Thursday, May 28, 2015

අට්ටාලයේ හොල්මන



මුලින්ම මට තනියම කාමරයක් දුන්නම හරියට ලෝකෙන් බාගයක් දුන්න වගෙ මම උඩපැන්නා. ඒක පොඩි ළමයෙකුට විතරක් දැනෙන විදිහෙ අමුතු සතුටක්. හරියට පළවෙනි ජයග්‍රහණය වගේ.
මුලු දවසම වගේ මම ගත කළේ මගේ අලුත් නිදන කාමරේ ඇතුලේ. අලුත් කිවුවට ඒක පරණ අට්ටාල කාමරයක්. ඒ වුණත් ඒක පොඩි එකෙකුට රජදහනක්. අට්ටාලේ පැත්තකට වෙන්න ගොඩගහපු කාඩ්බෝඩ් පෙට්ටි ටිකත් එක්ක හොර රහසෙම රෑට ගවේෂණයක් කරන්න මම හිතාගත්තා.

රෑ කෑමෙන් පස්සෙ අම්මයි, අප්පච්චියි, අක්කයි, අයියයි, සාලේ පැති බිත්තියකට මුවාවෙලා තිබුණු පඩිපෙල නැඟගෙන අට්ටාල කාමරේට මාත් එක්ක පසුගමන් කරා.

"සුබ රාත්‍රියක් සැලී, ඇඳ මකුණො කයි බලාගෙන!"
අම්මා හැමදාම නිදාගන්න යද්දි කරන විහිළුව කිවුවා.

"අම්මා! මම දැන් තනියම කාමරයක ඉන්න ඇහැකි ලොකු ළමයෙක්. ඒ විහිළු වලට මට දැන් හිනා යන්නෙ නෑ."
මම බුම්මට්ටං ගහගෙන එහෙම කිවුවා.

අම්මයි අප්පච්චියි විදුලි ලාම්පුව නිවලා හිනා වෙවී පඩිපෙල බැස්සා. අක්කයි අයියයි තාමත් දොර ගාව හිටගෙන.

"ඇයි මොකද? කකුල් ඇලවිලා ද?"
මම ඒගොල්ලන්ටත් අම්මලාට දාපු සැර ස්වරයෙන්ම දමලා ගැහුවා.

"නෑ කකුල් මැලවිලා."
අයියා මට දිව දික් කරා. මෝඩ විහිළු.

අක්කගේ මූණෙ ලාවට හිනාවක් ඇඳිලා තිබුණා. හොඳකට නෙවෙයි.

"ඔයා දන්නවද නංගි මැග්නස්?"
"මොන මැග්නසෙක් ද?"
මම ගෙරෙව්වා.

"මැග්නස් අපේ සීයගෙ පළවෙනි කසාදෙ."

"ඉතින් මට මොකෝ?"

"සීයා අපේ ආච්චිව බැන්දෙ මැග්නස් මැරුණු නිසා. මම අහලා තියෙනවා එයා සීයට පුදුම විදියට ආදරේ කලාලු. එයා මැරුණේ දරුවෙක් ලැබෙන්න ඉන්නකොට. මැරෙන මොහොතෙ කියලා තියෙනවා, පීටර් (අපේ සීයා) මම මැරුණත් ඔයත් එක්කමයි කියලා."

"ඉතින් . . ."
මගේ සැර දැන් බාල වෙලා.

"ඉතින් ඔයාට මේක කියන්න හිතුවෙ ඔයාගෙ ම හොඳට පැට්ටෝ. මොනවා වුනත් ඔයා අපේ නංගි නේ, නැද්ද ජෝන්?"

"ඔව් ඔව්."
අයියා එයාගෙ ඉදිරියට නෙරපු අලි පොල් දත් දෙක මං දිහාට විහිදගෙන මෝඩයෙක් වගේ ඔළුව දෙපැත්තට වැනුවා.

"මං කිවුවනෙ මැග්නස් නැතිවුනේ දරුවෙක් ලැබෙන්න ගිහිල්ලය කියලා, ඉතින් දරුවා ලැබෙන්න ඉන්නකොට මැග්නස් දවසක් මේ කාමරේට ඇවිත් තියෙනවා. වෙන මොහොකටවත් නෙවෙයි, එයාගෙ දියමන්ති මංගල මුද්ද හොයන්න. එයා දවස් ගානක් මෙහාට ඇවිත් හෙව්වත් ඒක හොයාගන්න බැරි වෙලා . . ."

"පීටර් මං ඒක මේ කාමරෙන්මයි තියලා ගියේ, මට හොඳටම විශ්වාසයි!" 
මැග්නස්ගෙ ඇත්දළ පාට ලස්සන මූණ කඳුළු වලින් බොඳ වෙලා ගිහින් වගෙයි සීයට පෙනුණේ.

"වදවෙන්න එපා මැගී, අපි ඒක පස්සෙ හොයාගනිමු."


"සීයා එහෙම් කිවුවත් ඊට ටික දවසකට පස්සෙ මැගීට අමාරුවෙලා දරුවා ලැබෙන්න ගිහින් අතරමඟදි මැරිලා."

"ඉ-ති-න්"
කතාවෙ ඉතුරු ටික මගේ ඔලුව ඇතුලෙ මැවිලා ඉවරයි, ඒත් මම සැකහැර දැනගන්න "ඉතින්" කියලා ඇහුවෙ අවසානය හොඳ එකක් වෙන්නත් පුලුවන් කියන අන්තිම තුත්තිරි ගහෙත් ඇඟිල්ලකින් එල්ළිලා.

"ඔයා පොඩි හින්දා මෙච්චර කල් කවුරුවත් කිවුවෙ නැහැ. මැග්නස්ගෙ අතරමංවුණු ආත්මය තවමත් මේ කාමරේට රෑට රෑට එනවලු අර නැතිවෙච්ච මංගල මුද්ද හොයාගෙන."

මගෙ මූනෙන් බාගයක් පොරෝනයෙන් වැහිලා. අර කාටූන් වල ඉන්න ළමයි බය වුණහම වගේ. මෙච්චර කල් මට එයාලගෙ බය ගැන කිසි වැටහීමක් තිබුණෙම නෑ. පව් අසරණ කාටූන් ළමයි.

ඔය වගේ අමුතු සිතුවිල්ලකුත් ඒ වෙලාවෙ මගේ හිතේ ඇතිවුනා මට මතකයි. අසරණ පොඩි එකා!

මගෙ අයියා ඇඟිල්ලකුත් සූප්පු කර කර මහ බරපතල විදිහට මං දිහා බැලුවා.

"එයා පොඩි ළමයි කනවා."

අක්කා එයාට ටොක්කක් ඇන්නා.
"ඔය ඇති, අපි යමු."

අයියා ඇඟිල්ල කටෙන් එලියට අරං ඒකෙ තිබ්බ කෙළ ටික කලිසමේ පිහිදගත්තා

"සුබ රාත්‍රියක් සැලී, ඇඳ මකු-  ආහ් . . . වැරදුණා. මැග්නස් කයි බලාගෙන!"
එයා පොල් දත් විහිදලා, ඇස් හීනි කරලා මාත් එක්ක හිනා වුණා.

ඒගොල්ලො දොර වහගෙන යන්න ගියා.

"අනේ ඉන්නකෝ . . ."
මම කෙඳිරි ගෑවා. ඒත් ඒගොල්ලො ආපිට ආවෙ නැහැ. පඩිපෙළ දිගේ පහළට පහළට යන අඩි සද්ද ටික ටික ඈත් වෙලා ගිහින් නැත්තටම නැති වුණා.

නන්නත්තාර වුණු හොල්මනක් ඉන්න කාමරේක තට්ට තනියම ඉන්න ඔනෙ කාට ද? සාලෙ මැද්දෙ තිබුණු බිග් බෙන් ඔරලෝසුවෙ දොළහෙ කණිසම වදිනකොටත් මම හිටියෙ ඇහැරිලා. ඒ පළවෙනි වතාවට රෑ දොළහ වදිනවා ඇහුණමයි මගෙ හිතේ.

මට මතක් වුණා ආච්චි උපන්දිනේට තෑගි දුන්නු පින්තූර පොත් වල හිටපු ළමයින්ට මූණපාන්න වුණු දේවල්.
ඒවට අනුව රෑ දොළහ කියන්නෙ හොඳ වෙලාවක් නම් නෙවෙයි. අහිංසක ළමයි නිකං අමාරුවෙ වැටෙන්න පුලුවන් වෙලාවක්. අපේ අසල්වැසි මාගරට් ආච්චිට අනුව රෑ දොළහ කියන්නේ "යක්කු ගස් නගින" වෙලාවක්.

දොළහෙ කණිසම වැදුණු ගමන් ඔය වගේ දේවල් හිතන්න පටන්ගත්තු මට නිකං ම නින්ද ගියා.

ඒත් ඒ වැඩි වෙලාවකට නම් නෙවෙයි.

"ටොක්! ටොක්!!"
ඔන්න ඔය විදියට අට්ටාලයේ ලී පොළොව දිගේ සපත්තු දෙකක් ඇවිදින සද්දයක් ඇහෙන්න ගත්තා. මම හෙමින් සැරේ එක ඇහැක් ඇරලා බැලුවා.

ඒ නං මැග්නස් ම තමයි! මලානික පාට සුදු ගවුමක් ඇඳලා හිටිය එයාගෙ මූණත් ගවුම වගේම මලානික සුදු පාටකින් කළුවර අතරින් අමුතු විදිහකට දිළිසුණා.

එයා මොනවහරි හොය හොයා හැමතැනම හරිම කලබලෙන් ඇවිද්දා.
ඉස්සෙල්ලම චූටි කන්ණාඩි මේසෙ ලාච්චු ඇර ඇර බැලුවා. මගේ අරින්න වහන්න පුළුවන් පියනක් තියෙන මේසෙත් පියන ඇරලා එයා බැලුවා. මගේ පොත් රාක්කේ පොත් එහාට මෙහාට කර කර ත් බැලුවා. එයා මේ හැමදේම කළේ හරිම කලබලෙන්.

ඊට පස්සෙ එයා කාමරේ බිත්ති හැම එකකම උඩ පහල බැලුවා. එහෙම බලන අතරෙ භ්‍රාන්තියට පත්වෙලා ඇඳෙන් හෙලවීගන්න බැරුව හිටි මාව එයාගෙ ඇහැගැටුණා.

"සමාවෙන්න බබෝ . . . කෝ මේ බිත්තියෙ එල්ලලා තිබුණු ඔරලෝසුව?"

"ම . . . ම . . . දන් . . .නෙ නෑ. . ." කිවුව මම ඊළඟට,
"අනේ මාව කන්න එපා!!!!"  කියලා කෑගහන්න හැදුවට උගුරෙන් එළියට ආවෙ හීනි කෙඳිරියක් විතරයි.

එයා ප්‍රශ්නාර්ථයකින් වගේ මං දිහා බලං හිටියා.
"ඔයා බයවෙලා? මම ඔයාව කන්නෙ නැහැ. කොටින්ම මම කිසිම දෙයක් කන්නෙ නැහැ.

"එතකොට කන්නෙ නැද්ද?"
හුස්ම ටිකක් ගන්න පුළුවන් වෙන විදියට මම පොරෝණය මගෙ මූණෙන් පහත් කළා.

"නෑ."

"එතකොට්-"
මගෙ කතාව පටන්ගන්නවත් එයා ඉඩ දුන්නෙ නෑ.

"අනේ සමාවෙන්න මට පරක්කු වෙනවා. කරුණාකරලා කියනව ද මේ කාමරේ දියමන්ති මුද්දක් තිබ්බ ද කියලා."

"අදමයි මම ඒ කතාව ඇහුවෙ. කලින් දැනගත්ත නං හොයලා තියනවා මම."
මම කිවුවෙ ඇත්තටමයි. මට එයාගෙ මහන්සි පාට මූණ දැක්කම දුක හිතුණා.

එයා කර කර හිටපු වැඩේ තප්පරේකට නතර කරලා මං දිහා බැලුවේ අම්මා කෙනෙක් වගේ ආදරේකින්.

ඇත්ත නේ, එයා අම්මා කෙනෙක් වෙන්න බැරිවුණු අම්මා කෙනෙක් නෙ.

ඒ වෙලාවෙ මට ආවා හොඳ අදහසක්. ඇඳෙන් බැස්ස මම එයා ගාවට ඇවිදන් ගියා.
මැග්නස් ගාව තිබ්බෙ දත කට පූට්ටු වෙලා යන මහා හීතලක්.
ආයෙමත් ඇඳ ළඟට ගිහින් මම පොරෝනාව මගෙ ඇඟ වටේටම ඔතාගෙන ආයෙමත් මැග්නස් ගාවට ගියා.

"හරි. අපි දෙන්නම එකතු වෙලා හොයමු."
මම කිව්වා.

"ස්තූතියි!"

ඊට පස්සෙ රෑ පුරාම අපි ඒ මුද්ද හෙව්වා.

අන්තිමට අර පැත්තක ගොඩගහලා තිබිච්ච කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුලෙ තිබිලා මට මලකඩ කාපු මුද්දක් හම්බ වුනා. ඒක මැද්දෙ තිබුණේ කිසිම දිස්නයක් නැති වීදුරු කෑල්ලක්.

"මේක වෙන්න බෑ . . ."
මම කොයිකටත් මැග්නස්ට ඒක පෙන්නලා ඇහැව්වා.

මැග්නස් හිටියේ අට්ටාලෙ එහා කෙළවරේ. ඒත් මුද්ද පෙන්නපු ගමන් එයා විදුලි වේගයෙන් මං ගාවට දුවගෙන දුවගෙන ආවා.
ආපු වේගය පාලනය කරගන්න බැරුව එයා මගේ ඇඟ විනිවිද ගිහින් එහාපැත්තෙන් මතුවුණා.

මට කිඹුහුමක් ගියා.

"අනේ සමාවෙන්න දරුවෝ! කෝ බලන්න මුද්ද. . ."
එයා මගේ අත්ලෙ තිබුණු මුද්ද බොහොම පරිස්සමින් එයාගෙ සීතල ඇඟිලි අතර ට ගත්තා. ඊට පස්සෙ බොහොම ආදරෙන් වීදුරු ගලක් අල්ලපු ඒ කබල් මුද්ද දිහා බලාගෙන හිටියා.

මට නං ඒ මුකුත් තේරුණේ නැහැ. කබල් මුද්දෙ මොනවා බලනව ද මන්දා. පව් කියලා හිතුණු නිසා මගේ ලඟ හිටපු රත්තරං කෙස් ඇති බොනික්කෙක් ව එයාට තෑගි දුන්නා.

එයා බෝනික්කගේ කෙස් කැරලි දෙක තුනක් අවුල් කරලා ඊලඟට ඒ සීතල ඇඟිලි වලින් මගේ ඔළුවත් අතගෑවා.

"ඔයාට බොහොම ස්තූතියි, මම යන්නං මගේ පැට්ටෝ."
එහෙම කියලා එයා අට්ටාලෙ තිබුණු කවුළුවෙන් එළියට පැනලා නොපෙනී ගියා.

නිදිමත ට වැටුණු තැන ම මට නින්ද ගියා.

ඊළඟ දවසෙ මට නිව්මෝනියාව හැදුණා.

සති දෙකකට පස්සෙ රෑ දොළහෙ කණිසම වදිනකොට මම පහළ තට්ටුවේ මහ ඇඳේ, අම්මයි අප්පච්චියි මැද්දට වෙලා නිදාගෙන හිටියා.
 

Monday, May 25, 2015

අහක බලාගතිමි - Unrequited Love




පස් වසකට එපිට,
කවදා හෝ කොතැනක හෝ
අහඹු ලෙස ගැටුණි මා ඔබ දෙනෙත් . . .

ඔබ පෙම්වතෙකි

නොහැකි වූයෙන්
පවුරක් වන්නට
ඔබ හා ඈ අතර,
අහක බලාගතිමි නුදුටුවාක් මෙන්

කලකටත් පසු අහඹු ලෙස නැවතත්,
කවදා හෝ, කොතැනක හෝ,
ගැටුණි මා ඔබ දෙනෙත්

ඔබ තනිකඩය

මම,
කෝඩුකාරියෙකි මම
සිතුවිලි සිරකරගත් පපුතුර,
ඉවසන්ට නොහැකි තැන ඒ බැල්ම,
අහක බලාගතිමි
නුදුටුවාක් මෙන්,
නැවතත් සඟවාගෙන හැඟුම් සිත් තුළ

"කවදා හෝ ඔබ
ඇවිද යාවි'යි මා අසලින්
බලාසිටිනෙමි,
කල්පයක් වුවත් බලාසිටිනෙමි
එනවානම් ඔබ නොවැරදීම",

දහස් වරක් මා සිතින් කියා ඇති

"දන්නවාද පොල් ගස්?
පොල් ගස්වලට තියෙනවා ලොකු මුල්,
හුළඟට පොල් ගස් කොච්චර වැනෙනවද
ඒත් මුල්,
දන්නවද ඒ මුල්
ගලවන්න කොච්චර අමාරුද කියලා?
පොළොව බදාගෙන ඉන්නෙ,
හරියට මේ මං වගේ . . .

සමහරවිට,
පොළොවට වෙනසක් නොදැනෙනවා වෙන්නැති
තව කොච්චර නං කියලා ගස් ඇත්ද?
ඒත් කවුරු දන්නවද,
ඒ ගහේ හිටිය පුංචි පොල් කුරුමිනියෙකුට
ඒ ගහත් මහමෙරක් වෙන්නැති"


දොඩමළු වෙන්න ඇත්නම්
ඔබත් එක්ක,
නොවැදගත් කාරණා
විචාරය කරන්න හරි බරපතලෙට

ඒත්,
අවසාන තීරණය රැගෙන මම
වචනයක් පවසන්න ඔබ සමඟ
ඇවිද ආ විට,
බලා ඉඳල ම හෙම්බත් වෙලා
අහක බලාගෙන ඔබ
ආපිට ගොස් තිබුණි,
ඡායාවකුදු නොතියාම.

කුළුදුල් ආදරය යනු
කුමක්දැයි
තවම
නොදනිමි.


ප.ලි. : හිතට ආපු දෙයක් නිදිමතේ ම ඔහේ ලියලා දැම්මා. අඩුපාඩු තියෙනව නං සමාවෙන්ඩ ඕනෑ.

Friday, May 22, 2015

නියත විවරණ


මේ කථාව දැන් අවුරුදු කීපයකට කලින් වෙච්ච එකක්.
ඒ කාලේ අපි පාසලේ දහතුන්වැනි වසරට පා තබපු කාලේ.
අපේ ස්කෝලේ ජීව විද්‍යා අංශය තිබුණේ පාසලේ අනෙක් කොටස්වලින් තරමක් හුදෙකලා වෙලා,කන්දක් මුදුනේ නිස්කලංක පරිසරයකයි.

ඉතින් සමහර වෙලාවට හවස ගෙදර යන්න කලින් අපේ පන්ති කාමර වහලා යන්න බැරි වෙන අවස්ථා තියෙනවනේ.සති අන්තයේ වගේ එහෙම දෙයක් වුනොත් අපිට අමතර කරදරයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා.
අයාලේ යන බල්ලෙක් පන්තිය ඇතුළට ඇවිත් පන්තිය ඇතුළේ විවිධ නිෂ්පාදන කරලා පිටවෙළා යන එක තමයි මේ අලකලන්චිය.ඉතින් උදේ පාන්දර පන්තියට ආවාම දකින්න ලැබෙන මේ මංගල දර්ශනය කොච්චර අලංකාරද,හමා එන සුගන්ධය කොයිතරම් මිහිරිද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.


ඇත්තම කියනවානම් අපේ පන්තියට මේ කරදරේ සිදු වුණේ එකම එක දවසක් විතරයි.ඒත් එදාත් අපි කොහොමහරි විෂබීජනාශක බෝතල් භාගයක් ඉවර වෙනකන් පන්තිය සෝදලා තමයි වැඩ පටන් ගත්තේ.අවාසනාවට අපේ එහා පන්තියේ ළමයි නම් එච්චර වාසනාවන්ත වුණේ නැහැ.මට මතක විදියට ඒ පන්තියේ දොරේ අගුල කැඩිලයි තිබුණේ,එහෙමත් නැත්නම් බොහෝ දවසට දොර වහල යන්න මේ අසරණ දරුවන්ට අමතක වුණා.



කොහොම නමුත් පිරිසිදු කරන රාජකාරිය ඒ ඒ දවසට අතුගාන්න ඉන්න ළමයි කට්ටියගේ ඇඟේ ගහලා ලිස්සලා යන්න මේ ළමයි වගබලා ගත්තු බවයි ආරන්චිය.

ඒත් එක්තරා දවසකදී මේ වැඩේ අසාර්ථක වෙනවා.
බලු වසුරු ඉවත් කරන්න එක ළමයෙක්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ.

දැන් ඔන්න පන්තියට ඇතුළු වෙන දොරකඩම මේ බලු වසුරු තියෙනවාලු.

මුලින්ම උදේ රසායන විද්‍යා පාඩම තමයි තිබුණේ.ටිකක් විතර කට සැර ලතා මිස් (නම් ගම් සංශෝධිත බැව් කරුණාවෙන් සළකන්න)තමයි උගන්නන්න එන්නේ.
ඉතින් මිස් පන්තියට ඉස්සහරට ඇවිත් මේ සංදර්ශනේ දැක්ක ගමන් නහය කට අකුලගෙන මෙන්න මෙහෙම කතාවක් කිව්වා...

"ගිය අවුරුද්දෙත් මේ විදියට පන්තිය ඉස්සරහා බල්ලෙක් ජරා කරලා තිබුනා.
හැම ළමයෙක්ම ඒක උඩින් පැන පැන පන්තිය අතුළට ගියා.කවුරුවත් අස් කළේ නෑ.
ඒත් එකම එක ළමයෙක් තනියම මේ බලු බෙට්ට අයින් කළා.
මට හොඳටම මතකයි ඒ ළමයා first shyම medical faculty select වුණා!!!"

මේක ඇහුවා විතරයි අපේ කට්ටිය කඩි ගුල ඇවිස්සුනා වගේ කඩිසරව පන්තිය සුද්ධ කළේ නැතැයි.

ඔන්න ඉතින් ඊට පස්සේ ඒ පන්තියේ ළමයි කියලා තිබුණේ "මචං medicine යන්න ඕන නම් මේ අපි වගේ මුලින්ම  බලුබෙට්ටක් අයින් කරලා ඉඳපල්ලා" කියලයි.

Thursday, May 21, 2015

විද්‍යාත්මක අත්හදාබැලීම්



ඔන්න එක්තරා කාලයක සාකියාත් විකාරරූපී පොඩි එකෙක් වෙලා හිටියලු.
නෑ දැනුත් ටිකා...ක් විතර එහෙම තමයි.

ඔය කාලෙදි කරපුවා මතක් වෙනකොට තනියම හිනා යනවා. දන්නව ද? සමහර වෙලාවලට ඔය පොදු ප්‍රවාහන සේවයේ ගමන් බිමන් යනකොට හිටිහැටියේ ඕවා මතක් වෙලා හිනා යනවනේ! ඒ වෙලාවට ඉතින් මම මගේ බුද්ධිය පාවිච්චි කොරලා පොඩි එකෙක් දිහා බලලා හරි ජනේලෙන් එලියේ තියෙන දේකට හරි හිනාවෙනවා වගේ බොරු පාට් එකක් දාලා නම්බුව බේරගන්නවා.
නැත්තන් වටේ පිටේ ඉන්න මිනිස්සු කලබල වෙලා බස් කෝච්චි හරවං ඉස්පිටිතාලෙ ගියෝතින් හැමෝටම පරක්කු වෙනවනේ. නැද්ද?

ආ. . . පැන්නා නේද ට්‍රැක් එකෙන් එලියට?

ඉතින් මං කියන්න ගියේ පොඩි කාලෙ වෙච්ච සිද්ධි ගැන නේ.

හොඳයි ඉතින් ඔය ඉඩ තියෙන තැන් තැන් වලින් ඈඳි ගත්තා නං. . .

මේක සිද්ධ වුනේ සාකියා බාලාංශ පන්තියෙ ඉන්නකොට. බාලාංශ? ඒ මොකද්ද අනේ ඒ?
මං කිව්වේ මේක වුනේ මම එක වසරේ ඉන්නකොට.

ඔය වයසෙදි පොඩි එවුන්ට විවිධ නව නිපැයුම්, විද්‍යාත්මක අත්හදාබැලීම් වගේ දේවල් කරන්ඩ හිතෙනවා හරියට. ඔය නිසා තමයි විද්‍යාඥයින්, උගතුන්, පඬිවරුන් අනාගතේදි බිහිවෙන්නේ.

ඉතින් පන්තිය ඉතාමත් ඝෝෂාකාරී වෙලාවක මී පැටියෙක් වගේ හුම් සද්දයක් නැතුව හිටි සාකියාගේ මොලෙත් එකපාරටම ක්‍රියාත්මක වෙන්න ගත්තා.
පන්තිය පුරා ළමයි සී සී කඩ. ටීචරුත්  මෙලෝ සිහියකින් හිටියෙ නෑ.

"හොඳ වෙලාව. . ."
සාකියා හොඳට හරි බරි ගැහිලා වාඩිවෙලා තමුන්ගේ ඩැස් එකට ඔලුව තියාගත්තා සුවච කීකරු සිසු දැරියක් වගේ.

පොඩ්ඩක් උගුර පාදලා එහෙම මම මගේ විද්‍යාත්මක පර්යේෂණය ආරම්භ කොළා.

තප්පර පහක් විතර ගත වුනායින් පස්සෙ සාකියාට අති බිහිසුණු හූවක් පන්තිය පුරා පැතිරීගෙන යනවා ඇහෙනවා.

"ඇයි මේ කවුරුත් කැගහන්නෙ නැත්තේ? මුන් මගේ වැඩේට කෙළවන්නයි යන්නෙ!"

ඒත් ඉතින් මේක හිතන්න ගිය තප්පරේටත් හූව දිගටම පවත්වාගෙන යනවා හැරෙන්නට වෙන විකල්පයක් සාකියාට තිබුණේ නෑනේ.

ඉතින් එකපාරට ම උල්කාපාතයක් පිට මැද්දෑවට පත බෑවුනා වගේ සාකියාට දැණුනා.

"ලෝකෙ පෙරළිලා භූමිකම්පාවක්වත් ආව ද? නැත්තන් ඒ මාව හෙල්ලිලා ගියේ මොන බලවේගෙකින් ද?"

සාකියා ඔළුව උස්සලා බැලුවා.


ඉතින් සාකියා දැක්කේ ඔන්න ඔහොම දර්ශනයක් තමයි.

ඊට අමතර ව ටීචරුත් දිග මීටර් කෝදුව අතේ තියාගෙන ඔරෝගෙන හිටියා.

"පිස්සු ද?"
ටීචර් එහෙම ඇහුවා.

ඇස් දෙක ලොඹු කරගෙන ටීචර් දිහා එක දිගටම බලාගෙන ඉන්නවා හැර වෙන දෙයක් කරගන්ඩ සාකියාගෙ අතපය වාරු තිබ්බෙ නැහැ.

මොනවා කරන්න ද. . . ලෝකෙට තවත් විද්‍යාඥයෙක් එකතුවෙන්න තිබ්බ අවස්ථාව ඒ විදියට නැති බංගස්තාන වුණා.

(සත්‍ය කතාවකි. )

Tuesday, May 19, 2015

විජයග්‍රහණය ද? සහෝදරත්ත්වය ද?



මේ පසුගිය දවස් කිහිපයේ බුකිය හරහා දකින්න ලැබුණු ඇතැම් දෙවල් නිසා අතදාන්නේ නැහැ කියලා හිතාගෙන හිටපු කක්කා ගොඩකට අතගහන්න හිතුණේ ය.

මේ කියන්නට යන්නේ (මාධ්‍යය නැත්නම් රජය කියන ආකාරයට) විජයග්‍රහණ දිනය නොහොත් (අලුත් පරපුර කියන විදිහට) සහෝදරත්වයේ දිනය ගැනයි.

ඔය ඒ දෙගොල්ලන් කියාගන්නා නම් දෙක ය.

ඒ අතර තවත් කෙනෙකුට මැයි 19 වෙනිදාට කියන්නට තවත් නම් තියෙන්නට පුළුවන.

දකුණේ අම්මලා තාත්තලාට මේ තමන්ගේ මියගිය පුතා හො දියණිය වෙනුවෙන් සාධාරණය ඉටු වුණු දිනය වන්නට පුළුවන. දකුණේ බිරිඳකට තමුන්ගේ ආදරණීය සැමියා අහිමි වුණු දවස වන්නට පුළුවන. දකුණේ පොඩි එකෙකුට "අර ගජරාමෙට කිරිබත් කාපු දවස" වන්නටද බැරි නැත.

එතකොට උතුරේ?

උතුරේ අම්මලා තාත්තලාට කොටි පැහැරගෙන ගිය තමුන්ගේ දරුවන් ආයේ දකින්නට නොලැබෙන බව සනාථ වූ දිනය වන්නට හැකිය. උතුරේ පොඩි එකෙකුට කන් දෙකේ ඇඟිලි ගහගන්නේ නැතිව නිදාගත් පළමු දවස වන්නට පුළුවන. උතුරේ ඇතැම් ජනයාට තමුන්ගේ නිජබිම අහිමි වූ දවස වන්නට පුළුවන.

ඒ වගේම උතුරේ සමහර මිනිස්සුන්ට කටින් නොකීවත් අවුරුදු තිහක ඉඩෝරයකට පසුව ඇදහැළුණු මහ වරුසාවක් වගේ දැනුණු දිනයක් වන්නට ද පුළුවන.

ඒ කොහොමවුණත් 2009 මැයි 19 වැනිදා සුවිශේෂී දිනයක් බව ඔය කවුරුත් අවිවාදයෙන් පිළිගණු ඇත.

ඒ දෙදහස් නවයේ මැයි දහනව වැනිදා ය. මේ දෙදහස් පහළොවේ මැයි දහනව වැනිදා ය.

වසර හයක් තිස්සේ අපි යුධ ජයග්‍රහණ සමරනවා මිස ඇඟට දැනෙන්නට මේ රටේ ඇති කරගත් වෙනස මොකක්දැයි ඇහුවොත් ඔය කාටත් කට උත්තර නැති වෙන්නට පුළුවන්ය.

ප්‍රශ්ණය රණවිරුවන් සමරනවා ද, කොටි සමරනවා ද, සහෝදරත්වය සමරනවා ද, විජයග්‍රහණය සමරනවා ද යන්න නොවේ.

ප්‍රශ්ණය අපි බුකියේ දෙපැත්තට බෙදී ගහමරාගන්නවා ද, කුණු හම්බ කියාගන්නවා ද යන්න ද නොවේ.

ප්‍රශ්ණය ඊට වඩා ගැඹුරු එකකි.

අපි කවුරුත් සයිබර් අවකාශයේ දී මහා වැඩකාරයෝ ය. හෙන පොරවල් ය. ටෝක් කාරයෝ ය.

ඒත් අපි කවුරුවත් යුද්ධයෙන් පසු වෛරය පැතිරවීම හැරෙන්න ට අපේ වගකීම ඉටු කළා ද යන්න ප්‍රශ්ණයකි.

බිම් බෝම්බ ටිකින් ටික ඉවත් කිරීමෙන් පසු යාපනයේ වවපු මිදි දොඩම් මහරගම කරත්ත වල තබා විකිනීමත්, පාසිකුඩා වල මාළු මාළු හැදීමත්, ටීවී වල මේවා පුම්බා පෙන්නීමත් හැර රජයෙන් කරපු කෙංගෙඩියක් නැත.

ඉටිපන්දම් පහන් පත්තු කොර කොර ඉන්නවා හැරෙන්න ට යහපාලනයෙන් කරන කෙංගෙඩියක් ද නැත.

යුද්ධය කාලයේ තමිල්නාඩුවේ බස් හෝල්ට් වල අගුපිල් වල ජීවත් වුණු අපේ එවුන් මෙහාට ගෙන්වීම ද, උතුරේ උන් මෙන් ම තිස් වසරක් යුද බිම්වල හිත් තදකරන් හිටි රණවිරුවන් මෙන් ම, දකුණේ ඉන්න නාහෙට නාහන ලේ පිපාසිත අපේ ද මොල ශෝධනයක් කිරීම රජය ට මඟහැරී ගිය ප්‍රධානත ම කරුණ බව මට හැඟේ.

ජාතිවාදය, ආගම්වාදය යනු මැරුණු යුද්ධයේ බියකරු අවතාර බව මට හැඟේ.

ඒ කාලයේ කාගේ හෝ අණ ට ක්‍රියාත්මක වන්නට හුරු වී සිටි අප ස්වාධීන ව සිතන්නට හුරු වන්නට කාලයක් එනවානම් මේ දැන් ඒ කාලය එලඹ ඇති බව ද මට හැඟේ.

පහනක් පත්තු කරනවා ද ඉටිපන්දමක් අරන් නෙලුම් පොකුණට යනවා ද යනු එක් එක් මිනිසුන්ගේ ස්වාධීන තීරණ වේ. ඒකට කට දාන්න ඔබට ද මට ද ඇති අයිතියක් නැත.

ඒත් අපිට එක් අයිතියක් ඇත.



මෙබඳු දර්ශනයන් ට අනාගත වගකිවයුත්තෝ වෙනවා ද, නැත්නම් මියගිය යුද්ධයේ අවතාර විනාශ කර දමන්නට තනි තනිව හෝ එක් පියවරක් ඉදිරියට තබනවා ද කියා තීරණය කිරීම අපිට ඇති ඒ අයිතිය යි.

Saturday, May 16, 2015

හිතට දුකක් ඇතිවෙනවා . . .




ඒ අසූහතේ අවුරුද්දේ එක්තරා දවසක්.

මම ඒ වෙනකොට අවුරුදු එකොළහක දුෂ්කර සේවයට ආයුබෝවන් කියලා, නුගේගොඩ ප්‍රසිද්ධ පිරිමි පාසලක උසස් පෙළ ගුරුවරියක් ලෙස මාරුවීමක් ලබාගෙන ඇවිත් අවුරුද්දක්වත් නැතුව ඇති.
එදාත් වෙනදා වගේම මම පාසල නිමාවෙලා ගිනි අව්වෙ පයින්ම ගෑටුවා පාසලට කිලෝමීටරයක් විතර දුරින් පිහිටි තට්ටු නිවාසෙට. දකුණු පළාතේ මුල් ඇදලා හිටපු මම ගමන් පහසුවට නැවතිලා හිටියේ ඒ තට්ටු නිවාසෙ උඩම, ඒ කිවුවේ තුන්වෙනි තට්ටුවේ පදිංචි වෙලා හිටිය ලොකු මාමලා එක්ක.

ඒ ගෙදර දරුවො පස් දෙනෙක් හිටියා. ගෑණු ළමයි දෙන්නයි, පිරිමි ළමයි තුන්දෙනයි. ඒ අතරින් තුන්වැනියා වුණු ශ්‍රියානිකා කොළඹ පිහිටි උසස්ම බාලිකා විද්‍යාලයක හත හෝ අට වසරේ ඒ වෙනකොට ඉගෙනුම ලබමින් හිටියා.

වයසට වඩා මෝරපු බුද්ධිමත් පෙනුමක් තිබ්බ, විශාල කණ්නාඩි දෙකක් දාලා, දත් ටිකක් ඉදිරියට නෙරලා හිටපු හීන්දෑරි කෙට්ටු උස ගෑණු ළමයා මාව තමන්ගෙම අක්ක විදිහට සැලකුවා.

ඉස්කෝලේ ඇරිලා ආපු වෙලේ ඉඳන් මගේ වටේ දැවටි දැවටි කතා කර කර ඉන්න පුරුද්දක් මේ පුංචි කෙල්ලට තිබුනා.

එක දවසක පාසල නිමා වෙලා ඇවිත් ශ්‍රියානිකා ඒ විදිහටම මගේ ලඟින් ඇවිල්ලා වාඩිවුණා. පුංචි කෙල්ලගෙ මූණ වෙනදාටත් වඩා බරපතල පාටයි.

"ශිරන්ති අක්කෙ,"

"ම්ම්හ් . . ."

"මං දෙයක් අහන්න කියනවද?"

"මොකද්ද නංගි?"

පුංචි පුංචි කැරලි කෙස් රැළි අතරින් තඩි කන්නාඩි දෙක බිමට පාත්වෙලා ටිකක් වෙලා කල්මැරුවා.

නියපොත්තකුත් හැපුවා.

"අපේ රිචී අයියා අපිට වඩා ගොඩක් වැඩිමල් වුනේ කොහොමද?"

රිචී අයියා කිවුවේ ඒ පවුලේ වැඩිමල් ම සහෝදරයා. රිචී අයියා මටත් වඩා අවුරුදු දහයක් විතර වැඩිමල්.

තඩි කන්නාඩි රාමුව අතරින් පෙනුණු, ප්‍රශ්නාර්ථයක් සමඟ මං දිහාට එල්ල වෙලා තිබ්බ වයසක පාට ඇස් දෙක දිහා මම පුදුමෙන් බැලුවා.

"මං දන්නෙ නැහැ නංගි."

"බොරු කියන්නෙපා."

"මං දන්නෙ නැහැ."

ටිකක් වෙලා ඔරවගෙන හිටපු ශ්‍රියානිකා හෙමින් හෙමින් මං හිටපු කාමරෙන් පිටතට ඇවිදගෙන ගියා.

එදා දවසම ශ්‍රියානිකා මාත් එක්ක වචනයක් කතා කලේ නැහැ.

ඊට පහුවෙනිදත්.

ඊටත් පහුවෙනිදත්.

ඊටත් ඊට පහුවෙනිදා . . . ඒ කියන්නේ අසූහතේ එක්තරා දවසක, මම පාසල නිමාවෙලා, ගිනි කාෂ්ඨක අව්වේ තට්ටු නිවාසෙට පයින්ම ඇවිදන් ඇවිත්, තට්ටු තුන අමාරුවෙන් තරණය කරලා මගෙ කාමරේට ඇතුළු වුණා.

අතේ එල්ලන් ආපු මලු දෙක තුන මේසෙ උඩින් තියනකොට තමයි දෙකට නවපු පොඩි කොළයක් මේසෙ පැත්තක තියලා තියෙනවා මම දැක්කෙ.

"හිතට දුකක් ඇතිවෙනවා - ඒත් කමක් නෑ,
 මම තරහා නෑ."


ඒ කොළේ එහෙම ලියලා තිබුණා.

එදා ශ්‍රියානිකා මගේ කාමරේට ආපු වෙලාවෙ කාටවත්ම කියන්න එපා කියලා මම ඒ පොඩි එකාට
රිචී අයියගේ තාත්තා එයාලගෙ තාත්තා නොවන බවත්,
රිචී අයියාගේ අම්ම, ඒ කියන්නෙ ශ්‍රියානිකාලගේ අම්මත් අපේ ලොකු මාමත් කලින් විවාහ වෙලා වැන්දඹුවන් වුණු දෙන්නෙක් බවත්,
රිචී අයියව ලොකු මාමා තමන්ගේ දරුවෙක් විදිහට භාරගත් බවත්,
ඇත්තටම තමන්ගෙ ම දරුවෙකු වගේ හැදූ වැඩූ බවත්,
කියලා දුන්නා.

කෙල්ල ඇස් ලොකු කරන් අහගෙන හිටියා. සමහරවිට එයා ඒක අනුමාන කරන් ඉන්න ඇති.

වයසට වඩා බුද්ධිමත් ශ්‍රියානිකා නංගි ඒ ගැන ඊට පස්සෙ හාර ඇවිස්සුවෙ නැහැ.

විවාහය තීන්දු වෙලා මං ඒ ගෙදරින් වෙන් වෙනකොට තඩි කන්ණාඩි රාමුවක් ඇතුලෙන් පෙනුණු වයසක පාට ඇස් දෙකක් මම ඈතට ඈතට යනකන් දුකින් බලාගෙන හිටිය හැටි මට අදටත් මැවිලා පේනවා.

නිමි.



ප.ලි. : කතාව සමඟ සම්බන්ධයක් නැතත් දෙකට නවපු කොළේ තිබුණු ගීතයත් රසවිඳලා ම ගියොත් නේද හොඳ?



Wednesday, May 13, 2015

කොළ - කොටස 3


පළමු කොටස මෙතැනින්

දෙවැනි කොටස මෙතැනින්



"අම්මා කම්කරු වැඩලු කරන්නේ
තාත්තට රස්සාවක් නෑලු,
නිකමෙක්ලු...."

එහෙමයි අපිට දැනගන්න ලැබුනෙ.

එයා අපේ පවුල ට ගැලපුනේ නැහැ.

"වෙන අතක් බලාගනින්."

සම්මානි කිවුවෙ එහෙමයි.

ඒ වගේ දෙවල් හොයලා බලන්න මට එකපාරම මතක් වුනේ නැත්තෙ මං කිසිම වගකීමක් නැති කෙල්ලෙක් නිසාද?
නැත්තන් ඒ කිසිම දෙයක් වැදගත් නොවෙන තරමට ඔයා මට වැදගත් වුණු නිසාද?

අනේ මං දන්නෙ නැහැ.

ඒ කොහොමවුණත්,
ඊට පස්සෙ මගේ ජීවිතේ
පුරවන්න බැරි
හිස්තැනක්
ඇතිවුනා.

ආයෙමත්,
මූණ පැත්තට ඇලකරලා
මං එයා දිහා බලනවා

අවුරුදු දහයකට පස්සෙ වෙසක් කූඩු කඩයක් ඇතුලෙ විනිවිද පේන සුභපැතුම් පතක් අතරින් ඔයාව දකින්න හිතුවෙ කවුද.

ඔයා ටිකක් මහත් වෙලා.
දැන් අර පොඩි කොල්ලා නෙවෙයි.

ඒත් අර ඇස්,
ඒවා තාමත් කොළ පාටයි.

නෑ,

ඒ ඇස් වල මොකක් හරි අඩුවක් තියෙනවා.

අර කණිනිකා වල තිබුණු දුඹුරු ඡායාව නැතුව,
ඒවා ඉස්සර වගේ දිළිසෙන්නෙ නැහැ.

කොළ,
ඒ පිටසක්වල එළිය මගේ ඇස්
ආයෙමත් විනිවිද යනවා.

Monday, May 11, 2015

උඳුවප් කුසුම

        




උඳුවප් කුසුම
මිලිනව පතිත විය පොළොවට.
නොලැබූ නිසා පොදක් දිය,
නොදැමූ නිසා කිසිවෙක් පොහොර
එහෙත්
නාඳුනන ලෙසකින් එය
කීය නැකම් ලිලී මලකට.
පණැති මූලය හිඳී තවමත්,
සැඟව ගැඹුරින් පොලෝ ගැබ තුළ
අයදිමින් පණ නල,
ගනිමින් ඇඟිලි හිසොසවන්නට.

කොළ - කොටස 2

ඇත්තටම මම ඒ වෙනකම් කොළ පාට ඇස් දෙකක් ඇස් දෙකෙන් දැකලා තිබුනෙ නැහැ.

ඒ නිසාම ද මන්දා, ඒ දිහා පැය ගානක් බලාගෙන හිටියත් මට ඇති වුනේ නැහැ.

මට අහක බලන්න ඔනෙ වුණත් අහක බලන්න බෑ.
මගෙ දෑස් ඒ කොළපාට එළියෙන් නැවතත් අන්ධවෙන්න
බල කරනවා


එයින් ආරම්භ වුණු දවස් තිස් එකක එක දිගටම ඉර බහින වෙලාවට ග්‍රෙගරි ලේක් එක ගාවදි අපි මුණගැහුනා.
ඒත් ඒක එදා වගේ අහම්බයක් නෙවෙයි.
කලින් සැලසුම් කරපු හමුවීමක්.

ඒ හැම දවසක ම, හැම මොහොතක ම, ජීවිත කාලයක් හඳුනගෙන හිටපු කෙනෙක් ආයෙ ආයෙත් හඳුනගන්නවා කියන හැඟීමක් මට දැනුනා.

මේ දැනුත් මට ඒ හැඟීම විස්තර කරන්න තේරෙන්නෙ නෑ.

වළක්වන්න බැරි විදිහට
ඒ කොළපාට හොයාගෙන
මගේ ඇස් දුවනවා


"මං ඔයාට ආදරෙයි."

නිකම්ම නිකං වචන තුනක් ආත්මයේ පතුළට ම කිඳා බැහැලා දෝංකාරයක් වගේ රැවුපිළිරැවු දිදී, නොනවතින සටහනක් ඇති කළේ කොහොමද?

එයා මගේ පළමු ආදරය වුනේ එහෙමයි.

ඊට පස්සෙ කොච්චර නම් දේවල් වුනා ද....

උණුහුම් සුළං රැල්ලක්
මගේ දකුණු කන ලඟ
පෙම් රැල්ලක්
අවුස්සනවා,
"කෝ බලන්න..."
 


මගේ මුළු ආත්මයෙන් මම එයාට ආදරය කළා.
මුළු ජීවිත කාලෙම එයත් එක්ක ගත කරන්න දවස එනකන් මම ඇඟිලි ගැන්නා.

ගෙන්දගම් පොළොවට ආයෙමත් පය තියනකොට දරාගන්න බැරි විදියට පිච්චුනේ නුවර එළියේ සීතළට එක මාසෙන් හුරු වෙච්ච පතුල් දෙක විතරක්ම නෙවෙයි.
  
(මතු සම්බන්ධයි ) 

Sunday, May 10, 2015

දිලිසෙන මකුළු දැල්







නිල් අහසට
තිබෙන පාතින් බොහොම
"දිලිසෙන මකුළු දැල්"
අතරින් පතර පියඹන
නාඳුනන පියාසර ජීවීන්,
ඒ කථාන්තරවල එන
කුඩා සුර ප්‍රාණීන්දැයි
මොහොතකට හැ‍ඟෙයි.
හරිත තුරුපත් වටා ගෙතී,
උදා හිරු ‍රැසින් දිලෙන
හැබෑට මකුළු දැලුත් කොතරම් ලස්සනද

රිදුම






දයාබර ඉර,
පායනු මැන රැයෙහිත්
බියවෙමි මම අඳුරට - වසාලන මා දෙනෙත්
මවාලන ඒ රුව



කුළුණුබර නිහඬ බව,
ඔබ කැටුව එන ඒ - සංලාප යටගිය
සමඟ ම සැනින්
පළා යනු මැන මා දමා


Saturday, May 9, 2015

සීමා



හීන් හිරිපොද වැටී
විදුලි ලාම්පු එලියෙන් දිළිසෙන මාවතේ,
අත් පටලාගෙන
කැමති නැද්ද ඇවිදන් යන්න
අනන්තයට . . .

දෙනොදහක් සරනා නගරෙක
මිනිසුන්ගෙන් වෙන්වී තනිවම,
කැමති නැද්ද මුලකුරු ලියන්න
නොනිමෙන කතාවක . . .

කඩන් හැලෙන වැහි දිය
මායිම් නොකර තුට්ටුවකට,
තෙතබරි වෙනකම් මුළු ගත
කැමති නැද්ද,
හැංගිමුත්තන් කරන්න තුරු අතර
පොඩි උන් වගේ . . .

ඒත් ඉතින්,

අනන්තයට ඇවිදින අතරේ
මාවත් දෙපසින් අඳුරේ
උරුවම් බාන, කට කැඩිච්ච කතා කියන
සල්ලාලයින්ගෙන්
මාවත් බේරගෙන ඉතුරු ටිකත් ඇවිදින්න,
ගිනස් වාර්තා තියන්න
කොහෙන්ද හයියක් ඔයාට . . .

දෙනෝදහක් සරනා නගරේ
මිනිසුන්ගෙන් වෙන්වී තනිවම
ලියන්න හැකි කතාවක්
නොනිමෙන,
හැබැයි ඒක වෙනම ම කතාවක් . . .

ඉතින්,
තෙතබරි වුනාම මුළු ගත
සෙල්ලම් කරන්නෙ කොහොමද තුරු අතරින්,
දැක්කද අර වටේ සිටන්
අපිව කිරන මනින,
දිග පළල උස මහත
තරාතිරම කුලේ මලේ
අරව මේව,
ඒ ඔක්කොම බලන,
නපුරු ඇස් ඔරවන?

Thursday, May 7, 2015

කොළ - කොටස 1



ඒ කොළපාට, මරකත මැණික් වගේ ඇස්....
ඔව්. ඒ ඔහු ම තම‍යි.

අවුරුදු දහයකට පස්සෙ
නැවතත් මගේ දෑස් ඉදිරිපිට දිළිසි දිළිසි බලන් හිටියෙ,

ඔහු ම තමයි

ගෙන්දගම් පොළොවෙ ඉඳන් දුම්රියේ ඒ යකඩ මතුපිට මත තබාගත්තු මගේ දෙපා නුවරඑළියේ සීතළ පොළොවෙ වදිනකොට ඒක මගෙ ජීවිතෙත් මහ විශාල සන්ධිස්තානයක් වෙයි කියලා මම හීනෙකින්වත් බලාපොරොත්තු වුනේ නෑ.

ඒ හරියටම දෙදහස් පහේ අවුරුද්ද. මට යන්තන් වයස විස්සක් වුනා විතරයි.

මම නැවතුනේ යාළුවෙකුගෙ නිවසෙ, ඉහල මහලේ, එයාගෙ ඇඳ බෙදාගෙන.

එයා මගෙ දිහාට ඇවිදන් එනවා.
වෙන්න බැහැ
මොකටද?
ඇත්තටම මොකටද?

ග්‍රෙගරි ලේක් එක ගාවින් ඉර බැහැගෙන යන වෙලාවට ඇවිදින්න යමුයි කියලා යෝජනා කළේ සම්මානි. ඒ කියන්නෙ මගෙ යාළුවා.

කැමරාවත් උස්සගෙන මම ගියේ ඒ මනරම් පරිසරයේ ඡායාරූප කිහිපයක් ගන්න හිතාගෙන.

ළා ඉරු එළිය අතරින් වයිඩ් ඈන්ගල් ෂූට් එකක් කරන්න යනකොට කැමරාවට තද කරන් හිටපු තනි ඇහැට කැමරා මානයේ යන්තම් කෙලවරකින් හීනි දිගැටි ඡයාවක් පෙනී නොපෙනී ගියා. මං කැමරාව ඇදේ යන්න ඉඩ ඇරියා.

හිනාවෙනව
ඒ ඇස් කොළපාට ට හිනාවෙනව.
නවත්තන්න
මාව ඔය එලියෙන් පිච්චිලා යන්න කලින්,
කරුණාකරලා!

ක්ලික්! එයාව ඡායාරූපගත වුණා. කැමරාව පහත් කරලා මම ඡායාරූපය පිරික්සුවා.

"කෝ බලන්න..."

උණුහුම් සුළං රැල්ලක් පාවෙලා ඇවිත් මගේ දකුණු කන ගාව පෙම් රැල්ලක් ඇවිස්සුවා.
මම මගෙ මුහුණ දකුණු පැත්තට ඇල කළා.

එතකොටයි ඒ මරකත එළිය මගෙ තද දුඹුරු මලානික ඇස් පසාකරගෙන විනිවිදගිහින්, කවමදාකවත් නොවෙනස්වන විදියට මගේ කණිනිකා මත කොළපාට ඡායාවක් සටහන් කළේ.

ඔව්. කොළපාට පිටසක්වළ එලියක්.

එදා ඉඳන් මං ලෝකෙ දැක්කෙ කොළපාට ට.

(මතු සම්බන්ධයි )