Thursday, May 28, 2015

අට්ටාලයේ හොල්මන



මුලින්ම මට තනියම කාමරයක් දුන්නම හරියට ලෝකෙන් බාගයක් දුන්න වගෙ මම උඩපැන්නා. ඒක පොඩි ළමයෙකුට විතරක් දැනෙන විදිහෙ අමුතු සතුටක්. හරියට පළවෙනි ජයග්‍රහණය වගේ.
මුලු දවසම වගේ මම ගත කළේ මගේ අලුත් නිදන කාමරේ ඇතුලේ. අලුත් කිවුවට ඒක පරණ අට්ටාල කාමරයක්. ඒ වුණත් ඒක පොඩි එකෙකුට රජදහනක්. අට්ටාලේ පැත්තකට වෙන්න ගොඩගහපු කාඩ්බෝඩ් පෙට්ටි ටිකත් එක්ක හොර රහසෙම රෑට ගවේෂණයක් කරන්න මම හිතාගත්තා.

රෑ කෑමෙන් පස්සෙ අම්මයි, අප්පච්චියි, අක්කයි, අයියයි, සාලේ පැති බිත්තියකට මුවාවෙලා තිබුණු පඩිපෙල නැඟගෙන අට්ටාල කාමරේට මාත් එක්ක පසුගමන් කරා.

"සුබ රාත්‍රියක් සැලී, ඇඳ මකුණො කයි බලාගෙන!"
අම්මා හැමදාම නිදාගන්න යද්දි කරන විහිළුව කිවුවා.

"අම්මා! මම දැන් තනියම කාමරයක ඉන්න ඇහැකි ලොකු ළමයෙක්. ඒ විහිළු වලට මට දැන් හිනා යන්නෙ නෑ."
මම බුම්මට්ටං ගහගෙන එහෙම කිවුවා.

අම්මයි අප්පච්චියි විදුලි ලාම්පුව නිවලා හිනා වෙවී පඩිපෙල බැස්සා. අක්කයි අයියයි තාමත් දොර ගාව හිටගෙන.

"ඇයි මොකද? කකුල් ඇලවිලා ද?"
මම ඒගොල්ලන්ටත් අම්මලාට දාපු සැර ස්වරයෙන්ම දමලා ගැහුවා.

"නෑ කකුල් මැලවිලා."
අයියා මට දිව දික් කරා. මෝඩ විහිළු.

අක්කගේ මූණෙ ලාවට හිනාවක් ඇඳිලා තිබුණා. හොඳකට නෙවෙයි.

"ඔයා දන්නවද නංගි මැග්නස්?"
"මොන මැග්නසෙක් ද?"
මම ගෙරෙව්වා.

"මැග්නස් අපේ සීයගෙ පළවෙනි කසාදෙ."

"ඉතින් මට මොකෝ?"

"සීයා අපේ ආච්චිව බැන්දෙ මැග්නස් මැරුණු නිසා. මම අහලා තියෙනවා එයා සීයට පුදුම විදියට ආදරේ කලාලු. එයා මැරුණේ දරුවෙක් ලැබෙන්න ඉන්නකොට. මැරෙන මොහොතෙ කියලා තියෙනවා, පීටර් (අපේ සීයා) මම මැරුණත් ඔයත් එක්කමයි කියලා."

"ඉතින් . . ."
මගේ සැර දැන් බාල වෙලා.

"ඉතින් ඔයාට මේක කියන්න හිතුවෙ ඔයාගෙ ම හොඳට පැට්ටෝ. මොනවා වුනත් ඔයා අපේ නංගි නේ, නැද්ද ජෝන්?"

"ඔව් ඔව්."
අයියා එයාගෙ ඉදිරියට නෙරපු අලි පොල් දත් දෙක මං දිහාට විහිදගෙන මෝඩයෙක් වගේ ඔළුව දෙපැත්තට වැනුවා.

"මං කිවුවනෙ මැග්නස් නැතිවුනේ දරුවෙක් ලැබෙන්න ගිහිල්ලය කියලා, ඉතින් දරුවා ලැබෙන්න ඉන්නකොට මැග්නස් දවසක් මේ කාමරේට ඇවිත් තියෙනවා. වෙන මොහොකටවත් නෙවෙයි, එයාගෙ දියමන්ති මංගල මුද්ද හොයන්න. එයා දවස් ගානක් මෙහාට ඇවිත් හෙව්වත් ඒක හොයාගන්න බැරි වෙලා . . ."

"පීටර් මං ඒක මේ කාමරෙන්මයි තියලා ගියේ, මට හොඳටම විශ්වාසයි!" 
මැග්නස්ගෙ ඇත්දළ පාට ලස්සන මූණ කඳුළු වලින් බොඳ වෙලා ගිහින් වගෙයි සීයට පෙනුණේ.

"වදවෙන්න එපා මැගී, අපි ඒක පස්සෙ හොයාගනිමු."


"සීයා එහෙම් කිවුවත් ඊට ටික දවසකට පස්සෙ මැගීට අමාරුවෙලා දරුවා ලැබෙන්න ගිහින් අතරමඟදි මැරිලා."

"ඉ-ති-න්"
කතාවෙ ඉතුරු ටික මගේ ඔලුව ඇතුලෙ මැවිලා ඉවරයි, ඒත් මම සැකහැර දැනගන්න "ඉතින්" කියලා ඇහුවෙ අවසානය හොඳ එකක් වෙන්නත් පුලුවන් කියන අන්තිම තුත්තිරි ගහෙත් ඇඟිල්ලකින් එල්ළිලා.

"ඔයා පොඩි හින්දා මෙච්චර කල් කවුරුවත් කිවුවෙ නැහැ. මැග්නස්ගෙ අතරමංවුණු ආත්මය තවමත් මේ කාමරේට රෑට රෑට එනවලු අර නැතිවෙච්ච මංගල මුද්ද හොයාගෙන."

මගෙ මූනෙන් බාගයක් පොරෝනයෙන් වැහිලා. අර කාටූන් වල ඉන්න ළමයි බය වුණහම වගේ. මෙච්චර කල් මට එයාලගෙ බය ගැන කිසි වැටහීමක් තිබුණෙම නෑ. පව් අසරණ කාටූන් ළමයි.

ඔය වගේ අමුතු සිතුවිල්ලකුත් ඒ වෙලාවෙ මගේ හිතේ ඇතිවුනා මට මතකයි. අසරණ පොඩි එකා!

මගෙ අයියා ඇඟිල්ලකුත් සූප්පු කර කර මහ බරපතල විදිහට මං දිහා බැලුවා.

"එයා පොඩි ළමයි කනවා."

අක්කා එයාට ටොක්කක් ඇන්නා.
"ඔය ඇති, අපි යමු."

අයියා ඇඟිල්ල කටෙන් එලියට අරං ඒකෙ තිබ්බ කෙළ ටික කලිසමේ පිහිදගත්තා

"සුබ රාත්‍රියක් සැලී, ඇඳ මකු-  ආහ් . . . වැරදුණා. මැග්නස් කයි බලාගෙන!"
එයා පොල් දත් විහිදලා, ඇස් හීනි කරලා මාත් එක්ක හිනා වුණා.

ඒගොල්ලො දොර වහගෙන යන්න ගියා.

"අනේ ඉන්නකෝ . . ."
මම කෙඳිරි ගෑවා. ඒත් ඒගොල්ලො ආපිට ආවෙ නැහැ. පඩිපෙළ දිගේ පහළට පහළට යන අඩි සද්ද ටික ටික ඈත් වෙලා ගිහින් නැත්තටම නැති වුණා.

නන්නත්තාර වුණු හොල්මනක් ඉන්න කාමරේක තට්ට තනියම ඉන්න ඔනෙ කාට ද? සාලෙ මැද්දෙ තිබුණු බිග් බෙන් ඔරලෝසුවෙ දොළහෙ කණිසම වදිනකොටත් මම හිටියෙ ඇහැරිලා. ඒ පළවෙනි වතාවට රෑ දොළහ වදිනවා ඇහුණමයි මගෙ හිතේ.

මට මතක් වුණා ආච්චි උපන්දිනේට තෑගි දුන්නු පින්තූර පොත් වල හිටපු ළමයින්ට මූණපාන්න වුණු දේවල්.
ඒවට අනුව රෑ දොළහ කියන්නෙ හොඳ වෙලාවක් නම් නෙවෙයි. අහිංසක ළමයි නිකං අමාරුවෙ වැටෙන්න පුලුවන් වෙලාවක්. අපේ අසල්වැසි මාගරට් ආච්චිට අනුව රෑ දොළහ කියන්නේ "යක්කු ගස් නගින" වෙලාවක්.

දොළහෙ කණිසම වැදුණු ගමන් ඔය වගේ දේවල් හිතන්න පටන්ගත්තු මට නිකං ම නින්ද ගියා.

ඒත් ඒ වැඩි වෙලාවකට නම් නෙවෙයි.

"ටොක්! ටොක්!!"
ඔන්න ඔය විදියට අට්ටාලයේ ලී පොළොව දිගේ සපත්තු දෙකක් ඇවිදින සද්දයක් ඇහෙන්න ගත්තා. මම හෙමින් සැරේ එක ඇහැක් ඇරලා බැලුවා.

ඒ නං මැග්නස් ම තමයි! මලානික පාට සුදු ගවුමක් ඇඳලා හිටිය එයාගෙ මූණත් ගවුම වගේම මලානික සුදු පාටකින් කළුවර අතරින් අමුතු විදිහකට දිළිසුණා.

එයා මොනවහරි හොය හොයා හැමතැනම හරිම කලබලෙන් ඇවිද්දා.
ඉස්සෙල්ලම චූටි කන්ණාඩි මේසෙ ලාච්චු ඇර ඇර බැලුවා. මගේ අරින්න වහන්න පුළුවන් පියනක් තියෙන මේසෙත් පියන ඇරලා එයා බැලුවා. මගේ පොත් රාක්කේ පොත් එහාට මෙහාට කර කර ත් බැලුවා. එයා මේ හැමදේම කළේ හරිම කලබලෙන්.

ඊට පස්සෙ එයා කාමරේ බිත්ති හැම එකකම උඩ පහල බැලුවා. එහෙම බලන අතරෙ භ්‍රාන්තියට පත්වෙලා ඇඳෙන් හෙලවීගන්න බැරුව හිටි මාව එයාගෙ ඇහැගැටුණා.

"සමාවෙන්න බබෝ . . . කෝ මේ බිත්තියෙ එල්ලලා තිබුණු ඔරලෝසුව?"

"ම . . . ම . . . දන් . . .නෙ නෑ. . ." කිවුව මම ඊළඟට,
"අනේ මාව කන්න එපා!!!!"  කියලා කෑගහන්න හැදුවට උගුරෙන් එළියට ආවෙ හීනි කෙඳිරියක් විතරයි.

එයා ප්‍රශ්නාර්ථයකින් වගේ මං දිහා බලං හිටියා.
"ඔයා බයවෙලා? මම ඔයාව කන්නෙ නැහැ. කොටින්ම මම කිසිම දෙයක් කන්නෙ නැහැ.

"එතකොට කන්නෙ නැද්ද?"
හුස්ම ටිකක් ගන්න පුළුවන් වෙන විදියට මම පොරෝණය මගෙ මූණෙන් පහත් කළා.

"නෑ."

"එතකොට්-"
මගෙ කතාව පටන්ගන්නවත් එයා ඉඩ දුන්නෙ නෑ.

"අනේ සමාවෙන්න මට පරක්කු වෙනවා. කරුණාකරලා කියනව ද මේ කාමරේ දියමන්ති මුද්දක් තිබ්බ ද කියලා."

"අදමයි මම ඒ කතාව ඇහුවෙ. කලින් දැනගත්ත නං හොයලා තියනවා මම."
මම කිවුවෙ ඇත්තටමයි. මට එයාගෙ මහන්සි පාට මූණ දැක්කම දුක හිතුණා.

එයා කර කර හිටපු වැඩේ තප්පරේකට නතර කරලා මං දිහා බැලුවේ අම්මා කෙනෙක් වගේ ආදරේකින්.

ඇත්ත නේ, එයා අම්මා කෙනෙක් වෙන්න බැරිවුණු අම්මා කෙනෙක් නෙ.

ඒ වෙලාවෙ මට ආවා හොඳ අදහසක්. ඇඳෙන් බැස්ස මම එයා ගාවට ඇවිදන් ගියා.
මැග්නස් ගාව තිබ්බෙ දත කට පූට්ටු වෙලා යන මහා හීතලක්.
ආයෙමත් ඇඳ ළඟට ගිහින් මම පොරෝනාව මගෙ ඇඟ වටේටම ඔතාගෙන ආයෙමත් මැග්නස් ගාවට ගියා.

"හරි. අපි දෙන්නම එකතු වෙලා හොයමු."
මම කිව්වා.

"ස්තූතියි!"

ඊට පස්සෙ රෑ පුරාම අපි ඒ මුද්ද හෙව්වා.

අන්තිමට අර පැත්තක ගොඩගහලා තිබිච්ච කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුලෙ තිබිලා මට මලකඩ කාපු මුද්දක් හම්බ වුනා. ඒක මැද්දෙ තිබුණේ කිසිම දිස්නයක් නැති වීදුරු කෑල්ලක්.

"මේක වෙන්න බෑ . . ."
මම කොයිකටත් මැග්නස්ට ඒක පෙන්නලා ඇහැව්වා.

මැග්නස් හිටියේ අට්ටාලෙ එහා කෙළවරේ. ඒත් මුද්ද පෙන්නපු ගමන් එයා විදුලි වේගයෙන් මං ගාවට දුවගෙන දුවගෙන ආවා.
ආපු වේගය පාලනය කරගන්න බැරුව එයා මගේ ඇඟ විනිවිද ගිහින් එහාපැත්තෙන් මතුවුණා.

මට කිඹුහුමක් ගියා.

"අනේ සමාවෙන්න දරුවෝ! කෝ බලන්න මුද්ද. . ."
එයා මගේ අත්ලෙ තිබුණු මුද්ද බොහොම පරිස්සමින් එයාගෙ සීතල ඇඟිලි අතර ට ගත්තා. ඊට පස්සෙ බොහොම ආදරෙන් වීදුරු ගලක් අල්ලපු ඒ කබල් මුද්ද දිහා බලාගෙන හිටියා.

මට නං ඒ මුකුත් තේරුණේ නැහැ. කබල් මුද්දෙ මොනවා බලනව ද මන්දා. පව් කියලා හිතුණු නිසා මගේ ලඟ හිටපු රත්තරං කෙස් ඇති බොනික්කෙක් ව එයාට තෑගි දුන්නා.

එයා බෝනික්කගේ කෙස් කැරලි දෙක තුනක් අවුල් කරලා ඊලඟට ඒ සීතල ඇඟිලි වලින් මගේ ඔළුවත් අතගෑවා.

"ඔයාට බොහොම ස්තූතියි, මම යන්නං මගේ පැට්ටෝ."
එහෙම කියලා එයා අට්ටාලෙ තිබුණු කවුළුවෙන් එළියට පැනලා නොපෙනී ගියා.

නිදිමත ට වැටුණු තැන ම මට නින්ද ගියා.

ඊළඟ දවසෙ මට නිව්මෝනියාව හැදුණා.

සති දෙකකට පස්සෙ රෑ දොළහෙ කණිසම වදිනකොට මම පහළ තට්ටුවේ මහ ඇඳේ, අම්මයි අප්පච්චියි මැද්දට වෙලා නිදාගෙන හිටියා.
 

4 comments:

  1. මුලින්ම සුභ පැතුම් වේවා අළුත් බ්ලොගට. දිගටම ලියන්න!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රියා! ඔව් ඔව් දිගට ම ලියනවා :D ආයෙත් මේ පැත්තෙ එන්න හොඳේ.

      Delete
  2. හොද වෙලාවට නිවුමෝනියාව හැදිලා බේරුනේ..

    ReplyDelete
    Replies
    1. වෙච්ච දේවල් වල හැටියට නිව්මෝනියාව ම හැදුනා මදෑ. . . :D

      Delete