Saturday, May 16, 2015

හිතට දුකක් ඇතිවෙනවා . . .




ඒ අසූහතේ අවුරුද්දේ එක්තරා දවසක්.

මම ඒ වෙනකොට අවුරුදු එකොළහක දුෂ්කර සේවයට ආයුබෝවන් කියලා, නුගේගොඩ ප්‍රසිද්ධ පිරිමි පාසලක උසස් පෙළ ගුරුවරියක් ලෙස මාරුවීමක් ලබාගෙන ඇවිත් අවුරුද්දක්වත් නැතුව ඇති.
එදාත් වෙනදා වගේම මම පාසල නිමාවෙලා ගිනි අව්වෙ පයින්ම ගෑටුවා පාසලට කිලෝමීටරයක් විතර දුරින් පිහිටි තට්ටු නිවාසෙට. දකුණු පළාතේ මුල් ඇදලා හිටපු මම ගමන් පහසුවට නැවතිලා හිටියේ ඒ තට්ටු නිවාසෙ උඩම, ඒ කිවුවේ තුන්වෙනි තට්ටුවේ පදිංචි වෙලා හිටිය ලොකු මාමලා එක්ක.

ඒ ගෙදර දරුවො පස් දෙනෙක් හිටියා. ගෑණු ළමයි දෙන්නයි, පිරිමි ළමයි තුන්දෙනයි. ඒ අතරින් තුන්වැනියා වුණු ශ්‍රියානිකා කොළඹ පිහිටි උසස්ම බාලිකා විද්‍යාලයක හත හෝ අට වසරේ ඒ වෙනකොට ඉගෙනුම ලබමින් හිටියා.

වයසට වඩා මෝරපු බුද්ධිමත් පෙනුමක් තිබ්බ, විශාල කණ්නාඩි දෙකක් දාලා, දත් ටිකක් ඉදිරියට නෙරලා හිටපු හීන්දෑරි කෙට්ටු උස ගෑණු ළමයා මාව තමන්ගෙම අක්ක විදිහට සැලකුවා.

ඉස්කෝලේ ඇරිලා ආපු වෙලේ ඉඳන් මගේ වටේ දැවටි දැවටි කතා කර කර ඉන්න පුරුද්දක් මේ පුංචි කෙල්ලට තිබුනා.

එක දවසක පාසල නිමා වෙලා ඇවිත් ශ්‍රියානිකා ඒ විදිහටම මගේ ලඟින් ඇවිල්ලා වාඩිවුණා. පුංචි කෙල්ලගෙ මූණ වෙනදාටත් වඩා බරපතල පාටයි.

"ශිරන්ති අක්කෙ,"

"ම්ම්හ් . . ."

"මං දෙයක් අහන්න කියනවද?"

"මොකද්ද නංගි?"

පුංචි පුංචි කැරලි කෙස් රැළි අතරින් තඩි කන්නාඩි දෙක බිමට පාත්වෙලා ටිකක් වෙලා කල්මැරුවා.

නියපොත්තකුත් හැපුවා.

"අපේ රිචී අයියා අපිට වඩා ගොඩක් වැඩිමල් වුනේ කොහොමද?"

රිචී අයියා කිවුවේ ඒ පවුලේ වැඩිමල් ම සහෝදරයා. රිචී අයියා මටත් වඩා අවුරුදු දහයක් විතර වැඩිමල්.

තඩි කන්නාඩි රාමුව අතරින් පෙනුණු, ප්‍රශ්නාර්ථයක් සමඟ මං දිහාට එල්ල වෙලා තිබ්බ වයසක පාට ඇස් දෙක දිහා මම පුදුමෙන් බැලුවා.

"මං දන්නෙ නැහැ නංගි."

"බොරු කියන්නෙපා."

"මං දන්නෙ නැහැ."

ටිකක් වෙලා ඔරවගෙන හිටපු ශ්‍රියානිකා හෙමින් හෙමින් මං හිටපු කාමරෙන් පිටතට ඇවිදගෙන ගියා.

එදා දවසම ශ්‍රියානිකා මාත් එක්ක වචනයක් කතා කලේ නැහැ.

ඊට පහුවෙනිදත්.

ඊටත් පහුවෙනිදත්.

ඊටත් ඊට පහුවෙනිදා . . . ඒ කියන්නේ අසූහතේ එක්තරා දවසක, මම පාසල නිමාවෙලා, ගිනි කාෂ්ඨක අව්වේ තට්ටු නිවාසෙට පයින්ම ඇවිදන් ඇවිත්, තට්ටු තුන අමාරුවෙන් තරණය කරලා මගෙ කාමරේට ඇතුළු වුණා.

අතේ එල්ලන් ආපු මලු දෙක තුන මේසෙ උඩින් තියනකොට තමයි දෙකට නවපු පොඩි කොළයක් මේසෙ පැත්තක තියලා තියෙනවා මම දැක්කෙ.

"හිතට දුකක් ඇතිවෙනවා - ඒත් කමක් නෑ,
 මම තරහා නෑ."


ඒ කොළේ එහෙම ලියලා තිබුණා.

එදා ශ්‍රියානිකා මගේ කාමරේට ආපු වෙලාවෙ කාටවත්ම කියන්න එපා කියලා මම ඒ පොඩි එකාට
රිචී අයියගේ තාත්තා එයාලගෙ තාත්තා නොවන බවත්,
රිචී අයියාගේ අම්ම, ඒ කියන්නෙ ශ්‍රියානිකාලගේ අම්මත් අපේ ලොකු මාමත් කලින් විවාහ වෙලා වැන්දඹුවන් වුණු දෙන්නෙක් බවත්,
රිචී අයියව ලොකු මාමා තමන්ගේ දරුවෙක් විදිහට භාරගත් බවත්,
ඇත්තටම තමන්ගෙ ම දරුවෙකු වගේ හැදූ වැඩූ බවත්,
කියලා දුන්නා.

කෙල්ල ඇස් ලොකු කරන් අහගෙන හිටියා. සමහරවිට එයා ඒක අනුමාන කරන් ඉන්න ඇති.

වයසට වඩා බුද්ධිමත් ශ්‍රියානිකා නංගි ඒ ගැන ඊට පස්සෙ හාර ඇවිස්සුවෙ නැහැ.

විවාහය තීන්දු වෙලා මං ඒ ගෙදරින් වෙන් වෙනකොට තඩි කන්ණාඩි රාමුවක් ඇතුලෙන් පෙනුණු වයසක පාට ඇස් දෙකක් මම ඈතට ඈතට යනකන් දුකින් බලාගෙන හිටිය හැටි මට අදටත් මැවිලා පේනවා.

නිමි.



ප.ලි. : කතාව සමඟ සම්බන්ධයක් නැතත් දෙකට නවපු කොළේ තිබුණු ගීතයත් රසවිඳලා ම ගියොත් නේද හොඳ?



No comments:

Post a Comment