කෝලෙ පිටිපස්සෙ ගේට්ටුවෙන් ඇතුළු වෙලා ජන ගංගාවක් එක්ක පිට්ටනිය මැද්දෙන් ඇවිදගෙන යන අතරෙ තමයි ඒ කරදරයට මූණ දෙන්න සිද්ධ වුනේ.


සාකියා ඇවිදගෙන යනවා. එහෙම යනකොට සාකියාට අමුත්තක් දැනෙනවා. හරියට නිකන් තමන් ගෝනියක් ඇඳන් ඉන්නවා සහ ඒ ගෝනිය මේ දැන් ගැලවිලා බිම පතිත වෙන්න යනවා වගේ.

ඉතින් මම දස අතේ කල්පනා කොලා මේ මොකද්ද මේ වෙන්න යන්නෙ කියලා. ඒ අතරේ සාකියාට දැනෙනවා කකුල් වල පුංචි පුංචි නූල් කෑලි ගෑවෙනවා. මොකාද බොල?

එතකොටයි මට ඒ සුන්දර යතාර්ථය අව්බෝධ වුණේ.
හදිස්සිය වැඩිකමට ඇඳගෙන හිටපු ටවල් කෑල්ලට උඩින් යුනිෆෝම් එක දාගෙන තමයි මම ඉතාම තේජවන්ත ව පිට්ටනිය මැද්දෙන් මේ ඇවිදන් යන්නේ.

මීට කලිනුත් මීටත් දෙගුණයක් හපන් සිද්ධියක් වෙලා හිටපු සාකියා (ඒ සිද්ධිය අපි පසුව ට කල් තියමු.) දැනගෙන හිටියා මේ වගේ වෙලාවක ගන්න ඕනෙ හොඳ ම ක්‍රියාමාර්ගය.

මම රොබෝ මෝඩ් එක ඇක්ටිවේට් කොළා.

කොහොමද? ටවල් එක වැටෙන්න නොදී රොබොටික්කා වගේ අත්දෙක සරීර කූඩුව දෙපැත්තෙන් තද කොරාගෙන, වටේ පිටේ ඉන්න එවුන්ට වෙනසක් නොපෙන්නා ඉදිරියට ම ගමන් කළා.


රොබෝ වගේ ස්ලෝ මෝෂන් ඇවිදගෙන ගිහින් ගිහින් යන්තම් ටොයිලට් එකට රිංගගත්තා. ඊටපස්සෙ ටවල් එක දහයට නවලා යුනිෆෝම් එකේ පොකට් එකට දාගත්තෙ කොහොමද කියලා නං අහන්න එපා. ඒක නං පුතෝ මමවත් දන්නෙ නෑ!

Saturday, June 6, 2015

සුළඟට රඟනා - රන් මල් යායක්




නන්නත්තාරේ ඇවිදින අතරේ
කඳු තැනි  ඉහළින් වළාකුලක් සේ
එකවර දුටුවෙමි මම් මහ සෙනඟක්
රන් පැහයෙන් දුල් ඩැෆඩිල් යායක්
ගං ඉම පසෙකින්, වට තුරු සෙවනින්
මඳ පවනට තාලයක ට නටමින්

අහස් ගඟේ දිදුලන රන් තරු සේ
ඉමක් කොනක් නොපෙනෙන ලෙසිනේ
දුරින් දුර ට විහිදුණු යායක් විය
ගං මායිම හැඩ කර පැතිරී
සැනෙකින් දුටුවෙමි සිය දස් ගණනින්
කඩිසර රැඟුමින් හිස සලමින්

වන්නම් නටන ට තැනු මුත් උන් හා
ගං දිය රැලි පසුබසින ට වූ කල
තුටු වන්නට මිස කවියෙකු හට වෙන
කුමක් කරන්න ද කෙළි ලොල් ඇසුරක?
මනරම් දසුනින් කුල්මත් වී හද
නැරැඹූයෙමි ඉසුරක් බව නොදැන ම

නිරතුරු සිටිනා විට සයනය මත
පාළුවකින් හද බරවුණු මොහොතක
මසැසෙහි සැනෙකින් මැවේවි නිබඳ ව
සුළඟට නටනා ඩැෆඩිල් මල් මට
රඟනට වූ කල රන් මල් හා සිත
තනිකම පෙරැළේ යළි ප්‍රීතිය වෙත


විලියම් වර්ඩ්ස්වර්ත් කවියා විසින් රචිත "The Daffodils" කියන ඉංග්‍රීසි කවිය තමයි "සුළඟට රඟනා - රන් මල් යායක්" නමින් මම අනුවාදනයක් කරන්න හිතුවේ. පහළින් පළ කලේ ඒ මුල් කවිය. කියවලා රසවිඳින්න.


* * * * * * * * * * * * * *

The Daffodils


I wandered lonely as a cloud
   That floats on high o’er vales and hills,
When all at once I saw a crowd,
   A host, of golden daffodils;
Beside the lake, beneath the trees,
Fluttering and dancing in the breeze.

Continuous as the stars that shine
   And twinkle on the Milky Way,
They stretched in never-ending line
   Along the margin of a bay:
Ten thousand saw I at a glance,
Tossing their heads in sprightly dance.

The waves beside them danced, but they
   Out-did the sparkling waves in glee:
A Poet could not but be gay,
   In such a jocund company:
I gazed—and gazed—but little thought
What wealth the show to me had brought:

For oft, when on my couch I lie
   In vacant or in pensive mood,
They flash upon that inward eye
   Which is the bliss of solitude;
And then my heart with pleasure fills,
And dances with the daffodils.

Thursday, June 4, 2015

අවුරුද්දක්ම ගතවුණා...

අවුරුද්ද ළං වෙනකොට
කාන්දු වෙයි දුකක් හිතට

නැකතට කිරි උතුරවලා
වැඩ අල්ලලා
ඉවර වුණ හැටියේ,
ඉස්සර වගේ ගමට දුවලා යන්න
දැන් කාටවත් හදිසියක් නෑ...

ගියත් ඉතින්,
අර පවුලේ හැමෝම එකතුවෙලා ගන්න
අලුත් අවුරුදු පින්තූරේ මැදින් මතුවෙන
තේජස පිරුණු පැරණි රුව දැන් නෑ.
ඉතිරි වෙලා ඉන්න
පරපුරු දෙකක සෙනගට
අන්තිම පුරුක ගිළිහුණු
පළමු පරපුර යන්න ගිහින් ඉතිරි කරපු
හිදැස මකන්න බෑ…

වෙසක් හුලඟ හමන විට
කාන්සියක් දැනෙයි හිතට..

හරි හරියට අපිත් එක්ක
බට පතුරු කපලා
අසව් කරදහි අලවලා
වෙසක් කූඩු හදලා හැඩ බලන්න
දැන් කවුරුත් නෑ..

උපහාස මඳහාස එක්ක
පොඩ්ඩක් සැර වැර කරන
ඒ අපූරු පෞරුෂය
වෙන කාටත් නෑ..

අගෝස්තුවෙ නිවාඩුවට
ඔන්චිල්ලා බැඳල දෙන්න
අඹ ගහකට නගින කොට
ඔච්චම් කර හිනාවෙන්න
දැන් කවුරුත් නෑ..

දෙසැම්බරේ හීතලට
වේළුණු කොළ හැලුණු මිදුල
අපිළිවෙලට අතුගානකොට
පොල් අත්තේ රටාව
තියන හැටි කියාදෙන්න
දැන් කවුරුත් නෑ..

පරණ ගේට්‍ටුව ඇරගෙන
මහ ගෙදරට ගියාම
ඉස්තෝප්පුවේ ඉඳගෙන
කන්නාඩිත් නැතුවම පත්තරේ බලන 
අපේ සීයා
ආයේ දකින්න වෙන්නේ නැති බව
හිත පිළිගන්නේම නෑ...