Tuesday, May 19, 2015

විජයග්‍රහණය ද? සහෝදරත්ත්වය ද?



මේ පසුගිය දවස් කිහිපයේ බුකිය හරහා දකින්න ලැබුණු ඇතැම් දෙවල් නිසා අතදාන්නේ නැහැ කියලා හිතාගෙන හිටපු කක්කා ගොඩකට අතගහන්න හිතුණේ ය.

මේ කියන්නට යන්නේ (මාධ්‍යය නැත්නම් රජය කියන ආකාරයට) විජයග්‍රහණ දිනය නොහොත් (අලුත් පරපුර කියන විදිහට) සහෝදරත්වයේ දිනය ගැනයි.

ඔය ඒ දෙගොල්ලන් කියාගන්නා නම් දෙක ය.

ඒ අතර තවත් කෙනෙකුට මැයි 19 වෙනිදාට කියන්නට තවත් නම් තියෙන්නට පුළුවන.

දකුණේ අම්මලා තාත්තලාට මේ තමන්ගේ මියගිය පුතා හො දියණිය වෙනුවෙන් සාධාරණය ඉටු වුණු දිනය වන්නට පුළුවන. දකුණේ බිරිඳකට තමුන්ගේ ආදරණීය සැමියා අහිමි වුණු දවස වන්නට පුළුවන. දකුණේ පොඩි එකෙකුට "අර ගජරාමෙට කිරිබත් කාපු දවස" වන්නටද බැරි නැත.

එතකොට උතුරේ?

උතුරේ අම්මලා තාත්තලාට කොටි පැහැරගෙන ගිය තමුන්ගේ දරුවන් ආයේ දකින්නට නොලැබෙන බව සනාථ වූ දිනය වන්නට හැකිය. උතුරේ පොඩි එකෙකුට කන් දෙකේ ඇඟිලි ගහගන්නේ නැතිව නිදාගත් පළමු දවස වන්නට පුළුවන. උතුරේ ඇතැම් ජනයාට තමුන්ගේ නිජබිම අහිමි වූ දවස වන්නට පුළුවන.

ඒ වගේම උතුරේ සමහර මිනිස්සුන්ට කටින් නොකීවත් අවුරුදු තිහක ඉඩෝරයකට පසුව ඇදහැළුණු මහ වරුසාවක් වගේ දැනුණු දිනයක් වන්නට ද පුළුවන.

ඒ කොහොමවුණත් 2009 මැයි 19 වැනිදා සුවිශේෂී දිනයක් බව ඔය කවුරුත් අවිවාදයෙන් පිළිගණු ඇත.

ඒ දෙදහස් නවයේ මැයි දහනව වැනිදා ය. මේ දෙදහස් පහළොවේ මැයි දහනව වැනිදා ය.

වසර හයක් තිස්සේ අපි යුධ ජයග්‍රහණ සමරනවා මිස ඇඟට දැනෙන්නට මේ රටේ ඇති කරගත් වෙනස මොකක්දැයි ඇහුවොත් ඔය කාටත් කට උත්තර නැති වෙන්නට පුළුවන්ය.

ප්‍රශ්ණය රණවිරුවන් සමරනවා ද, කොටි සමරනවා ද, සහෝදරත්වය සමරනවා ද, විජයග්‍රහණය සමරනවා ද යන්න නොවේ.

ප්‍රශ්ණය අපි බුකියේ දෙපැත්තට බෙදී ගහමරාගන්නවා ද, කුණු හම්බ කියාගන්නවා ද යන්න ද නොවේ.

ප්‍රශ්ණය ඊට වඩා ගැඹුරු එකකි.

අපි කවුරුත් සයිබර් අවකාශයේ දී මහා වැඩකාරයෝ ය. හෙන පොරවල් ය. ටෝක් කාරයෝ ය.

ඒත් අපි කවුරුවත් යුද්ධයෙන් පසු වෛරය පැතිරවීම හැරෙන්න ට අපේ වගකීම ඉටු කළා ද යන්න ප්‍රශ්ණයකි.

බිම් බෝම්බ ටිකින් ටික ඉවත් කිරීමෙන් පසු යාපනයේ වවපු මිදි දොඩම් මහරගම කරත්ත වල තබා විකිනීමත්, පාසිකුඩා වල මාළු මාළු හැදීමත්, ටීවී වල මේවා පුම්බා පෙන්නීමත් හැර රජයෙන් කරපු කෙංගෙඩියක් නැත.

ඉටිපන්දම් පහන් පත්තු කොර කොර ඉන්නවා හැරෙන්න ට යහපාලනයෙන් කරන කෙංගෙඩියක් ද නැත.

යුද්ධය කාලයේ තමිල්නාඩුවේ බස් හෝල්ට් වල අගුපිල් වල ජීවත් වුණු අපේ එවුන් මෙහාට ගෙන්වීම ද, උතුරේ උන් මෙන් ම තිස් වසරක් යුද බිම්වල හිත් තදකරන් හිටි රණවිරුවන් මෙන් ම, දකුණේ ඉන්න නාහෙට නාහන ලේ පිපාසිත අපේ ද මොල ශෝධනයක් කිරීම රජය ට මඟහැරී ගිය ප්‍රධානත ම කරුණ බව මට හැඟේ.

ජාතිවාදය, ආගම්වාදය යනු මැරුණු යුද්ධයේ බියකරු අවතාර බව මට හැඟේ.

ඒ කාලයේ කාගේ හෝ අණ ට ක්‍රියාත්මක වන්නට හුරු වී සිටි අප ස්වාධීන ව සිතන්නට හුරු වන්නට කාලයක් එනවානම් මේ දැන් ඒ කාලය එලඹ ඇති බව ද මට හැඟේ.

පහනක් පත්තු කරනවා ද ඉටිපන්දමක් අරන් නෙලුම් පොකුණට යනවා ද යනු එක් එක් මිනිසුන්ගේ ස්වාධීන තීරණ වේ. ඒකට කට දාන්න ඔබට ද මට ද ඇති අයිතියක් නැත.

ඒත් අපිට එක් අයිතියක් ඇත.



මෙබඳු දර්ශනයන් ට අනාගත වගකිවයුත්තෝ වෙනවා ද, නැත්නම් මියගිය යුද්ධයේ අවතාර විනාශ කර දමන්නට තනි තනිව හෝ එක් පියවරක් ඉදිරියට තබනවා ද කියා තීරණය කිරීම අපිට ඇති ඒ අයිතිය යි.

2 comments:

  1. සාකියා......................

    අදයි මේ පැත්තට අාවේ.... කොහොමින් හරි හොයාගත්තානේ.... ටිකක් විතර පරක්කුයි. ගොඩක් නැහැනේ..... දිගට ම ලියන්න.. ඒකයි වැදගත්ම දේ.... සහයෝගයක් විදිහට කුරුටු සින්ඩියට සින්ඩිගත කරගත්තා. අලුත් පෝස්ටුවක් දැම්මාම ගිහින් බලන්නකෝ.............

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කුරුටු! චූට්ටිත්තක් විතර පරක්කුයි නං තමයි :D ආයෙ මේ පැත්තෙ ඇවිත් යන්න එන්නකෝ.........

      Delete