Thursday, June 4, 2015

අවුරුද්දක්ම ගතවුණා...

අවුරුද්ද ළං වෙනකොට
කාන්දු වෙයි දුකක් හිතට

නැකතට කිරි උතුරවලා
වැඩ අල්ලලා
ඉවර වුණ හැටියේ,
ඉස්සර වගේ ගමට දුවලා යන්න
දැන් කාටවත් හදිසියක් නෑ...

ගියත් ඉතින්,
අර පවුලේ හැමෝම එකතුවෙලා ගන්න
අලුත් අවුරුදු පින්තූරේ මැදින් මතුවෙන
තේජස පිරුණු පැරණි රුව දැන් නෑ.
ඉතිරි වෙලා ඉන්න
පරපුරු දෙකක සෙනගට
අන්තිම පුරුක ගිළිහුණු
පළමු පරපුර යන්න ගිහින් ඉතිරි කරපු
හිදැස මකන්න බෑ…

වෙසක් හුලඟ හමන විට
කාන්සියක් දැනෙයි හිතට..

හරි හරියට අපිත් එක්ක
බට පතුරු කපලා
අසව් කරදහි අලවලා
වෙසක් කූඩු හදලා හැඩ බලන්න
දැන් කවුරුත් නෑ..

උපහාස මඳහාස එක්ක
පොඩ්ඩක් සැර වැර කරන
ඒ අපූරු පෞරුෂය
වෙන කාටත් නෑ..

අගෝස්තුවෙ නිවාඩුවට
ඔන්චිල්ලා බැඳල දෙන්න
අඹ ගහකට නගින කොට
ඔච්චම් කර හිනාවෙන්න
දැන් කවුරුත් නෑ..

දෙසැම්බරේ හීතලට
වේළුණු කොළ හැලුණු මිදුල
අපිළිවෙලට අතුගානකොට
පොල් අත්තේ රටාව
තියන හැටි කියාදෙන්න
දැන් කවුරුත් නෑ..

පරණ ගේට්‍ටුව ඇරගෙන
මහ ගෙදරට ගියාම
ඉස්තෝප්පුවේ ඉඳගෙන
කන්නාඩිත් නැතුවම පත්තරේ බලන 
අපේ සීයා
ආයේ දකින්න වෙන්නේ නැති බව
හිත පිළිගන්නේම නෑ...

No comments:

Post a Comment