මං යම්තරමක් දුරට බළල් බස හදාරා ඇත. අපේ නිවසේ මා කුඩා කාලයේදී "සොමි නෝනා" නම් මහලු බැළලියක් හැර එකල මා හා කතාබස් කිරීමට කිසිවෙකුත් නොවූයෙන් අපහසුවෙන් වුව එය ඉගෙනීමට මට සිදුවිය.
පසු කලෙකදී මා එම ප්‍රදේශයේ බල්ලන් හා බළලුන් අතර භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කිරීමෙන් ලබාගත් ප්‍රශංසා සහ කීර්ති නාමය සම්පූර්ණයෙන් හිමිවන්නේ සොමි නෝනා හට ය.
මා මේ කියන්නට යන කතාව තරුණ කල මා වසන ගම්මානයේ බළලුන් මෙන් ම, අප වැනි බල්ලන් අතර ද නම් දරා සිටි බැළලියක් පිළිබඳව ය.
ඇගේ භාරකාර පවුලේ එකම දරුවා වන දිනිත් මා සමඟ අතිශයින් මිත්‍රශීලී බැවින් මේ සිදුවීම වූ දිනයේ මා අසලට වී කඳුළු සලමින් කී කතාව හොඳින් අසා සිටීමෙන් පසු මට එම බැළලිය පිළිබඳ කතාන්තරයක් කවදා හෝ ලේඛනගත කොට මිනිසුන් අතට පත්කිරීමට සිත්විය.
බැළලිය පිළිබඳ මා දන්න කරුණු ද,ලෝකයාගෙන් දැනගන්නට යෙදුණු තොරතුරු ද, දිනිත් මා අසළට වී කී කතාව ද එකට එක් කොට එක් කතාවක් නිර්මාණය කිරීම ට මට ඉතා දීර්ඝ කලක් ගත විය.
මේ මා විසින් ලියන ලද එම බැළලියගේ කතාවයි.
* * * * * * * * * * * * * * * *
දිනිත්ලාගේ ගෙදර කුඩා කල පටන් ඇති දැඩි කරන පූස් තඩියෙක් විය. නිවැරදිව කිවහොත් ඌ පූසියෙකි. නෑ, ඈ පූසියෙකි.
සුදු, කළු, දුඹුරු වයිරම් පමණක් නොව, ඇගේ ලොම් කබායේ කොළ පැහැ පුල්ලිද තැනින් තැන දක්නට ලැබිණි. අසල්වාසීන් අතර මෙන්ම අහල ගම් හතක බළලුන් ද, බල්ලන් ද අතර "බුහුටි" ජනප්‍රිය චරිතයක් බවට පත්වන්නට එය ද හේතුවක් වන්නට ඇතැයි සිතමි.
මේ කියන්නට යන දින උදෑසන ද සැමදා ම කරනවාක් මෙන් ලා හිරු එළිය පොළොව සිප ගැනීමට ප්‍රථම අවදි වූ බුහුටි වත්ත පල්ලට ගොස් තමා විසින් ම වෙන් කරගන්නා ලද ස්ථානයේ වලක් සාරා, තම සිරුරේ බර නිදහස් කරගත්තී, නැවත ඒ මත පස් දමා ආවරණය කිරීමට තරම් ප්‍රවේසම් වූවාය. මැදිවියේ පසුවන, දැන ට තිදරු මවක් වූ ඇය සෑමවිටම තම දරුවන්ට ආදර්ශමත් ලෙස හැසිරීම තමාගේ විශාලතම රාජකාරිය ලෙස සලකා කටයුතු කළ බව පළාතේ ම ප්‍රසිද්ධ කරුණකි. මේ හෙයින් අවට ගම්මාන වල වසන බළල් පවුල් වලින් ඇයට මාළු බත්, කුකුළු මස්, සාලයින් වැනි වටනා යමකට හුවමාරු ලෙස කෙළි වියේ පසුවන පූස් පැටවුන් පුහුණු කිරීමට ආරාධනා එමට ලැබිණි.
ඉදින් මතක ඇති කාලයක පටන් බුහුටි ට තම කුඩා දුවා දරුවන් හට ආහාර ඉල්ලා තම භාරකාරයින් ඉදිරියේ හඬා වැටීමට කිසිදු අවශ්‍යතාවක් නොවීය.
ඉතින් අපි නැවතත් කතාව දෙසට හැරෙමු . . .
බුහුටි ඉන්පසු පැමිණියේ සිය ආදරණීය දරුවන් වෙතට යි. ටික්කා, වලිග කොටා සහ උදුම්බරා කුස්සි දොර අසල බුමුතුරුනේ සැප පහසුවට ගුලි වී හිඳිනු ඈ බලා සිටියේ දෑසින් සෙනෙහස උතුරද්දීය.
මිලි තත්පරයකට පසු ඇය පුළුන් බෝලයට තම ඉදිරි පා වලින් කුඩා පහරක් දුන්නීය.
එවිට එකිනෙකා මත වැටී නිදා සිටි පැටවුන් අවදි ව දීර්ඝ ඈනුම් හරිමින් අත් පා දසත විහිදා හිරි අරින්නට වන්හ. ඉන්පසු ඇහිපිල්ලම් ගසමින් එකිනෙකා දෙසත්, බුහුටි දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට වූහ.
"යසයි හැදෙන ළමයි. නැගිටපල්ලා විගහට."
තරවටු ස්වරයෙන් කී ඇය තම වැඩ කටයුතු ආරම්භ කළාය.
මුලින්ම ඈ අල්ලාගත්තේ බාලයා වන වල්ග කොටා ව ය. ඈ පැටවාගේ කුඩා කන් පෙති වල ඇතුල් පැති හොඳින් පරීක්ෂා කර ඉන්පසු උගේ බෙල්ලේ සිට උඩු අතට පිරිසුදු කිරීම ආරම්භ කළාය. අනෙක් පැටවුන් ට හිමි රාජකාරිය වූයේ මේ ක්‍රියාකාරකම දෙස බලා සිට තමන්ට හැකි අයුරින් ඇඟපත පිරිසුදු කරගැනීමයි. එය අම්මාට පහසුවක් වනු ඇත.
වල්ග කොටාගෙන් පසු පිළිවෙලින් උදුම්බරා ද, ටික්කා ද බුහුටි විසින් නාවන ලදී. නිදිමතේ සිටින ඔවුහු වත්ත පහළට දක්කාගෙන ගොස් මළපහ කරවීම ඉන්පසුව සිදුකෙරිණි.
තවමත් මිහිදුම පහව ගොස් නැත. පරිසරය හිරිගඩු නංවන සීතලකින් වෙලී ඇත. බුහුටි මීළඟ රාජකාරිය ආරම්භ කළාය.
පෙර දින අල්වා සඟවන ලද මීකුනු සතරක් ඇය තම කටින් ගෙනැවිත් ඉන් තුනක් තම සාදර දරු තිදෙන ඉදිරියේ තබා ඉතිරි පංගුවෙන් තම උල් දත් වලින් මීයාගේ සම ඉරා, ඇටසැකිල්ල පමණක් ඉතිරි වන සේ පිළිවෙලට අනුභව කරන ආකාරය ඉගැන්වීමේ පාඩම් මාලාවේ අවසාන කොටස පැටවුන ට උගන්වා නිම කරන ලදී.
මේ සියල්ලත් අතරේ පෙර දිනයේ ආරම්භ කරන ලදුව, නිම කළ යුතු රාජකාරි දහසක් එකින් එක තම සිත තුළ ආවර්ජනය කිරීම ද සිදුකළ යුතු විය.
අඩු ආදායම් ලාභී බඩදරු අම්මාවරුන් වාසය කරනා කුණු ඇල අසල මුඩුක්කු පරිශ්‍රය ට ගොස් තම ආහාර සලාකයෙන් කොටසක් ලබා දීම මේ අතරින් ප්‍රධාන රාජකාරිය විය. එමෙන් ම අලුත උපන් බිළිඳුන් නිවෙස්නා පවුල් වලට අවශ්‍ය උපදෙස් නොමිලේ සැපයීම ද ඇය තුරුණු වියේ සිට නොකඩවා ඉටු කරන ලද්දකි.
"හපොයි! අද ලන්සි බැළලිලෑ දිහාවෙත් එන්න කීවා නෙව. තව ඩිංගෙන් අමතක වෙනවා."
ලන්සි බැළිලි නම් පූසියට මහලු පියෙක් සිටියි. කළබලකාරියක් වන ඇයට තවමත් දෑස් නොහැරුණු පැටවුන් පස් දෙනෙකු සමඟ පියාගේ වැඩ කටයුතු ඉටු කිරීමට සහය වන්නී ද බුහුටි බව මෙතැනදී කිවමනා ය.
යන්තම් නිල් පැහැයකින් ආකාසය වර්ණවත් වන විට බුහුටිලාගේ භාරකාර නිවසේ, එනම් දිනිත්ගේ නිවසේ විදුලි පහන් එක දෙක දැල්වෙන්නට විය.
එදින දිනිත් ට සුවිශේෂී දිනයකි. දිනිත් සාමාන්‍ය පෙළ විභාගය ලියන්නට නියමිතව තිබුණේ මෙදිනට ය.
ඉදින් නිවසේ කළබගෑනියක මහත නොකිවමනාය.
බුහුටි බළල් ලොව රැජිනක් වූවාට මිනිස් ලොව විභාග පිළිබඳ ව දන්නා දෙයක් නැත. එබැවින් ඌට එය ද සමාජ සේවයේ නියැළෙන තවත් එක් දිනයක් ම පමණක් විය. තම දරුවන් ජීවත් කැරවීම උදෙසා ගම් නියම්ගම් හි සැරිසරන්නට වන තවත් දිනයක් ම විය.
දිනිත්ගේ පියා ඉදිරිපස දොර හැරගෙන පිටතට එන විට බුහුටි සිටියේ සුපුරුදු ගමනට පිටවීම ට ලක ලැහැස්ති වෙමිනි. වල්ග කොටා, උදුම්බරා හා ටික්කා ඇයට සුභ ගමන් පතමින් සිටියහ. ඈ සිටියේ ඔවුනගේ හිස් සිඹිමිනි.
"මෙහෙ වර පූසි . . ."
දිනිත්ගේ පියා තාලයට ගයමින් බුහුටි වෙතට ආවේ ය.
"අපේ දුව අද විභාගේ ලියනවා බං. ඔන්න ඔහේ උඹ අදට විතරක් එයා පිටත් වෙනකොට පේන්න හිටපං."
"බළලෙක් පේන්න තියන්නෙ මොන එහෙකට ද විභාගෙට පිටවෙන දරුවෙකුට?"
මේ කතාව පැවසූ විට කෙනෙක් මගෙන් විමසීය.
මේ ගම්මානයේ මිනිසුන් අතර එවකට ප්‍රචලිත මිත්‍යා විශ්වාසයක් විය. ගමනක ට පිටත් වන විට බළලෙකු පේන්නට සිටීම ඉතා ශුභ ලකුණක් සේ ඔවුහු සැලකූහ.
දිනිත් ගෙයින් පිටවීම ට නියමිත ඉදිරි දොර කෙලින් නිවසේ තාප්පය පෙනෙන්නට තිබේ. ඉතින් දිනිත්ගේ පියා බුහුටිව වඩාගෙන ගොස් තාප්ප ගැට්ට මතින් තැබුවේ වඩා හොඳින් දැක ගැනීම සඳහා ය.
තාප්ප ගැට්ටේ සිටවන ලද බුහුටි තම රාජකාරි අතපසු වීම පිළිබඳ නොසන්සුන් වූයෙන් පැන යන්නට තැත් කරන විට, "ඔහෙ හිටු!" කී දිනිත්ගේ පියා ලණු පොටක් ගෙන බුහුටිගේ කරවට තොණ්ඩුවක් දමා, අසල සිටවන ලද යකඩ පොල්ලක එහි අනෙක් කෙළවර ගැටගැසුවේය.
මේ වන විට දිනිත් විභාගයට පිටත් වීම ට ලැහැස්ති වී ඉදිරි දොරටුවෙන් පිටතට පැමිණීය. එවිට ම දිනිත්ගේ මව් සුදු මල් දමා සරසන ලද වතුර වීදුරුවක් ගෙන දිනිත් ඉදිරියට පැමිණියේ සිනාමුසු වතිනි.
මේ අතරතුර අපගේ කතානායිකාව සිටියේ විශාල අකරතැබ්බයකට මුහුණපාමිනි.
ටික්කා ලද ඇසිල්ලක සලබයෙකු පසුපස එලවා ගොස් ළිං ගැට්ටක් මතට ගොඩ වී සිටිනා අයුරු ඈ දුටුවේ හරියට ම දිනිත්ගේ මව් වතුර වීදුරුව දෝතින් ගෙන දිනිත් ඉදිරියට ආ ඒ නිමේෂයේදීම ය.
"පුතේ . . . බැහැපන් ඔතනින් බිමට!"
ටික්කාට ඇසුණු වගක්වත් පෙනෙන්නට නැතිවා සේ ය. ඌ දැන් ළිඳ තුළින් දිස්වන තම ඡායාව දෙස විශ්මයට පත් ව බලා සිටිනු බුහුටි ට පෙනෙයි.
"අම්මේ . . . මෙන්න තව පැටියෙක්! අම්මගේ නැතිවුණා කියපු පැටියා මෙන්න ඇතුලේ!"
ටික්කා ළිං ගැට්ටේ සිට කෑගසයි.
"බිමට බැහැපන් . . . අකීකරු දරුවා!"
"අම්මා ඉන්න මං මෙයාව එක්කන් එන්නං."
ටික්කා තව එක් සැරයක් ළිඳට එබෙනු බුහුටි දිටී ය. ඉන්පසු තම දරුවා එක් පාදයක් ඔසවා ළිං කටට ඉහළින් අවකාශයේ මුදාහරිනු ද ඈ දුටුවා ය.
* * * * * * * * * * * * * * * * *
දිනිත් වතුසුදු මලින් පිරි දිය බඳුනෙන් උගුරක් බී, සිනාසී ශුභ ගමනට පිටත් විය.
"ඉන්න ඉන්න . . . තව බඩුවක්!"
දිනිත්ගේ පියා එසේ කියමින් තාප්පය දෙසට දෑත ම දිගු කළේය.
තාප්පය අසළ යකඩ පොල්ලේ සුදු, කළු, මෙන් ම දුඹුරු වයිරම් ද වැටුණු, තැනින් තැන කොළ පැහැ පුල්ලි වලින් ද හැඩවුණු බැළලියක උගුර අසළින් ගැටගැසූ ලණු පොටකින් එල්ලෙමින් සිටියේ ය.
"ජබුං!"
පළමුව දුටුවේ දර්ශනය ද, පළමුව ඇසුණේ හඬ ද කියා කිසිවෙකුත් කිසි දා දැනගත්තේ නැත.
නිමි.
කොහේද අනේ කොල පාට පුල්ලි තියන පූසෝ ඉන්නෙ...
ReplyDeleteඅයියෝ.... හරි අපරාධයක් නෙ උන්ට කරල තියෙන්නෙ. මහ ගොන් මිනිස්සුනෙ.
අපේ පූසන්ට මම කතා කියල දෙනවා, පොඩි සින්දු කියල දෙනවා..
"හා හා හරි පූසා කැලේ මැදින් ආවා......." ඔන්න ඔය වගෙ
අපේ තත්තාට එහෙම ඕව ඇහුනහම "පුසේ.. පලයන් අර කුස්සිය දිහාට ගිහින් මොනව හරි ඉල්ලගෙන කාපන්. මෙයා විකාර කියවල උඹව පිස්සා කරන්න හදන්නෙ" කියල පූසව එලවනවා.
මිත්‍යා විශ්වාස වලට වහන්වෙලා ගොඩක් වෙලාවට මිනිස්සු කරන්නෙ ගොන් වැඩ තමයි.
Deleteඇයි අයියෝ අර තැඹිලි, සුදු පාට අතරෙ කොළ පාට පුල්ලිත් තියෙන පූසෝ ඉන්නෙ . . .
හා හා චාමර හොඳ සිංදුකාරයෙක් නේ! මටත් ඉන්නවා පූස් කොටෙක්, හැබැයි ඌට කන බණේ හැර වෙන දෙයක් ගැන හාංකවිසියක් නැත.
අපේ දිහ ඉන්නෙ තඩි පූසෙක් හැබැයි හෙන ජේත්තුව දවස තිස්සෙම නිදි ඇහැරෝනවට පොඩ්ඩක් වත් කැමති නෑ... රෑට ගේ දෙක කරනව..
ReplyDeleteනිදං ඉන්නකොට නැගිට්ටුවම මිනිහට මළ පනිනව බලන්නත් ආසයි හිහි
අපූරු කතා පොඩ්ඩ
ජයවේවා
අපේ ගමේ ඉන්නවා තඩි පූසෙක්, කොච්චර ලොකු ද කියනවා නම් අවුරුදු පහක ළමයෙකුට ඌව තනියෙම වඩාගන්න බෑ.
Deleteපූසො ඉතින් ජේත්තුවට ඉන්න ආඩම්බරකාර ජාතියක් නොවැ.
තැන්කියු වේවා!
ඔය පූසන්ට අපිට වගේම හොදට හැගීම් තේරෙනවා. හැබැයි මිනිස්සු උන්ට හිංසා පීඩා කලොත් උන් වෙනස් වෙනවා. කිසිම හිරිහැරයක් නැතුව හැදෙන පුසෝ තමන්ම යම් දේවල් ඉගෙන ගන්නවා. අපේ පුස්ල 3ක් ඉන්නව උන් රැට චු කරන්න ඔනැ උනහම ටොයිලට් එකේ නාන වතුර යන තැනට ගිහින් චු කරනවා. එළියට යන්න ඔනැ උනහම ඇද පහුරුගාල කාවහරි නැගිට්ටනවා.
ReplyDeleteහැබැයි ගහල බය කරල හදන සත්තු එහෙම නෑ. ලමයෙකුට උනත් පොඩිකාලෙ පීඩා කලහම ඒ අය වැඩිහිටි කාලෙදිත් මානසික අසමතුලිත අය වෙනව වගේ
ඒ බැරිද මටත් පැණිකුගෙ පූසො තුන්දෙනාගෙන් එකෙක්ට අපේ පූස් කොටාව හුවමාරු කරගන්න හැබෑට? හිහිහි
Deleteඒක ඇත්ත, විශේෂයෙන් ම පූසො ගහලා බැනලා හදන්න අමාරුයි. අපේ පූසට ටොයිලට් යන්න පුරුදු කරේ වැලි භාජනයක් අරන් ඇවිත් එයා ඒක උඩින් තියලා පොඩ්ඩක් වැලි පහුරුගාවලා, ඊට පස්සෙ ඔළුව අත ගෑවා. එදා ඉඳන් එතන තමයි ටොයිලට් ගියේ. දැන් නම් එලිපහළියට තමයි යන්නේ.