Saturday, June 20, 2015

අත් ඔරලෝසුව



"ටොක් . . . ටො. . . ට්ට්ට්ට් . . .ක්"
දුක්ඛදායක හඬක් නඟමින් අවසන් හුස්ම පිටකරන්නට ආසන්නව හිටිය අත් ඔරලෝසුවේ තප්පර කටුව අන්තිම පන නලත් රැකගැනීමේ නිශ්ඵල ව්‍යායාමයක යෙදෙන දිහා මම බලාගෙන හිටියා.

මඳ අඳුරු කාමරයේ දැවමුවා මේසය මත වැතීරීගෙන හිටපු අත් ඔරලෝසුව දිහා ඒ අවට හිටපු පැන්සල් කොට, තීන්ත පෑන් විතරක් නෙවෙයි, පරණ මේස ලාම්පුවත්, නොසෙල්වී දෑස් යොමාගෙන හිටියා.

මිය යමින් හිටියත් දුඹුරු හම් පටියත්, ඔප දැමූ රත්‍රන් පැහැ මුහුණතත්, පරණ, එහෙත් ශක්තිමත් හෝරා තත්පර කටුත්, අත් ඔරලෝසුවට පරිණත ජෙනරාල්වරයෙකුගේ ගාම්භීර බව කදිමට ආරෝපණය කර දී තිබුණා.

ඇත්ත, එයා තමයි වයසක ම . . . කාමරේ හිටපු වයසක ම ජෙනරාල්. අනිත් උදවිය සේරම අලුත්.

නාකි ජෙනරාල් ව මම මුලින්ම දෑහැට දැක්කෙ විසිවෙනි උපන්දිනය දවසෙයි. එයාව මට තෑගි කළේ මගේ එවකට පෙම්වතිය, ධීරා.

දැන් මම අවුරුදු පනස් පහක ජීවිත අත්දැකීම් වලින් හෙම්බත් වුණු නාකි තනිකඩයෙක්.

"ට් ර්‍රර්ක්. . ."

නෑ . . . බැහැ . . . එයාට මැරෙන්න දෙන්න බැහැ . . .

වාඩිවෙලා හිටපු පුටුව පස්සට වීසි කරලා දුවගෙන ගිහින්, බිත්තියෙ එල්ලෙමින් හිටපු අන්ඩ දැමූ කබාය ගත්ත වේගෙට ඒකෙ එල්ලි එල්ලි තිබුණු නූලක් යාරයක් විතර දුරට ඇදිලා මගෙ පස්සෙන් ආවා.

ලී මේසය උඩ මලානික ව වැතිරිලා හිටපු ජෙනරාල් ව මම අත්ලට ගත්තෙ ඊට වඩා සිය දහස් ගුණයක් පරෙස්සමින්.

දුඹුරු හම් පටි අත් ඔරලෝසුවක් දෝතින් අරන් පාර දිගේ වේගයෙන් ඇවිදින මං දිහා වටපිටාව බලාගෙන හිටියෙ නිද්‍රාශීලී උනන්දුවකින්.

මම නගරෙ ඔරලෝසු සාප්පුවට ලඟා වෙනකොට හීන් සිරි සිරි වැස්සක් පටන් ගෙන තිබුණා.

"ටිකක් වෙලා මෙතන රැඳෙන්න වෙයි වගේ. . ."
අහස දිහා බැලුවා ම මගේ හිත මට එහෙම කිවුවා. ඊලඟට කුඩයක් නොගෙනාවට දොස් කියන්න පටන් ගත්තා.

"ඇති ඇති! අවුරුදු තිස්පහක් තිස්සෙ ඔහේගෙ දොස් අහලා මට ඇතිවෙලා."
මම ආපිට කෑගෑවා, මගෙ හිත දිහාවට.

යන්තම් හිනාවක් ආරූඪ කරගෙන මම සාප්පුවට ඇතුළු වුණා. මටසිලිටි නිමාවක් සහිත සාප්පු දොරේ රඳවලා තිබුණු සීනු මිහිරි හඬින් මාව පිළිගත්තා.

"සුභ සන්ධ්‍යාවක් රොබින්! වැස්සත් අරගෙන ම ඇවිත් තියෙන්නෙ."
සුපුරුදු මුහුණක් කවුන්ටරේ පිටිපස්සෙ ඉඳන් හිනාවුණා.

මම වාඩිවෙලා කබා සාක්කුවෙන් අත් ඔරලෝසුව ප්‍රවේසමෙන් පිටතට අරන් ලාලි මහත්මිය ඉදිරියේ තැබුවා.

"මෙච්චර කල් බැටරි මාරු කරනවා, හම් පටි මාරු කරනවා ඇරෙන්න කිසිම ලෙඩක් තිබුණෙ නැහැ."

තවමත් ඔරලෝසුව පන අදිනවා. මට බලන් ඉන්න බැරි ගතියක් දැනුනා.

"හ්ම්ම්. . . ස්විස් ඔරලෝසුව, මට මතකයි."
ලාලි මහත්මිය ලාච්චුවක් ඇරලා ඉස්කුරුප්පු, අඬු බඬු කිහිපයක් පිටතට අරන් ඔරලෝසුවෙ ඇණ බුරුල් කරනවා.

හිරිපොද වැස්ස ධාරානිපාත වර්ෂාවක් වෙලා ජනෙල් වීදුරු වලට තඩිබාන්න පටන්ගත්තෙ ඒ වෙලාවෙයි.

"ටිලි ටිලිං ටිලිං . . . දඩස්!"

එකවරම සාප්පුව ට කඩාවැදුණු පුද්ගලයා නිසා  අපි දෙදෙනා ම උඩ විසිවුණා කිවුවොත් නිවැරදියි.

"සමාවෙන්න මිසිස් ලාලි! හිතාගන්න බැරි විදිහට වැස්සක් පටන්ගත්තනේ."
හිස ආවරණය කරපු අළු පැහැ සාළුව ට යටින් ආවෙ සිහින්, ලජ්ජිත කට අඬක්.

ඔරලෝසුව අලුත්වැඩියා කිරීම පසෙකින් තියලා තෙත් වූ කබාය ඉවත් කරන්නට ලාලි මහත්මිය ඇය ට උදවු වුණා.

ඇය මැදිවියේ පෙනුමක් තිබ්බ හීන්දෑරි කාන්තාවක්. ඇගේ ලා දුඹුරු පැහැ හිසකෙස් අවුල් වෙලා, දිගු ගවොම තෙත බරිත වෙලා තිබුණා.

ලාලි මහත්මිය කාන්තාවට මං අසලින් තිබුණු තවත් සැප පහසු පුටුවක් පෙන්වලා, ඉන්පස්සෙ මාව ත් ඇයට හඳුන්වා දුන්නා.

වැස්ස එන්න එන්න ම දරුණු වුණා. ලාලි මහත්මිය දිගට ම ඔරලෝසුව හැදුවා. ඇය, අසල තිබුණු සඟරාවක් කියවමින් හිටියා.

"මෝසම පටන්ගෙන වගේ. . ."
මගේ හිත මාත් එක්ක කතාවක් පටන්ගන්න උත්සාහ කළා. ඒත් මම හිටියේ කාලයක් තිස්සෙ ඔහුත් එක්ක කතාකිරීමෙන් හෙම්බත් වෙලා.

"මෝසම පටන්ගෙන වගේ. . ."
ලාලි මහත්මියයි, ඇයයි එකවරම නිශ්ශබ්දතාවය බිඳ දමපු මා දිහා පුදුමයෙන් බැලුවා.

"මෝසම පටන්ගෙන වගේ."
මම නැවතත් උත්සාහ කළා.

"ආහ්. . . හ්ම්ම්. . ."
ලාලි මහත්මිය ඇගේ උපැස් යුවල යටින් මා දිහා බලාගෙන කියන අතරේ ඇගේ දෑත් නොනවත්වා ම ඉස්කුරුප්පුව කැරකෙව්වා.

කාන්තාව මා දිහා බලලා හිනාවුණා. ටික වෙලාවක් ගිය තැන ඇය අතේ තිබුණු පාට ගිය හම් බෑගයක් ඇතුලෙන් කුඩා පාර්සලයක් පිටතට ගත්තා.

"එන ගමන් ගත්තා. දැනුයි මතක් වුණේ."
ඇය පාර්සලය විවෘත කරලා මේසය මතින් තැබුවා. පිරිසුදු සුදු පාට පෙපර්මින්ට් තොගයක් මගේ ඇහැ ගැටුණා.

පෙපර්මින්ට් කන ගමන් අපි කතාවට වැටුණා. පොත්, මල් වැවීම, ඉරු එළිය, කුඩා දරුවන් වගේ මාතෘකා මහ ගොඩක්. කොතරම් වෙලාවක් තිස්සෙ අපි කතා කළා ද කියන්න මම දන්නෙ නෑ. ඒත් අපේ කතාව අවසන් වෙනකොට ධාරානිපාත වැස්ස සිහින් සිරි සිරියකට පෙරළිලා ඉන්පස්සේ නැතිවෙලා ම ගිහින් තිබුණා.

මම මේසය මත තිබුණු අවසන් පෙපර්මින්ට් එක දිහා ඇස් කොනෙන් බැලුවා. ඊටත් පස්සෙ ඒක ගන්න මගේ අත දිගු කළා.

දුඹුරු පාට, නහර ඉල්පුණු, එහෙත් සිනිඳු අත්ලක් පෙපර්මින්ට් පාර්සලය අසළදී මගේ අතට මුණගැහුණා. අපි දෙදෙනා ම එකවර ම අපේ අත් ආපස්සට ගත්තෙ ලැජ්ජාවෙන්.

"කමක් නැහැ . . . ඔයා ගන්න."

"නැහැ. . . ඔයා ගන්න."

"ඔයා ගන්න, මගේ බඩ පිරිලා."

ඇය මගෙ දිහා බලලා ලැජ්ජාවෙන් සිනාසුණා. අවසාන පෙපර්මින්ටුව අතට අරන් ඇය ඒක දෙකට කැඩුවා.

"හරියට හඳ පළුවෙනුත් බාගයක් වෙන් කරලා වගේ."
මං ඇගේ ගිළුණු ඇස් දිහාව බලලා කිවුවා.

ලාලි මහත්මිය කැස්සා.

"රොබින් මේකෙ කල් පැනලා වගේ. අලුත් එකක් ගන්න වෙයි."
ඇය කිවුවේ පරණ අත් ඔරලෝසුව ගැන.

සාප්පුවෙ මේසය මත වැතිරීගෙන හිටිය ජෙනරාල් මම නොදැනුවත්ව ම අවසන් හුස්ම හෙලලා තිබුණා. මම ඔහු දිහා අන්තිම වතාවට බලලා අවසන් ගෞරව දැක්වූවා.

"කමක් නෑ මිසිස් ලාලි."
මම ලාලි මහත්මිය දිහාව බලලා හිනාවුණා.

සාප්පුවෙන් පිටවෙන දොර අසළ ට තෙතබරි දිගු ගවොම දැන් වේළුණු ඇයත් මා සමඟ පැමිණියා.

"නැවත හමුවෙමු!"

"නැවත හමුවෙමු!"
ඇගේ ගිළුණු ඇස් දිළිසුණා.

මං සාප්පුවෙ දොර ඇරලා නැවතත් මිසිස් ලාලි දිහාට හැරුණා.

"කමක් නෑ. . ."

4 comments:

  1. ඒක අපූරුයි. ඒත් ඇය කියන චරිතයත් පෙපර්මින්ට් ටිකත් කතාව ට ආගන්තුකයි වගේ දැණුන. ඒක නිකං නොතිබිය යුත්තක් නොතිබිය යුතු තැනක තියෙනව වගේ හැගීමක්
    මොකද ඇය කතාවෙ ගලා යාමට වත් අවසානයට වත් ප්‍රබල හෝ යම් තරමක බලපෑමක් එල්ල කරන්නට අසමත් වීම නිසා

    කමක් නෑ ලියන්නතමා මුවාත එන්නෙ දිගටම ලියමු
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොරුවට හොඳයි කියනවට වඩා ඔබේ ප්‍රතිචාරය මම අගය කරනවා ඇත්තටම. තවම මම මේකට ආගන්තුකයි නේ, ඉස්සරහට අඩුපාඩු හදාගෙන ලියන්නම්කෝ. :) ඉදිරියටත් මේ වගේ හොඳ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා.
      ගොඩක් ස්තූතියි මහේෂ්!

      ප.ලි. - මට ඕන වුණේ ඔහු පරණ අතීතය අමතක කළා වැනි හැඟීමක් ඇති කරන්න. ඒත් ඒක ඉස්මතු වෙලා අඩුයි වගේ කියලා දැන් මටත් හිතෙනවා.

      Delete
  2. Replies
    1. මොකද ඈ හුම් හුම් ගාන්නේ?

      Delete